ට්‍රම්ප්ගේ පරස්පර

පසුගිය සති දෙකේම අපගේ ප්‍රධාන මාතෘකාව වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ය. නැවත මේ සතියේත් අපට ලියන්නට වන්නේ ඔහු වටා එන පුවත් ය. මන්ද යත් ‘මැරතන් ධාවනය’ නමින් මාධ්‍ය විසින් අපර නාමගත කරන ලද ඔහුගේ ආසියානු සංචාරයේ දී ඔහුගේ පරස්පර විරෝධී හැසිරීම් හා ප්‍රකාශ නිසා ගෙවී ගිය සතිය පුරා ම මාධ්‍යවල ප්‍රමුඛ නළුවා ඔහු වූ හෙයිනි.

චීන සහ රුසියානු නායකයන් මුණගැසුණු අවස්ථාවල කරන ලද ප්‍රකාශ ඒවාට ඒ අයගෙන් ලද ප්‍රතිචාර, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ සහ ඔහුගේ ප්‍රතිචාරය මෙන් ම අපෙක් සමුළුවේ දී ඔහුගේ දේශනය සහ ඊට චීන ජනාධිපතිගේ සහ සමුළුවට සහභාගිවූවන්ගේ ප්‍රතිචාර යනාදියට මාධ්‍යයේ විශේෂ තැනක් වෙන්කොට තිබිණි.
ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතාව හෙවත් අපෙක් සංවිධානය යනු ශාන්තිකර සාගර වෙරළ සිය එක් මායිමක් කොට ගත් රටවල් 21ක එකතුවකි. ඒ රටවල රාජ්‍ය නායකයෝ සාමාජික රටක දී වසරකට වරක් රැස්වෙති. 1989 වසරේ ඇරැඹි එහි 20 වන සමුළුව වියෙට්නාමයේ දානාං නුවර පසුගිය 11දා පැවැත්විණි. එයට සහභාගි වීම ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ එක් අංගයක් විය.

පසුගිය ඉරිදා සවස ජනාධිපති ට්‍රම්ප් සිය ට්වීටර් ගිණුමේ මෙසේ සඳහන් කළේ ය. ‘කිම් ජොං උන් මට නාකියා කියා අපහාස කරන්නේ ඇයි. මා කොට තඩියා කියා ඔහු ගැන සඳහන් කොට නොමැති කල? ඉතින් බොහොම හොඳා. අමාරුවෙන් හරි මම උන්නැහේගේ මිතුරකු වනවා. ඒක කවදාහරි වෙන්න පුළුවනි.’

පෙර අවස්ථාවක උන්, ට්‍රම්ප් හැඳින්වීමට මේ වනවිට ශබ්දකෝෂවලින් පවා ඉවත්ව ගොස් තිබෙන ‘නාකිහමා’ යනුවෙන් සිංහලට නැගිය හැකි ාදඒරා යන අවමන් සහගත පදය භාවිත කළේ ය. ට්‍රම්ප්ගේ ඉහත සඳහන ඒ වෙනුවට වෙනත් සමාන වටිනාකමකින් යුත් දෙයක් දීම ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ අවමන් හුවමාරුව ඇරඹුවේ ජනාධිපති ට්‍රම්ප් ය. ඒ, උන් හැඳින්වීම සඳහා “රොකට් මෑන්” යන්න භාවිත කිරීමෙනි.

ජනාධිපතිවරයා ට්වීටර් පණිවුඩය සටහන් කළ සන්ධ්‍යාවේ ම බටහිර අත්ලාන්තික් සයුරේ ඉහළ අහසේ අමෙරිකානු ප්‍රහාරක යානා සංදර්ශනයක් පැවැත්විණි. ඒ වනාහි උතුරු කොරියාවට සිය බලවත්කම ප්‍රදර්ශනය සඳහා අමෙරිකාව විසින් ගන්නා ලද දුර්වල ප්‍රයත්නයක් බව සඳහන් ය.
අපෙක් සමුළුවේ දී ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ක්‍ෂි යන දෙදෙනාගේ ප්‍රකාශ මතවාදී වශයෙන් බොහෝ පරස්පර බව ප්‍රකට ය.
10 වන සිකුරාදා පස්වරුවේ චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං සමුළුව අමතමින් මැනවින් කෙටුම්පත් කරන ලද ලේඛනයක් සිය දේශනය ලෙස ඉදිරිපත් කළේ ය. ‘ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය ත්වරණය කිරීමේ දී සහ සංක්‍රාන්තියේ දී ගෝලීය ආර්ථිකයේ අවස්ථා ග්‍රහණය කැර ගැනීම’ යන මාතෘකාව යටතේ ඔහු ඉදිරිපත් කළ කරුණු අපගේ වැනි රටකට පවා පෞද්ගලික ව ආදර්ශයට ගත හැක්කකි. ඒවා මෙපරිදි ය.
1. වර්ධනය සඳහා ප්‍රාථමික දායකයා ව්‍යාපාරික ප්‍රජාව වේ.
2. සංවර්ධනය යනු නිමාවක් නොදකින චාරිකාවකි.
3. අතීත චීන දාර්ශනිකයකු පෙන්වා දී ඇති පරිදි අපගේ සිත් නාභිගත කළ යුත්තේ අතීතයේ නොව අනාගතයේ ය.
4. අප ජීවත් වනුයේ වෙනස් වෙමින් පවතින ලෝකයක ය. ගෝලීය ආර්ථිකය වඩා දුරවබෝධ වෙනස්කම්වලට භාජනය වෙමින් පවතියි. ඒවායේ ගාම්භීරත්ව හඳුනා ගැනීම සඳහාත් එහි ගතිකත්වයට අනුව යමින් නියමිත දිශානතිය පවත්වා ගෙන යාම සඳහා නිර්භීත මෙන් ම දිරිමත් ද පියවර අනුගමනය කළ යුතු ය.
5. සංඛ්‍යාංක ආර්ථිකය (ාසටසඒක ැජදබදපහ) සහ හුවමාරු ආර්ථිකය එක් ව කුණාටුවක් මෙන් ලොව නතු කැර ගෙන සිටියි. කෘත්‍රිම බුද්ධිය (්රඑසසෙජස්ක සබඑැකකසටැබජැ) සහ ක්වොන්ටම්වාදය වැනි ප්‍රගමන නිපදවනු ලැබ තිබේ. එනිසා අපට හුදු ප්‍රේක්ෂකයන් මෙන් පමණක් හිඳිය නොහැකි ය.
6. පොදු ජනජීවිතයට වැදගත්වන අධ්‍යාපනය, වෛද්‍යාධාර, සේවා නියුක්තිය සහ අදාළ අනෙකුත් ක්‍ෂෙත්‍රවල අප වැඩි වැඩියෙන් ආයෝජනය කළ යුතු ය. දිළිඳුකමට සහ අතුපතර විදා පැතිර පවත්නා ඇති-නැති පරතරයට ආමන්ත්‍රණය කළ හැක්කේ එමගින් ය.
7. බහු පාර්ශ්විකතාව ඉවසිය යුතු අතර උපදේශන සහ සමායෝජනය මගින් සාමූහික වර්ධනය ලුහුබැඳ යා යුතු ය. එමගින් මිනිස් වගට අනාගතය හුවමාරු කර ගැනීම සඳහා සුදුසු ප්‍රජාවක් නිර්මාණය කළ යුතු ය.
8. සැමට යහසාධනය ගෙනදෙන විවෘත ආර්ථිකය අප පවත්වාගෙන යායුතු ය. ප්‍රගතිය කරා අප රැගෙන යන්නේ විවෘතභාවයයි.
9. චීන ජනතාවගේ සිහින අනෙක් රටවල ජනතාවගේ සිහින සමග සමීප සබඳතාවක් තිබිය යුතු ය.
10. අන්‍යොන්‍ය විශ්වාසය, අන්තර්ගත වීම, සහයෝගිතාව සහ අන්‍යොන්‍ය යහසාධනය පදනම් කැරගත් හවුල්කාරීත්වයක් තුළ ක්‍රියාත්මක විය යුතු ය.
දේශනය අවසානයේ ඊට මිනිත්තු කිහිපයක් පුරා පැවැති අත්පොලසන් නාදයක් හිමි විය.
ජනාධිපති ට්‍රම්ප් සමුළුව ඇමතුවේ ක්‍ෂිට පෙර ය. ඔහු සුපුරුදු පරිදි ‘අමෙරිකාව 1’ යන අදහසේ හිඳිමින් කථා කළේ ය. සුපුරුදු පරිදි ම ඔහුගේ සුදු ජාතිකත්වය සම්පූර්ණ කථාව තුළම ඉසී තිබිණි. ඒ වනවිටත් ඔහුගේ ආරක්‍ෂණවාදී පිළිවෙත වටහා ගන්නට උත්සාහ දරමින් සිටි කලාපීය නායකයන් අමතා ඔහු සිය කතාව ආරම්භ කළේ මෙලෙසිනි. :‘අමෙරිකා එක්සත් ජනපදයෙන් වාසි ලබා ගන්නට අප තවදුරටත් ඉඩ තබන්නේ නෑ. මා සැමවිට ම අමෙරිකාව අංක 1 ස්ථානයේ තබනවා. මේ ශාලාවේ සිටින අනෙකුත් අයත් සිය රට අංක 1 ස්ථානයේ තැබිය යුතුයි.’ ඔහුගේ කථාවේ දී මීට පෙර ඔබාමා පරිපාලනය සමයේ අත්සන් තබන ලද ට්‍රම්ප් අක්‍රිය කළ අන්තර් ශාන්තිකර වෙළෙඳ ගිවිසුම ගැන කිසිවක් පවසතැයි කලාපයේ ඌන සංවර්ධිත රටවල් බලාපොරොත්තු තැබුවත් ඔහු ඒ ගැන කිසිදු සඳහනක් නොකළේ ය. ඒ වෙනුවට කලාපයේ වෙළෙඳාමේ අසමතුලිතබව නිර්දය ලෙස විවේචනය කළ ඔහු එනයින් අමෙරිකානු ආර්ථිකය අවදානමකට ලක්ව තිබෙන බවත් ඒ නිසාම සිය රටේ ජනයාට රැකියා අහිමිවීම් වැනි දුර්භාග්‍යවලට මුහුණ පාන්නට සිදුව ඇති බවත් පැවසී ය. මෙතැනදීත් සුපුරුදු පරිදි ඔහු සිය පූර්වගාමීන්ට දොස් නැගීමට ද අමතක නොකළේ ය.
සිය ආසියානු චාරිකාව පුරා ම ජනාධිපති ට්‍රම්ප් මේ වෙළෙඳ අසමතුලිතතාව ගැන කංකෙඳිරි ගෑවේ ය. ජපානයේ දීත් චීනයේ දීත් එය පැවසූ ඔහු ඊට විලෝම වශයෙන් ඒ ඒ රටවල ආර්ථික පැසසුමට ලක් කළේ ය.
අමෙරිකානු ජනාධිපතිවරයකු වෙළෙඳ අසමතුලිතතාව ගැන අනෙක් රටවලට දොස් පැවරීම සහ කලාපීය සහයෝගිතා ගිවිසුම් කටුගා දමන්නට ක්‍රියාත්මක වෙමින් සිටීම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් දෙකක් බව විචාරක මතයයි. සිය රටේ අභිමානය ගැන කියන අතරේම සිය රටේ නිෂ්පාදන ලොව අනෙක් රටවල් මිල දී නොගැනීම සහ ඒ නිසා තමන්ට සිදුව ඇති අපාසුව ගැන නිර්දය විවේචන එල්ල කිරීම ද එසේ ම ය. චීනයේ වෙළෙඳ පිළිවෙත තම රටට අවාසිදායක බව කියන ට්‍රම්ප් ඊට පසු ඒ රටවල නියෝජිතයන්ගේ සේවය අගය කරමින් ද්විපාර්ශ්වික වාණිජ ගිවිසුමකට චීනයට ඇරියුම් කරයි.
සමුළුව අතරතුර රුසියානු ජනාධිපති පුතින් ඔහු මුණ ගැසුණේ ය. පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය දූෂණය කරන්නට තමා උත්සාහ කළේ යයි අමෙරිකානු නිලධාරීන් චෝදනා කරන බවත් එය සාධක රහිත අනුමානයක් පමණක් බවත් එය තමාට කරන ලද අපහාසයක් බවත් පුතින් ඒ අවස්ථාවේ දී ට්‍රම්ප් හා පවසා තිබේ. තමා ද ඊට එකඟ වන බවත් එහෙත් තම රජයේ නිලධාරීන් ඔවුන්ගේ පරීක්‍ෂණ හා මෙහෙයුම් අඛණ්ඩ ව කොට සත්‍යය අනාවරණය කැර ගනු ඇති බවත් ට්‍රම්ප් ඊට පිළිතුරු වශයෙන් පවසා ඇත. ඒ අතර සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එක මතයක හිඳ කටයුතු කරන්නට නායක දෙපළ එකඟ වූ බව පැවසෙතත් ධවල මන්දිරය ඒ බව සනාථ කොට නොමැත. රුසියාව අසාද් අලිගේ රජයට සහාය දෙන අතර අමෙරිකාව සහාය දෙන්නේ ඔහු බලයෙන් පහ කිරීම සඳහා සටනට යොමුව සිටින කැරලිකාර හමුදාවට ය.
13 වන සඳුදා ඔහු සිය චාරිකාවේ සිව්වැනි රට වූ පිලිපීනයට ළඟා විය. එදින පිලිපිනයේ මැනිලා අගනුවර ට්‍රම්ප්ට් එරෙහි විරෝධතා ව්‍යාපාර දියත් වූ අතර දුටර්ටෙගේ සහ ට්‍රම්ප්ගේ අනුරූ කිහිපයක් ම පුලුස්සා දමන ලදී.
දුටර්ටෙගේ මත්ද්‍රව්‍ය නාශක වැඩපිළිවෙළට සහාය පළ කරන නමුත් ට්‍රම්ප් ඔහුගේ දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. දුටර්ටෙගේ එම වැඩසටහන යටතේ මේ දක්වා අධිකරණයකට ඉදිරිපත් නොකොට ඝාතනය කරන ලද සංඛ්‍යාව 4,000 ඉක්මවන බව පැවසේ.
ඔහුගේ මානව හිමිකම් ගැන කතා කළ ජනාධිපති බරක් ඔබාමාට ඔහු ඉතා පහත් වචනයෙන් බැණ වැදුණු ආකාරය ලොව පුරා මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබී ය. ඒ පුද්ගලයා හමු වු ට්‍රම්ප් සුපුරුදු ලෙස අනෙක් රාජ්‍ය නායකයන්ට කීවා සේ ම ඔහු තමාගේ සිත් ගත් පුරුෂයෙකැයි පැවසී ය.■