රාවය

ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු

ඒ රටේ මිනිස්සු  තනිකර කෙළින්නෙ පිස්සු

‍ෙ‍ෙමවර කොලමේ මාතෘකාව මා උපුටා ගත්තේ, 2017 ජනාරි 14 දින සිය ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය ගායක දීපාල් සිල්වා ගැයූ ගීතයකිනි. ගීතයේ ඉහත වදන් මට සිහිවූයේ, “සාධාරණ සමාජයක් සඳහා නැවත සමාජවාදය ස්ථාපිත කරමු” යන තේමාව රැගත්, ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂයක් විසින් ඉදිකරන ලද විශාල දැන්වීම් පුවරුවක් දුටු අවස්ථාවේය. 1960 දශකයේ අගභාගයෙහි උපන් මේ ලියුම්කරු, සිරිමාවෝ මැතිනියගේ හා ආචාර්ය ඇන්ඇම් පෙරේරාගේ සංවෘත, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිවලින් හොඳහැටි බැට කෑ අයෙකි. 1973දී හයවැනි වියේ පසුවූ මා, චූටි අක්කා සමඟ යක්විල සමුපකාරය වෙත ගොස් සීමාසහිතව සලාක පොතට නිකුත් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, පෝලිමේ රැඳී ලබාගත් අයුරු තවමත් මතකය. දැඩි විනිමය පාලන නීති නිසා අපේ පරම්පරාවට චීස්, බටර්, මිදි, ඇපල් සහ චොකලට් වැනි දේවල්, දකින්නටත් නොමැති අධිසුඛෝපභෝගී ආහාර ද්‍රව්‍ය විය. කිරිපිටි තොග සමුපයට පැමිණි සැණින් අහවර වන නිසා ඇති හැකි අය, කළුකඩ මුදලාලිගෙන් ඒවා මිලට ගෙන තම දරුවන්ට ලබාදුන්හ. සමූපකාරයෙන් ලැබෙන භූමිතෙල් ගඳ සහිත චීත්ත යොදාගෙන, ඉලාස්ටික් පටියක් සහිත කොට කලිසම් අම්මා මට මසා දුන්නාය. සායම් යන මේ චීත්ත රෙදි, සුදු ඒවායින් වෙන්කොට සේදිය යුතු විය. කලාතුරකින් හටගන්නා තෙල් පෝලිම්වල සිට වත්මනෙහි රජයට අසභ්‍ය වදනින් බනින බොහෝ දෙනා, එදා අපේ පරපුර පාන් ගෙඩියක් ගන්නට පැය 2කට වඩා පෝලිමේ සිටි වග සැබැවින්ම දන්නේ නැත. රාත්තල් 2කට වැඩි හාල් සහ මිරිස් ප්‍රවාහනය කිරීම එකල තහනම්කොට තිබූ අතර වාහන පරීක්ෂා කිරීම සඳහා ‘හාල් පොලු’ හා ‘මිරිස් පොලු’ හෙවත් පොලිස් නිලධාරීන් සහිත මාර්ග බාධක යොදා තිබුණි. ආනයන බදු ඉහළ දැමීම හේතුවෙන් හටගත් උග්‍ර හාල් හිඟය නිසා තුන්වේලම බත් කා පුරුදු ශ්‍රී ලාංකික ජනතාවට මඤ්ඤොක්කා, කොස් හා බතල වැනි දේ වැඩිපුර ආහාරයට ගන්නට සිදුවිය. ආනයන ආදේශනය නිසා බාල ගණයේ පොත් බෑග්, උණුවතුර බෝතල් සහ ඇඳුම් පැළඳුම් භාවිත කිරීම හැර අන් විකල්පයක් අපට නොතිබුණි.

පෝෂණය අහිමිවීම
එකල, ආපනශාලාවලට පවා බත් විකිණීම කළ හැකිවූයේ සතියකට එක් වරක් පමණි. එහෙත් පාලකයන්ට හා ඔවුන්ගේ ගජමිතුරන්ට සාමාන්‍ය හාල් පමණක් නොව බාස්මතී පවා පරිහරණය කිරීමේ අවකාශය සලසා දී තිබුණි. මෙකී සමාජවාදී යුගය තුළ ශ්‍රී ලාංකික වැසියන් මන්දපෝෂණයෙන් පෙළුණු ආකාරය ගැන 2017 නොවැම්බර් 12 දාතම දරන රාවය ලිපියෙන් මහාචාර්ය රොහාන් සමරජීව විස්තර කර තිබුණේ මෙසේය. “1970-77 තුළ ශ්‍රී ලංකාව සමාජවාදය අත්හදා බැලූ කාලයේදී මෙරට ජනතාවගේ ප්‍රෝටීන් පරිභෝජනය හරි අඩකින් පහත වැටුණි. පරිප්පු ආනයනය මුළුමනින්ම නවත්වා දැමුණි. කරවල ලබාගත හැකිවූයේ සමූපකාර සලාක වෙළෙඳසැල් හරහා පමණි. කළුකඩ වෙළෙඳාම සරුවට සිදුවිණි. ජනගහනයේ දිළිඳුකම 43%ට, පුද්ගලයෙකු විසින් දෛනිකව ලබාගත යුතු කැලරි 2200 සහ ප්‍රෝටීන් ග්‍රෑම් 40 හෝ ලබාගැනීමට මේ සමාජවාදී යුගයේදී අවස්ථාව නොලැබිණි. මන්දපෝෂණය හා ප්‍රෝටීන් හිඟකම නිසා දරුවන් තුළ හටගන්නා මරාස්මුස් සහ කවෂියොකෝර් රෝග තත්ත්වයන් එදා කොළඹ නගරයේ පවා බහුලව පැවතුණි.”

ලැස්කිගේ බලපෑම
1970 සිට 1975 දක්වා ශ්‍රී ලංකාවේ මුදල් ඇමති ධුරය හෙබවූ ඇන්ඇම් පෙරේරා, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේදී සිය ආචාර්ය උපාධිය හැදෑරුවේ උග්‍ර මාක්ස්වාදී අර්ථශාස්ත්‍රඥයෙකු වූ මහාචාර්ය හැරල්ඞ් ලැස්කි යටතේය. මාක්ස්වාදී, සමාජවාදී සංවෘත ආර්ථික ප්‍රතිපත්ති දියත් කිරීම හරහා රටක් සංවර්ධනය කළ හැකි බැව් ඇන්ඇම්ට ඒත්තු ගැන්වූයේ ලැස්කි විසිනි. ජවහර්ලාල් නේරු පවා සෝවියට් මාදිලියේ පස්අවුරුදු සංවෘත ආර්ථික සැලැස්මක් ඉන්දියාව තුළ ක්‍රියාත්මක කරනු ලැබුවේ එංගලන්තයේ කේම්බි්‍රජ් සරසවියේ සිටියදී හෙතෙම වැළඳගත් සමාජවාදී අදහස්වල ප්‍රතිඵලයක් ලෙසය. රාජ්‍ය ව්‍යවසායට මුල්තැනක් දුන්, නේරුගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් 1950-1973 කාලපරිච්ඡේදය තුළ එරට ආර්ථික වර්ධන වේගය 2%කට සීමාවිය. එකල, විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ දකුණු කොරියාවේ ආර්ථිකය, ඉන්දියාව සමඟ සැසඳීමේදී පස්ගුණයකින් වර්ධනය වූ අතර ජපානය, ඉන්දියාවට වඩා දස ගුණයකින් ඉදිරියට ගියේය. පිටරටින් භාණ්ඩ ආනයනය තහනම් කොට දේශීය ව්‍යවසායකයන් වෙළෙඳපොළ තරගකාරීත්වයෙන් ආරක්ෂා කිරීමට එරෙහිව හඬනැගූ ප්‍රංශ ආර්ථික විද්‍යාඥ ෆෙඞ්රික් බැස්ටියට් (1801-1850) විසින් සිදුකළ ප්‍රකාශයක් මෙහි සඳහන් කිරීම වටී. “බාල ඉටිපහන් නිපදවන ප්‍රංශයේ ඉටිපන්දම් වෙළෙන්දන්, හිරුඑළිය වළක්වා තමන්ගේ නිපැයුම් දහවල් කාලයේදී පවා පාවිච්චි කරන්නට සාමාන්‍ය ජනතාවට බලකරන ලෙස ආණ්ඩුවට පෙත්සමක් යැව්වොත් මම ඒ ගැන පුදුම නොවෙමි.” ආචාර්ය උපාධි දෙකක් දිනූ උගත් සහ අවංක දේශපාලනඥයෙකු වුවද, ඇන්ඇම් පෙරේරාගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රට ආපස්සට ගෙන ගිය අසාර්ථක ව්‍යායාමයක් බව කනගාටුවෙන් වුව මෙහි සඳහන් කළ යුතුය.

හැත්තෑ හතේ විවෘත ආර්ථිකය
1977දී, ජේආර් ජයවර්ධන ශ්‍රී ලංකාව එතෙක් පවත්වාගෙන ගිය සියලු ආර්ථික ප්‍රතිපත්තීන් උඩු යටිකුරු කළ හෙයින්, ‘වමට බර’ සියලුදෙනා ඔහු දැඩි ලෙස විවේචනය කළහ. ආනයන සීමා ඉවත්කිරීම නිසා අපනයන ආදායම අබිබවා ආනයන වියදම් ඉහළ ගොස් වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇතිවී, එය ගෙවුම් ශේෂයේ හිඟයක් දක්වා වර්ධනය වනු ඇතැයි එකල සිටි ආර්ථික විද්‍යාඥයෝ මහත් සේ තැතිගත්හ. එහෙත් තේ, රබර්, පොල් අපනයන නිසා සීමාවී තිබුණු විදේශ විනිමය ඉපැයීම, නිදහස් වෙළෙඳපොළ සහ රාජ්‍ය නිර්බාධවාදය ඔස්සේ විශාල ලෙස ප්‍රවර්ධනය කළ හැකි වග ජේආර් දැනසිටියේය. ව්‍යාපාර පවරා ගැනීමේ සහ ජනසතු කිරීමේ පනත් අහෝසි කළ ජේආර්, පෞද්ගලික ව්‍යාපාරවලට දිරිදීම සහ නිදහස් වෙළෙඳ කලාප බිහිකිරීම හරහා රට තුළ රැකියා අවස්ථා ලක්ෂ ගණනින් උත්පාදනය කළේය. මහාචාර්ය මිල්ටන් රාජරත්නට අනුව, එතැනින් නොනැවතුණු ජේආර්, විදේශ රැකියා කාර්යාංශයක් රට තුළ ස්ථාපිත කොට, පුහුණු හා නුපුහුණු ශ්‍රමය පිටරට යවා රැකියා හිඟයට විසඳුම් දුන්නා පමණක් නොව, එමගින් විදේශ විනිමය ඉපයීමේ කදිම මාර්ගයක්ද විවර කර දුන්නේය. ජේආර් සතු වූ දූරදර්ශී ආර්ථික දෘෂ්ටිය, කොතෙක් අප රටට ප්‍රයෝජනවත් වී තිබේද යත් එය වත්මනෙහි විදෙස් රැකියා ලක්ෂ 20ක් සහ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හතක විදේශ විනිමයක් ජනනය කළ හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට පත්ව ඇතැයි මහාචාර්ය මිල්ටන් රාජරත්න අවධාරණය කරයි. ජේආර් රාජ්‍ය පාලනය භාරගන්නා අවස්ථාවේ අප රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 270ක් පමණ විය. 1977 පැවති පසුගාමී සමාජ ආර්ථික තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගලවා ගත්තේද, ඇමරිකානු ඩොලර් 4000ක පමණ ඒක පුද්ගල ආදායමක් ලබන මැදි ආදායම් රටක් බවට පත්වීමේ අඩිතාලම දමනු ලැබුවේද ජේආර් ජයවර්ධන විසිනි. එහෙයින් මහාචාර්ය රාජරත්න පවසන්නේ, ජේආර්ගේ අකාලික වූ ආර්ථික දර්ශනය අද මෙරට ආර්ථික පදනම නොවේයැයි තර්ක කිරීම කිසිවෙකුටත් නොහැකි බවයි.

සුබසාධන ගැටලුව
පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කරන්නැයි කියමින් මහපාරට බසින මෙරට උද්ඝෝෂකයෝ නිතරම නිදහස් අධ්‍යාපනයක් ගැන හා ශක්තිමත් කළ යුතු රාජ්‍ය ආයතන පද්ධතියක් ගැන දොඩවති. මොවුන්ගේ නිදහස් හා නිකං ලැබෙන අධ්‍යාපනය සඳහා මුදල් යොදවන්නේ මෙරට බදු ගෙවන සාමාන්‍ය ජනතාව වග මේ අයට නොතේරේ. 2017 ජනවාරි සිට අප්‍රේල් දක්වා වන කාලය තුළ පමණක් ඪ්එල ඡ්ඛල භඊඔ වැනි බදු ඔස්සේ රජය සිය ආදායම 24.6%කින් ඉහළ නංවාගත්තේය. සාමාන්‍ය ජනතාව සූරාගෙන මෙසේ එකතු කරගන්නා රාජ්‍ය ආදායමෙන් 50%ක්ම වැය කරන්නේ මිලියන 1.3ක් වන රාජ්‍ය සේවකයන්ගේ පඩිනඩි හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය. පාන්පිටි කිලෝ 1ක් මිලදී ගැනීමේදී වක්‍රබදු ලෙස සමස්ත මිලෙන් 51.15%ක් පාරිභෝගිකයා මත පැටවෙයි. ලුණු මත පැනවෙන වක්‍රබදු ප්‍රතිශතය 65.31%කි. මෙරට පවුල් කුටුම්බයක් සිය සමස්ත ආදායමෙන් 34%ක් ආහාර මිලදීගැනීම සඳහා පමණක් වැයකරයි. තුන්වේල කෑ පසු අනෙක් දේවල් සඳහා වියදම් කිරීමට මුදල් නැතැයි ලංකාවේ බහුතරයක් අය මැසිවිලි නගන්නේ මේ නිසාය. ඇමරිකාවේ පවුල් කුටුම්බයක් විසින් ආහාර සඳහා වැයකරන ප්‍රතිශතය 6.4%කි. සිංගප්පූරුවේදී එය 6.7%කි. නොමිලේ අධ්‍යාපනය කියා දෙයක් නැති බව මේ වක්‍රබදු දරන පුරවැසියන්ගේ බහුතරයක් නොදනිති. යහපාලන රජයේ පළමු අයවැයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය වූයේ වක්‍රබදු 60%ක් හා ඍජුබදු 40%ක් ලෙස බදු ප්‍රතිශතය වෙනස් කිරීමටය. එහෙත් හිටපු මුදල් ඇමතිවරයා කළේ ඍජුබදු 12% දක්වා පහළ දමා වක්‍රබදු 88% දක්වා වැඩි කිරීමය. බදු බරින් ජනතාව නිදහස් කොට 6%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට නම් රටේ භාණ්ඩ හා සේවා දේශීය ජනගහනය වන මිලියන 21කට පමණක් සැපයීම ප්‍රමාණවත් වන්නේ නැත. අපනයන ප්‍රවර්ධන සහ ඍජු විදෙස් ආයෝජන නොපමාව ලබාගැනීම රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. පහසුවෙන් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳ ලෝක බැංකු දර්ශකයෙහි 110 ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව දැන් 125 දක්වා පල්ලම් බැස තිබේ. ආචාර්ය ඩබ්ඒ විජයවර්ධනට අනුව, මේ පහළ බැසීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයයි. නව ව්‍යාපාර අරඹන්නෙකුට විදුලි සම්බන්ධතාව ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 45ක් වැයවන අතර ඊට ලංවිම ගතකරන කාලය දින 100කි. “සයිටම් අහෝසි කරනු” කියා බැනර් ඔසවන ලංවිම සේවකයෝ තම ආයතනය සතු ඉහත කී අකාර්යක්ෂමතාව ගැන අවධානය යොමු කළ යුතුය. 2015දී ඇමරිකන් ඩොලර් බිලියන 10.5ක් වූ අපනයන ආදායම 2016දී ඇ.ඩො. බිලියන 10.3ක් දක්වා පහත වැටී ඇත. පාඩු ලබන රාජ්‍ය ආයතන වහා ප්‍රතිව්‍යුහගතකිරීමත්, ඇති හැකි ශිෂ්‍යයන්ට මුදල් අයකර අධ්‍යාපනය පිරිනමා නැති බැරි අයට පමණක් නොමිලේ ඉගැන්වීමත් හරහා මෙරට සාමාන්‍ය ජනතා බදු බරෙන් ගලවා ගත යුතුයැයි මෙහිදී අවධාරණය කළ යුතුය.■