ලංකා ඊනිව්ස් තහනම, නිදහස සහ සදාචාරය

ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් සහිත ලංකා ඊනිව්ස් ‘යහපාලන’ ආණ්ඩුව විසින් තහනම් කිරීම දැන් මාධ්‍ය නිදහස සඳහා සටන් කරන මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැක තිබේ. දැන් වාරණයට සතියකට වැඩිය. මෙම වාරණය හුදෙක් ආණ්ඩුවේ ටෙලිකොම් අන්තර්ජාලය විසින් පමණක් නොව මෙරට අනෙක් සියලුම අන්තර්ජාල සැපයුම්කරුවන්ද විසින් පවත්වාගෙන යන සමස්ත වාරණයකි.

මෙම වාරණය සඳහා නියෝගය දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බව අන්තර් ජාතික පුවත් සේවාවක් වන ප්‍රංශ පුවත් සේවාව වාර්තා කරන ලදි. එම ප්‍රකාශය ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප කර නැත. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වන ජනාධිපති සිරිසේනගේ සහෝදරයා කුමාරසිංහ සිරිසේනගේ අනුදැනුමක් නොමැතිව මෙම තහනම ක්‍රියාවට නැංවිය නොහැකිය. එමෙන්ම ජනාධිපති සිරිසේනගේ අනුදැනුමක් නොමැතිව කුමාරසිංහ සිරිසේන මෙවැනි තහනමක් පනවනු ඇතැයිද සිතිය නොහැක.

ලංඩනයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය තහනම් කරන ලද්දේ නොවැම්බර් 08වන දාය. ඊට පෙර සතිය පුරා ලංකා ඊනිව්ස් අඩවිය පළකළ පුවත්වලින් ජනාධිපති සිරිසේන දරුණු ලෙස විවේචනය කර තිබුණි. පසුගිය කාලය පුරාම එම වෙබ් අඩවිය ජනාධිපති සිරිසේන දැඩි ලෙස විවේචනය කරන පිළිවෙතක් අනුගමනය කළේ අගමැති වික්‍රමසිංහ සහ එජාප දේශපාලනඥයන් ඔසවා තබමිනි.

ඉන් එක පුවතක සඳහන් වූයේ විශාල කොමිස් මුදලක් ලබාගැනීමට රුසියාවෙන් යුදනැවක් මිලදී ගැනීමට ජනාධිපතිවරයා දරන ලද තැත අසාර්ථකවී ඇති බවයි. දින කිහිපයක් පැවැති පෙට්රල් හිඟය ජනාධිපතිගේ කළුසල්ලි ජාවාරමට වාසියක් කරගන්නට යන්නේයැයි තවත් පුවතක් පළවිය. දෙමසකින් පසු ඉවත්කරන ලද නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාට මඩ ගැසීමට ජනාධිපති මාධ්‍ය ඒකකය රහසිගතව පවත්වා ගෙනයන වෙබ් අඩවි යොදාගන්නේයැයි තවත් පුවතක් විය. රූපවාහිනී නාලිකා සඳහා විද්‍යුත් සංඛ්‍යාත ජනාධිපති සිය හෙංචයියන්ට දී ඇතැයිද පුවතක් විය. ජනාධිපතිවරයාට පක්ෂපාත මහාරාජා මාධ්‍ය ජාලයටද ලංකා ඊනිව්ස් දරුණු ප්‍රහාර එල්ල කරයි. ජනාධිපති විසින් පත්කරන ලද බැඳුම්කර කොමිසමට ලංකා ඊනිව්ස් ප්‍රහාර එල්ල කළේ රවි කරුණානායක ආරක්ෂා කරමිනි. එහි නිර්දය ප්‍රහාරයට ලක්වන එකම මුල් පෙළ එජාප ඇමැතිවරයා මංගල සමරවීරය.

මේ ජනාධිපති සිරිසේනට එල්ල කරන ලද විවේචන අතුරින් කිහිපයක් පමණි. මෙරට පුවත් වෙබ් අඩවි බොහොමයක් සිය පුවත් සඳහා මූලාශ්‍ර ඉදිරිපත් නොකරන බැවින්ද අනෙක් පාර්ශ්වයේ අදහස් සඳහා අවස්ථාවක් නොදෙන බැවින්ද මේ විවේචන සත්‍යද නැත්ද යන්න තීරණය කිරීම දුෂ්කරය. එහෙත් එම පුවත්හි ඉදිරිපත් කරන ලද කරුණු සහමුලින්ම අසත්‍යයැයි කීමද දුෂ්කරය.
පසුගිය කාලය පුරා ලංකා ඊනිව්ස් විසින් රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීම පිණිස පළකරන ලද පුවත් දෙස බලන විට එම අඩවිය තහනම් කිරීමට වික්‍රමසිංහට හෝ එජාපයට අවශ්‍යතාවක් ඇතැයි සිතිය නොහැක්‍. එබැවින් මෙම තහනම පිටුපස ජනාධිපති සිරිසේන සිටින්නේයැයි අපට බොහෝ දුරටම අනුමාන කළ හැකිය. සතියක් ගතවීමෙන් පසුත් එම තහනම ඉවත් නොකර තිබීමෙන් පෙනෙන්නේ රාජපක්ෂ අවතාරය ජනාධිපති සිරිසේනට වැහීගෙන එන බවයි. (කලක් ලංකා ඊනිව්ස් සිරිසේන ඔසවා තැබීම සිය පිළිවෙත කරගෙන තිබුණි.)

ලංකා ඊනිව්ස් විසින් ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් පළකරන ලද පුවත් අසත්‍ය නම් ඊට මුහුණ දීමට ජනාධිපතිවරයාට ඇති තරම් මුදල්ද වෙබ් අඩවි පමණක් නොව ඇති තරම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ද තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී නම් කළයුත්තේ එයයි. මාධ්‍යයට වාරණයෙන් නොව මාධ්‍යයෙන් පිළිතුරු දීමය. වාරණය යනු ස්වකීය මාධ්‍ය සහ ප්‍රචාරණ හැකියාව අසාර්ථක බව ව්‍යංගයෙන් පිළිගැනීමයි. ජනාධිපති සිරිසේන, සමස්ත දේශපාලන චිත්‍රය තුළ පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්නය එයයි. එනම් තමාට සාර්ථක ප්‍රචාරක යාන්ත්‍රණයක් නැත්තේ ඇයිද යන්නයි. ඊට පිළිතුරක් නැති ඔහු අන්තිමේදී තනි මිනිසකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියකට බියවී මර්දනය අතට ගත්තේය.

මාධ්‍ය මර්දනය කිරීමේ අවශ්‍යතාව ඇත්තේ සිරිසේනට පමණක් නොවේ. වික්‍රමසිංහටද අවශ්‍ය වන්නේ ගැති මාධ්‍ය සංස්කෘතියකි. ඊට හොඳම නිදසුන අද රාජ්‍ය මාධ්‍ය පවත්වාගෙන යන පක්ෂග්‍රාහී පිළිවෙතයි. රජයේ ලේක්හවුස් පුවත්පත් කිසිවක (මා කියවන්නේ අන්තර් ජාල සංස්කරණයන්ය) මෙම තහනම හෝ එම තහනම හෙළාදකිමින් මෙරට ජනමාධ්‍ය සංවිධාන පහක් විසින් වෙන වෙනම නිකුත් කරන ලද එකුදු නිවේදනයක් හෝ වාර්තා කළේ නැත. මාධ්‍ය නිදහස ගරු කරන්නේ නම් මෙම තහනම පිළිබඳව රාජ්‍ය පාලිත පුවත්පත්හි, ගුවන් විදුලියෙහි සහ රූපවාහිනියෙහි දැනුවත් සංවාද ගොඩනැගිය යුතුව තිබුණි. එහෙත් ඒ සියලු ආයතන දැන් ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට පත්ව තිබේ. සිය ගන්දස්කාරය වසාගැනීමට ඒවාට නොහැක.
තමන් යටතේ පාලනය වන දැවැන්ත මාධ්‍ය ජාලය අගතිගාමී ලෙස ගැති මාධ්‍ය බවට පත්කර ගන්නා රජයකින් මාධ්‍ය නිදහස සුරැකෙනු ඇතැයි කල්පනා කිරීම පසුගිය දශක පහම පුරා මෙරට ජනමාධ්‍ය මුහුණදුන් අත්දැකීම අමතක කිරීමකි. මෙරට කවර ආණ්ඩුවක් යටතේ වුව ජනමාධ්‍ය නිදහසේ ප්‍රධානතම දර්ශකයක් වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍යජාලා සම්බන්ධයෙන් දක්වන පිළිවෙතයි. රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය නොකරන ආණ්ඩුවක් ජනමාධ්‍ය පාලනයේ සහ මර්දනයේ ආණ්ඩුවක් බවට නිතැතින්ම පත්වෙයි.

ලංකා ඊනිව්ස් තහනම ගැන මුනිවත රකින රජයේ නොවන ජනමාධ්‍යද වෙයි. මුස්ලිම් සහ දෙමළ ජනමාධ්‍ය සංවිධානද තවම නිහඬය. මෙම සියලු දෙනාම මතක තබාගත යුත්තේ ලබ්බට තැබූ අත පුහුලට තැබීම සුළු දෙයක් බවයි. රාජපක්ෂ සමයේද ලංකා ඊනිව්ස් මෙන්ම ලංඩනයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි ගණනාවක්ද තහනම් කර තිබුණි. එනමුත් එම තහනම් නොතකා එම වෙබ් අඩවිවලට යෑමට මෙරට පාඨකයා ඉක්මනින්ම පුරුදුවූහ.
වෙබ් වාරණයක ඇත්ත බලපෑම වන්නේ පුවත් පැතිරයාම වැළකීමට වඩා බියගැන්වීමයි. එනම් අන් සියල්ලන්ටම පාඩමක් ඉගැන්වීමය. විවේචනය දුර්මුඛ කිරීමය. එමෙන්ම එයට ලැබෙන වෙළෙඳ දැන්වීම් නතරකර එය ආර්ථික වශයෙන් දුර්මුඛ කිරීමය. වාරණයේ භයංකාරත්වය නම් එය විසින් ඇතිකරන මෙකී බියජනක වටපිටාවයි.

ලංකා ඊනිව්ස් තහනම හෙළාදුටු මෙරට මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරීහු බොහොමයක් එම වෙබ් අඩවිය මාධ්‍ය ආචාර ධර්ම නොසලකන බවද සදහන් කිරීමට වගබලා ගත්හ. හරියට ඒ වෙබ් අඩවියේ වැරදිවලට අප අල්ලාගන්න එපා කියන්නා සේය. රජයේ හිටපු පුවත් අධ්‍යක්ෂ කියාතිබුණේ ලංකා ඊනිව්ස් මාධ්‍යයක්දැයි කීමට තමා නොදන්නා බවයි. තවත් එවැනි ට්විටර් සඳහනක වූයේ එය ඕපාදූප වෙබ් අඩවියක් බවයි.

මාධ්‍ය සදාචාරයේ අංක එක මාධ්‍ය නිදහසය. බොරු නොකියන, මඩ නොගසන, ඕපාදූප නොපතුරුවන, විසමාචාරයේ නොයෙදෙන මාධ්‍ය නැති රටක් ලෝකයේ තිබී හෝ ඇත්තේ හෝ නැත. ඒ නිසා අප මාධ්‍ය නිදහස එපායැයි නොකියමු. එබැවින් මා සිතන්නේ ලංකා ඊනිව්ස් තහනම හෙළාදැකීම ආචාර ධර්මවලට සම්බන්ධ නොකළ යුතු බවය. එය තහනම් කර ඇත්තේ ආචාර ධර්ම කඩකරන නිසා නොව ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරන නිසාය. ලංකාවේ ප්‍රධාන පුවත්පත් කීයක් ඕපාදූප නමින්ම පිටු පවත්වාගන්නේද? ආණ්ඩුවේ මාධ්‍ය ජාලාවල ඕපාදූප නැත්ද? දිවයින පත්තරය කොතරම් දුරාචාරවත්ද? ඒ නිසා එය තහනම් කළ යුතුද? ඊටත් වඩා ඕපාදූප අඩවි බවට පත්වන්නේ සිංහල මාධ්‍ය පමණද? ඉංග්‍රීසි බසින් අවලාද සහ ව්‍යාජ කතා පතුරුවන වෙබ් අඩවි කීයක් නම් ඇත්ද?

මාධ්‍ය අද මෙරට මෙන්ම ලොව පුරාද මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වන්නේ අන්තර්ජාලය විසින් ඇති කරන ලද අවකාශයෙහි පැතිරෙන අතේ රෝල් මාධ්‍ය දුරාචාරයයි. එය සමඟ සටන්කළ හැක්කේ මර්දනයට සහාය දීමෙන් නොව යහපත් ජනමාධ්‍ය ඇතිකිරීමෙන් සහ එවැනි මාධ්‍යයන්ට සහාය දීමෙන් පමණි.

ලංකා ඊනිව්ස් ගැන පමණක් නොව සමස්තයක් වශයෙන්ම මාධ්‍ය සදාචාරය ගැඹුරු සාකච්ඡාවකට ලක්කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් මාධ්‍ය ආයතනයක් මර්දනයට ලක්වන කළ අප බැලිය යුත්තේ මාධ්‍ය නිදහස මූලික කරගෙනය. සමාජ වගකීම මූලික කර නිදහස දෙවැනි තැනට දැමීම යනු වක්‍රාකාරයෙන් මර්දනයට සහාය වීමකි.■