ඔවුන් දන්නවා මගේ ඉලක්කය | තිළිණි හෙන්දගේ

ජගත් ප්‍රේමචන්ද්‍ර

පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාං ගණයේ දී නිමා වූ 65 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ දී ජාතිකය බැඞ්මින්ටන් ශූරිය කිරුළ පළඳින්නී තිළිණි හෙන්දහේ ය. ඇය මෙවර සමස්ත ශූරතාව දිනාගන්නේ පිට පිට සිවුවැනි වතාවට ය. ඊට ප්‍රථම 2012 වසරේ දී ද ජාතික බැඞ්මින්ටන් ශූරිය වූ ඇය මෙකී දක්ෂතාව කළ පස්වැනි වතාවයි මේ.
ඔබ පස්වැනි වරටත් බැඞ්මින්ටන් ජාතික ශූරිය වෙනවා. මේ ගැන ඔබේ හැඟීම..?
විශාල සතුටක් තියෙනවා. නිතිපතා කරන පුහුණුවීම් සහ කැපවීම් මත ලැබූ ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පු`ඵවන්. මම මුල්වරට බැඞ්මින්ටන් ජාතික ශූරිය වෙන්නේ පාසල් ක්‍රීඩිකාවකව සිටිද්දී. මේ වනවිට මම උසස් අධ්‍යාපනය හදාරනවා. පළමුවරට ජාතික ශූරිය වී වසර හයක් තුළ ජාතික ශූරිය සම්මානය පස් වතාවක් දිනාගැනීමට ලැබීම භාග්‍යයක්. එය මේ ක්‍රීඩාවේ තව තවත් ඉදිරියට යන්න උත්තේජනයක්.

මෙවර අවසන් තරගයේ දී ඔබට හමුවෙන්නේ පාසල් ක්‍රීඩිකාවක්..?
ඔව්, ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. අචිනි අම්බලන්ගොඩගේ ඉතා පහසුවෙන් පරාජය කළ හැකි ක්‍රීඩිකාවක් නොවෙයි. ඇය බැඞ්මින්ටන් ක්‍රීඩාවේ සූක්ෂ්ම තැන් ස්පර්ශ කරමින් ක්‍රීඩාකරනවා. ප්‍රතිවාදියාගෙන් සුළු පමාවක් වුණොත් ඇය ඉතා ම ඉක්මනින් ඒ බව වටහාගන්නවා. එතැනට ඇටෑක් කරනවා. අවසාන තරගයේ දී මම ඇයත් සමඟ සාමාන්‍ය ලකුණු පරතරයකින් තමයි තරගය ජයග්‍රහණය කරන්නේ. ඇය ඉතා හොඳ ප්‍රතිවාදිනියක්.

මේ තරගාවලියේ දී ඔබ ත්‍රිත්ව ශූරතා දිනාගන්නවා..?
විවෘත කාන්තා ශූරතාවට අමතරව කාවින්දි ඉෂාදිකා එක්ව කාන්තා යුගල ශූරතාවත්, සචින් ඩයස් සමඟ එක්ව මිශ්‍ර යුගල ශූරතාවත් දිනාගන්නවා. මේ සෑම තරගයක්ම මට 2-0 ලෙස ජයග්‍රහණය කරන්න පු`ඵවන් වෙනවා. ඒ වෙනුවෙන් මා සමඟ එක් වූ මගේ සහායකයන්ට ස්තූතිවන්ත වෙනවා. ඇත්තට ම අපේ තිබෙන දක්ෂතාවන් එවැනි සහායකයන් නිසා වඩාත් ඉස්මතු වෙනවා. ඒ වගේ ම ප්‍රතිවාදීන්ගෙන් ලැබෙන තරගයත් වැදගත්.

ඒ කියන්නේ, මේ ඉසව්වල වැඩි තරගකාරීත්වයක් තිබෙනවා කියන එක ද ඔබ කියන්නේ?
අනිවාර්යයෙන් ම ඉතා හොඳ තරගකාරීත්වයක් අප අතර තිබෙනවා. මම කාන්තා යුගල ශූරතාව දිනා ගන්නේ අචිනි රත්නසිරි සහ හසිනි අම්බලන්ගොඩගේ පරාජය කරමින්. ඔවුන් දෙදෙනා ම ඉතා ම හොඳ මට්ටමේ ඉන්න අය. අචිනි අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩිකාවක්. ඒ වගේ ම මිශ්‍ර යුගල ඉසව්වේ දී අපට පරාජය වෙන්නේ විබවි මධූෂ සහ උපුලි සමන්තිකා. උපුලිත් දක්ෂ ක්‍රීඩිකාවක්. ඒ වගේ ම මම අද මේ තරගය ජයග්‍රහණය කළත් හෙට දවසේ දී මට ඉතා හොඳ අභියෝගයක් එල්ලකළ ක්‍රීඩිකාවන් රාශියක් අප පසුපස පේළිගැසී සිටිනවා. ඒ නිසා බැඞ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය මීටත් වඩා තරගකාරී වෙයි කියන හැඟීම මා තුළ තිබෙනවා.

බැඞ්මින්ටන් ක්‍රීඩාවේ දේශීය තරග පිටිය එසේ සැකසුණත් විදේශීය තරග පිටියේදී අපිට ලැබෙන්නේ අඩු ජයග්‍රහණ ප්‍රමාණයක්..?
ඒකට ප්‍රධානතම හේතුව බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් අංක එකට ඉන්නේ අපේ කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම. ඔවුන් සතුව පවතින සුවිශේෂී පහසුකම් සහ තාක්ෂණයන් අපට තව වසර ගණනාවකට ලැබෙන එකක් නැහැ. අනිත් එක ඇතැම් රටවල බැඞ්මින්ටන් ක්‍රීඩාව වෘත්තීය මට්ටමේ තියෙන්නේ. ඔවුන් ජීවිත කාලය පුරාම කරන්නේ ඒ දේ ම පමණයි. තවම අපි රටක් ලෙස එවැනි තත්ත්වයකට පැමිණ නැහැ. ඒ නිසා ම ජාත්‍යන්තර තරගවලදී අපිට විශාල තරගකාරීත්වයක් තිබෙනවා. එහෙත් අප ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගවලදී යම් යම් ජයග්‍රහණ ලබා තිබෙනවා. තවදුරටත් ජාත්‍යන්තර තරග ජයගැනීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අප සතුව ඉන්නවා. කලාපයේ තත්ත්වය හා අපේ රටේ තිබෙන පහසුකම් හා ගත්තාම ඒක සුවිශේෂීයි.

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. උසස් අධ්‍යාපනයත් ක්‍රීඩාවත් කොහොමද සමබර කර ගනිමින් පවත්වාගෙන යන්නේ?
මුලින් ම කියන්න ඕනෑ ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි මේ දේවල් මේ විදිහට කරගෙන යන්න ලැබෙන්නේ කියලා. අනිත් එක තමයි ගෙදර අය මට අවශ්‍ය නිදහස උපරිමයෙන් ම දීලා තිබෙනවා. ඔවුන් දන්නවා මගේ ඉලක්කය මොකක්ද කියලා. ඒ නිසා ඒ සහයෝගය ඉතා වැදගත්. ඒ වගේ ම වර්තමාන පුහුණුකරු පවිත්‍ර අබේසිරි ගුණවර්ධන මහතා ද ඉතා කැපවීමෙන් මගේ ක්‍රීඩා ගමනට සහයෝගය දක්වනවා. ඔවුන් දන්නවා මම ක්‍රීඩාව වෙනුවෙන් මොනතරම් කැපවීමක් කරනවා ද කියලා. ඒ වගේ ම තමයි අධ්‍යාපනයටත්. ඒ නිසා මගේ ගමන සමබරව ගෙන යන්න ඔවුන් මට අවශ්‍ය සහයෝගය දක්වනවා.
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනා කරණයයි හදාරන්නේ. අපිට හැමදාම ක්‍රීඩා කරන්න බැහැ. සමුගන්න කාලයක් එනවා. ඒ කාලය වෙද්දී මේ ක්‍රීඩා අත්දැකීම් සහ අධ්‍යාපනයෙන් ලැබූ දේ වඩාත් වැදගත් විදිහට අනාගතයට ආයෝජනය කිරීම අපේ යුතුකමක්. ඉතිං ඒ වෙනුවෙන් මේ හැම දෙයක් ම සමබරව පවත්වාගත යුතුයි. ක්‍රීඩා හැදෑරීම තුළත් සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන යෙන් ලද දේත් මට ඊට වැදගත් වෙලා තිබෙනවා.

ඔබේ සුවිශේෂී දක්ෂතා පෙන්වීමට ඉදිරියේදී ලැබෙන අවස්ථාවන් මොනවාද?
ආසන්නතම තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය. ඒ වෙනුවෙන් මේ දිනවල පුහුණුවීම්වල යෙදෙනවා. මේ තරගාවලියට සහභාගි වෙන අනෙකුත් රටවලින් අපේ රටට ලැබෙන ප්‍රතිචාරය ඉතා යහපත් එකක්. ඒ පිළිගැනීම ම අපිට ඉතා වැදගත්. විශ්වාසයක් තිබෙනවා එම තරගාවලියේදී අපිට යමක් කරන්න පු`ඵවන් වේවි කියලා.
ඊට පස්සෙ 2020 වසරේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල. ඕනෑම ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ ප්‍රමුඛ බලාපොරොත්තුව ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගැනීම. ඒ හීනය හැබෑ කරගැනීමයි අභිප්‍රාය. ඒ ඉලක්කය කරා යෑමත් අරමුණු කරගනිමින් තමයි මේ දිනවල පුහුණුවීම්වල යෙදෙන්නේ.■