රාවය

ඔහු අමුතු මිනිසෙකි

ඔහු  අමුතු මිනිසෙකි

රේඛා නිලුක්ෂි හේරත්\ තරිඳු උඩුවරගෙදර

අපි කල්පනා කරමින් හිටියෙ ජෙයපාලන් ගැන ලියන සටහන් කොතැනින් පටන්ගෙන කොතැනින් කෙළවර කරන්නද කියායි. සංවාදය පැය තුනක් දිගු එකකි. මාස කිහිපයකට පෙර සිදුවූ සංවාදයකි. ඔහු සමඟ දේශපාලනය පිළිබඳ සංවාද සටහනක් ඒ දිනවල පළවිය. ඒත් ඒ සංවාදයේදී ලියන්නට නොහැකි වූ ඔහු ගැන කියන්නට වුවමනාවෙන් සිටි සිදුවීමක් දෙකක් පසුව ලියන්නට තබාගත්තෙමු. කොළඹ හෝටලයක නැවතී සිටි ඔහු දින කිහිපයකට ලංකාවට පැමිණ නැවත පිටත්වෙන්නට නියමිතව තිබුණු දිනයේ අපි ඔහු හමුවුණෙමු. ඔහු සමඟ පැය තුනක් තිස්සේ කතාකළෙමු.
ජෙයපාලන් මහා පරමාදර්ශී, මානවවාදී මිනිසෙකු ලෙස කාව්‍යමය වචනවලින් පෙන්වනවාට වඩා ඔහු වෙනස් මිනිසෙකැයි කියන්නට අපි කැමැත්තෙමු. සාමාන්‍යයෙන් දෙමළ මිනිසුන් ගැන ලියැවෙන මෙවැනි සිංහල සටහන් හැකි තරම් වචන යොදමින් මානවවාදයෙන් පුරවා දැමීම සිරිතයි. එවැන්නක් අවැසි නැත. ජෙයපාලන් අමුතු මිනිසෙකැයි කියන්නට කැමැත්තෙමු. අනෙක් අතට ඔහු අසීමාන්තික හිතුවක්කාරයෙක්යැයි කියන්නටද කැමැත්තෙමු. ඔහු පෙනුමෙන් මෙන්ම අදහස්වලින්ම හිතුවක් කාරයෙකි. ඔහුගේ රැවුල වැවී ඇත්තේ නූතන ලෝකයට නොගැළපෙන ලෙසය. දීර්ඝ රැවුල්ගස් හිතුමතේ වැවී ඇත. කමිසය සහ ඔහුගේ ඇඳුම්ද වෙනස්ය. සිනහව වෙනස්ය. ඔහු එක්වරක් දකින අයෙකුට කිසිදා අමතක නොවේ.

ජෙයපාලන් කවුදැයි හරිහැටි නොදන්නෙමු. විකිපීඩියාව කියන්නේ ඔහු කොලිවුඞ් නළුවෙක්, දේශපාලන මත දක්වන්නෙක්, ලේඛකයෙක් සහ කවියෙක් කියාය. කවියෙක් යන්න ඇත්තේ අන්තිමටයි. සිංහලෙන් ඔහු ගැන ලියූ සටහන්වල කියන්නේ ඔහු කවියෙක් කියාය. අප බරපතළ දෙමළ සිනමා රසිකයන් වූ නිසා අපට නම් ඔහු වැඩිපුරම දැනෙන්නේ චරිත කිහිපයකින් ඔහු ඉන්දීය දෙමළ සිනමාවේ අමරණීය රංගන ශිල්පියෙකු වූ ආකාරයයි.

අතීතය
ජෙයපාලන් ඉපදුණේ යාපනයේ උඩුවිල්හීදී 1944 දීය. ඔහුගේ මව සහ පියා වී.අයි. සන්මුගපිල්ලේ සහ රාමනාදන් රාසම්මා නම් විය. පියා ව්‍යාපාරිකයෙකි. මතුගම ඔහුට ව්‍යාපාර තිබී ඇත. එක් අවුරුද්දක් පාසල් යනතෙක් උඩුවිල්හි විසූ ජෙයපාලන් තමන්ගේ පියාගේ ගම වන ඩෙල්ෆ්ට් වෙත යන්නේ ඩෙල්ෆ්ට්හි අධ්‍යාපනය ලැබීමටය. එහි ටික කලක් සිටින ඔහු කොළඹට පැමිණෙයි.
ජෙයපාලන් මතුගමට පැමිණෙන්නේ සිංහලෙන් ඉගෙනගන්නටය. ඔහුගේ නිවසෙන් ඔහු සිංහල සඳහා අමතර පංතිද යවා ඇත. ඒ කාලයේ දෙමළ දරුවන්ට සිංහල අමතර පන්ති ලබාදීමට යම් තරමකට මුදල් ඇති පුද්ගලයන්ගේ පුරුද්දක්ව තිබී ඇත. සංවාදයෙන් පසුව ජෙයපාලන් සිංහල ඉගෙනගත් ආකාරය ගැන අප තැබූ දළ සටහනක් මෙසේය.

‘ජෙයපාලන් සිංහල දන්නේ නැහැ. ඔහුගෙ ජීවිතයේ ලොකුම කනගාටුව තියෙන්නෙ ඒ ගැන. ජෙයපාලන් 1955 දී තමයි මතුගම සෙන් මේරීස් විද්‍යාලයට ඇතුළු වෙන්නේ. යාපනයේ ඉඳන් ඇවිත්. සිංහල පමණයි ප්‍රතිපත්තිය සමඟ භාෂා ප්‍රශ්නය ඇතිවෙන්නේ ඊට පස්සෙ අවුරුද්දෙ. මහා ප්‍රශ්න ගණනාවක මුල. 1956 දී ජෙයපාලන්ගේ පියා ජෙයපාලන්ව සෙන් මේරීස් විද්‍යාලයෙන් ඉවත් කරවාගන්නවා. සිංහල ඉගෙනගන්නට ජෙය පාලන්ට අවස්ථාව අහිමිවෙනවා. 1958 දී දෙමළ විරෝධී කලබල සිංහල නායකත්වය විසින් ඇතිකරද්දී ජෙයපාලන්ගේ පියා මතුගම තිබුණු වෙළෙඳසැලත් අත්හැර යාපනයට යනවා. ඒ සියල්ල ජෙයපාලන් ළමා කාලයේදී දකුණ එක්ක ඇතිකරගත්ත බැඳීමක් නැති කර දානවා. ජෙයපාලන් ආයෙමත් ඩෙල්ෆ්ට්වල ඉස්කෝලෙ යනවා.’ ඔහුගේ සිංහල අධ්‍යාපනය එසේ බිඳවැටෙයි.

‘කවුරු හරි බලකරන්න ගියොත් ඒක කරන්නෙපා කියලා තාත්තා කිව්වා. අපට සිංහල ඉගෙනගන්න කියලා බලකළ හින්දා අපි සිංහල ඉගෙනගන්න එක නැවැත්වුවා.’ ජෙයපාලන් ඒ ගැන කීවේ එසේය. ඔහු නැවත ඩෙල්ෆ්ට් යයි. ඩෙල්ෆ්ට් පරිසරය ඔහුගේ කවිවලට බොහෝ බලපා ඇති බව කියැවෙයි. අප සමඟ ජෙයපාලන් කතාබහ කළේද දෙමළ භාෂාවෙනි. අතරින් පතරට ඉංග්‍රීසි එක්විය. ඔහු සිංහල නොදනියි. ඔහු ජීවිතයේ වැඩිපුරම කම්පා වෙන්නේ සිංහල ඉගෙනගැනීමට නොහැකිවීම ගැනයි. සිංහල තරුණියක විවාහ කරගන්නට නොහැකි වීම ගැනයි.
‘මට හොඳට මතකයි එක ලස්සන සිංහල අවුරුද්දක්. ලස්සන ‘සුරංගනී’ කෙනෙක් රබන් වය වයා හිටියා. එයාලාගෙ පවුල මගේ අසල්වැසියෝ. මම ටිකක් තරුණ වයසට එමින් හිටියේ. අවුරුදු 11යි. ඒ කියන්නෙ මනමාල වැඩවලට හොඳ කාලයක්. මම ඇවිදිනකොට මට ඔංචිල්ලා පදින්න එයා කතාකළා. ලොකු ගහක තිබුණු ඔංචිල්ලාවක්. කෙල්ලෙක් ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි හින්ද මම අභියෝගය බාර අරන් පදින්න ලෑස්තිවුණා. වට තුන පදිනකොට මං බිම.’ ඔහු යන්තමින් මතුගම මතකයක් අවදි කරගන්නේ සිනහවක් සමඟයි.

පීඩිතයා වෙනුවෙන්
කුඩා කාලයේ ඩෙල්ෆ්ට්වලද, යළි මතුගමද ඔහු පාසල් කාලය ගෙවීය. පෙර කී පරිදිම ඔහු හිතුවක්කාරයෙකු වූ නිසා පාසල් කිහිපයකටම ඔහුට මාරුවෙන්නට සිදුවිය. පාසල් අධ්‍යාපනය ගැන ඔහුට ලොකු උනන්දුවක් නොවීය. අධ්‍යාපනය අත්හැරුණි.
ඔහු කළේ කුල විරෝධී දේශපාලනයකි. ඔහුගේ තාත්තාද දේශපාලනය ගැන උනන්දු අයෙකි. එහෙත් පියා ඉහළ කුලයේ, කුලය ගැන විශ්වාස කළ අයෙකි. ‘තරුණ කාලයට එද්දී මම ආසාවෙන් හිටියේ පැරිස් යන්න. ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඉගෙනගන්න. මම දේශපාලනය කළේ එදිනෙදා මම දකින දේවල් ගැන අදහස් දක්වන කෙනෙක් විදියට විතරයි. ඒත් දවසක් තාත්තා මට විරුද්ධව තුවක්කුව අතට ගත්තා. මට කිව්වා උඹ එක්කෝ ඉගෙනගනිං. නැත්නම් ගෙදරින් එළියට බැහැපං කියලා. මගේ ගෙදර ඉඳං දේශපාලනය කිරීම තහනම් කියලා තාත්තා කිව්වා. මගේ කුලයට විරුද්ධව දේශපාලනය කරනවා නම් මම උඹට වෙඩි තියනවා කිව්වා.’ ජෙයපාලන් නිවසෙන් එළියට බහියි.

‘පැරිස් යන වැඬේ මඟහැරුණා. මට ලංකාවෙ ඉන්න වුණා. ඒත් ගෙදර හිටියා හොඳ මංකොල්ලකාර කාන්තාවක්. අම්මා. ඇය හොරෙන් හොරෙන් මට තාත්තාගේ සල්ලි හෙව්වා. මම ඒ සල්ලිවලින් ඇවිද්දා. දේශපාලනය කළා. යාළුවෝ එක්ක හිටියා. මොනරාගල ගිහින් ටික කාලයක් හිටියා. හම්බන්තොට ගියා. උඩරට දෙමළ අය ගැන හෙව්වා. අන්තිමේදී විභාගය කරලා යාපනය විශ්වවිද්‍යාලයට ගියා.’

වාමාංශික දේශ පාලනයට ඔහුගේ හිත යන්නේ ඔය අතරමැදි කාලයේය. එදා සිට අද වෙනතුරු ඔහු පීඩිතයා වෙනුවෙන් භාවිතයෙන්ම පෙනීසිටියේය. උතුරේදී පීඩිතයා සිංහල නම් ඒ වෙනුවෙන්ද, පීඩිතයා මුස්ලිම් නම් ඒ වෙනුවෙන්ද ඔහු පෙනීසිටියේය. දෙමළ දේශපාලනය සමඟ ඔහුට ඇති දරුණුම මතගැටුම වන්නේද දෙමළ නායකයන් විසින් මුස්ලිම් ජනතාව එළවා දැමීමේ සිදුවීමයි. තරුණ කාලයේ ඔහු වැඩිපුරම ගැටුනේ දෙමළ දේශපාලන නායකත්වය විසින් කුලවාදය නඩත්තු කිරීම ගැනයි. කුල පීඩනයට එරෙහිව ඔහු දරුණු ලෙස පෙනීසිටියේය.
ඔහු පීඩිතයා වෙනුවෙන් පෙනීසිටින ජාතික, වාමාංශික දේශපාලනයක් ගැන එකල සිහින දැක්කේය. ජෙයපාලන් තරුණ ක්‍රියාකාරිකයෙකු ලෙස ජනප්‍රිය විය. එකල දකුණේ සහ උතුරේ වාමාංශික නායකයන් අතර එකඟත්වයක් තනාගැනීම තමාගේ හීනය වූ බව ඔහු කියයි. ඒ වෙනුවෙන් ඔහු වරක් රෝහණ විජේවීරද මුණගැසුණු බව කියයි.

‘අපි පොඩි වෙලාවක් කතාකළා. මම කිව්වා ඔයා ෆෙඩරල් ක්‍රමය පිළිගන්නවා නම් අපිත් එකඟවෙනවා කියලා. ඒත් විජේවීර ෆෙඩරල් ක්‍රමය පිළිගත්තේ නෑ. එතැනින් ජේවීපීය ගැන තිබුණු විශ්වාසය මට නැතිවුණා.’ තමන්ට සමකාලීනව දකුණේ වර්ධනය වෙමින් පැවති ජවිපෙ දේශපාලනය ගැන ඔහු එසේ කියයි. ‘විජේවීර හරි ප්‍රතිපත්තිවල හිටියා නම් අපි බොහෝදෙනෙකුගේ සහාය ඔහුට ගන්න තිබුණා. ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරන්න අපට පුළුවන් වෙන්න තිබුණා. එහෙනම් විප්ලවය පරාදවුණත් තරුණයන්ගේ දේශපාලනය අලුත්ම මඟකට යොමුවෙන්න තිබුණා.’

විශ්වවිද්‍යාලය
ටික කලක් දේශපාලනය කරමින් ජීවත්වෙන ජෙයපාලන් විශ්වවිද්‍යාලයට යන්නේ හැත්තෑව-අසූව දශකයේ මැද කාලයේය. වසර දෙකක් තුළ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ ජනප්‍රිය නායකයෙක් විය. ඔහු හැත්තෑහතේදී විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නායකයා විය.
රාවය පාඨකයෙකු වන සමිත විජේවර්ධන ජෙයපාලන් සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාව රාවයේ පළවුණු පසුව ජෙයපාලන්ගේ විශ්වවිද්‍යාල දිවියට අදාළ අත්දැකීමක් අප වෙත ලියා එවා තිබුණි. ඒ දිනවල ඒ සටහන පළකරන්නට නොහැකි වුණත් මේ සටහනෙහි අපි ඔහු ලියූ සටහන උපුටා දක්වන්නට සිතුවෙමු. සමිත පවසන්නේ හැත්තෑහතේ යාපනයේ පොලිස් නිලධාරීන් පිරිසක් දෙමළ ජාතිකයන් පිරිසකට නිකරුණේ පහරදීමත් ඉන්පසුව උතුරේ ඇතිවූ කලහකාරී තත්ත්වයත් සමඟ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට තර්ජන එල්ලවූ පසුබිමක සිදුවූ සිදුවීමකි.
‘දහවලෙහි අන්තවාදී බාහිර පුද්ගලයන් දෙතුන්දෙනෙකු විශ්ව විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළුවුණේ සිංහල සිසුන්ට තර්ජනය කරමිනි. එහෙත් සහකාර ලේඛකාධිකාරි වරයෙකු ගේට්ටුව ළඟදීම ඔවුන් පිටත් කර හැරීය. ඉන් පසු බොහෝ දෙමළ සිසුන් විශ්වවිද්‍යාලයේ රැඳී සිටියේ සිංහල සිසුන්ගේ ආරක්ෂාව සඳහාය. හවස 4ට පමණ නාවික හමුදා ට්‍රක් රථයක් විශ්වවිද්‍යාලයට පැමිණි පසු සිංහල සිසුන් ඒ දෙසට ගියේ ආරක්ෂාව ගැන කතාකරන්නටය. ඒ වනවිටත් සිංහල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි දෙමළ සිසුන්ට එය රිසි නොවීය. ඒ සිද්ධියෙන් පසුව දෙමළ සිසුන් එකිනෙකා විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය අතර අවසානයේ ජෙයපාලන් පමණක් දෙමළ සිසුන් අතරින් ඉතිරි වීය. කොහෙන්දෝ පෙට්‍රෝ ලාම්පුවකුත් සොයාගෙන ජෙයපාලන් රාත්‍රියේ අප සමඟ සිටියේය. රාත්‍රියේ හමුදා ආරක්ෂාවද ලැබුණි.

පසුවදා විශ්වවිද්‍යාලයට පැමිණි දෙමළ සිසුන් අතරින් අන්තවාදී කිහිපදෙනෙකු ජෙයපාලන් සමඟ දැඩි වාග් සංග්‍රාමයක් ඇති කරගෙන තිබුණි. ඔහුට මරණීය තර්ජනද එල්ලවුණු අතර ඒ මොහොතේ ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක්ද ඇතිව තිබුණු බව පසුව දැනගන්නට ලැබුණි.’

රටෙන් පිටවීම
මේ කාලයෙන් පසුව ඔහු වරක් ඉන්දියාවට යයි. ඉන්දියාවේ කලක් සිටින ඔහු නැවත ලංකාවට පැමිණෙයි. දේශපාලනය කරයි. ඒ අතරේ විවිධ පැතිවලින් ඔහුට ජීවිත තර්ජන එල්ලවෙයි. ඔහු නෝර්වේ යන්නේ ඉන් පසුවය. අනූගණන්වල මුල සිට ඔහු දේශපාලන සරණාගතයෙකු බවට පත්වෙයි. සරණාගතයෙකු වීම ගැන ඔහුට ඇත්තේ මහා වේදනාවකි.
යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඔහු වරක් ලංකාවට පැමිණෙයි. ඒ මොහොතේ ඔහු අත්අඩංගුවට ගන්නා අතර ඔහුට රටෙන් පිටවෙන්නට සිදුවෙයි. ඒ සිද්ධිය ගැන දකුණේ කවි ලියැවුණි. ඒ ගැන අපි ඔහුගෙන් ඇසුවත් ඔහු එය මහා සිදුවීමක් ලෙස තැකුවේ නැත. ‘ඔයා සම්බන්ධයෙන් කිසි චෝදනාවක් නැති බව ඇත්ත. ඒත් ඔයාට හැකියාව තියෙනවා දෙමළ ජනතාව විතරක් නෙවෙයි මුස්ලිම් ජනතාවත් එකතු කරගෙන යළි සංවිධානය කරන්න. ඒ විතරක් නෙවෙයි සිංහල ජනතාව අතරේත් ඔබට තැනක් තියෙනවා. ඒ නිසායි ඔබව අත්අඩංගුවට ගන්නෙ කියලා මාව ඇරෙස්ට් කරපු අය කිව්වා. මට ප්‍රශ්නයක් නොවෙන බව මම තේරුම්ගත්තා. මම රටෙන් පිටවුණා. මට සිද්ධවුණ දේ මොකක්ද. ඒ පුංචි සිදුවීමක්. ලංකාවෙ මීට වඩා විශාල දේවල් වෙලා තියෙනවා. මීට වඩා ඛේදවාචක වෙලා තියෙනවා. මගේ සිද්ධිය දැවැන්ත ඉෂූ එකක් කරගන්න මට ඕනෑ නැහැ. මේ රටේ මිනිස්සුන්ට සුළුතරය වීම නිසා ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න වෙලා තියෙනවා. මම ඒවා ගැන කතාකරන්න කැමතියි.’

සිනමා ආගමනය
ඔහුගේ සිනමා ආගමනය ධනුෂ් රංගනයෙන් එක්වූ, වෙට්ටි්‍රමාරන් රඟන අතිශය ජනප්‍රිය දෙමළ චිත්‍රපටියක් වූ ආදුකාලම් (2011) චිත්‍රපටියයි. ධනුෂ් මේ වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනාගත්තේය. එම සම්මානය අඩුම වයසකින් දිනාගත්තේ ධනුෂ් මේ චරිතය වෙනුවෙනි. ආදුකාලම්හි රංගනය වෙනුවෙන් වෙට්ටි්‍රමාරන් ජූරියේ විශේෂ සම්මානයක් දිනාගත්තේය. වෙට්ටි්‍රමාරන් ඉදිරිපත් කළේ පේට්ටෙයික්කාරන් නම් කුකුල් කොටවන කණ්ඩායමක නායකයාගේ චරිතයයි. ධනුෂ්ගේ නායකයා ඔහුය. චිත්‍රපටියේ උපප්‍රධාන චරිතය එයයි. එක්වරම ඔහු සිනමාවට පැමිණි ආකාරය ගැන අපි විමසුවෙමු.
‘බාලු මහේන්ද්‍රාගේ සහායකයෙක් විදියට වෙට්ටි්‍රමාරන් වැඩ කළා. බාලු මහේන්ද්‍රා මගේ හොඳ යාළුවෙක්. එයා මගේ වැඩ රූපමය කවි විදියට දැක්කා. වෙට්ටි්‍රමාරන් මාව දැකලා 2008දී මම ඉන්දියාවට ආ වෙලාවක ඔබ වගේ කෙනෙක්ව මම හොයනවා කියලා කිව්වා. මම කිව්වා මම කවදාවත් රඟපාලා නෑ. මම ඩ්‍රාමා කරලාවත් නෑ. මම රඟපාලා තියෙන්නෙ මගේ වයිෆ්ව කසාද බැන්දාට පස්සෙ වයිෆ් එක්ක විතරයි කියලා. වෙට්ටි්‍රමාරන් කිව්වා අපෝ ඒ හොඳටම ඇති කියලා. මම කිව්වා එයාට, මම හැම අවුරුදු පහකට සැරයක්ම අලුත් දෙයක් ඉගෙනගන්නවා. දැන් රඟපාන්න කිව්ව නිසා මම ඉගෙනගෙන වැඬේට සම්බන්ධවෙන්නම් කියලා. මම රඟපෑමේ තියරි ඉගෙනගන්න ගත්තා. මම වෙට්ටි්‍රමාරන්ගෙනුත් ඉගෙනගන්න බලා පොරොත්තු වුණා. එයා සතියක් විතර ඉගැන්වුවා. ඒකට පස්සෙ සීන් එකක් කළා. ඒ වෙලාවෙ මම ඉගෙනගත්තා.’
පේට්ටෙයික්කාරන් චරිතය ඉතා අසීරු චරිතයකි. ජෙයපාලන් එය ඉදිරිපත් කරන ආකාරය ඉතා පරිණතය. අපි චරිතය ගැන ඇසුවෙමු.
‘මම චරිතය කරන්න ලෑස්තිවුණේ සාමාන්‍ය විදියට. රඟපෑම කියන්නෙ සාමාන්‍ය ජීවිතය යළි නිරූපණය කිරීමක් නම් මම ඒ චරිතයට අදාළව හැකි තරම් සාමාන්‍ය විදියට කරන්න ඕනෑ. ඒත් සීන් එක කරන්න පටන්ගත්තාම වෙට්ටි්‍රමාරන් මට කියනවා ඔයා තව ඇස් දෙක ලොකු කරන්න ඕනෑ. තව ටිකක් පෙනුම රෞද්‍ර කරගන්න ඕනෑ. එතකොට මම තේරුම්ගත්තා රඟපෑම කියන්නෙ සාමාන්‍ය ජීවිතය නිරූපණයක්ම නෙවෙයි. එතැන සාමාන්‍ය ජීවිතේට එහා ගිහින් රංගනයක් කරන්න ඕනෑ කියලා. මම ඒ චරිතය විදියට හිතන්න ගත්තා. ඒත් ටිකක් ඕවර් ඇක්ටින් කළා.’

අනාගතය
ජෙයපාලන්ගේ බිරිඳ වාසුකී වෙයි. ඔහුගේ පුතා දැන් උසස් අධ්‍යාපනය ලබන තරුණයෙකි. ජෙයපාලන් සහ වාසුකී දැන් විශ්‍රාමිකව වෙසෙති. ඉන්දියාවේද නෝර්වේද අතර ජීවිතය ගලායයි. ඔහු වක්‍රාකාරව කී විදියට නැවත ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට අදහසක්ද ඇති බව පෙනෙයි. ‘මෙයා තමයි මගේ බොස්. එයා කිව්වොත් ඒ හැම දෙයක්ම කරන්න ඕනෑ. මම තරම් හිතුවක්කාරයෙක් මේ ලෝකෙ නෑ. හැබැයි මගේ ඔක්කොම හිතුවක්කාරකම් මෙයාට යටයි.’ වාසුකී පෙන්වමින් ජෙයපාලන් කියයි. වාසුකී සිනහසෙයි. ‘මාවයි මෙයාවයි ෆොටෝ එකක් ගන්න.’ ජෙයපාලන් අපෙන් ඉල්ලයි. ඔවුහු එදින සවස ලංකාවෙන් පිටව ගියෝය. මේ මාස කිහිපයකට පෙරය. අදත් ජෙයපාලන් නිතර ෆෙස්බුක් හරහා අප සමඟ කතාකරයි. ‘සහෝදරයා මොකද වෙන්නේ.’ අසයි. ඔහු අමුතු මිනිසෙකි.■