රාවය

තුවාල වූ හෘදය සාක්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විවාදය ගැන තවදුරටත්

තුවාල වූ හෘදය සාක්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විවාදය ගැන තවදුරටත්

ජයදේව උයන්ගොඩ

විවරණය කිරීමට වටිනා දේශපාලන තේමා ගණනාවක්ම මේ සතියේද තිබේ. ඉන් වැදගත්ම දෙය දැනට අප රටේ දේශපාලන විවාදයේ ප්‍රධාන තේමාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනයි.

මෙම විවාදයේ පාර්ශ්වයක් ගන්නේ නැතිව, එයින් පියවරක් පස්සට තබා, දේශපාලනය ගැන තරමක් ශාස්ත්‍රීය ලෙස බලන කෙනෙකුට පෙනෙන කාරණයක් තිබේ. එය නම් ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක ප්‍රධාන අභියෝගයක් වන්නේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය කෙසේ කළමනාකරණය කරන්නේද යන්නයි.
දැනට තිබෙන ව්‍යවස්ථාව මූලික ප්‍රතිසංස්කරණවලට භාජනය කිරීමට ගත් සෑම ප්‍රයත්නයකදීම, එය වටා දේශපාලන ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් මතුවී ඇත. විශාල විරෝධතා පැනනගී. විශේෂයෙන්ම සිංහල සමාජයේ සංස්කෘතික, මතවාදී සහ ආගමික කණ්ඩායම් දේශපාලන වශයෙන් ඉතාම සක්‍රිය වන්නේ මෙවැනි අවස්ථාවලය. විශ්වවිද්‍යාලවල සාහිත්‍යය උගන්වන තරුණ භික්ෂූන් වහන්සේලාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් බවට පත්වීමද මෙම පසුබිම තුළ සිදුවීම, අප සමාජයේ සමාජ විඥානය ග්‍රහණයට ගැනීමට ජේආර් ජයවර්ධන මහතා 1978දී ලංකාවට ප්‍රදානය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වන පුදුමාකාර ශක්තිය ප්‍රදර්ශනය කරන්නකි. මෙය කෙනෙකුට නිරීක්ෂණය කළ හැකි ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දේශපාලනයේ’ එක් වැදගත් පැත්තකි. වෙනත් වචනයකින් කියනවා නම්, යෝජිත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට එල්ලවී ඇති දැඩි ප්‍රතික්ෂේපවාදී ප්‍රතිචාරවලින් පෙනෙන්නේ, ජයවර්ධන මහතාගේ අධිකාරවාදී, නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳ විශාල භීතියක්, සිංහල සමාජයේ දේශපාලන අවිඥානය තුළ මුල් බැසගෙන තිබෙන බවයි. දේශපාලන අවිඥානයේ ඇති එම භීතිය ප්‍රකාශ කරන්නේ, සිංහල සමාජය අවිඥානකව විඳින ඉතා බලගතු අනාරක්ෂිතභාවයකි.
මේ අනාරක්ෂිතභාවයට ආමන්ත්‍රණය නොකරන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයකට සාමකාමීව සාර්ථකවීමට ඇති ඉඩකඩද සීමාසහිත බව පෙනේ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමට බලයේ සිටින පාලනතන්ත්‍රය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මාධ්‍යය කොට ගන්නේ නම් එය ප්‍රජාතාන්ත්‍රික එකක් විය නොහැකිය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දේශපාලනය වෙතින් පැනනගින මහා උභතෝකෝටිකය දැන් අපට හඳුනාගත හැකිය. “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනයෑමට අප රටේ ඇත්තේ මඳ සමාජ අවකාශයකි.”

මේ උභතෝකෝටිකයට හේතු බොහොමයක් තිබිය හැකිය. මෙහිදී මට පෙනෙන ප්‍රධාන කාරණයක් නම්, පසුගිය කාලයේ දශක කිහිපයක් පැවති සිවිල් යුද්ධයේ කම්පනයෙන් ගොඩඒමට සහ එහි තුවාල සුවකර ගැනීමට, විශේෂයෙන් සිංහල සමාජයට තවමත් නොහැකි වී තිබේය යන්නයි. යුද්ධයේ ඍජු වින්දිතයන් වූයේ ද්‍රවිඩ හා මුස්ලිම් ප්‍රජාවත්, උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම්, සිංහල වැසියනුත් බව ඇත්තයි. ඒ සමඟම අප ප්‍රමාද වී හෝ පිළිගත යුතු කරුණක් නම් එම යුද්ධයේ ඍජු වින්දිතයන් නොවූ මෙන්ම එහි ආශීර්වාදකරුවන් වූ සමාජ කොටස්ද යුද්ධයේ වින්දිතයන් වූ බවයි. සිංහල සමාජයට සිදුවී තිබෙන බව පෙනෙන්නේ මෙවැනි දීර්ඝකාලීන වින්දිත තත්ත්වයකට පත්වීමකි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා ගන්නා සෑම ප්‍රයත්නයකදීම සිංහල සමාජයේ ‘හෘදය සාක්ෂිය’ ලෙස සැලකෙන බුද්ධිමය ස්ථරවලින් ප්‍රකාශ වන ප්‍රධාන භාවයන් දෙකක් තිබේ. භීතිය සහ සංශයයි. ‘ප්‍රතිසංස්කරණ අවශ්‍යම නෑ’ යන ප්‍රතිචාරයේ සිට ‘මේ වෙලාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නෑනේ’ යන ප්‍රතිචාරය දක්වා ප්‍රකාශ වන්නේ මෙම මනෝභාවයන් දෙකයි. සිංහල බෞද්ධ සමාජය තුවාල වූ, හානියට පත්වූ හෘදය සාක්ෂියක් සහිත සමාජයක් වීම එයට හේතුව නොවේද?

දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංශය සහ භීතිය ප්‍රධානම ප්‍රතිචාරාත්මක මනෝභාවයන් වීම සමඟ තවත් ගැටලුවක්ද මිශ්‍රවී තිබෙන බව පෙනේ. එය නම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලින් පසුව ඇතිවන අනාගතය පිළිබඳව දැනට ප්‍රකාශ වන සාතිශය අවිනිශ්චිතභාවයයි. එයද තුවාල වූ හෘදය සාක්ෂියක් සහිත සමාජයක ලක්ෂණයකි. මෙම අවිනිශ්චිතතාව වඩාත් දැඩිව ප්‍රකාශයට පත්වන්නේ ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් බව පෙනේ. පසුගිය සති කිහිපය තුළ දිගහැරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විරෝධයේ ඉතා වැදගත් දේශපාලන ප්‍රතිචාරය ලෙස මට පෙනෙන්නේ, බලය විමධ්‍යගත කිරීමට නොව ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඇති විරෝධයයි. බලය විමධ්‍යගත කිරීමට විරෝධය ආවේ මෙම විරෝධයේ මුලදීය. එහෙත් විවාදය පරිණත වනවිට මතුවූයේ ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම නිසා ඇතිවූ අනාරක්ෂිතභාවයක් පිළිබඳ භීතියයි. “මේ වෙලාවේ අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ නෑ” යනුවෙන් ආ ප්‍රතිචාරයේ තිබෙන්නේ මේ විරෝධයේ නිමිත්තේ ඇතිවූ වෙනසයි.

මගේ අදහෙස් හැටියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන්නේ නම්, එහිදී සිංහල සමාජයෙන් මතුවන විරෝධය බොහෝ දුරට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නිසා ඇතිවන දේශපාලන අවිනිශ්චිතභාවයේ හැඟීම් වෙතින් සකස්වීමට ඉඩ තිබේ. ඡන්දදායකයන් එසේ කරනු ඇත්තේ, උත්සන්න වන දේශපාලන විවාදය තුළ භීතිය, සංශය සහ අවිනිශ්චිතතාව ප්‍රධාන සමාජ-දේශපාලන මනෝභාවයන් බවට පත්වීමේ දේශපාලන අවකාශය තුළය. රනිල් වික්‍රමසිංහ සහ ජයම්පති වික්‍රමරත්න යන දෙපළ මේ ගැන බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුය. රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව සිංහල සමාජයේ විඥානයේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය සහ නිර්භීතිය ඇති නොකරන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකට සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩු බව මගේ අදහසයි.

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දේශපාලනයේ තවත් ගැටලුවක් දැනට මතුවී තිබේ. එය යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර ගතිකත්වයන් සමඟ බැඳී තිබෙන්නකි. එය නම් යහපාලන ආණ්ඩුවේ ‘චර්යාධාර්මික මොහොත’ යළි කැඳවාගත නොහැකි ලෙස අහෝසි වී ඇති බවයි. ආණ්ඩුවේ නායකයන් නොදැන සිටින, එහෙත් අප රටේ ඡන්දදායකයන්ගේ දේශපාලන විඥානය 2015 මැතිවරණ අවස්ථාවලදී හැඩගස්වා තිබුණු සාධකයක් වූයේ, දේශපාලනයට චර්යාධාර්මික මූලධර්ම නැවත ගෙන ආ යුතුය යන්නයි.

රාජ්‍ය බලය අවභාවිත නොකිරීම, දූෂණයෙන් තොර ආණ්ඩුකරණය, ආණ්ඩුකරණයේ විවෘතභාවය, බලයෙන් ආඩම්බර නොවීම, මහජනතාව මෝඩ පිරිසක් ලෙස නොසැලකීම යන මේවා 2015 ජනවාරි මස සිදුවූ පාලනතන්ත්‍ර වෙනසේ ගැබ්වූ තිබුණ දේශපාලන චර්යාධාර්මික අපේක්ෂාවන්ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මාසයේදී ඡන්දය දීමට තරුණ සහ අලුත් ඡන්දදායකයන් තීරණය කළ එක් සාධකයක් වූයේ එතුමාත්, අලුත් සභාගයත් මෙම චර්යාධාර්මික මොහොතේ නියෝජිතයන් ලෙස පෙනීසිටි නිසාය. දැන් ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න අතර ප්‍රධාන එකක් වන්නේ එහි දේශපාලන චර්යාධාර්මික හිස් බවයි. ගාමිණී සෙනරත් පිළිබඳ විවාදය එහි ඉතා සුළු ප්‍රකාශනයක් පමණි.■