රාවය

මෛත්‍රී විධායක ජනාධිපති ධුරයේ තේජස බිංදුවට බැස්සුවා |ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්

මෛත්‍රී විධායක ජනාධිපති ධුරයේ  තේජස බිංදුවට බැස්සුවා  |ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්

තරිඳු උඩුවරගෙදර

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිපයෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙන බව ඔබේ කණ්ඩායම කියනවා. එම සන්ධානයේ ඉන්නේ කවුද?
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ ඉදිරිපත් වෙනවා. ඒක අපට අලුත් දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපයේම අපි ඉදිරියට ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ප්‍රතිපත්තියක්. මේක අපි දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් විදියට. මේ අයවැය ලේඛනය ගත්තත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තමයි තියෙන්නේ. ශ්‍රීලනිපයේ පිරිසක් වරදාන වරප්‍රසාද වෙනුවෙන් ආණ්ඩුවේ රැඳී ඉඳිමින් වරදාන වරප්‍රසාද වෙනුවෙන් එජාපයේ යෝජනාවලට අත උස්සනවා. ඒකට එරෙහිව තමයි අපි පෙනීඉන්නේ. එහෙම පෙනීඉන්න එකම විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය. දැන් අපි සාකච්ඡා කරමින් යනවා සාධාරණ ලෙස කොට්ඨාස වෙන්කරලා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. එහෙන් පණිවුඩ එවනවා එක්කාසු වෙමුද කියලා. එහෙම යෝජනා ඉදිරිපත් වෙන්න හේතුව තමයි සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රීලනිප කණ්ඩායම අන්ත පරාජයකට ලක්වෙන බව දැනසිටීම.

එහෙත් ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් විපක්ෂයක් නෙවෙයි නේද?
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය වගේ පක්ෂ ආණ්ඩුවේම කොටස් වගෙයි. ඔවුන් මේ ආණ්ඩුව පත්කරගන්න මැදිහත්වුණා. ජවිපෙ තැනින් තැන යම් විවේචන ගෙනෙනවා. විපක්ෂ නායකත්වය හිමි දෙමළ ජාතික සන්ධානය කිසිම විරෝධයක් නැතිව අවුරුදු දෙකහමාරක් තිස්සෙ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අත උස්සනවා. ලෝකයේ කිසිම විපක්ෂ නායකවරයෙක් නොතබපු වාර්තාවක් තබමින් කිසිම සංශෝධනයක් නැතිව පිට පිට අයවැය ලේඛන තුනකට අත උස්සන අවස්ථාව හෙට අනිද්දා උදාවෙනවා. මේ නිසාම උතුරේ පවා දෙමළ ජාතික සන්ධාන නායකත්වයට විරෝධයක් ඇතිවෙලා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්තයා දැන් කියලා තියෙනවා විකල්ප බලවේගයක් උතුරේ හදනවා කියලා. දෙමළ ජාතික සන්ධාන නායකත්වය ආණ්ඩුවේම කොටසක් කියලා ඔවුන් කියනවා.

එහෙම යෝජනා එනවා නම් එකතු නොවී ශ්‍රිලනිපය දෙකඩ කරන්න උත්සාහ කිරීම වැරැද්දක් නෙවෙයිද?
ඉතිහාසය ඒ විදියටම රඟපාන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. මහ මැතිවරණයේදී අපව රැවටුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට සම්පූර්ණයෙන් මැතිවරණය බාරදෙන බව කිව්වා. දැන් කියනවා සිරිසේන ජනාධිපතිවරයා වේදිකාවට එන්නෙත් නෑ කියලා. ඉතින් 2015 මැතිවරණයේදීත් මහින්ද රාජපක්ෂ මැතිතුමායි වේදිකාවල කතාකළේ. එතැන යූඇන්පී විරෝධයයි මතුකළේ. ඒත් අන්තිමේදී යූඇන්පිය එක්ක සන්ධානගත වෙලා ආණ්ඩුව හැදුණා. ඒක තමයි ආයේ වෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් සැරයක් වැටුණු වළේ ආයේ වැටෙන්නේ නැහැ. කොහේ ගියත් පාක්ෂිකයන් කියන්නේ ආයේ මේ අය එක්කනං එකතුවෙන්න එපා කියලායි. අපි ඔවුන්ටත් කියන්නේ බයවෙන්න එපා, අපි එහෙම කරන්න තරම් මෝඩ නැහැ කියලායි. මේ මැතිවරණයේදී ඡන්දදායකයා ඉදිරියට එන ප්‍රශ්නය මේ රජයට කැමතිද, මේ රජයට විරුද්ධද කියන ප්‍රශ්නය. අපි දකින විදියට මේ රජය ගැන ජනතාවට තියෙන්නේ නිකන්ම විරෝධයක් නෙවෙයි මහා වෛරයක්. ඒ නිසා මේ මැතිවරණයේදී ඒ වෛරය පෙන්වන්නට ජනතාවට අවස්ථාව ලැබෙන්නේ අපි වෙනම ඉදිරිපත් වුණොත්.

ඔබේ කණ්ඩායම එක්ක ඉන්න ඇතැම් ශ්‍රීලනිප නායකයන්ට අවශ්‍ය කණ්ඩායම් දෙකම එකතුකරන්න නේද?
අපි හැමෝම එක මතයක ඉන්නවා. ඒ නිසා තමයි දුමින්ද දිසානායක මැතිතුමා ශ්‍රීලනිපයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන මැතිවරණය ගැන කතාකරන්නට ආරාධනා කරලා එවූ ලිපියට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු ලිපියක් යැව්වේ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 45ක් ඇසුරෙන් විදෙස්ගත වෙලා හිටපු දෙන්නෙක් හැර අනෙක් අය අත්සන් කරලා තිබුණා. අපිත් කැමතියි ශ්‍රීලනිපය එක්ක එකට වැඩකරන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂය එක්ක එකතුවෙලා එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් විදියට ශ්‍රීලනිපය ක්‍රියාත්මකවන තුරු ඔවුන් එක්ක කටයුතු කිරීම ගැටලුවක්. ඒ නිසා ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති තමයි වැදගත් වෙන්නේ. ඒ නිසායි අර ලිපියේ ක්ෂණිකව ගතයුතු ප්‍රතිපත්තිමය පියවර හතක් යැව්වේ. එහි පළමුවැන්න තමයි එජාපය සමඟ එකතුවෙලා ආණ්ඩු කිරීමෙන් ඉවත්වීම.

ජනාධිපතිවරයා එක්ක එකඟතාවක් හදාගන්න ඒකාබද්ධ විපක්ෂයට බැරිද?
මට පෙන්වන්න පුළුවන් ජනාධිපතිවරයා බොහොම උපක්‍රමශීලීව අපව 2015 මහමැතිවරණයේදීත් රවට්ටපු බව. ඔහු කළ දේවල් දීර්ඝ ලැයිස්තුවක් කියන්න පුළුවන්. අනෙක් අතට ජනාධිපතිවරයා තවදුරටත් බලය තියෙන අයෙක් නෙවෙයි. බලය තියෙන්නේ අගමැතිවරයාට සහ එජාපයට. ආණ්ඩුවම පිළිකුලට ලක්වුණත් ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නෑ. සරත් විජේසුරිය මැතිතුමා සෝභිත හිමියන්ගෙ ගුණ සමරමින් පතුරු යන්න ආණ්ඩුව විවේචනය කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා මම අත් දෙකම උස්සලා ඒ විවේචනය අනුමත කරනවා කියලා. මේක කිසිම අභිමානයක් නැති ආණ්ඩුවක නායකයෙකුගේ ප්‍රකාශයක්. තමන්ගේම රජය ගැන තියෙන විවේචන පිළිගනිමින් ඉන්නවා. එතුමාමනේ ඒවා වෙනස් කරන්න ඕනෑ. අයවැයේ ප්‍රතිපත්ති එතුමා පිළිගන්නේ නැහැලු. ඉතින් එතුමා කැබිනට් මණ්ඩලයේ නායකයා. අයවැය මුලින්ම කැබිනට් මණ්ඩලයට එනවා. එතැන කැබිනට් මණ්ඩලයේ නායකයා විදියට කියන්න ඕනෑ දේවල් පිටට ඇවිත් දේශපාලන වේදිකාවේ කියනවා. එතුමා කියනවා රජය ගැන ලොකු දුක්ගැනවිල්ලක් තියෙනවා කියලා. එහෙම කියන එකම ලජ්ජාවට පත්වන කාරණයක්. විධායක ජනාධිපති ධුරයට තියෙන තේජස බිංදුවට බැස්සුවා. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් බෙලහීන තැනකට පත්වුණා.

ආණ්ඩුව ගැන ජනතා විරෝධය එල්ලවුණත් නැවත ඒකාබද්ධ විපක්ෂය දෙසට වැඩිපුර ඡන්ද එකතුකරගන්න අවශ්‍ය පියවර ඔබේ කණ්ඩායම අරන් තියෙනවාද? කලින් තිබුණු ආණ්ඩුවට වඩා වෙනස් දෙයක් කරන්න සූදානමක් තියෙනවාද?
ඔව්. අපි වෙනස්වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවත් තේරුම් අරගෙන තියෙනවා. ගිය සතියේ තිබුණු අනුරාධපුර රැස්වීමේදී මුස්ලිම් කථිකයෝ දෙන්නෙක් කතාකළා. ඔවුන් කිව්වා අපව රැවැට්ටුවා කියලා. එදා වුණ දේ අපට තේරෙනවා කියලා ඔවුන් කියනවා. ස්වයං විවේචනයක් ඕනෑම පිරිසකට අවශ්‍යයි. ඒක අපට තියෙනවා. 2015 ජනවාරි අටවැනිදා ගත් තීරණයෙන් රටට හොඳක් නොවුණ බව ජනතාව විශ්වාස කරනවා. ජනවාරි අටවැනිදා අපේක්ෂා කළ වෙනස වෙලා නැහැ. වෙනසක් වුණා. වෙච්ච වෙනස රටට විනාශයක්.

ඒත් ඔබේ කණ්ඩායම සිංහල ජාතිවාදී ස්ථාවරයක ඉඳන් කටයුතු කරන බවයි පෙනෙන්නේ. ඒ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ නේද?
මම ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අපි ජාතිවාදී නැහැ. සුළු ජනවර්ගවල සහයෝගය අපට ලැබෙනවා. උතුරේ ප්‍රතිඵල ගත්තාම ඒක පෙනේවි. අපි උතුරට කොච්චර කළාද? එක්තරා කැබිනට් සාකච්ඡාවකදී කැබිනට් ඇමතිවරයෙක් ඇහුවා මේ තරම් මුදල් කන්දරාවක් උතුරට වෙන්කරන්නේ ඇයි කියලා. මාර්ග හදන්න, ජීවන මාර්ග ඇතිකරන්න ඇයි මේවා කරන්නේ ඡන්ද ලැබෙන්නෙ නැති පසුබිමක කියලා ඇමතිවරයා ඇහුවේ. මේ වගේම දුෂ්කර ප්‍රදේශ දකුණේ තියෙනවා. ඒ වගේ තැන්වලට මේ මුදල් වියදම් කරන්න කියලා ඔහු කීවා. මහින්ද ජනාධිපතිතුමා කීවේ එහෙම ඕනෑ නැහැ. අපේ දේශපාලනය ඡන්දය බලාගෙන කරන්න එපා කියලා. දැන් මිනිස්සුන්ට ඒක තේරෙනවා. මහින්ද මැතිතුමාට සුළුතර ජනවර්ග ගැන තියෙන්නේ විධිමත් ප්‍රායෝගික දර්ශනයක්. ඒක දැන් ඒ ජනතාවට තේරෙනවා. මහින්ද මැතිතුමා ආරම්භ කළ වැඩ දැන් ඇනහිටලා තියෙනවා. දේශපාලන වශයෙනුත් මහින්ද මැතිතුමා උතුරට අවස්ථාව දුන්නා. දිනන්න බැරි බව දැනදැනම උතුරට පළාත් සභා ඡන්දය ලබාදුන්නා. ආර්ථික ශක්තිය වගේම දේශපාලන අයිතිවාසිකම් දුන්නා. දැන් දෙමළ ජාතික සන්ධානය කිසිම දෙයක් දෙමළ ජනතාවට කරන්නේ නෑ. ආණ්ඩුවට මුක්කු ගහන එක විතරයි කරන්නේ. දෙමළ ජනතාවට මේවා තේරෙනවා. විශේෂයෙන් මේ බලතල බෙදීමක් ඕනෑ දෙමළ දේශපාලන නායකයන්ට විතරයි. ජනතාවට අවශ්‍ය ප්‍රායෝගිකව එදිනෙදා ප්‍රශ්න විසඳගන්න.

දෙදාහේ ව්‍යවස්ථා යෝජනාවලියේදී ඒකීය වෙනුවට එක්සත් කියන වචනය තිබුණු බව මෑතකදී ඩිලාන් පෙරේරා ඇමතිවරයා පෙන්වාදුන්නා. ඔහු ඔබේ දේශපාලන අතීතය සහ දැන් ඒ ප්‍රතිපත්ති උඩුයටිකුරු වෙලා තියෙන අන්දම පෙන්වුවා. ඒ ගැන ඔබට තියෙන අදහස මොකක්ද?
මම ඕකට අවස්ථා කිහිපයකදී පිළිතුරු දීලා තියෙනවා. ලංකාවේ හෝ ලෝකයේ දේශපාලනය අවුරුදු විසිපහක් යනකන් එකම විදියට ගලේ කෙටුවා වගේ තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. එදා තත්ත්වයයි අද තත්ත්වයයි අහසයි පොළොවයි වගේ වෙනස්. එදා අවශ්‍ය දෙයක් අපි කළේ. අපි ඒක නොකළා නම් යුද්ධය මේ විදියට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තිබුණා. අපි ඒ වෙලාවේ පෙන්වූවේ අපි මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් විසඳීමට උත්සාහ කරන බව. එතකොට අපට පෙන්වන්න හැකිවුණා මේ වැඩ කඩාකප්පල් කළේ රජය නෙවෙයි කියලා. අන්තිමේදී ප්‍රභාකරන්ව පරාජය කරන්න ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. විශේෂයෙන් එල්ටීටීඊයේ මුහුදු බලය විනාශ කරන්න ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. විශේෂයෙන් ලංකාවේ මුහුදු සීමාවෙන් පිට, ලංකාවේ තාක්ෂණය නැති විදියේ මෙහෙයුම් කරන්න අපට බලගතු රටවල්වල සහාය ලැබුණා. ඒකට පසුබිම අපි එදා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ගත්ත උත්සාහයන්. එදා තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්. දැන් යුද්ධය ඉවරයි. දැන් දඬුවම් දෙන්න හදන්නේ යුද්ධය දිනපු අයට. එහෙම කවදාවත් වුණේ නෑ. දෙවැනි ලෝක යුද්ධය අවසාන වුණාම චර්චිල්ට දඬුවම් කළේ නැහහැ. ඒ වෙනුවට අලුතෙන් නීති හදලා ජර්මනියට දඬුවම් කළා. මෙහෙම තත්ත්වයක රජය කරන්න යන්නේ දේශද්‍රෝහී ප්‍රතිපත්තියක්. ඒ තත්ත්වයයි මේ තත්ත්වයයි ඉස්පිල්ලක්, පාපිල්ලක්වත් වෙනසක් නැතිව සමාන නැහැ. ඒක මෝඩ තර්කයක්. ඩිලාන් පෙරේරා වැනි අයගෙන් එවැනි මෝඩ තර්ක හැර අන් යමක් බලාපොරොත්තු වෙන්න බෑ. අවුරුදු විසිපහකට කලින් වුණ දෙයක් මේක. සියවසකින් හතරෙන් එකකට කලින්.■