රාවය

දැන් කෙල්ලකට වඩා මගේ ආච්චි දියුණුයි | රංගන ශිල්පී, තිරපිටපත් රචක, අධ්‍යක්ෂ නාමල් ජයසිංහ

දැන් කෙල්ලකට වඩා  මගේ ආච්චි දියුණුයි | රංගන ශිල්පී, තිරපිටපත් රචක, අධ්‍යක්ෂ  නාමල් ජයසිංහ

නාමල්ගේ ළමා කාලය සුන්දරද?
කොහොමද ඒක කියන්නේ. අද හිතනකොට මට හිතෙන්නේ ඒක අසුන්දර නෑ. සාපේක්ෂව මට ඒක සුන්දර ඇයි කියලා කියන්න තේරෙන්නේත් නෑ. මම අද මතක් කරන කොට සුන්දර සහ අසුන්දර මතක ගණනාවක්ම එහි තියෙනවා. ඒත් ඒ කාලය ගෙවිලා ඉවර හින්දා අසුන්දර කාලය ගැන කනගාටුවෙන්න වුවමනාවක් අද මට නෑ.
පොඩි කාලේ අපේ පවුල්වල අය ආර්ථික ක්‍රය ශක්තියක් තිබුණ මිනිස්සු නෙමෙයි. අපේ මව්පියෝ සාමාන්‍ය රස්සාවල් කළ අය. තාත්තා රියැදුරෙක්. අම්මා සමුපකාරයක මැනේජර්කම කළා. මට අවුරුදු හතක්, අටක් වෙනකොට අම්මා රට ගියා. ඊළඟට අපි තාත්තාත් එක්ක හිටියා. ඇත්තම තත්ත්වය නම් අම්මා රට යනවාත් එක්කම තාත්තාත් මඟහැරුණා. සමහර වෙලාවට තාත්තා දවස් තුන හතර එන්නේ නෑ. ආවත් අපිට කන්න මොනවාහරි ගෙනත් දෙනවා ඇරෙන්න ඊට එහා දෙයක් වුණේ නැහැ.
මමයි මල්ලියි හිටියේ. ඉතින් එතැන ඉඳලා මල්ලිව බලාගන්න එක, මිනිහාගේ රෙදි හෝදන එක, කන්න හදලා දෙන එක, ඉස්කෝලේ අරගෙන යන එක මගේ සින්නක්කර වැඩ වුණා. එහෙම කාලයක් ගෙවුණා. ඒත් අසුන්දර නෑ. මොකද ඒක මගේ පැවරුමක් විදිහට තමයි ඒ දවස්වල මම ගත්තේ. ඒ වයසේ ළමයෙකු අත්විඳින අත්දැකීම් අත්වින්දේ නැහැ කියලාත් මට වෙලාවකට හිතෙනවා.

අම්මායි තාත්තායි මගඇරුණත් ඉගෙනීම මගඇරුණේ නැද්ද?
මොකද්දෝ එහෙකට ඉගෙනීමේ ආශාව පුංචි කාලේ ඉඳලාම තිබුණා. ඉස්කෝලේ යන්න බස් එකට දෙන සල්ලි හොරෙන් බස් එකේ ගිහින් ඉතිරි කරගෙන විජය, මිහිර ගන්න පුරුද්දක් මට තිබුණා.

කලාව පැත්තට යොමුවුණේ කොහොමද?
මට පුංචි කාලෙදීම මගේ හිතේ ලොකු බීජයක් හිටවපු කෙනෙක් ඉන්නවා. ඒ අපේ ආච්චි කෙනෙක්. එයාට මම ආදරේට කිව්වේ දෙමටගොඩ ආච්චි කියලා. එයා කොළොන්නාව බාලිකාවේ චිත්‍ර ගුරුවරිය. එයා නිතරම කිව්ව දෙයක් තමයි මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඒ අදහස මගේ ඔළුවේ වැඩ කළා. ඇයත් මට පාටකූරු, පාට පැන්සල් නිතර නිතර ගෙනත් දුන්නා. චිත්‍ර අඳින්න නිතරම මාව පෙළඹුවා. ආච්චිගේ අගය කිරීම මට හරිම වැදගත් වුණා.
එකපාරක් මම ආච්චිට කිව්වා, මට ඕනෑ ලයිෆ් ඩ්‍රෝවින්ග් අඳින්න කියලා. අපි හරිම එකතුයි. ආච්චි මට හිනාවෙලා කිව්වා, මම කොහොමද බන් උඹට චිත්‍ර අඳින්න නිවුඞ් ගැහැනු හොයන්නේ, එහෙම කරන්න මට බෑ, උඹලා ඔය බලන සෙක්ස් මැගසින්වල (ආච්චි කිව්වේ බ්ලූ කියලා) තියෙන පින්තූර දෙක තුනක් ලොකු කරලා එන්ලාජ් කරලා අරගෙන වරෙන් කියලා.
ඉතින් මම ඒකේ කිසියම් ශිෂ්ටත්වයක් තියෙන ජාතියේ පින්තූර දෙක තුනක් අර විදිහට අරගෙන ගියා. එයා ඒක බිත්තියේ ගහලා කොටු ඇඳලා කරලා මට ෆිගර් අඳින හැටි කියලා දුන්නා. එහෙම තමයි මම චිත්‍රවලට ආසවුණේ. ආච්චි තමයි මාව චිත්‍ර ශිල්පියෙක් කළේ. මගේ පාසලේවත් උසස් පෙළට චිත්‍ර කරන්න පහසුකම් තිබුණේ නැහැ.

ඔබගේ ආච්චි ඇත්තටම චරිතයක්.
අපෝ ඔව්! එයා වයසට යනකම්ම තරුණ කට්ටිය එක්ක හිටපු කෙනෙක්. හොඳ ගුරුවරියක්. ඒ වගේම විවෘත මනසක් තිබුණ කෙනෙක්. කොටින්ම දැන් කෙල්ලකුට වඩා මගේ ආච්චි දියුණුයි.

ඉස්කෝලෙන් අවුට් වෙලා මොකද කළේ?
උසස් පෙළ කළ ගමන් රස්සාවල්වලට දාන්න පටන් ගත්තා. ඒක අපේ ජීවන විලාසයේම පුරුද්දක්. මොකද ගෙදරට වෙලා කාලය ගෙවන්න පුළුවන් පවුල් නෙමෙයි අපි. ඉතින් මුලින්ම රැකියාවක් විදිහට කළේ ආච්චිට ස්තුති වෙන්න, චිත්‍ර අතේම වැඩක් තමයි. මගේ මුල්ම රැකියාව ‘දීපන’ කියලා පබ්ලිකේෂන් එකක චිත්‍ර අඳින එක. මුල්ම ජොබ් එක ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන එක තමයි.

නාමල් එතකොට පදිංචිය කොහේද?
ඉපදුණේ කොටිකාවත්තේ. පස්සේ මල්වානේ. ඊළඟට කඩුවෙල. මොකද අපි කුලීකරුවොනේ. කාලෙන් කාලයට ගෙවල් මාරු කරනවා.

අර රස්සාව දිගට කාලයක් කළාද?
නෑ. මාස තුනයි හිටියේ. මේ මාස තුන වැඩ කරන කොට මට තේරුණා ඇත්තටම මට චිත්‍ර අඳින්න බෑ කියලා. ආච්චිගෙන් ඉගෙනගත්ත දැනුම මදි කියලා. මම දැනගෙන හිටියෙත් ආච්චි උගන්වපු දේ විතරයිනේ. ඉතින් මම පත්තර රස්සාවෙන් අයින්වෙලා ජනකලා කේන්ද්‍රයේ චිත්‍ර සම්බන්ධ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. පත්තරේ කට්ටිය කිව්වා රස්සාව කරන ගමන් ඒක කරන්න කියලා. ඒත් සතියට දවස් පහක් ඒක තිබුණා. ඉතින් රස්සාව අතඇරියා. මම ඒ ඩිප්ලෝමාව හොඳට කරගෙන ගියා. ඒකේ ඇඳපු චිත්‍ර තවමත් ගෙදර තියෙනවා.

හොඳට කරගෙන ගියා කිව්වාට ඒක ඉවරවෙලා නෑ නේද?
ඔව්නේ. ඉවරකරන්න බැරිවුණා. චිත්‍ර පන්තියට අල්ලපු පන්තියේ නාට්‍ය වැඩමුළු පවත්වනවා. මට ඒකට හිත ගියා. මම චිත්‍ර ඩිප්ලෝමාව අතඇරලා නාට්‍ය වැඩමුළුවට ගියා. චිත්‍ර ටීචර් මාත් එක්ක තරහත් වුණා. එතැන නාට්‍ය කරන්න ආවේ සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය කණ්ඩායමේ අය.

එතනදීද ඔබට ඔබ තුළ ඉන්න නළුවා හම්බ වෙන්නේ?
ඔය වැඩමුළු කියන්නෙම නළුනිළියෝ හදන වැඬේට. ඒත් නාට්‍ය කලාවක් විදිහට කරන එක සෑහෙන පුළුල්. ඒත් හැමතැනම රංගනය තමයි ලොකුම දේ. මේ කාලයේදී නළුවා හම්බවෙන එක කොහොම වුණත් මට හොඳ යාළුවෝ ටිකක් හම්බ වුණා. කලාව ඇතුළේ රස්තියාදු ගහන ලුම්පන් කට්ටියක්. රංගනය ගැන පිස්සුව හැදුණු හින්දා මම සෝමලතා මිස්ට අමතරව සාලමන් ෆොන්සේකා සර් ළඟටත් ගියා. මේ අර සෙට් එක හින්දා. එකම කාලේ. සෝමලතා මිස්ගෙන් බර්ට්‍රොල් බ්‍රෙෂ්ට් ඉගෙනගන්න කොට සාලමන් සර්ගෙන් ස්ටැනිස්ලව්ස්කි ගැන ඉගෙනගත්තා.
මේ කාලය තමයි මගේ ජීවිතේ සුන්දරම කාලය කියලා මම අදටත් විශ්වාස කරන්නේ. නට් ඇන්ඞ් බෝල්ට් හරියටම සෙට්වුණ කාලය.

රස්සාවක් නොකරද මේවා කළේ?
නෑ. නෑ. කරන ගමන්. මට කොහොමත් තේරෙන කාලේ ඉඳලම අදහසක් තිබුණා මම අවුරුදු 16න් පස්සේ ගෙදරින් යැපෙන්නේ නැහැ කියලා. ඒ කාලේ කියවපු පොතපත ඒකට බලපාන්න ඇති. ඉතින් මේ නාට්‍ය වැඩමුළුවලට මමම තමයි සල්ලි හොයාගත්තේ.
කාලයක් ස්ටුවර්ට් කෙනෙක් විදිහට වැඩකළා. පුහුණුව ලබලා නෙමෙයි පුරප්පාඩු පුරවන්න. (හිනා) ඊළඟට වයරින් වැඩවල ගෝල රස්සාව කළා. සෑහෙන බිත්ති ප්‍රමාණයක් කැඩුවා. (හිනා) ඊළඟට සෙටි බැක් කළා. ඔහොම ඔහොම සෑහෙන රස්සා ප්‍රමාණයක් කළා.

කියවපු පොත්වලින් කියලා නාමල් කිව්වේ සෑහෙන්න කියෙව්වාද?
පුංචි කාලේ ඉඳලා හුදෙකලා වන ජීවිතේ ඇතුළේ අවට ලෝකය, අවට පරිසරය ගැන මට දැනගන්න තිබුණ එකම විදිහ පොත්. වෙන මුකුත් නෑ. අපිට කියලා ටෙලිවිෂන් නෑ. අම්මා තාත්තා දුර හින්දා අපිට චිත්‍රපටයක් නාට්‍යයක් බලන පසුබිමක් නෑ. එහෙම සංස්කෘතියක් තුළ එළියේ සංස්කෘතිය මට ඉගෙනගන්න තිබුණ එකම ක්‍රමය පොත්. ඒක මම නොගන්න මගේ මාවතම වෙනස් වෙන්න තිබුණා.

ඒ කාලේ අපේ මාමා කෙනෙක් හිටියා. එයා ලොන්ඩරි දාලම තමයි දිනපතා ඇඳුම් අඳින්නේ. ලොන්ඩරිය තිබුණේ ගෙදර ඉඳලා මීටර් දෙකකට විතර එහා. මට තමයි ඇඳුම් ගෙනෙන්න කියන්නේ. මේ ගෙනෙනවාට මට රුපියල් දහයක් ලැබෙනවා. ඒ සල්ලි එකතු කරලා තමයි මම පොත් ගත්තේ. ඒ ලොන්ඩරියේ බුලත් විටත් විකුණනවා. දවසක් පොතක කොළ කඩන කොට, මම පොතක් හින්දා රුපියල් දහයක් දෙන්න ඒක දෙනවාද ඇහැව්වා. සල්ලි ගත්තේ නෑ. නිකං දුන්නා. ඒ පොත තමයි ලෙනින්ගේ ජීවිත කතාව. මම මුලින්ම ලෙනින් කියෙව්වේ බුලත්විට කඬේ තිබිලායි. (හිනා)

ඇත්තටම දහසයෙන් පස්සේ තනියම නඩත්තු වුණාද?
මමම නඩත්තු කරගත්තා කියන කුහක කතාවම කියන්න බෑ. මගේ විනෝදය මම ගතකළේ අනෙක් අයගේ අතිරික්ත ශ්‍රමයෙන්. මම කිසියම් ප්‍රමාණයක් හොයාගත්තා. යාළුවොත් කළා. ගෙදරිනුත් ලැබුණා. ඇත්ත ඒකයි.

නළුවා ගැන කිව්වේ නැහැනේ.
අර වැඩමුළු පස්සේ ගියාම රඟපාන්න තමයි ඊළඟට එන ආශාව. ඒත් එහෙම චරිත හම්බවුණේ නැහැ. නළුකම ඉගෙනගෙන රඟපාන්න නැති එක තරම් ඛේදවාචකයක් තවත් තියෙනවාද. මොකද මම ගෙදර ගිහිල්ලා රඟපාන්නද? සුදු, කළු, එළිය, අඳුර තියෙන චරිත ලැබෙයි කියලා හිතුවා. මොන චරිතයක්වත් ලැබුණේ නැහැ. ඒ නොලැබෙන තැන මා තුළ අමුම අමු කුහකයෙක් වර්ධනය වෙන්න ගත්තා. ලොකුවට හිතලා නෙවෙයි, ඒත් චරිත නොලැබෙන තැන මම මගේ ඇතුළේ වද දෙන චරිත ගැන ලියන්න ගත්තා. තනිකරම ඇරියස් ඇරිල්ලක් කළේ. ඒවා එකතු කරලා කෙටි නාට්‍යයක් කළා. මෙහෙම ඉන්න කොට තමයි ආනන්ද අබේනායක මහත්තයා එයාගේ නාට්‍ය පිටපතක් ලියන්න කතාකළේ. ඔහුගෙන් ඉගෙනගනිමින් මම ඒක ලිව්වා. ඒක තමයි ‘ජීවිතයට ඉඩ දෙන්න’ ටෙලිනාට්‍යය.

ඉන් පස්සේ ඔබ පිටපත් රචකයෙක් වෙනවා.
නළුවෙක් නොවීම නිසා පිටපත් රචකයෙක් වුණා කිව්වත් හරි. (හිනා) කොහොමහරි ලියපු දේවල් ගත්තාම අද ආපස්සට හැරිලා බලනකොට හිතෙනවා මට කියන්න කතන්දරයක් තිබිලා තියෙනවා කියලා. ඒ වගේම දිගින් දිගටම හිතලා බලන කොට හිතෙනවා මම කාලෙන් කාලයට විවිධ විදිහට කියන්නේ එකම කතාව කියලා. එකම දේ කියලා. කියන විදිහ විතරයි වෙනස් වෙලා තියෙන්නේ.

ඒත් ඔබ රඟපෑම කළානේ?
රඟපෑම තනිකරම අහම්බයෙන් සිද්ධවෙච්ච දෙයක්. මම රඟපෑම කියන දේ අත ඇරලාම දාලා ඉන්න කොට තමයි ඔය චරිත දෙක තුන ලැබුණේ. මම චිත්‍රපට තුනක විතරයි රඟපාලා තියෙන්නේ. ඒ ඉර මැදියම, මචං, තණ්හා රතී රඟා කියන චිත්‍රපට තුනේ. තව එකක් විතර එයි. ඉතින් මේ චිත්‍රපට තුනෙන් නළුවෙක් තීරණය කරන්න අමාරුයි නේද?

දැන් වඩා කැමති නළුවාටද? අධ්‍යක්ෂවරයාටද? තිරරචකයාටද?
තිරරචකයාට. මට එතැනදී මාව නිදහස් කරන්න පුළුවන් අකුරු විදිහට. මම ලියන දේ සමහර වෙලාවට කැමරාවට එනකොට වෙනම රූපයක් මවනවා. ඒක ඇති වෙන්නත් පුළුවන්. මදි වෙන්නත් පුළුවන්. ඒත් ඒ ලාලසාවට මම ආසයි.

යහමින් කීයක් හරි හම්බකරගෙන අම්මා තාත්තා මල්ලි ගොඩදාන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
හිතුණ වාර අනන්තයි. ඒත් කළේ ඒ හැමදෙනාම ගොදුරු කරගෙන මම මගේ ගමන ගිය එකයි. මම මගේ ඉලක්කයට අනෙක් හැමදෙනාම හූරගෙන ගියා. මම ආස කළ එක හරිද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඒක ලබාගන්න ගියා. මම ආස කළේ මේ ජීවිතයට. ඉතින් මම අනෙක් දේවල් හිතුවේ නෑ. මගේ ගමන ගියා. මම එතැනදි ආත්මාර්ථකාමියි.

ඔය අතරේ ප්‍රේම හුටපට ඕනෑතරම් තියෙන්න ඇති.
ඔව්! ප්‍රේම සබඳතා ගොඩක් තිබුණා. එහෙම නොනවතින ගමනක් දුවලා ඇති වගේ හිතුණ වෙලාවක, දැන් දිව්වා ඇති කියලා කසාදයක් කරගත්තා. ඇය චමිලා පීරිස්. එයාත් එක්ක එක තැනකට ඇවිල්ලා ජීවිතය ගතකරන්න තීරණය කළා. ඒත් අවංකවම කිව්වොත් ආයේ ආයේ එහෙම දුවන්නේ නැතිව ඉන්න බැරිවුණා. අද අපිට දුවක් ඉන්නවා. ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට ජීවිතය ගතකරගෙන යනවා.

ජීවිතය තෘප්තිමත්ද?
නැහැ. තෘප්තිමත් නෑ. මගේ වැඬේ තාම ඉවර නෑ. කියන්න ඕනෑ ටික තවම කියාගන්න බැරිවුණා. මං හෙට මැරුණොත් අපරාදේ කියලා හිතෙනවා. මොකද තව කියන්න දෙවල් තියෙනවා.

ඔබ අද සමාජය දන්න චරිතයක්. ගෙදරට මේ වටිනාකම තියෙනවාද?
අපේ අම්මා තාත්තලාට ඒක වැදගත් නෑ. මම ගැන අද සමාජයේ පුංචි හෝ වටිනාකමක් තියෙනවානේ. ඒ අය ඒක දන්නෙත් නෑ. එයාල කැමතියි මම විශ්වවිද්‍යාලයේ උගන්වනවා නම්, නගරයට කිට්ටුව ගෙයක් හදාගෙන ජීවත්වෙනවා නම්. කොටින්ම ඒ අයට ඕනෑ ඒ අයගේ ජීවිතවලට වඩා මම හොඳින් ඉන්නයි. ඊට එහා ලොකු දෙයක් ඒ අය බලාපොරොත්තු වෙන්නේ නැහැ.

නළුවෙක් විදිහට වටිනාකමක් මිලක් තියෙනවාද?
පහුගිය කාලයම ගත්තාම මම රඟපෑ චිත්‍රපට තුන ඇරුණාම තව මට කතාකළේත් චිත්‍රපට තුනකට විතරයි. බොරුවට සෑහෙන කතා කළා කියන්න ඕනෑ නැහැනේ. එයිනුත් මම කැමති නැති ඒවාට බෑ කිව්වා. දැන් ඔයා අහපු ප්‍රශ්නයට කියන්නම්කෝ. ඇත්ත නළුවෝ විදිහට අපි ඩිමාන්ඞ් කරනවා. ලොකු ගණං කියනවා. මිලක් තියෙනවා. ඒත් වැඬේ කියන්නේ, රඟපාල ඉවර වුණාමනේ ඔක්කොම මුදල් ලැබෙන්නේ. ඉතින් අන්තිමට කරපු චිත්‍රපටයට තවම මුදල් ලැබුණේ නැහැ. ලොකු වටිනාකමක් දීලා තමයි ගියේ. ඒත් තවම සල්ලි නෑ. (හිනා) ඉතින් ගණන් කතාකරගෙන ගියාට වැඩක් නෑ. එකඟ වුණාට පස්සේ පොලු. නළුනිළියෝ ගොදුරු වෙනවා මේ විදියට සෑහෙන්න. අඩුගාණේ නිකං රඟපෑවා නම් ගරු රඟපෑම් කියලා හරි දානවා. ඒකත් ඇති. දැන් බැලුවාම ලොකුවට හිතලා ගියාට සල්ලි නෑ. (හිනා)

මේ ආපු ගමන දිහා ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?
මොන දේ කළත් නින්දයි නොනින්දයි අතර කාලය තුළ ගොඩක් දේවල් හිතෙනවා. මම කරපුවා. කරන්න ඉන්න ඒවා. මාව තියලා තියෙන තැන සහ කොටින්ම මම ඉන්න තැන මට හිතෙනවා. එතකොට ජීවිතය ටිකක් වෙහෙසයි. මොකද හැමදාම නින්දයි නොනින්දයි අතර වෙලාවක් තියෙනවානේ. ඉතින් එතකොට ගොඩක් දේවල් හිතෙනවා.■