රාවය

චන්දන ග්‍රාම සොයා වළවේ නිම්නයට

චන්දන ග්‍රාම සොයා  වළවේ  නිම්නයට

කේ. සංජීව

චන්දන ග්‍රාම, සඳගනානුවර, සඳගිරිය, හඳගිරිය ආදි නම් ගොඩකි. ලස්සන පෙදෙසෙකි. මඳින්මඳ වැස්සකි. තැනෙක තැනෙක අඹ ගස් ගොඩ ගොඩකි. තවත් තැනක ඉදෙන්නට බලං ඉන්න අඹ බිමට බැස ඔහේ ඔරවාන ගොඩ ගොඩවල් අප දෙස බලයි.
අපි අඹ කමු. රස මී අඹ කන්න නම් ඉතිං වළවේ නිම්නයේ ඉහත්තාවට එන්නම ඕනිය. අපි කළු ගඟ මිටියාවතින් පැන දෙනවක් ගඟ නිම්නයෙන් කඳු මුදුනට රිංගාන දැන් උග්ගල් කල්තොටට බසින්නෙමු. ඒ බලංගොඩ නගරය පසුකරගෙනය. නීල මහා යෝධයා සමනොලදී උක් ගසක් උලා කා දණ්ඩ විසිකළ පහු, වළවේ ගඟ කොමළිය එය පහළට පහළට ගෙනවිත් නතර කළ තැන උග්ගල් කල්තොට වීලු. ඉන්පසු එතැනින් අමුණකින් ගඟ හරස්කර වේල්ලක් කපා කල්තොට පොළොව වළවේ සමනල වතුරින් පෙඟූ පහු නිලට නිලේ ගොයම්ද බඩඉරිඟුද තව තවත් නෙක බවබෝග ද හැදුණේලු. බලංගොඩ පසුකරමු. රජවකට තන්ජන්තැන්නට පහු කල්තොටය. කල්තොටින් පාර දෙකට බෙදෙයි. එක පාරක් රුහුණටය. ඒ මැදබැද්ද වේලිඔය හම්බෙගමුව හරහා තණමල්විලට ය. අනෙක් පාර බුදුගල දියවින්න හදගිරිය හරහා වැලිගෙපොලටය. එතැනින් ආයෙත් බලංගොඩට ය. මේ රවුම සමනලවැව වැව වටේට, උඩවලව වනගුල්මය වටේට වට රවුමය. ඉතිං විටෙක සරසර පොද වැස්සක තෙමි තෙමද අලි පාර එහාමෙහා වෙනකම් තාවරවෙමින්ද අපි මේ රවුම ගැසුවෙමු. මේ රවුමට රවුම්වන පෙදෙස් අතීත සඳගනානුවර නැත්නම් චන්දන ග්‍රාම නම් පෙදෙසය. ඊටත් එහාට මේ ඉම් පෙදෙස් ඉතිහාසය අපට තල්ලුකරන්න පුළුවන්ය.

බුදුගලින් දියවින්නට
බුදුගල ගල් ගුහා රැසකි. රාජමහා විහාරයකි. කටාරම් කෙටූ ගල් කෙමි අතීතයේ කැලෑවාසී මහණුන්ට නිවන් දකින්නට සෙවණක් සදන්නට ඇත. සමහරු මෙහි ඉතිහාසය වළගම්බා රජ සමයට ගෙනයති. කොහොම වුණත් අපි මේ ඉතිහාසය ගැන කතාව මඳකට පැත්තකට තබා මේ ගමේ වර්තමාන කාලයට යමු.
බුදුගල කියන්නෙත් මේ ගම් පොකුරේ එක් ගමකි, දුර අතීතයක් ඇති. අපි දොඩමලු වන්නට මිනිසකු ගැහැනියක සොයන්නෙමු. ගම මැදින් කල්තොට සිට දුවන ඇළට සමාන්තර පාරේ අපි සඳගනානුවර ඇතුළටම රිංගමු. ඈතට පෙනෙන ලස්සන දිය ඇල්ලකි. අස්ව වල්ගයක් සේ ඇය පහළට කඩන්වැටෙන්නේ කිසිදු කමක්කාරියක් නැතුවමය. අපි ඈත සිට බලා සිටින්නෙමු. ඇයට ගාණක් නැත. ඒ ඇසිල්ලෙන් අපි පොටෝ ගන්නෙමු. කඳු වළල්ලේ නීල වන ගුල්ම රේඛාව අතරින් ඇය සුදු රේඛා සමුහයකි. මොකද්ද මේ ගම මාමා?
‘දියවින්න ..අර ඇල්ල දිය ඉනි ඇල්ල..‘ කවුද හොඳටම ගම ගැන දන්න වයසක අය? අපි අසමු. ඔහුගේ හකහකය දිය ඇලි කොමලියට ඇසෙවියි මට බය සිතුණි.
‘පුතාලා යන්න බන්දුලහාමි ළඟට’ අපි ඔහුට අවනත වෙමු. බන්දුලහාමි සොයමු. මේ වියලි කලාපයට වැසි වැටෙන සමයයි. සිහින් සිරි සිරිය ඇඳුම් ඇඟට අලවනකොට අපි බන්දුලහාමි මාමාගේ ගේ දොරකඩය. මිදුලේ වනපු බෙලිමල් ඇතුල්පත් දෙකක් ගේ පිල්කඬේ වනා එය ලතාවකට අතගාන ගැහැනියක් ය. දොරකඩ අඹ ගසේ අඹ දොඹ වගේ පිරිලා ය. නැන්දේ බන්දුලහාමි මාමලාගේ ගෙදර මේකද? මම අසමි. හිස තාලයකට හරවමින් ඇය උත්තර දෙන්නී ‘ඔව්… පුතාලා කවුද එන්න ඇතුළට ‘
ඔහු කළුය. නොඋස්ය. සිනහවට මුවමත රේඛා ලියවැල් ඇඳේ. වයසය. පොළොව සමග යුද වැදී සොල්දාදුවෙකු ලෙස ආඩම්බරයෙන්ය.
‘මේ පේන දිය ඇල්ලේ දිය වැටෙන්නේ ඉන්නක් වගේ. ඉතිං ඇල්ල දිය ඉනි ඇල්ල. මේ ඔය දිය ඉනි ඔය. මේ ගමත් දිය ඉන්න වෙන්න ඕනි. හැබැයි දැන් දිය ඉන්න දියවින්න වෙලා.’ බන්දුලහාමි මාමා කතාව පටන්ගත්තේ එසේය. නන්දා බෙලිමල් වීදුරුවක් අතේ තියාගෙන ඔහේය.
අපි බෙලිමල් කතා වටයක් නැවත පටන්ගතිමු. දැන් වැස්ස ටිකක් සරුය. දුහුවිල්ල රන්වන් පැහැයට හැරී වළවේ ගඟ සොයායන්නේ සුළඟ සමඟ අමනාපයෙන් ය. සුළඟ ඔහොම්මමය. වේලාවකට නිකම්මය. වෙලාවකට වැස්සත් සමඟ ය.
‘මට ගමේ මිනිස්සු බන්දුලහාමි කිව්වාට මගේ නම කපුරුගල ආරච් චිල්ලාගේ පුංචිමහත්තයා. මම ඉපදුණේ 1941 දෙසැම්බර් 19. මට මේ ගමේ ඉතිහාසය 1950 ගණන්වල ඉඳලා කියන්න පුළුවන්. 1960 වෙනකොට මේ දියවින්නේ හිටියේ පවුල් 37යි. මගේ පියා කිරිමුදියන්සේ. එයා මේ ගමට ඇවිත් තියෙන්නේ 1920. ඒ කනම්පැල්ලේ ඉඳලා. මගේ මව්ගේ පියා මැදකොරටුවේ මොහොට්ටි හාමි 1915 වගේ තමයි මේ ගමට ඇවිත් තිබෙන්නේ. ඒ සීයා එනකොට කොත්තන් අප්පුහාමි, කලිඟු හාමි කියලා පවුල් 20ක් විතර ඉඳලා තියෙනවා. සපරගමුව මැද කෝරළේ බලංගොඩට තමයි දියවින්න අයිති වුණේ ඒ කාලේ. 1950 වෙනකොට ගෙවල් 27ක් තිබිලා තිබෙනවා. සේරම කටුමැටි පිදුරු ගෙවල්. 1978 වෙනකම් 98%ක්ම කටුමැටි ගෙවල්. 1978 වෙනකොට උළු වහපු ගෙවල් තිබුණේ 3යි. ඒ ගම්විදානේගේ ගෙදර, තවලම් බාසුන්නැහේගේ ගෙදර, එඬේර හාමිලාගේ ගෙදර විදිහට. 1980 වෙනකම් ගමට බඩු ගෙනාවේ තවලමේ. දියවින්න වසම ගත්තොත් 3/4ක්ම අයිති වෙන්නේ උඩවලව කැලේට. ඒ කාලේ හේන් ගොවිතැන, දඩයම 99%ක්ම මේ ගමේ අය කළා. අද මේ රක්ෂිතය හින්දා ඒ එකක්වත් නැහැ.’
මාමා දිග ඉතිහාසයක් අපි ඉස්සරහා දිග අදින්න වැඩි කාලයක් ගත්තේ නැහැ. ඔහු කතාව මඳකට නතරකර ගේ ඇතුළට නික්මී නැවත පැමිණියේ පොතකුත් සමඟය.
‘මේක තමයි මම මේ ගම ගැන ලියපු පොත.’ මේ පොතේ නම දියඉනි කොමළිය. අපි දියඉනි කොමළිය කියවමු. ඒ තුළ කිමිදි කිමිදී සඳගනානුවර මෑත අතීතය සොයමු.

වගා අතීතය
‘ගොඩමඩ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් අපේ වැඩිහිටියෝ ඉපැරණි ඇළ අමුණු සුරකිමින් පහත පිළිවෙළට කුඹුරු ගොවිතැන කළෝය. නිසි කල් යල් බලා වැසි වතුර වැටෙන සමයට වෙල් විදානවරයා සහ ගම්මානේ විදානේවරු මූලිකව සාකච්ඡා කර බණ්ඩාර මනන්නහේටත් දන්වා සුබ දිනයකට සියලු ගොවීන් රැස්කර සාමූහිකව සාකච්ඡා කර වගා කාල සටහන සකස්කර කුඹුරු බෙදාහදාගෙන ඇළ අමුණු සුද්ධ කර වැඩ ආරම්භ කළේය.” මේ දියඉනි කොමළිය පොත මෑත අතීතයේ සඳගනානුවර වී ගොවිතැන ගැන විස්තර ඉදිරිපත් කරනායුරුය. අප මෙලෙස කතාකරන දියවින්න ගමේද ඊට අල්ලපු හඳගිරිය ගමේද ඉඩම්වලින් වැඩි කොටසක් අතීතයේ මඩුවන්වල මහා දිසාවේට අයිති නින්දගම්ය. ඒ නිසා මෙහි මුල් සඳහන් බණ්ඩාර මනන්නහේ යනු එම සම්බන්ධය හදන නිලධාරියාය. මෙලෙස ඇරඹෙන ගොවිතැන කිරිමඩු සාන්තිකර්මය වැනි සාන්තිකර්ම තුළින්ද බාරහාරවලින්ද ඉදිරියට ගියේය. වසංගත බිය දුරුකර ගොයමට මෙන්ම කුඹුරට හිතවත් මීගොන්ටත් එයින් ශාන්තිය උදාවූ බව කියන්නේ මාමාගේ මේ පොතය.

හේන් අතීතය
‘පැල් කණු සයකි මුඩු මැස්සකි මාරුවකී
පැදුරු සයකි ඒ මතුපිට කලාලෙකි
පොල් අතු සයකි ඉරු දොළසකි වියමනකි
අටවිසි බුදුන් සිහිකර ලගිනා පැලකි ‘
බන්දුලහාමි මාමා කවි කියයි. අපි රසට අසමු. එදා ජයට හේන් ගොවිතැන තිබුණු මේ බිමේ ඒ හේන් සියල්ලම වාගේ දැන් උඩවලව වන රක්ෂිත වැට මායිම පැන මාමලාට සරදම්ය.
‘ඉස්සර හිතේ හැටියට හේන් කළා. නිරිතදිග මෝසමට තමයි මෙහේ හේන් පටන්ගන්නේ. මුලින්ම එක යායකට ගොවීන් 10ක් 15ක් එකතුවෙනවා කණ්ඩායමක් විදිහට. ඊට පස්සේ අපි සල්ලිගල යාය, අපි මයිල අත්තක යාය කියලා ඉම් වෙන්කරගන්නවා. වෙසක් මහ එනකොට ගම්මුලාදෑනියා ළඟ ලියාපදිංචි වෙන්න ඕනි. ඊළඟට ඉතිං ගමේ කම්මලට ගිහිං ආයුධ මුවහත් කරගන්නවා. ඉස්සර අපි කැලේට යනකොට පයට දාගෙන යන්නේ ගෝන මුව හංකඩවලින් හදාගත්ත පතුල් හංකඩ. ඉනට ඇඳුම සරුවාලය. ඉසට කම්බි ලේන්සුව. පිඟන් කෝප්ප වෙනුවට පුවක් කොළපත්. සුබ නැකත් බලලා පොසොන් එනකොට ගොවි නායකයා පළමු වල් අත්ත කපලා හේන් කෙටිල්ල පටන්ගන්නවා.’
එහෙත් අද මේ බිමේ හේන් දුලබය. දඩයමටද අත්වී තිබෙන සෙත එයමය. එසමයෙහි ගොවි ක්‍රම අද පැරැන්නන්ගේ හිත් අස්සේ හිරවී ඔවුන් සමගම අභාවයට යමින් තිබෙන්නේය.
හදගිරියේ හීන් අයියා සොයා
දැන් අපි සඳගනා නුවර කේන්ද්‍රයට නැතිනම් චන්දන ග්‍රාමයට යමු. එක් පසෙක කුඹුරුය. අනෙක් පස ඈතින් මහ කැලය අප දෙස බලා සිටින්නේය. අපි අද මේ ගම් ඉම් පෙදෙස් බයිසිකලයක නැගී පසුකරන්නේ සුවපහසු කාපට් මාර්ගයක ය. එහෙත් 1970ට කලින් ගමට යාන්තමට තිබුණේ ට්‍රැක්ටර් මාර්ගයක්ය. නැතිනම් රෝද දෙකේ බලයෙන් උපන් කාණු දෙකක්ය. බලංගොඩට නැතිනම් වැලිගෙපොළට මිනිසුන් ගියේ පයින්ය. කැලේ මැදින්ය. බඩු ගෙනාවේ තවලමෙන්ය. ගමට මුලින්ම බස් එකක් එන්නේ 1972 ජනවාරි 2 වැනිදාවකය. ගමට එළිය එන්නේ 2005 අවුරුද්දේය. මේ ගම් රැසට කලෙළිය උදාකළේ අබුසාලි, මොහාන් එල්ලාවල, මල්ලිකා රත්වත්ත වගේ දේශපාලකයන් බව ගමේ තිබෙන කතාවය. මේ කතා අතරින් අප හඳගිරිය හොයාගෙන යනවිට දණක් මඬේ එරී කුඹුර එක්ක ඔට්ටුවෙන රත්නායක ඇස්සර ගැටුණේය. ඈත රත්නායක බරටම වැඩ. ඊට එහායින් රූස්ස පොල් අරඹ බැලුම් හෙළන්නේ මේ මිනිසාගේ සුරුකම දෙසය. අපි ඔහු පොටෝ කරන්නෙමු. කරන කමක්කාරිය පැත්තකට විසිකරන ඔහු අපට විරිත්තයි. පොටෝ එකකට ඉන්න නම් නිශ්චල වෙන්න එපැයි. ඔහු සිතන සෙයකි. කොටන්න කොටන්න මම කියමි. ඔහු කොටයි. බරටම කොටයි. චිරි චිරි මඩ පැගි පෑගී රත්නායකගේ කකුල් දිගේ උඩට උඩට දුවයි.
‘මගේ වයස 41යි. මට දරුවෝ 3යි මම මේ කුඹුර උගසට ගත්තේ. දැන් ඉතිං බේරගන්නකම් කරනවා.’ ඔහු ආයෙත් විරිත්තයි. බුලත් කහටින් ලස්සන දත් පොටෝ එකට පනියි. කොහේද හීන් අයියා මාමාගේ ගෙදර තියෙන්නේ? මම අසමි. ඔහු දුර සිටම අපට මග කියන්නේය. ටටා එකක් සමඟ අපි අයෙත් මගට වැටෙන්නෙමු.
අපි අන්තිමට සමනල වැව බලාගාරය ඉස්සරහින් ගොස් හීන් අයියාගේ ගෙදර සොයාගතිමු. ඔහු අපි එන බව දැනගෙනද කොහේද එළියේ හිඳ සිටියේය. හීන් අයියා මාමා නේද? ‘ඔව් ඔව් එන්න ගෙට’ ආදරයත් එක්කම ඔහු මට ඔහුගේ ආරාධනාව දමාගැසුවේය. දකුණු ඉන්දියානු සිනමා නළුවෙකුගේ රැවුලක් ඔහුට තිබුණේය. එය නැහැය දෙපසින් කරකැවී ඉහළ බලයි. ඔහු සිනහවෙන්ම ජීවිතය ගෙවාදමමින් සිටින සුන්දර මිනිසෙකි.
මාමාට දැන් වයස කියද?
‘මට දැන් 92ක් මහත්තයෝ. 1926 ඉපදුණේ. දරුවෝ 4යි. පුංචි කාලෙම එක පිරිමි දරුවක් නැතිවුණා. කොල්ලෝ 3යි කෙල්ලයි. මෙහේ තමයි වළගම්බා රජ්ජුරුවෝ රජවෙලා හිටිය සඳගනා නුවර තිබුණේ. මගේ අම්මායි තාත්තායි මෙහෙට ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ 1920 විතර. ඒ කොට්ටිඹුල්වල කියන ගමේ ඉඳලා. 1930 විතර වෙනකොට මේ හඳගිරියේ පවුල් 13යි ඉඳලා තියෙන්නේ. තුඹගොඩ ගෙදර, පට්ටිකුඹුර ගෙදර, හතරමුණේ ගෙදර, කම්මල් කඩුව ගෙදර වගේ ප්‍රධාන ගෙවල්වලින් තමයි ඒ පවුල් 13 හැදිලා තිබුණේ. 1956 පස්සේ තමයි හඳගිරිය දියුණු වුණේ. 1963 අවුරුද්දේ තමයි අපේ ගෙදරට තැපැල් කන්තෝරුව ආවේ. 1956 අමුණක් හැදුවා. 1976 තමයි මුලින්ම පාර කැපෙන්නේ. 1958 නොවැම්බර් 22ක තමයි මුලින්ම වැලිගෙපොළ ඉඳලා ට්‍රැක්ටරයක් ගමට ආවේ.’ මාමා හඳගිරිය අතීතය ගැන කියාගෙන කියාගෙන ගියේ මම පුංචි වචනයකින් දමාගසන තෙක්ය. ‘මාමා බැන්දේ කීයෙන්ද?’ මාමාගේ මුහුණ මලක් වගේ පිපෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ඒ හීන් මැණිකේ නන්දා ගැන මතකයෙන් වන්නට බැරි නැත.
‘මම අවුරුදු 20න් බැන්දේ. එතකොට හීන්මැණිකාට 18යි. අපි දවස් තුනක් මගුල් කෑවා. ඒ කාලේ මනමාලයා කදක් බැඳගෙන මනමාලිගේ ගෙදර ගිහිං කතාබස් කරලා ඇන්න එනවා එච්චරයි. දැන් වගේ ආටෝප නැහැ. අපි සතුටින් හිටියා. උන්දා මට කලින් එහේ ගියා.” පුංචි නිහැඬියාවකි. මොනවද මම තව අහන්නේ මම සිතමි. අපි යන්නට හැරුණෙමු. ‘මහත්තයාලා කැමති නම් මමත් එන්නම් යන්න. දැන් මට කොහේ හිටියත් එකයි.’ අපි කිසිත් නොකියාම ආ මග ගතිමු.

ඉතිහාසය
අපි දැන් මේ ගම් පොකුරේ ඉතිහාසය පිරික්සමු.
‘චන්දන ග්‍රාම රත්නපුරය දිස්ත්‍රික්කයේ ඇති සඳගිරිය නම් ස්ථානයයැයි සමහර වියතුන්ගේ මතයයි. මෙහි ඉතා පැරණි බෝධීන් වහන්සේ නමක් දුටු බව 1932 දී රත්නපුර දිසාපතිව සිටි සී.එච්. කොලින්ස් සඳහන් කර තිබේ. විසිවන සියවසේ මුල් භාගය දක්වා එම පැරැණි බෝධිය පැවතුණි. පුරාණයේ මෙහි සඳගනානුවර නමින් රාජ්‍ය පාලනයට අයත් වූ භූමියක් පැවැති බවට සාක්ෂ්‍ය මතු වී තිබේ. අද එම භූමිය විශාල කුඹුරු යායකි. ක්‍රිපූ දෙවන ශතවර්ෂයේ දී මෙය ඉතා දියුණු ප්‍රදේශයක අගනුවර වී තිබෙන්නට ඇති බවට එහි නටබුන් පරීක්ෂා කළ මහාචාර්ය සෙනරත් පණවිතානයන් පවසා ඇත.’ මේ අන්තර්ජාලයෙන් ගත් උපුටනයක් ය.
බොහෝ වියතුන් කියන්නේ චන්දන ග්‍රාම තිබෙන්නට ඇත්තේ දකුණේ හම්බන්තොටට නුදුරු තිස්සමහාරාමයට කිට්ටු තැනක බවය. ඊට පර්යායව එල්ලාවල මේධානන්ද වැනි වියතුන් කියන්නේ ඒ චන්දන ග්‍රාමයද අතීත සඳගනා නුවරද වළවේ නිම්නයේ මේ බිමම බවය. මේ බිමේ තිබෙන බොහෝ රජමහා විහාරවල ඉතිහාසය යන්නේ ක්‍රිපූර්ව 335 විසූ යටාලතිස්ස රජ යුගයටය. දැන් වළවේ ගඟ නිම්නයේ ඉපැරණි ජනාවාස පිළිබඳව පර්යේෂණයේ නියුතු රාජ් සෝමදේව මහතාගේ පර්යේෂණවල නිගමන කියන්නේ මෙහි ඉතිහාසය අවුරුදු 5000කට එහා බවය.
‘මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරු වෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද යන්න පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව කැණීම් සිදු කරන්නේ බලංගොඩ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරගහමඩිත්ත වවුල් ගුහාව ආශ්‍රිතවය. එම ගුහාව ආශ්‍රිතව සිදුකළ කැණීම් තුළින් වසර 5000-6000ත් අතර අතීතයේ මානවයක් ජීවත් වූ බවට සාධක රැසක් හමුවී තිබේ.’
මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ “මේ කලාපයේ වසර 5000-6000ත් අතර ජීවත් වූ මිනිසා දඩයමින් ඈත් වී ගොවිතැනට හුරු වූ බව විශ්වාස කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මේ ගුහාවෙන් හමුවුණ තරු වළල්ල. එම තරු වළල්ලේ ළඟ ළඟ සිදුරු 19ක් තියෙනවා. මේ තරු වළල්ල ගලෙහි කොටාගෙන තියෙන්නේ මේ ගුහාවල ජීවත් වූ ජනතාවට සෘතු භේදය හඳුනා ගැනීමට නිර්ණායකයක් ලෙසයි. සමකයට ආසන්න උත්තර ධ්‍රැවයේ රටවල ග්‍රීෂ්ම කාලයේදී ආකාශයේ පායා තිබෙන දඩයක්කාරයාගේ හැඩයට ඇති ඔරායන් තරු මණ්ඩලය දීප්තිමත්ව පායනවා. වස්සාන සෘතුවේදී එහි දීප්තිය අඩු වෙනවා. ඉතින් මේ කලාපයේ දඩයමින් ඉවත් වී ක්‍රමයෙන් කෘෂිකර්මයට හුරු වූ මිනිසා සිය ධාන්‍ය වගා කිරීමට, පල නෙළා ගැනීමට සෘතු භේදය හඳුනා ගන්නේ ආකාශයේ පායා තියෙන දඩයක් කාරයාගේ තරු වළල්ල බලලා. ඒ තරු වළල්ල පහසුවෙන් හඳුනා ගැනීමට තමයි කැලැන්ඩරයක් විදිහට තරු වළල්ල සිය ගලු ගුහාවේ කොටාගෙන තියෙන්නේ. මේ වගේ තරු වළල්ලක් මීට කලින් ඉලුක්කුඹුරේ හුණුගල් ගුහාවෙනුත් හම්බවුණා. නමුත් එකක් විතරක් හම්බවුණ නිසා අපි ඒ ගැන තැකීමක් කළේ නෑ. ඒක ස්වාභාවික පිහිටීමක් හරි කැකුණ ඇට තලද්දී සිදුරුවීමක් හරි වෙන්න ඇති කියලාත් හිතුණා. ඒත් ඊට නුදුරු මේ ගල්ගුහාවෙත් ඒ හැඩයට හමුවුණ නිසයි අපි විශ්වාස කළේ.
විශේෂයෙන් චීනයේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ටත් මේ වගේම තරු වළල්ලක් හමුවෙලා තියෙනවා. චීනෙන් ඒක ඒ අය කාලනිර්ණය කරලා ක්‍රිපූ 4500ක එපිට එකක් කියලා කියා තියනවා. එම තරු වළල්ලත් ඔරායන් තරු වළල්ල දැක්වෙන සංකේතයක් කියලා තමයි චීනයේ පුරා විද්‍යාඥයෝ කියලා තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ අතීත මිනිසුන් ආහාරයට ගත්තා කියලා විශ්වාස කරන්න පුළුවන් ධාන්‍ය ඇට 35ක් හමුවුණා. ඉතා සියුම් ලෙස පහර දෙන්න පුළුවන් ගල් ආයුධයකුත් හමුවුණා. තව ගල් මෙවලම් 10ක් පමණ හඳුනා ගත්තා. අපි මීට කලින් කැණීම් කළ මැද්දෙකන්ද ගල් ගුහාව, ඉලුක්කුඹුර ගුහාව මේ තැන් අතර අතීත මානවයන් බෙදාහදාගෙන ජීවත් වූ සංස්කෘතියකුත් තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ ගල් ගුහාව තුළින් හමුවූ ධාන්‍ය ඇට මේ කලාපයේම වගා කරන්න ඇති” යනුවෙන් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.‘( උපුටාගැනීම කැලණිය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය)
මේ පර්යේෂණ උඩවලව මේ අප කතාකරන බිමේ පිහිටි බොහෝ ගල් ගුහා නිරීක්ෂණය කරන අතර එම පර්යේෂණවල නිගමනයන් සිත්ගන්නාසුලුය. ඒ අනුව අතීත මානවයාගේ ජනාවාස ජීවිතය මෙන්ම ඔහු ගොවිතැනට සංක්‍රමණය වීම පිළිබඳ ඉතිහාසයද ගමන්කරන්නේ අප අද සිතාගෙන සිටිනවාට වඩා බොහෝ අතීතයකටය. එවැනි අතීතයක් දරාගත් වළවේ නිම්නයෙන් සඳගනානුවරින් නැතිනම් අතීත චන්දන ග්‍රාමයෙන් අපි සමුගතිමු. සමනල වැවට ළඟ මහා කන්ද පසාරුකර නිර්මාණය කළ කුරුබිලියෙන් අපි රජවකටද ඉන්පසු බලංගොඩටද නැවත පැමිණියෙමු.■