ආණ්ඩුව, එජාපය, පොහොට්ටුව සහ ඇමති සාගල

මහාචාර්ය සරත් විජේසූරිය

2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවන්නේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන්ගේ එකතුවෙනි. ඒ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුව ලෙස නම් කෙරෙන්නේය. මේ තීන්දුවෙන් එජාපයේ මහජන නියෝජිතයන්ට සහ එජාප පාක්ෂිකයන්ට අසාධාරණයක් වූ සිදු වුණ බව කියැවිණි. එහෙත් ඔව්හු තත්වය තේරුම් ගත්හ. ඉතිහාසය පුරා ගහ මරා ගත් රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩුකරණයට අවතීර්ණ වූයේ මන් ද? ඊට අදාළ ප්‍රධාන හා වැදගත්ම හේතුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වන්නේය.

සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට ගන්නා ලද තීන්දුව රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් වූවක් බව පිළිගැනුණි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විදහා දැක්වූයේ ඇල්මැරුණ සොබාවයකි. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා පක්ෂ දෙක දක්වන උනන්දුව කොතරම් අවංක තත්වයක පවතින්නේ ද යන්න මේ වන විට පුරවැසියන්ට පෙන්නුම් කරමින් සිටින බව ද පෙනේ.

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන කතාබහ කරන විට ඔවුන් පවසා සිටියේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට යාමට අද තමන්ට අපහසු තත්වයක් තිබෙන බවයි. ඒ මන්දැයි විමසූ විට පැහැදිලිව ඒ කිහිප දෙනාම පැවසුවේ අපේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කටයුතු නිසා ජනතාව සමඟ කටයුතු කිරීම අභියෝගයක් වී තිබෙන බවයි. තමන් මුහුණ දී සිටින තත්වය අගමැතිතුමාට සාමූහිකව දන්වා සිටිය යුතු නොවේ දැයි ඇසූ විට ලැබුණ පිළිතුර මෙයයි.

“පසු ගිය මාසයේ අගමැතිතුමා දෙනියායට හතර වතාවක් විතර ගියා. එතුමාට අපේ ආසන වැදගත් නැත් ද දන් නෑ, අපට එතුමාව මුණ ගැහෙන්නවත් විදිහක් නෑ. ඔන්න අපේ තත්වෙ”
සාගල රත්නායක ඇමතිවරයාට සහ තවත් කීප දෙනෙකුට අගමැතිවරයාගේ අසාමාන්‍ය අවධානයක් හිමි බව එජාපයට පමණක් නොව රටට ම නොරහසකි. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිතුමා සලකන්නේ වහලුන් ලෙස දැයි කෝපයක් තිබෙන බවත් අසන්නට ලැබිණි.

සම්මුතිවාදී ආණ්ඩුවේ එජාපයට හිමි විය යුතු නියෝජ්‍ය අමාත්‍ය පදවි දෙකකට තවමත් අගමැතිතුමා මහජන නියෝජිතයන් නිර්දේශ කර නැති බව දැන ගන්නට තිබේ. මේ නියෝජ්‍ය ඇමති පදවි දෙක පක්ෂයේ දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නම් කොට ඒ අයගෙන් දෙදෙනෙකුට ලබා දෙන්නැයි පක්ෂයේ වගකිව යුතු පුද්ගලයෙකු අගමැතිතුමාට පවසා ඇතත් ජ්‍යෙෂඨත්වය ගැන සලකා බැලීමට අවශ්‍ය බවය පිළිතුර වී තිබෙන්නේ. ඒ වැදගත් පුද්ගලයාම සිනාසී පැවසුවේ සාගල රත්නායකගේ ජ්‍යේෂ්ඨත්වය ගැන විමසීමට තමාට සිතුණ බවය. සිදු වෙමින් පවතින කටයුතු විමසා බලන විට ඇති වන සාධාරණ සැකය වන්නේ තමාගෙන් පස්සෙ පක්ෂය තිබුණත් මොක ද? නොතිබුණත් මොක ද? යන මානසිකත්වයෙන් අගමැතිවරයා කටයුතු කරනවා ද යන්නය.

සම්මුතිවාදී ආණ්ඩුව
ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා පරාද කිරීමට වැඩ කළත්, හෘදය සාක්ෂියට එකඟව රාජපක්ෂවරුන් හා තව දුරටත් කටයුතු කළ නොහැකිය යන තීරණයට එළඹුණ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින කාරණය වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා පොහොට්ටුවට එජාපයෙන් ලැබෙන අනුග්‍රහයයි. එජාපයේ අවංක මහජන නියෝජිතයන් පවසන්නේ කුමන්ත්‍රණයකින් බලය උරුම කර ගැනීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි. තමන්ට අවශ්‍ය වන්නේ පක්ෂයේ දියුණුව ඔස්සේ නිසි ජන වරමක් ලබා ගැනීම බවයි.
රාජපක්ෂවරුන් සහ ඒ ආණ්ඩුවේ සිටි ගජමිතුරන්ට හා රාජපක්ෂකරණය වූ නිලධාරීන්ට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් රැකවරණයක් ලැබෙන බව එජාපයේ ඇතැම් මහජන නියෝජිතයන් ද පිළිගන්නා බව සත්‍යයකි. ගාමිණි සෙනරත් සම්බන්ධ කාරණය මුල් කරගෙන මේ අවලස්සණ කටයුත්ත වඩාත් හොඳින් අනාවරණය විය. සාගල රත්නායක අමාත්‍යවරයා නිවේදන නිකුත් කරමින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසයි. තමන් වරදක් කර නැති බවය එතුමා පැවසීමට උත්සාහ කරන්නේ. එතුමා පවසන්නේ සත්‍යයක් බව පිළිගැනීමට සරල ප්‍රශ්නයක් ඇසීමට පුළුවන. ඒ ප්‍රශ්නය මෙයයි.

“පොලිස්පතිවරයාට ලැබුණ සුප්‍රකට දූරකථන ඇමතුමෙන් සාගල රත්නායක ඇමතිතුමා කිසියම් නිලමේ කෙනෙකු ගැන සඳහන් කොට ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පවසා ඇති බව අනාවරණය විය. මේ නිලමේතුමා මේ වන විටවත් අත්අඩංගුවට ගැනිමට පොලීසිය අසමත්ය. ඒ මන් ද?”

මේ ප්‍රශ්නයට නීතිය හා සාමය භාර අමාත්‍යතුමා අපට නොව රටට, උත්තර බැඳිය යුතුය. මේ නිලමේතුමාට රැකවරණය ලබා දෙන්නේ ඇමතිතුමා නොව, දෙවුන්දර දේවාලයේ වැඩ වාසය කරන දෙවි කෙනෙකු දැයි එවිට සිතන්නට පුළුවන. කිවයුතු වන්නේ ලංකාවේ ප්‍රකට හෝ අප්‍රකට දෙවි දේවතාවුන් අතර ‘සාගල’ නම් දෙවි කෙනෙකු ගැන අසන්නට නොලැබීමයි.

ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තරයක් ගන්නේ අදාළ විමර්ශන නිලධාරීන් කථානායක නිල නිවසට ගොසිනි. ඒ කාලයේ කථානායක චමල් රාජපක්ෂය. ඔහු ශිරන්ති රාජපක්ෂගේ මස්සිනාය. මේ කටයුත්ත ඉතා අවලස්සණ බවත් ඒ සඳහා ඉඩ දුන්නේ මන් ද යන්නත් අපි අතීතයේ දිනෙක දී අගමැතිවරයාගෙන් විමසා සිටියෙමු. එතුමා දුන් උත්තරය මෙයයි.
“හිටපු ජනාධිපතිතුමා කළ ඉල්ලීම නිසයි ඒක කළේ”
අගමැතිවරයා දුන් මේ කෙටි පිළිතුරෙන් පැවසූ ගැඹුරු කාරණාව අපට වටහා ගන්නට වසරකට වැඩි කාලයක් ගත විය. කාලයක් ගත වුණේ, අගමැතිතුමා ඇතැම් වැඩ කරන්නේ හිටපු ජනාධිපතිතුමාගේ හිත සුව පිණිසය යන කාරණාව වටහා ගන්නටය.

සිරිලිය ගිණුම සම්බන්ධ සියලු විමර්ශන නිම කොට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු සඳහා ලිපිගොනුව භාර දී තිබෙන බව ප්‍රකට කරුණකි. නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඒ ලිපිගොනුව ගල් වී තිබෙන්නේ කාගේ අනුහසකින් ද? පසුගිය දිනක ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි වහලුන්ට නොදෙවෙනි පිරිසක්, භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු සහ පොහොට්ටුවේ නියෝජිතයන් පිරිසක් ‘ජාතියේ මව’ වෙනුවෙන් විරෝධතාවක් පළ කළහ. එහි ප්‍රතිඵලය ලෙස ජාතියේ මව නිරුපද්‍රිතව ගෙදර ගියේය. ඒ තත්වය ඇති කළේ, හා ඇයට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන්නේ කාගේ බලපෑමක් මත ද?

දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නිසි සහයෝගයක් නැති බව පිරිසිදු ඇත්තකි. මේ සියල්ල සිදු වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ යටි සූත්තරයක් වැඩ කරන නිසා බව පිළිගැනීමට සිදු වන්නේය. තතු එසේ නම් තව දුරටත් සම්මුතිවාදී ආණ්ඩුවෙන් යුක්තිය හා සාධාරණය අපේක්ෂා කළ නොහැකිය.

ශ්‍රීලනිපය කළ යුත්තේ කුමක් ද?
පොහොට්ටුව ඔස්සේ තම පක්ෂයට සිදු කරන අනර්ථයන් ගැන ශ්‍රීලනිපයේ මැති ඇමතිවරු මැසිවිලි නඟති. මාධ්‍ය ඔස්සේ අවලාද නඟති. මේ නිසා ජනතාව තුළ තිබෙන්නේ කලකිරීමකි. රාජ්‍ය බලය ඉවහල් කරගෙන පක්ෂය දෙකඩ කොට ආණ්ඩුකරණය ගැන එජාපයේ නායකත්වය වැඩ සටහනක් දියත් කර තිබෙනවා නම් එය පරාජය කිරීමය ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන් කළ යුත්තේ. එය කළ යුත්තේ ඇණුම් පද කියමින් සිත් වේදනා තුනී කර ගැනීමෙන් නොවේ. තීරණාත්මක කටයුතු මුල් කරගෙන ප්‍රබලව අභියෝග කිරීමෙනි. ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන්ට ඒ සඳහා ආත්ම ශක්තියක් නොපසු බස්නා වීර්යයක් තිබේ ද? එජාපයේ සියලු මහජන නියෝජිතයන් අධිකරණ අමාත්‍යවරයා ඉවත් කර ගැනීමට අවශ්‍ය අභියෝගය නායකත්වය අබිමුව එල්ල කළ බව විස්තර කළ යුතු නොවේ. එය සාර්ථක විය. අධිකරණ ඇමතිවරයා ඉවත් කර ගත් අන්දමට නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ඉවත් කර ගැනීමට එජාපයේ මහජන නියෝජිතයන් කටයුතු නොකරන්නේ කිසියම් බියක් නිසා බව පෙනේ. ඔවුන්ට බියක් ඇත්තේ ඇමතිවරයා ඉවත් කිරීම වෙනුවට, අගමැතිවරයා ඉවත් වේවි ද යන බිය වන්නට පුළුවන. මෙවැනි සංදර්භයක තවදුරටත් සාගල අමාත්‍යවරයා සම්බන්ධ ගැටලුවේ දී සාකච්ඡාවෙන් සම්මුතියෙන් අගමැතිවරයා සමඟ එජාපයටවත් ඳීශ්‍රීලනිපයටවත් ඉදිරියක් නැති බව පෙනේ.

එජාපයේ වැදගත් මහත්මයෙකු පැවසූ කරුණක් මෙසේය.
“අපේ ලොක්කට ඇහැරෙන්නෙ තමන්ගෙ නායකත්වයට අභියෝගයක් වෙනවනං විතරයි”
මේ අභියෝගය සිදු කිරීමට පවතින තත්වය තුළ එජාපය අසමත්ය. මේ අභියෝගය කළ යුත්තේ ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපය මේ අභියෝගය කළ යුත්තේ ද, අගමැතිවරයා කටයුතු කරන අවලස්සණ ක්‍රමවේදයක් ඔස්සේමය. ඒ ක්‍රමවේදය ගැන පැවසුවේ ද එජාපයේ මහත්මයෙකි.
“අයවැයට පක්ෂය ඡන්දය අවශ්‍ය නම් නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ඉවත් කළ යුතුයි කියන කොන්දේසිය ශ්‍රීලනිපය ප්‍රබලව පනවා එය ප්‍රථමයෙන් ඉටු කරගෙන සිටිය යුතුයි.”
එජාපය තුළ තිබෙන බලවත් විරෝධය මොනතරම් දරුණු දැයි මේ යෝජනාවම විශද කරන්නේය.
අධිකරණ ක්ෂේත්‍රයේ පවතින කසු කුසුවක් ද මෙහිදී සිහිපත් කළමනාය.
“එජාපය පොහොට්ටුවට උදව් කරන විදිහ අනුව පේන්නෙ රාජපක්ෂවරුන්ට ලොකු මිලක් ගෙවන්න ලෑස්ති බවයි. මේ හින්දා අපි වැඩ කරන්න ඕනැ බොහොම පරිස්සමට. යුක්තිය ඉටු කිරීමට වඩා අපේ ජීවිත අවදානම ගැන අපට හිතන්න වෙලා තියෙනවා.”

යටි කූට්ටු දේශපාලනය
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඇගේ පාලන සමය තුළ දී වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය නැති කළේ ඇයි ද යන ප්‍රශ්නය ගැන සිදු කෙරුණ කතාබහක දී දැන ගන්නට ලැබුණේ, ශ්‍රීලනිපයට එරෙහිව මහින්ද රාජපක්ෂ සමඟ කළ යටිකූට්ටු වැඩ නිසා ජනාධිපතිනිය ඒ තීන්දුව ගන්නා ලද බවය. අද එජාපයේ සියලු දෙනාටම තේරුම් ගැනීමට තිබෙන වැදගත් කාරණාවක් ඇත. ඒ කුමක් ද? එය නම් එජාප නායකයා මහින්ද රාජපක්ෂ සමඟ දීර්ඝ කාලයක් තිස්සේ යටි කූට්ටු දේශපාලනයක නිමග්නව සිටින්නේය යන්න ඒ කාරණාවයි. ඒ පුරුද්දෙන් මිදෙන්නට වික්‍රමසිංහ චරිතයට පුළුවන්කමක් නැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය මිතුරන් හත් අට දෙනා හැරුණ විට, ප්‍රශ්නයක් ඇති කර නොගත් අනෙක් ප්‍රාණසම මිතුරා ලෙස සැලකෙන්නේ මහින්ද රාජපක්ෂ බව අවධාරණයෙන් පවසන පුද්ගලයන් ගැන මම දනිමි. ඇතමෙකු කීවේ පිටතට කොහොම පෙනුණත් දිනේෂ් ගුණවර්ධන සමඟ තිබෙන මිතු දම ද කුඩා එකක් නොවන බවයි. තතු එසේ නම් මහින්ද රාජපක්ෂත්, දිනේෂ් ගුණවර්ධනත් මේ මොහොතේ කටයුතු කරන්නේ අගමැතිවරයාගේ අරමුණ මුදුන් පත් කිරීමට බව පිළිගැනීමට ද සිදු වේ.

යටිකූට්ටු දේශපාලනය රටකට යහපතක් සිදු කරන්නේ නැත. 2015 ජනාධිපතිවරණ සමයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී, දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තිබෙන කිහිප දෙනෙකුම මට පැවසුවේ වික්‍රමසිංහ මහතා කිසිම ලෙසකින් විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බවයි. ඔවුන් මහින්ද රාජපක්ෂ කෙරේ කලකිරී සිටියත් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිණිස උදවු කිරීමට ඉදිරියට පැමිණියේ නැත. ‘රනිල්ට ඔච්චර බය ඇයි?’ යන පැනය මම ඔවුන්ට යොමු කළෙමි. මගේ පැනයට ලැබුණ පිළිතුර මෙයයි. ‘එයා යටිකූට්ටු වැඩ කරන්නෙ. එහෙම කෙනෙක් විශ්වාස කරන්න බෑ‘ යන්නයි. මම ඔවුන් සමඟ වාද කළෙමි. ‘රනිල්ට බය ඇයි?’ යනුවෙන් මම ලිපියක් ද ලීවෙමි.

සෝභිත හාමුදුරුවන්ගේ දෙවැනි ගුණ සමරුවෙන් පසුව මට කතා කළ, අතීතයේ දිනෙක මා සමඟ වාද කළ පුද්ගලයෙකු මගෙන් ඇසුවේ, ‘එදා අපි කියපු දේ තමුසෙ අදවත් පිළිගන්නෙ නැද්ද?’ යන්නයි. මම නිහඬව සිටින විට ඔහු පැවසුවේ මෙයයි.
‘උගුර කඩා ගෙන කෑගැහුවට වැඩක් නෑ හලෝ. රනිල් මහින්දව ආරක්ෂා කරනවා. සාගල කරන්නෙ රනිල් කියන වැඩ.’
අපට අසන්නට ලැබෙන්නේ ඇත්ත නම්, සාගල ඉවත් කළත් පලක් තිබේ ද යන ප්‍රශ්නය ඊළඟට මතු වන්නේය. තිලක් මාරපන වෙනුවටය සාගල රත්නායක පත් කළේ. ඊට ප්‍රධාන හේතුව තමන්ට අභිමත අන්දමට නීතිය හා සාමය අමාත්‍යාංශය පාලනය කිරීමට තිබෙන උවමනාව විය යුතුය. අගමැතිවරයා කටයුතු කරන්නේ මොන තරම් පටු දැක්මකින් ද? මේ අන්දමට බලය තහවුරු කර ගැනීමට උත්සුක විම සූදු කෙළියෙන් ධනවත් විමට නොදෙවෙනිය. මොන පක්ෂයක වුව, මෙවැන්නෙකුට රාජ්‍ය පාලනයට වරම් ලබා දිය යුතු ද? මැතිවරණයක දී කොන්දේසි රහිතව මෙබඳූ පුද්ගලයෙකුගේ දේශපාලනය පරාද කිරීම රටේ යහ පැවැත්මට අවශ්‍ය වන්නේය.

පැමිණි දුර හා ඉතිරි දුර
පසු ගිය දිනෙක දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වුණ වැදගත් කතා බහක දී මතු කෙරුණ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආණ්ඩුවේ තත්වය කුමක් ද? යන්නයි. එහිදී අගමැතිවරයාට පක්ෂව අදහස් පළ කළ පාර්ශ්වය පෙන්වා දුන්නේ අගමැතිවරයා රටේ තත්වය ගැනවත්, පාක්ෂිකයන්ගේ කලකිරීම ගැනවත් කිසි දෙයක් තුට්ටුවකට මායිම් නොකරන ඉතා අවිචාරවත් තැනකට පත්ව සිටින බවයි. ඊට හේතුව කුමක් දැයි විමසන විට ලැබුණ පිළිතුර මෙයයි.
“අගමැතිවරයාට ජනතාවට දැනෙන විදිහට කිසිම වැදගත් දෙයක් කරන්න බැරි වුණා. රට කැළඹෙන දේවල් තමයි කළ තරමක් කළේ. දැන් එතුමා කල්පනා කරන්නෙ කොහොම හරි බලය තහවුරු කර ගන්න විතරයි.”

මේ සාකච්ඡාවට ඇහුම්කන් දී සිටි පුද්ගලයෙකු ලෙස මා කල්පනා කළේ අගමැතිවරයා සමඟ වැඩ කළ පුද්ගලයන්ගෙන් අමනාප නොවී ඔහු සමඟ සිටින්නේ කී දෙනෙකු ද යන්නයි. ඉන්නේ අතේ ඇඟිලි ගාණට පිරිසකි. මට අවංකව සිතුණේ එජාපය පක්ෂයක් වශයෙන් ජීවමානව පවතින්නේ පක්ෂයේ පදනම නිසා මිස නායකයාගේ නායකත්වය නිසා නොවන බවයි.
ජනාධිපතිවරණය නිම වූ සැණින් වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිව්රුම් දීමට නොපමාව කටයුතු පිළියෙළ කර ගන්නේය. අගමැති පදවියේ දිව්රුම් දුන් වහාම ජනාධිපතිවරයා හැකි ඉක්මනින් බල රහිත කර දැමීමට කල්පනා කිරීම නිසා නීති ගරුක පුරවැසියන් ඉමහත් වෙර වීරියෙන් ගොඩ නඟන ලද පදනම දෙදරා තිබේ. එතැන් සිට ජනාධිපතිවරයාට සාධාරණ සැකයක් ඳී අවිශ්වාසයක් ඇති වෙන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා ද තමන්ට ගැළපෙන මාවතක් ගැන සිතන්නට පෙළඹෙන්නට ඇත. එබඳූ වාතාවරණයක් තුළ සම්මුතිවාදී ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් පැවතීම ද පුදුම සහගතය. මහින්ද රාජපක්ෂ පෝ දිනවලින් ආණ්ඩුව පෙරළා දමන බවට ගණන් බැලුවේ ද විහිළුවට නොවිය යුතුය.

19 වෙනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණ බලය අහෝසි වීම නොවන්නට මේ ආණ්ඩුව නොපවතින්නට ඉඩ තිබුණි. ආණ්ඩුවේ ඉතිරි කාලය තීරණාත්මකය. අගමැතිවරයා සිය මිතුරන් ආරක්ෂා කර ගැනිමට කැපවී කටයුතු කිරීමත්, මහින්ද රාජපක්ෂගේ පිළිසරණින් බලය තහවුරු කර ගැනීමට, මැතිවරණ දිනා ගැනීමට, සූදානම් වීමත් නීති ගරුක පුරවැසියන් ඉවසිය යුතු ද? එජාපයේ වැදගත් මහත්තුරු ඉවසිය යුතු ද?
ජනාධිපතිවරණයකින් ජය ලබා ගැනීමට නොහැකි පුද්ගලයෙකුට ජනමත විචාරණයකින් ජය ලබා ගත හැකි ද? මේ බරපතළ ප්‍රශ්නයකි. මේ වූ කලී රටේ අනාගතය සම්බන්ධ තීරණාත්මක කාරණාවකි. මේ ප්‍රශ්නය රටට හිතකර අන්දමට විසඳා ගැනීමට තවමත් කාලය තිබේ. ඒ සඳහා බිඳී තිබෙන සිත් සමහන් විය යුතුය. පෑරුණ තුවාල සනීප කර ගත යුතුය. එහි වගකීම එහෙම පිටින්ම තිබෙන්නේ අගමැතිවරයා අතේය. පවතින තත්වය තුළ සාධනීය එකඟතාවකට පැමිණීමට නම් සාගල රත්නායක නොපමාව නීතිය හා සාමය භාර අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුමය. එය නොකළහොත් තුවාල තවත් පෑරේ. බිඳූණ සිත් මොන ලෙසකින්වත් නොපෑහේ.

අගමැතිවරයා පියවි සිහියෙන් කල්පනා කළ යුතු දෙයක් ඇත. සාගල රත්නායක තව දුරටත් නීතිය හා සාමය භාර අමාත්‍ය පදවියේ තබනවා ද? තබනවා නම් ඊට අදාළ වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් තමන්ට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට ඔහු අවශ්‍ය බවය. එවැනි තත්වයක් නැත්නම් ඒ බව රටට පෙන්විය යුතුය.
එජාපයේ සාමාජිකයන්, පක්ෂයට ළැදි සාමාජිකයන් අවබෝධ කර ගත යුතු දෙයක් ද තිබේ. පක්ෂයේ නායකයාට නිසි උපදෙසක් දෙන්නට ලංකාවේ ජන විඥානය නොහඳූනන රාජකීය මිතුරන් හත් අට දෙනාට නොහැකිය. එසේ නම් කළ යුත්තේ කුමක් ද?
එජාපයේ අනාගත ඉරණම පමණක් නොව, ලංකාවේ දේශපාලන අනාගතය තීන්දු වන්නේ ද මේ ප්‍රශ්නයට සොයා ගන්නා පිළිතුර මතය.■