රාවය

වංචා නූල්බෝලයේ පැටලුණ ආණ්ඩුව

වංචා නූල්බෝලයේ පැටලුණ ආණ්ඩුව

ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය ක්‍රමයෙන් මෝරා යමින් තිබෙන්නේද යන්න බොහෝ දෙනකුගේ ප්‍රශ්නය වී තිබේ. විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය කාලය තුළ එල්ල කළ සමහර වාග් ප්‍රහාර, එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කොට එල්ලකළේ එම බල අරගලයේ ප්‍රකාශනයක් හැටියට බව සමහරුන්ගේ මතයයි.

නොවැම්බර් 8වැනිදා බත්තරමුල්ලේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමි සමරුවේදී ජනාධිපතිවරයා කළ වේගවත් කතාව, මුළුමනින්ම ආණ්ඩුවේ එජාප පාර්ශ්වයට එල්ල කළ ප්‍රහාරයක් හැටියට සැලකිය හැකිය. උත්සවයේදි කෙරෙන කතාවලින් යම් අපහසුවක් ඇතිවන්නට ඉඩ තිබේයැයි පූර්වකල්පනා කළ අගමැතිවරයා එම උත්සවයට සහභාගි නොවුණු බවද සමහර මාධ්‍ය වාර්තා කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සිය මරණය තෙක් වෙහෙසී වැඩ කළ සෝභිත හිමියන්ගේ සමරුවේදී, තමා ජනතාවට දුන් ඒ පොරොන්දුව ගැන වචනයක්වත් කතා නොකිරීමට ජනාධිපතිවරයා හොඳටම පරෙස්සම් වුණේය. මේ නිහඬතාව කැපී පෙනෙන්නේ, සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔහු කළ ප්‍රසිද්ධ ප්‍රකාශය ගැන සිහිකරන විටය. සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව එන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ මෛත්‍රීගේ පොරොන්දුව පස්සා දොරෙන් පලාගොස් තිබේද?

එහෙත්, ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයේ රාජ්‍ය ඇමතිවරයෙකු මනුවර්ණ සමග කීවේ, ‘ජනාධිපතිතුමා නම්, මීට පස්සේ ඉල්ලන්නේ නැහැ, මම ආවේ ඉන්න නෙවෙයි යන්න කියලා කියනවා’ කියාය. ඔහුට අනුව, විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම ශ්‍රීලනිපයේ මතය වුණත්, අතරමැද තැනක එකඟතාවකට තමන් කැමතිය. අතරමැද එකඟතාවක් කියන්නේ, ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරන්නේ නැති වුණත්, යම් විශේෂ බලතල ජනාධිපතිවරයාට ලැබෙන, පාර්ලිමේන්තුව විසින් හෝ පිළිගත හැකි අන් ක්‍රමයකින් ජනාධිපති පත්කෙරෙන ක්‍රමයකි.
විධායක ජනාධිපති ක්‍රමය, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි සෝභිත හිමියන්ගේ න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණු කාරණා මගහැර බත්තරමුල්ලේදී ජනාධිපතිවරයා කළ කතාවෙන් වැඩිම ප්‍රහාරය එල්ල වුණේ එජාපයටය. ඒ එක පැත්තකින් පරණ හොරු රැකීම ගැනය. අනෙක් පැත්තෙන් අලුත් හොරකම් කිරීම ගැනය. බැඳුම්කර කොමිසම පත්කිරීම නිසා ආණ්ඩුවේ සුළුතර පිරිසක් තමාට මඩ ගසන බව ජනාධිපතිවරයා එතැනදී කිව්වේය.

මඩ ගැසීම කොහොම වුණත්, ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම පත්කිරීමෙන් කළේ ඉතා යහපත් දෙයකි. දුන්නේ ඉතා යහපත් පූර්වාදර්ශයකි. එය සංසන්දනය කළ යුත්තේ රාජපක්‍ෂ පාලන කාලය සමඟය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා භික්‍ෂූන්ද අසුන්ගෙන සිටි ප්‍රසිද්ධ වේදිකාවකදී එකල කිව්වේ, ‘අපේ එකෙක් වැරැද්දක් කළාම නීතිය ඒ විදියටම ක්‍රියාත්මක කරන්නට බැහැනේ හාමුදුරුවනේ’ කියාය. කිව්වා වාගේම ඔහු එය කළේය. මේ ආණ්ඩු කාලය වන විට, විවිධ වංචා දූෂණවල හා අපරාධවල යෙදුණු පරණ ආණ්ඩුවේ චුදිතයන් රැසක් නඩු විභාග නැතිව සිටින තත්ත්වයක් උද්ගත වුණේ ඒ හේතුවෙනි. සිරිසේන ජනාධිපතිවරයා ඊට ප්‍රතිපක්‍ෂව තමන්ගේ ආණ්ඩු කාලයේ සිදුවුණු ලොකුම වංචාව ගැන හොයන්නට ජනාධිපති කොමිසමක් පත් කළේය. එය යහපත් දෙයක් වන්නේ ඒ නිසාය.

දැන් ජනාධිපති කොමිසමේ ප්‍රධාන සාක්‍ෂි විමසීමේ අවස්ථාව අවසන් වී ඇති නමුත්, එහි වාර්තාව ලිවීම සඳහා දෙසැම්බර් 8 වන තෙක් කාලය ලබාදී තිබේ. ඒ අතරේ අගමැති රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවීමට නියමිතය. ඒ නොවැම්බර් 20වැනිදා හෝ ආසන්න දිනයකදීය. ඇත්ත වශයෙන්ම අගමැතිවරයා, කොමිසම ඉදිරියේ තමා කරුණු දැක්වීමට සුදානම් බවට ප්‍රකාශයක් නිකුත් කළේ ඔක්තෝබර් 15 වැනිදාය. කොමිසම කියන ඕනෑම මොහොතක එසේ කරුණු දක්වන්නට තමා සූදානම් බව ඔහු කීවේය. ඒ අතර කොමිසම ලිඛිත ප්‍රශ්නාවලියක් අගමැතිවරයාට එව්වේය. අගමැතිවරයා දිවුරුම් පෙත්සමක් මගින් මේ වන විටත් කොමිසම විසින් තමාගෙන් අසන ලද ඒ ප්‍රශ්නවලට පිළිතුරු දී තිබේ. ඉදිරියේදී සිදුවන්නේ අගමැතිගෙන් වාචික සාක්‍ෂි විමසීමය.

වාචික සාක්‍ෂි විමසීමට පෙර තම අගමැති ධුරයෙන් ඉවත්වී එම සාක්‍ෂි විභාගයට මුහුණ දෙන්නට යන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වුණු බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී සාක්‍ෂි දුන්නොත්, එක පැත්තකින් එය අගමැතිවරයාගේ පිරිසිදු ප්‍රතිරූපයට හා අනෙක් පැත්තෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපයට විශාල යහපතක් බව ජනාධිපතිවරයාගේ අදහස වුණු බව කියනු ලැබේ. අගමැති පදවියෙන් ඉල්ලා අස්වී සාමාන්‍ය පුරවැසියකු ලෙස කොමිසමට සාක්‍ෂි දීම හරහා ඉතාමත් වැදගත් පූර්වාදර්ශයක් අගමැතිවරයාට දිය හැකි බවද ජනාධිපතිවරයාගේ අදහස වුණු බව කියැවෙයි.

අගමැතිවරයා ධුරයෙන් ඉවත්වී සිටින කාලය තුළ, කතානායක කරු ජයසූරිය හෝ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාගෙන් කෙනකුට භාරකාර අගමැති හැටියට වැඩකරන්නට ජනාධිපතිවරයා ආරාධනා කරනු ඇතැ’යිද ඒ කතාබහ තුළ තිබුනි. එහෙත්, මංගල සමරවීර ඇමතිවරයා, කුමන හේතුවක් යටතේවත්, තමාගේ දේශපාලන පක්‍ෂයේ නායකයා වන අගමැතිවරයා, ධුරයෙන් ඉවත්කොට අගමැතිකම භාරගැනීමේ සූදානමක් තමාට නැතැ’යි කිවූ බවද වාර්තා විය.

බලාපොරොත්තු වුණු විදියටම අගමැතිවරයා ජනාධිපතිවරයාගේ මේ අදහස ප්‍රතික්‍ෂෙප කර තිබෙන බව දැනගන්නට තිබේ. අගමැති පදවියෙන් ඉල්ලා අස්වී බැඳුම්කර කොමිසම වෙත යෑමට කිසිම හේතුවක් නැති බව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබේ. බැඳුම්කර කොමිසමට කරුණු ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව ස්වේච්ඡාවෙන්ම කීවේ අගමැතිවරයාය. ඊට පසු ඔහු කොමිසම විසින් දෙන ලද ප්‍රශ්න පත්‍රයකට දිවුරුම් පිට පිළිතුරුද යැව්වේය. දැන් ඔහු කොමිසම හමුවේ වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තුවෙන් හිඳී. ඒ නිසා, අගමැති ධුරයෙන් ඉවත්වී චුදිතයකු හැටියට කොමිසම ඉදිරියට යෑමෙන් ජනාධිපතිවරයා සිතනවාට වඩා පරස්පර දෙයක් සිදුවී, බැඳුම්කර වංචාවට අගමැතිවරයා සම්බන්ධයැයි මතයක් සමාජය තුළ ඇතිවේයැයිද, විපක්‍ෂය ඒ තත්ත්වයෙන් දේශපාලන ප්‍රයෝජන ලබනු ඇතැ’යිද එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

කොහොම වුණත්, ඒ අතරවාරයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානීන් තිදෙනකු ජනාධිපතිවරයා හමුවී කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීම ගැන සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබෙන බවද දැනගන්නට තිබේ. ඒ මුදල් ඇමති මංගල සමරවීර, එජාප සභාපති මලික් සමරවික්‍රම හා ලේකම් කබීර් හෂීම් යන තිදෙනාය. ඔවුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක් වුණාදැයි දැනගන්නට නැත.

පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන නොඒම ගැන ජනාධිපතිවරයාගේ විවේචනය එල්ල වුණේ තමන් වෙත බව තේරුම් ගත් එජාප පාර්ශ්වය පසුගියදා ඒ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායකගෙන් වාර්තාවක් කැඳවූයේය. නොවැම්බර් 15 වැනිදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට රත්නායක ඇමතිවරයා ඉදිරිපත් කළ ඒ වාර්තාවට අනුව, එෆ්සීඅයිඩීය විසින් විමර්ශන නිමවන ලද ලිපිගොනු 92ක් නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබේ. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණ ඉදිරියේ නඩු පවරා ඇත්තේ ඉන් විමර්ශන 13ක් සම්බන්ධයෙන් පමණකි. සීඅයිඩීය සිදුවීම් 38ක් ගැන විමර්ශන පවත්වා අවසන් කොට තිබේ. ඉන් 14ක් පුද්ගලයන් සම්බන්ධ අපරාධය. 24ක් දේපළ සම්බන්ධ අපරාධය. ඉන් නඩු පවරා ඇත්තේ 6කට පමණකි.

‘අපේ ආණ්ඩුවට මේ විමර්ශන සැඟවීමට වුවමනාවක් නැහැ. ඒ වුණත් වෙනත් පාර්ශ්වයන්ට තිබෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට සජින් වාස් ගුණවර්ධනගේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන අවසන් කරලා නීතිපතිවරයාට ලිපිගොනුව යවලා තිබෙනවා. ඒත් ඊට පස්සේ ඒකට මොකක් වුණාද කියන්න දන්නේ නැහැ’යි සාගල රත්නායක ඇමතිවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට කිව්වේය. ‘තාජුදීන්, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම්වල විමර්ශන අවසන් අදියරේයි තිබෙන්නේ. ඒත්, රජයේ ආයතන ඒ විමර්ශනවලට අවශ්‍ය සහාය දෙන්නේ නැහැ.’ ඔහු කියා තිබේ.

තාජුදීන්, එක්නැලිගොඩ, ලසන්ත ඝාතනවලට සන්නද්ධ හමුදාව, විශේෂයෙන් යුද හමුදාවේ පිරිස් සම්බන්ධ බවට දැන් ඕනෑවටත් වඩා තොරතුරු තිබේ. එහෙත් එම පරීක්‍ෂණ අවසන් කිරිමට අවශ්‍ය ඉතිරි තොරතුරු හමුදාවෙන් ලබාගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙන බව සීඅයිඩී නිලධාරීන් අධිකරණයට කියන්නේ බොහොම කාලයකට පෙර සිටය. හිටපු හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වාගේ කාලයේ ඒ තොරතුරු ලබා නොදුන් අතර, නව හමුදාපති මහේෂ් සේනානයක පත්වුණු පසුව තත්ත්වය යහපත් වනු ඇතැ’යි බොහෝ දෙනා සිතූහ. පත්වුණු විගස පැවැති මාධ්‍ය හමුවලදී හමුදාපති සේනානායක කීවේ, මිනීමරුවන් හා රණවිරුවන් වෙන්කොට හඳුනාගත යුතු බවත්, රණවිරුවන් නාමයෙන් සිටින මිනීමරුවන් ඉන් ඈත් කොට ඔවුන්ට නීතියෙන් දඬුවම් දිය යුතු බවත්ය. එහෙත්, මේ වන තෙක් නව හමුදාපතිවරයාද ප්‍රමාණවත් සහායක් එම පරීක්‍ෂණවලට දෙන්නේ නැති බව දැනගන්නට තිබේ. සාගල ඇමතිවරයා මේ විමර්ශන ගැන විශේෂයෙන් උපුටා දක්වන්නට ඇත්තේ, හමුදා බාරව සිටින්නේ ආරක්‍ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා නිසා වන්නට ඇත. ඒ අනුව එජාපය පරීක්‍ෂණ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුකරන්නේ ජනාධිපතිවරයා දෙසට බව පෙනෙයි.

මේ සාකච්ඡාව අවසානයේදී වංචා දූෂණ සම්බන්ධයෙන් නඩු විභාග ඉක්මන් කිරීම සඳහා වෙනම මහාධිකරණ තුනක් ඇතිකළ යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය යෝජනාවක් සම්මත කළේය. දැනටමත් අයවැයෙන් එම උසාවි තුන සඳහා මුදල් වෙන්කර ඇත. එක් උසාවියකට මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුක්ත මණ්ඩලයක් පත්කෙරෙන්නේය. එම නඩු දිනපතා ඇසීමට බලාපොරොත්තු වේ. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලකින් නඩු ඇසෙන නිසා, ඒවායේ අභියාචන යායුත්තේ කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයටය. එනිසා, මහාධිකරණ නඩුවල තීන්දුවලට අභියෝග කර අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා ගොනුකරමින්, දඬුවම් නොවිඳ කාලය ගතකිරීමේ අවස්ථාව මේ මගින් කෙටිවනු ඇත. එසේම එම නඩු මෙහෙයවීම සඳහා විශේෂ නඩු පැවරීමේ ජෙනරාල් ධුරයක් නීතිපතිවරයා යටතේ පිහිටුවීමටද එහිදී යෝජනා සම්මත කරගනු ලැබීය.

ඒ අතර හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අත්අඩංගුවට නොගැනීම ගැන මතුවී තිබෙන ආරාවුල තවත් ඉදිරියට ඇදෙමින් පවතියි. එෆ්සීඅයිඩීය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන විට ඔහුට රැකවරණය ලැබුණේ රජයේ ඇමතිවරයකු යටතේ බව වාර්තා විය. දැන් සීඅයිඩීය විසින් පවත්වන ලද විමර්ශනවලදී, ගාමිණී සෙනරත් සැඟවී උන්හිටි තැන් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයිද සඳහන්ය. කොහොම වුණත්, පොලිසිය අත්අඩංගුවට ගන්නට පෙර ගාමිණී සෙනරත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, ඉන්පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් දෙන්නට පැමිණියේය. මහේස්ත්‍රාත්වරිය, ප්‍රකාශයක් දෙන්නට අවශ්‍ය නම් යායුත්තේ එෆ්සීඅයිඩීයටයැ’යි කීවාය. කොහොම හරි ඔහු පොලිස් අත්අඩංගුවට ගන්නා ලදුව දැන් ඉන්නේ රිමාඞ් බන්ධනාගාරයේය.

ඒ අතර, ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගත්තේ නැතැයි චෝදනා කරමින්, සීඅයිඩියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පොලිස්පතිවරයාගේ නියමයෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන බදාදා වන විට දැනගන්නට ලැබිණි. ඇමතිවරයකුගේ ආවරණය යටතේ ගාමිණී සෙනරත් මහතා මෙතෙක් සැඟවී සිටි බවට පැහැදිලි තොරතුරු තිබියදී, ඒ බව සඟවා, ඒ පව, ඉතාමත් දක්‍ෂ හා කාර්යක්‍ෂම පොලිස් නිලධාරියකු මතින් පලදෙන්නට සැලැස්වීම ගැන පොලිසියේ, එෆ්සීඅයිඩියේ හා සීඅයිඩීයේ නිලධාරීන් දැන් පොලිස්පතිවරයා සමග සිටියේ බලවත් අමනාපයකිනි. එහෙත්, පසුව දේශපාලන ප්‍රධානීන්ගේද ඉහළ පෙළේ නීතිඥවරුන්ගේද මැදිහත්වීමෙන් තත්ත්වය සමනය කරගත හැකිවිය.
පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ දූෂණ සොයාබැලීමට ජනවරමක් ඇතුව පත්වුණු මේ ආණ්ඩුව, ඒ වංචා දූෂණ ගැන හරියට හොයන්නේවත් නැතිව, අනෙක් පැත්තෙන් තමනුත් මහා පරිමාණ වංචාවල යෙදෙමින්, ඒ සියල්ලටමත් වඩා ඒ කාරණා මත ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව අතර මතභේදද ඇතිකරගනිමින් නූල් බෝලයක පැටලී සිටින්නේ එහෙමය.■