රාවය

මුදල් ඇමතිවරයා ධනාත්මකව තම කාර්යය ඉටුකරලා තියෙනවා

මුදල් ඇමතිවරයා  ධනාත්මකව  තම කාර්යය ඉටුකරලා තියෙනවා

තරිඳු උඩුවරගෙදර

මෙවර අයවැය මේ ආණ්ඩුවේම කලින් අයවැය එක්ක සංසන්දනය කළොත් ඔබ දකින්නේ කොහොමද?
මංගල සමරවීර ඇමතිවරයාගේ අයවැය බොහෝ පැතිවලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් අයවැය කතාව දිහා බලද්දීම අපට දැනෙනවා ඔහු තමන්ගේ අභ්‍යන්තරයෙන් එන දේවල් තමයි කියන්නේ කියලා. කලින් මුදල් ඇමතිවරයා අයවැය කියවද්දී බලන අයට හිතෙනවා ඔහුගේ හිතේ මේවා නැහැ, කවුරු හරි ලියලා දීපු කොළයක තියෙන දේ කියවනවා විතරයි කියලා. අනෙක් අතට පරණ ආණ්ඩුවට බණින්න විනාඩි පහක් පමණ තමයි ගත්තේ. ඉතිරි පැය දෙකහමාරම ගත්තාම කරුණු ඉදිරිපත් කරන්නයි ඔහු කාලය වැයකළේ. අයවැය කරුණුවලින් පිරී තිබුණා.

මංගල සමරවීර අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නාද?
ඔහුට ප්‍රධාන බාධක තුනක් තිබුණා. ඉදිරි කාලය තුළ ඔවුන්ට මැතිවරණ හතරකට වගේ ඉදිරිපත් වෙන්න තියෙනවා. පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. ඡන්දදායකයා සෑහීමකට පත්වෙන විදියට අයවැය ඉදිරිපත් කරන්න වෙනවා. දෙවැනි කාරණය තමයි ඔහු සන්ධාන ආණ්ඩුවක ඉන්නේ. පක්ෂ දෙකේ, අහසට පොළොව වගේ ප්‍රතිපත්තිවලට අයවැය ගැළපෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂයේ විවේචනවලට මුහුණදෙන්න වෙනවා. ජවිපෙ කියන්නේ මේක නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුව හදපු අයවැයක් කියලා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදපු අයවැයක් කියලා. මේ දෙපාර්ශ්වයම ගෙනෙන තර්ක බිඳහෙළන්න ඒ විවේචකයන්ව හෙළා දැකීමෙන්, ඔවුන්ට සමච්චල් කිරීමෙන් බැහැ. ඒ වෙනුවෙන් ඒ තර්ක තරම්ම ප්‍රබල ප්‍රතිතර්ක නඟන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය තරම් නිපුණ විවාදකරුවන් ඔහුගේ පක්ෂයේ නැහැ. එජාපයෙ ඉන්න කථිකයන් ප්‍රතිවාදියාගේ පෞද්ගලික හෝ දේශපාලන භාවිතාව විවේචනය කරමින් සමච්චලයට ලක් කරන්න මිසක් හොඳ තර්ක ගෙනෙන්න දක්ෂයෝ නෙවෙයි. 2015-2020 අතර දිවෙන ආණ්ඩුවේ මැද එන අයවැය ලේඛනයක් මේක. එතකොට මීට පෙර තිබුණු ප්‍රතිපත්ති සහ අනාගතය පිළිබඳ ප්‍රතිපත්ති කියන දෙකටම මේක සම්බන්ධ වෙනවා. ඉතාම දුෂ්කර කාර්යභාරයක් තමයි මුදල් ඇමතිවරයා විදියට මංගල සමරවීර ඇමතිවරයා ඉටුකරලා තියෙන්නේ. මේකේ දුර්සාධනීය ලක්ෂණ තියෙන බව ඇත්ත. ඒත් සමස්තයක් විදියට ගත්තාම මංගල ඇමතිවරයා ධනාත්මක විදියට තමන්ගේ කාර්යභාරය ඉටුකරලා තියෙනවා. මංගල ඇමතිවරයා මැදිහත් හිතින් බලලා තමන්ගේ අතින් වුණ වැරදි ටික හදාගත්තොත් අයවැය ලේඛනය හොඳයි.

අයවැයේ ඔබ දකින ප්‍රධානම අඩුපාඩුව මොකක්ද?
ලංකාවේ තියෙන ලොකුම අඩුව තමයි අයවැය ලේඛනයේදී වාර්ෂික සැලැස්ම විතරයි ඉදිරිපත් කරන්නේ. සාමාන්‍යයෙන් අයවැය කතාවේදී මීට පෙර අයවැයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති කොතෙක් දුරට සාර්ථක වුණාද, කොතෙක් අසාර්ථක වුණාද, අසාර්ථක වුණා නම් ඒවාට හේතු මොනවාද, ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරි අයවැය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕනෑ. ඒ කොටස මේ අයවැයේදීත් ඉටුකළේ නැහැ. එවන් විශ්ලේෂණයක් කරනවා නම් පදනම් කරගත යුතු ආණ්ඩුවේ ප්‍රකාශ තුනක් තියෙනවා. එකක් තමයි 2016 මුදල් අමාත්‍යාංශයේ මාසික වාර්තාව, ඊළඟට අර්ධවාර්ෂික ප්‍රකාශයක් කළා, තුන්වැන්න අයවැය ලේඛනය එක්ක ෆිස්කල් මැනේජ්මන්ට් පිළිබඳ පනත යටතේ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් කියන පනතෙන් මේ වාර්තාවල තියෙන්න ඕනෑ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒත් වාර්ෂිකව එන ඒ වාර්තාවල පනතෙහි තිබිය යුතුයැයි කියන කරුණු නැහැ. විශේෂයෙන් පනතෙහි කියනවා අවදානම තක්සේරුවක් කරන්න ඕනෑ කියලා. ඊළඟට ඉලක්ක මොනවාද, ඒවායින් මොනවා සාර්ථක වුණාද කියලා කියන්න ඕනෑ. එහෙත් ඒ වෙනුවට මේ වාර්තාවේ තියෙන්නේ ආණ්ඩුව පහුගිය අවුරුද්දේ කළ දේවල් ගැන පම්පෝරියක් පමණයි.
දළ වශයෙන් පහුගිය අයවැයේ සාර්ථක අසාර්ථකභාවය ගැන අපට අදහසක් ගන්න බැරිද?
වාසනාවට වගේ වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2017 ජුනි මස දක්වා, 2016දී ඉදිරිපත් කළ අයවැය ලබපු ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. ඒක අනුව ගත්තාම 2016 ප්‍රතිපත්තිවලින් සීයට තුනක් පමණයි ප්‍රගතිය පෙන්වලා තියෙන්නේ. සීයට 38ක් විතරයි ක්‍රියාත්මක වෙමින් පැවතිලා තියෙන්නේ. අනෙක් ඒවා කිසිවක් වෙලා නැහැ. ඉතින් අන්තිමේදී බදු අයකරලා තියෙනවා. සල්ලි වැයකරලා තියෙනවා. හැබැයි අයවැය යෝජනාවලින් බලාපොරොත්තු වෙන ආර්ථිකයේ වෙනස්කිරීම සහ සංවර්ධනය පිළිබඳ ඉලක්ක එකක්වත් සපුරාගෙන නැහැ. ඒක ලොකු ගැටලුවක්. ඒක මංගල සමරවීර මැතිතුමා සැලකිල්ලට ගතයුතු කරුණක්. මේකෙන් අදහස් වෙන්නේ අයවැය ඉදිරිපත් කළාට අයවැය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා යන්ත්‍රණයක් ස්ථාපිත කරලා නැහැ කියලා.

ප්‍රායෝගිකව අයවැය සාර්ථකව ක්‍රියාත්මක කරන්න නම් කළයුත්තේ මොකක්ද?
මම මහ බැංකුවේ ඉන්න කාලයේ අත්දැකීම් එක්ක ගත්තාම ඒ කාලයේ සාමාන්‍යයෙන් දෙසැම්බර් දෙවැනි සතිය වෙද්දී අයවැය පාර්ලිමේන්තුවේ අනුමත කරනවා. දෙසැම්බර් 31ට කලින් මහා භාණ්ඩාගාරය සියලුම වියදම් කරන ආයතනවලට චක්‍රලේඛයක් යවනවා ඔවුන්ට ලැබුණු මුදල්, ඒවායින් කළයුතු දේවල් ඇතුළු විස්තර. ඒවායේ ප්‍රගතිය නොකඩවා සමාලෝචනය කරනවා. දැන් එහෙම වෙන්නේ නෑ. සමහරවිට අපි මේ කියන අඩුපාඩුව නිසා වෙන්න ඇති මුදල් ඇමතිවරයා අයවැය ප්‍රකාශය අවසානයට කිව්වේ අයවැය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට යන්ත්‍රණයක් පිහිටුවනවා කියලා. ඒක ඇත්තටම සාර්ථක නොවේවිද වේවිද කියන එක මම දන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ යන්ත්‍රණයේ ඵලදායීත්වය සහ ඒක සතු බලය මත.

අයවැය පදනම් වෙන්නේ නීල-හරිත ආර්ථිකයක් කියන පදනමෙන්. මේ ගැන ඔබට තියෙන අදහස මොකක්ද?
හරිත කියන එක නිතර පාවිච්චි කරන සටන් පාඨයක්. හරිත වීමෙන් ආර්ථික වර්ධනය වේගවත් කරන්න බැහැ. නීල කියන්නේ සාගරය සම්බන්ධ ප්‍රතිපත්තිය. එතකොට වැදගත් වෙනවා නැව් හරහා ප්‍රවාහනය. හම්බන්තොට වරාය වැදගත් වෙනවා. ඒකත් එක්කම මත්තල ගුවන්තොටුපොළ ගැනත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද නැව් මාර්ගවලට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. ඒක චීනයේ තියෙන ‘වන් බෙල්ට් වන් රෝඞ්’ කියන ප්‍රතිපත්තියට සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි ක්ෂණිකව ඒක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය වෙලා නැහැ. විශේෂයෙන් ලංකාවේ තියෙන නැව් ඒජන්තවරුන් ආණ්ඩුවට යුද්ධය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අවසානයේදී 2016 අයවැය ලේඛනයේ මේවා ගැන තිබුණු දේවල් අයින්කළා වගේ අයින් කරගන්න සිද්ධවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් නීල කියන එකෙත් කිසි ප්‍රයෝජනයක් නැහැ.

මැදමුලන බද්ද නමින් බැංකුවලින් බද්දක් පනවලා. මේක ජනතාව මත පැටවෙන බරක් වේවිද?
මැදමුලන බද්ද හරිහැටි කරුණු විමර්ශනය නොකර පැනවූ එකක්. 2016 අයවැයේදීත් මෙවැනිම බද්දක් රවි කරුණානායක ඇමතිවරයා යෝජනා කළා. සියලුම මූල්‍ය ආයතනවල මුදල් ගනුදෙනුවලට රුපියල් දාහකට සත පනහ ගානේ බද්දක් ගෙනාවා. මේ අවුරුද්දේ බැංකු ගනුදෙනු සඳහා රුපියල් දාහකට සත විස්ස බැගින් බද්දක් අයකරනවාලු. ඒකෙන් රුපියල් බිලියන විස්සක් අය කරගන්න බලාපොරොත්තු වෙනවාලු. ඔවුන් කියනවා ඉදිරි අවුරුදු තුන තුළ ඒක අයකර ගන්න වෙනවා කියලා. මොකද ඉදිරි අවුරුදු තුන වෙනකන් විශාල ණය ප්‍රමාණයක් පෝලිම් වෙලා ගොඩගැහිලා තියෙනවා. ඒවා ගෙවන්න මේ වගේ ක්‍රමයක් හොයාගත්තේ නැත්නම් ඉතිරි වියදම්වලින් ඒවා වෙන්කරගන්න වෙනවා. ඒක හොඳ අදහසක් වුණත් ඒක කළ විදියේ ගැටලුවක් තියෙනවා. හරියට බැංකුව කියන ආයතනය නිර්වචනය කරගෙන තියෙනවාද කියන ප්‍රශ්නය එනවා. දැන් ඩයලොග්, මොබිටෙල් වගේ ආයතනත් බැංකු. ඊසි කෑෂ්, එම්කෑෂ් වගේ සේවාවන් ඔවුන් දෙනවා. අනෙක් පැත්තෙන් වාණිජ බැංකු, ඉතිරිකිරීමේ බැංකු, මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් වගේ විවිධ ආයතන තියෙද්දී බැංකුව මොකක්ද කියන එක නිර්වචනය කරගෙන නැහැ. අනෙක් පැත්තෙන් මූල්‍ය ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එකත් නිර්වචනය වෙලා නැහැ. අපි වාණිජ බැංකුවක් ගත්තාම ඒවායේ මූල්‍ය ගනුදෙනු ප්‍රමාණය බිලියනවලින් මනින්න බෑ, ත්‍රිලියනවලින් මනින්න වෙන්නෙ. මොකද සියලුම විනිමය ගනුදෙනු, ආනයන අපනයන ගනුදෙනු, සල්ලි එළියට ගැනීම, ආණ්ඩුවේ පඩි ගෙවීම්, බදු වගේ ගොඩක් විශාල පරාසයක මූල්‍ය හුවමාරු සිද්ධවෙනවා. එතකොට ඒක හරියට නිර්වචනය කරලා නැහැ. අපි හිතමු වාණිජ බැංකු සහ මූල්‍ය ගනුදෙනු කියන එක හරියටම නිර්වචනය කරගත්තා කියලා. එහෙම වුණත් වාණිජ බැංකුවලට ඒ බද්ද ගෙවන්නට නම් තමන්ගේ පරිගණක මෘදුකාංග පද්ධති සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒක විශාල මුදලක්, කාලයක් වැයවෙන වැඩක්. ඒක අවුරුදු තුනකට කරන්න පුළුවන්ද. අනෙක් පැත්තෙන් මුදල් ඇමතිවරයා කියනවා මේක ගනුදෙනුකාරයා මත පියවන්න බෑ, බැංකුව දරන්න ඕනෑ. මේකට පහසුකම් සැපයීම වශයෙන් බැංකුවල ආදායම් බද්දෙන් මේක අයකරගන්න ඉඩ දෙනවා කියලා. ආදායම් බද්දෙන් මේක අඩුකරගන්න සිද්ධවෙනවා නම් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. එතකොට රජයේ ආදායම වැඩිවෙන්නේ නෑ. ඒ පැත්තෙන් ලැබෙද්දී ඒ ගණනම මේ පැත්තෙන් කැපෙනවා නම් රජයට ලැබෙන ආදායම ඒ ගණනමයි. මේ බද්ද නොදා හිටියත් ලැබෙන්නේ ඒ ආදායමමයි. ඉතින් ආණ්ඩුවට අවුරුදු තුනක් විශේෂ ආදායමක් බැංකුවලින් ලබාගන්නවා නම් ලාභදායී විදියට සහ පහසුවෙන් කරන්න ක්‍රමයක් තිබුණා. එයාලාට තිබුණේ බැංකු දැනට ගෙවන සීයට විසිපහක ආදායම් බද්දට සියට පහක අධිබද්දක් වාර්ෂිකව ඕනෑත් නැහැ.

ආනයන අපනයන සඳහා ණය ලබාදෙන බැංකු ක්‍රමයක් ගැනත් කියනවා නේද?
මේක මම දන්න කාලයේ ඉඳන් හැම අයවැයකදීම ඉදිරිපත් කළ එකක්. මේක ඉදිරිපත් කරන්නේ ඔවුන්ට ණය ලැබෙන්නේ නැති බවට තියෙන විශ්වාසය නිසා. ඇත්තටම මේකට අමතර බැංකුවක් අවශ්‍ය නැහැ. දැනටමත් ලංකාපුත්‍ර බැංකුව කියලා මෙවැනි අමතර බැංකුවක් පිහිටුවලා ආණ්ඩුව අත පුච්චාගෙන තියෙන්නේ. ලංකාපුත්‍ර බැංකුව හැදුවේ යටිතල පහසුකම් සඳහා දීර්ඝකාලීන ණය පහසුකම් ලබාදෙන්නට. හැබැයි අන්තිමට මේක බංකොළොත් වුණා. මිහින් ලංකා වගේ ආයතනවලට ණය දීලා බංකොළොත් වුණා. එස්එම්ඊ බැංකුව කියලා එකක් පිහිටුවලා ඒකත් දේශපාලන බලපෑම් මත ණය දීලා බංකොළොත් වුණා. දැන් මේ දෙකම එකතුකරලා තියෙන්නේ. හැබැයි හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා තියෙනවා. ඒකත් අරවාට වඩා හොඳ වුණත් විවිධ අයට බැංකුවේ කටයුතුවලට ඇඟිලි ගහලා මුදල් අවභාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් ලංකාපුත්‍ර බැංකුව වගේ ඒවායේ සල්ලි අවභාවිත කළ අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැති පසුබිමක නිදහසේ මුදල් අවභාවිත කිරීම් වෙනවා. පෞද්ගලික අංශයට මේ වැඬේ බාරදෙන්න පුළුවන්. ආණ්ඩුවට ඕනෑ නම් ඒකට පහසුකම් සපයන්න පුළුවන්.■