රාවය

විශ්වාසභංගෙට එජාප ජවිපෙ සහාය

විශ්වාසභංගෙට එජාප ජවිපෙ සහාය

තරිඳු උඩුවරගෙදර

පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුනේද සහයෝගය ලබාදෙන බව එම කණ්ඩායම් දෙකේ සාමාජිකයෝ පවසති.
ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් 13දෙනකුගේ අත්සනින් නොවැම්බර් 23 දින එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට බාරදී ඇත. එම විශ්වාසභංගයෙහි සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව බලය පවරා එකී කොමිසම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමින් තිවරණය නොපැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කර ඇති බවයි.

අප කළ විමසීමකදී එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ කාවින්ද ජයවර්ධන පැවසුවේ ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මැතිවරණය කල් යෑම පිළිබඳව වගකිව යුතු බවත් යහපාලන ආණ්ඩුවේ මෙතෙක් සම්ප්‍රදායට අනුව අසාර්ථක ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බවත් එසේ ඔහු ඉල්ලා අස් නොවී විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන තුරු සිටියහොත් තම කණ්ඩායම විශ්වාසභංගයට සහයෝගය ලබාදෙන බවත්ය. ඊට පෙර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව එම මන්ත්‍රීවරු පැවසූහ.

කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ රවී කරුණානායක, තිලක් මාරපන ඇමතිවරුන් චෝදනා පැමිණි මොහොතේ ඉල්ලා අස්වූ ආකාරයට චෝදනා ලැබූ ෆයිසර් ඇමතිවරයාද ඉල්ලා අස්විය යුතු බවත් කැමති නම් වෙනත් ඇමතිධුරයටකට මාරුවිය යුතු බවත්ය.
විශ්වාසභංගය සම්බන්ධයෙන් කළ විමසීමේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ 23 වැනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් බාරදී ඇති විශ්වාසභංගය හදිසියේ ඉදිරිපත් කර ඇති එකක් නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් 24 වැනිදා ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාට එරෙහිව විශ්වභංගයක් ඉදිරිපත් කරන බවයි. එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගතහොත් එයට පක්ෂව ඡන්දය ලබාදෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. විශ්වාසභංග යෝජනාවක් සම්මත වීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ එදිනට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් සරල බහුතරය පමණි. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් 56 දෙනකු සිටින අතර පසුපෙළ මන්ත්‍රීවරු 52දෙනෙක් සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙක් සිටිති. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩක් හෙවත් මන්ත්‍රීවරු 114ක් විශ්වාසභංගයට සහාය පළකරන බව ප්‍රකාශ කළ කණ්ඩායමේ සිටිති.

මීට අමතරව පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 14 දෙනෙක් සිටිති. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 7දෙනෙකි. ඩග්ලස් දේවානන්ද මහතා සහ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පක්ෂයේ ඔහු හා තවත් මන්ත්‍රීවරයෙක් සිටිති. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් හා ඒ යටතේ ඉදිරිපත් වූ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුද සිටිති. එම කණ්ඩායම් සියල්ලම මැතිවරණය කල් යෑම පිළිබඳව විරෝධය පළ කර ඇත. ෆයිසර් මුස්තාෆා මහතා නියෝජනය කරන ශ්‍රීලනිපය ආණ්ඩු පක්ෂ කණ්ඩායමට සිටින්නේ මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණි.■