රාවය

එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

කේ. සංජීව

දා 19 වැනි ඉරිදා. අපි ඇල්පිටියේ සිට කුමාරකන්ද දොඩන්දූව හරහා ගාල්ල ගිංතොට දෙසට යමින් සිටියෙමු. ඒ 17 වැනි සිකුරාදා දින රාත්‍රියේදී ප්‍රදේශය වෙලාගත් ජාතිවාදී ගිනිදැල්වල කතාව ලියන්නට තොරතුරු සොයන්නටය. මේ රාජකාරියට යන්නට ත්‍රීවීලරයට කතාකළ විට මගේ ත්‍රීවිල් මිතුරා කීවේ අපොයි එහෙනම් යන්න බැහැ, සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිසුන් ගහන බවය. මගේ පෙරැත්තය නිසාම ඔහු ගමනට මනාප විය. අපි ගමන ආරම්භ කර කුමාරකන්ද දොඩන්දූව මායිමේදී පුංචි පෙට්ටි කඩයක් ළඟ ත්‍රීවිලරය නතර කළෙමු. එහි කෙසඟ ප්‍රියමනාප මහල්ලෙක් සිටියේය. “මාමා ගිංතොට කොයි හරියේද ඔය සිද්ධිය වෙලා තියෙන්නේ” මම විමසුවෙමි. මාමා මා ළඟටම පැමිණ ඇසෙන නෑසෙන ගානින් මෙසේ ඇසුවේය. “ඔය ළමය සිංහලද මුස්ලිම්ද. මුස්ලිම් භාෂාව දන්නවාද? සිංහල නම් එහේ යන්න එපා ගහනවා.” මේ කතාවත් සමඟ මගේ මිතුරා මට කීවේ අපි ආපහු හැරෙන එක හොඳයි නේද කියාය. එහෙත් අපි අවසන ගිංතොට පාලම පැන ගිංතොට මංසන්ධියට පැමිණියෙමු. හැමතැනම පොලිස් සහ එස්ටීඑෆ් සෙබළුය. තවත් තැනක නාවික සෙබළුය. කොළඹින් ගිංතොටට ගිය විශේෂ පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ කඩසාප්පු සහ ගෙවල් පිරික්සමින් ද කටඋත්තර ගනිමින්ද අලාභහානි පිළිබඳව සටහන් දමමින්ද සිටිනු දක්නට ලැබුණි. ගිංතොට නගරයේ ගාලු පාර දෙපස කඩසාප්පුවලට හෝ නිවාසවලට එතරම් හානියක් නැත.

අපි එක වෙළෙඳ සැලකට ගොඩවැදුණෙමු. “මොනවා කතා කරන්නද මහත්තයා, අපිත් එක්ක එකට හිටිය සිංහල මිනිස්සු අපිට ගැහැව්වා. මහත්තයාට හොඳ විස්තරයක් ගන්න ඕනෑනම් ඔතන පාරෙන් හැරිලා මහපල්ලියට යන්න.” අපි මගට බැස්සෙමු. අබ්දුල් අසීස් මාවතේ ඉහළට ගියෙමු. ඒ අතර කතාද ඇහින්දෙමු. තැනක සිංහල මිනිස් පොකුරුද තැනක මුස්ලිම් මිනිස් පොකුරුද ඒ අතර හමුදාවද පොලීසියද සිටියෝය.

ගැටුමට හේතු සිංහල මුස්ලිම් ඇසින්
පසුගිය 17 වැනි සිකුරාදා ඇතිවූ මේ සිංහල මුස්ලිම් ගැටුමට හේතුව මොකද්ද අපි මුලින්ම සිංහල මිනිසුන්ගෙන් ඇසුවෙමු. ඔවුන් ඔවුන්ගේ නම්ගම් විස්තර පත්තරයේ යනවාට මනාප නැත. එනිසා අපි ඒවා පළ නොකරමු. “මේකයි ඔයත් සිංහලනේ නේද? නිකමට හිතන්න මුං හින්දා අපිට නිදහසේ පාරක බැහැලා යන්න පුළුවන්ද කියලා. මේකට මුල ඇක්සිඩන්ට් එකක්. බයික් එකේ හැපුණාට පස්සේ තුවාලකාරයා ඉස්පිරි තාලෙට ගෙනියන්න මුං ඉඩදීලා නැහැ. අනික් හේතුව තමයි මුන්ගේ ළමයි ෆුට්බෝල් ගහලා එනකොට අපේ ළමයි අහලා තියෙනවා උඹලා පාරේ හැමතැනම ගියාම අපි යන්නේ කොහොමද කියලා. එතකොට මේ මුස්ලිම් හැත්ත අපේ ළමයින්ට ගහලා තියෙනවා. ඔය සිද්ධි සේරම එකතුවෙලා තමයි මේ ගැටුම නිර්මාණය වුණේ. අනික මුන් අපෙන් ගේම ඉල්ලුවා.” මේ සිංහල පාර්ශ්වයේ හඬය. දැන් අපි මුස්ලිම් හඬටද ඉඩදෙමු.

“ඔය බයිසිකල් අනතුර වෙලාවේදී අපේ ගැහැනු එක්කෙනෙක් තමයි සිංහල කෙනෙක් පැදගෙන ගිය බයික් එකේ හැපුණේ. ඒ මහ හපුගල කියන හරියේදි. ඒක පොලීසිය සමථයකට ගෙනල්ලා ප්‍රශ්නය ඉවරවෙලා තිබුණේ. සිංහල කෙනා රුපියල් 25000ක වන්දියකුත් දීලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ඒ මනුස්සයා ආයිත් බයික් එකේ යනකොට අපේ මුස්ලිම් එක්කෙනෙක් හෙල්මට් එකකින් ගහලා කියලා කියනවා. ඒවා අපි පිළිගන්නේ නැහැ. අපි කියන්නේ කවුරු කළත් එහෙම දෙයක් කළා නම් වැරදියි කියලා. එහෙම දෙයක් වුණා නම් අපිට ඒක පොලීසියෙන් බේරගන්න තිබුණේ නැද්ද? අනික ඔය ෆුට්බෝල් කතාවත් එහෙමයි. අපේ ළමයි ටිකක් සෙල්ලම් කරලා එනකොට සිංහල ළමයි මොනවා හරි කියලා ගැටුමක් ඇතිවෙලා තියෙනවා. අපි නම් කියන්නේ මේ ප්‍රශ්න දෙකම අපිට විනාඩි 5ක් වාඩිවෙලා කතාකළා නම් බේරගන්න තිබුණා. හැබැයි මේකට සාදුලා මැදිහත් වෙලා මෙතන සිංහල මුස්ලිම් ගැටුමක් හැදුවා. අන්තිමට අද අපි අනාථ වෙලා. සිංහල අය සතුටින් සිංදු කියනවා.”

එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා
“බ්‍රහස්පතින්දා තමයි ඔය ළමයින්ගේ ගැටුම ඇතිවුණේ. එතකොට සිකුරාදා වෙනකොට මේ ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව හම්බවුණා. සිකුරාදා අපේ පල්ලියේ අපේ ලොකු අය අපිට කිව්වා ගැටුමකට යන්න එපා ඉවසීමෙන් වැඩ කරන්න කියලා. සිකුරාදා හවස් වෙනකොට හැමතැනම පොලිසියෙන් එස්ටීඑෆ් එකෙන් දාලා හිටියා. අනික අපිත් අම්පිටිය පැත්තට නැතුව අනෙක් තුන් පැත්තෙන්ම ආරක්ෂාවට තරුණයෝ දාලා ආරක්ෂා කරගෙන හිටියේ. අම්පිටියේ වැඩිය ඉන්නේ සිංහල. ඒ අය අපිත් එක්ක හොඳටම හොඳයි. සහෝදරයෝ වගේ තමයි හිටියේ. එනිසා අපි විශ්වාස කළා ඒ පැත්තෙන් නම් අපිට කරදරයක් නැහැ කියලා. අන්තිමට සිකුරාදා රාත්‍රී 8ට විතර සිංහල මිනිස්සු ගහගෙන ආවේ ඒ පැත්තෙන් තමයි. ඒ වෙලාවේ එස්ටීඑෆ් එක හිටියේ අනික් පැත්තේ. අපි කිව්වා අන්න අර පැත්තේ ගහනවා කියලා. හැබැයි පැය දෙකක් විතර යනකම් මොකුත් කළේ නැහැ. අන්තිමට අපේ මුස්ලිම් පල්ලිවලටත් සිංහල මිනිස්සු ගහන්න පටන්ගත්තා. අම්පිටියේ තියෙන ථුපාරාමය පන්සලේ ඉඳලා තමයි මේ කණ්ඩායම ගහගෙන ආවේ. අපි ළග සාක්ෂි තියෙනවා මේ ගැටුමට උපදෙස් දීලා තියෙන්නේ ඒ පන්සලේ නායක හාමුදුරුවෝ.” මේ මහපල්ලියේ සිටි හජ්ජියාර් මහතෙකුගේ හඬය. මෙලෙස පටන්ගත් ගැටුම ගිංතොට (නැගෙනහිර, බටහිර) මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, පියදිගම සහ කුරුඳුවත්ත කියන පෙදෙස්වල ව්‍යාප්ත වන අතර මුස්ලිම් තරුණයෝද සිංහල මිනිසුන් හා ගැටෙන්නට වූහ. “සිංහල මිනිස්සු මුස්ලිම් පල්ලිවලට ගහන්න පටන්ගත්තාම අපේ මුස්ලිම් තරුණයෝ 300ක් විතර මරාගෙන මැරෙන්න ලෑස්තිවුණා. ඔයා අහලා ඇතිනේ ජිහාද් කියලා. හැබැයි අපි අතේ තුවක්කු තිබුණේ නැහැ. අපි බෝතල් ගල් අරං තමයි ඉස්සරහට ගියේ. මොකද මේ පල්ලිවලට ගහන්න පොලිසියත් සිංහල මිනිස්සුන්ට උදව්කළා. වැලිපිටිමෝදර පල්ලියට ගැහැව්වේ පොලිසිය බලාගෙන ඉන්නකොට.” ගින්න ව්‍යාප්ත වී ගිය අයුරු පිළිබඳව තවත් චිත්‍රයක් මේ තරුණයාගේ ප්‍රකාශය තුළින් මතුකරගත හැකිය. අනෙක් පැත්තෙන් මෙවැනි ගැටුමක අනාගතය කෙබඳු වියහැකිදැයි මෙමගින් ඉඟි ලබාගත හැකිය.

අම්පිටියේ බියකරු චිත්‍රය
කෙලෙසක හෝ මේ ගැටුමින් පවුල් 75කට වැඩි ප්‍රමාණයකට යම් හානි අලාභ සිදුවී ඇත. ගැටුමින් ජීවිත හානි නැතිවුණත් පුද්ගලයන් 13 දෙනෙකු පමණ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව දැනගන්නට ලැබේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ පිරිසද 19ක් පමණය. මේ ගැටුමින් වඩාත්ම හානියට පත් ප්‍රදේශය අම්පිටියයි. අපි එහි සංචාරය කළෙමු. බොහෝ මුස්ලිම් ගෙවල්වල ජනෙල් වීදුරුද ගේට්ටුද කඩාබිඳ දමා ඇත. එක තැනක ඉලෙක්ට්‍රොනික බඩු කඩයක් සම්පූර්ණයෙන්ම ගිනිබත්ය. කඩහිමියා මොහොමඞ් සාමි එතැනය. මේ ඔහුගේ කතාවය
“සිකුරාදා රැ 9ට විතර තමයි 150ක විතර කණ්ඩායමක් ඇවිත් ගිනි තිබ්බේ. මම පවුලේ කට්ටියත් එක්ක පිටිපස්සට වෙලා පිච්චෙනවා බලාගෙන හිටියා. ලක්ෂ 10ක විතර බඩු තිබුණා. කඬේ රක්ෂණය කරලාත් නැහැ. දැන් ඉතිං මොනවා කරන්නද අනේ දන්නේ නැහැ.”
එම්එස් සිත්ති පවුසියා 63 වියැති දරුවන් සත්දෙනෙකුගේ මවක්ය. ඇයගේ නිවසේ පිටුපස දොර කඩා ඇත. ගෑස් ළිපද කුඩු පට්ටම්ය. කාමරයේ අල්මාරි දොර පියන හැරදා ඇත. ඇය තමාට වූ වින්නැහිය රාවයට කීවාය.

“මම සිකුරාදා රෑ ගෙදර තනියෙම තමයි හිටියේ. රෑ 8.30ට විතර ලොකු ඝෝෂාවක් ඇහුණා. මම ළඟ ගෙදරින් ඇහැව්වා මොකද්ද මේ කියලා. එතකොට එයාලා කිව්වා ගෙවල්වලට ගහගෙන කට්ටියක් එනවා මෙහෙට එන්න කියලා. මම ගෙදර ඔහේ දාලා පැනලා දිව්වා. අන්තිමට ඇවිත් බලනකොට ගෙදර මොකුත් නැහැ. මගේ ලක්ෂ 5ක රත්තරං බඩු තිබුණා. ඒවාත් අරගෙන ගිහිං. පුතාගේ මැණික් ගල් දෙකක් තිබුණා ලක්ෂ 2ක. ඒකත් අරගෙන ගිහිං. ඒ විතරක් නෙවෙයි මගේ කුකුල්ලු දෙන්නායි කිකිළියි අරං ගිහිං.” මට 1983 කළු ජූලියේ ඉතිහාසය සිහිවිය. ඉතිහාසය චක්‍රයක් සේ නැවත නැවත කරකැවෙමින් තිබෙයි. 1983 කළු ජූලිය අවධියේ පාලකයා වූ ජේආර් ජයවර්ධන ජනපතිවරයා එම ගැටුම හැඳින්වූවේ මහා කුණාටුවක් සේය. කුණාටුවට ඉඩදී බලං ඉන්න ප්‍රතිපත්තියක් ඔහු එහිදී අනුගමනය කළේය. අද පාලකයන්ද මෙවැනි ගැටුම් අරබයා පාවිච්චි කරන්නේ ජේආර්ගේම තියරිය බව පෙනෙයි.

මොහොමඞ් අලිද අම්පිටිය වැසියෙකි. ඔහුගේ ත්‍රීවීලර් රථයද නිවසේ පැත්තක්ද කළු පැහැයට හරවමින් අළු බවට හැරී ඇත. මොහොමඞ් අලි සංහිඳියාව ගැන කතා කළේ මෙසේය.
“8.15ට විතර 200ක් විතර ආවා. ගැහැනු පිරිමි දෙගොල්ලොම. අපි ගෙදර ඇතුළටම වෙලා හිටියා. ගේට්ටුව කඩාගෙන ඇවිල්ලා ත්‍රීවීල් එකට ගිනි තිබ්බා. අපි මේ ගමේ සිංහල මුස්ලිම් අවුල් කියලා නැහැ හරි සතුටින් තමයි හිටියේ. මගේ මේ ගෙදර හැම කුලී වැඩක්ම කරන්නේ සිංහල මිනිස්සු. අපි මාළු ටික ගන්නේ සිංහල මිනිහාගෙන්. අපි කොණ්ඬේ කපාගන්නේ සිංහල මිනිහාගෙන්. මේ වාගේ සුළු ප්‍රශ්නයකට මේ වාගේ විනාශයක් කරයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ.”
අම්පිටියේ බොහෝ තැනක සිතුවම මෙයමය. බයිසිකල් තුනක්, වෑන් රථයක් විනාශ කර තිබූ අයුරුද, මැදපෙරදිග රැකියාව කර අමාරුවෙන් ගොඩනගාගත් ගෙයක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබූ ස්ථානයක් ද අපි නිරීක්ෂණය කළෙමු. මේ මිනිසුන්ට වන්දි හෝ ජීවිතය නැවත ගොඩනගා ගන්නට යම් යම් උදව් හෝ ඉදිරියේදී ලැබෙනු ඇති නමුත් මේ ගැටුම සහ එමගින් මේ මිනිසුන්ගේ සිත් බිදීම් යළි සුවපත් කරන්නේ කෙසේද?

සිංහලයන්ට මොකද වුණේ?
බොහෝ තැනක මුණගැහුණු මුස්ලිම් මිනිසුන් කීවේ අම්පිටිය ථූපාරාමය මේ ගැටුම වගාදිගා කළ බවය. අපි පන්සලට ගියෙමු. මැර ටයිප් එකේ තරුණයෙකු අපේ මග හරස්කර කීවේ හාමුදුරුවන් කොළඹ වැඩ ඇති බවය. අපි ඔහුගෙන් හාමුදුරුවන්ගේ හෝ පන්සලේ හෝ දුරකථන අංකය ඉල්ලුවෙමු. එහෙත් ඔහු කීවේ දුරකථන අංකයක් නැති බවය. ගැටුමට මැදිවූ සිංහල මිනිස්සු බොහෝ දෙනෙක් පත්තරේට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළෝය. එහෙත් සිංහල ගෙවල් බොහෝ ප්‍රමාණයකටද ගැටුමින් සුළු හානි සිදුවී ඇත. මේ පිළිබඳව අදහස් දක්වන මුස්ලිම් පිරිස් කියන්නේ සිංහල මිනිසුන් ඔවුන්ම ඔවුන්ගේ ගෙවල්වලට සුළු හානි කරගෙන බවය. එහෙත් මුස්ලිම් තරුණයන්ගේ හැසිරීමද එයින් හොඳයැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ද සිංහල ගෙවල්වලට පහරදී ඇත. මේ ගැටුමින් තුවාල ලැබූ සිංහල තරුණයෙකු පිළිබඳව මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතාබහට ලක්වෙයි. ඒ මේ ගැටුම තවත් ඇවිලීම අරමුණු කරගෙනය. අපි මේ බරපතළ පහරදීම පිළිබඳව මුස්ලිම් ආගමික ප්‍රධානියෙක්ගෙන් කරුණු විමසුවෙමු.
“මේ සමගි මාවතේ අපිත් එක්කම හිටපු කෙනෙක් තමයි එයා. එයාගේ නම දමිත්. දැන් මේ මනුස්සයාට අපි ගැහැව්වා කියලා ලොකු ප්‍රචාරයක් යවනවා. එතකොට මේවා පිළිගන්න සිංහල මිනිස්සුන්ට සාදුලට බැරිද මේ මිනිහා ගැන ටිකක් හොයන්න. අපි කියන්නේ මේ මිනිහා ගැන පොලිසියෙන් අහන්න කියලායි. මේ මනුස්සයා හොරෙක්. නිකන් හොරෙක් නෙවෙයි කම්බ හොරෙක්. මංකොල්ලකාරයෙක්. ඉතිං මේ ගැටුම වෙලාවේ මෙයා මෙයාගේ ටීම් එකත් එක්ක මෙයාගේ වැඬේට ආවා. එතකොට ගහන්නේ නැතුව අත බැඳගෙන හොරාකාගෙන යනකම් බලං ඉන්න කියලාද කියන්නේ? සමගි මාවතේ මුස්ලිම් ගෙවල් අස්සේ සිංහල ගෙවල් 20ක් තියෙනවා එකකට ගැහැව්වාද කියලා අහලා බලන්න. අබ්දුල් අසීස් මාවතේ ගෙවල් 4ක් තියෙනවා ගැහැව්වාද අහන්න. කඩවල් 4ක් තියෙනවා. කැඩුවාද අහන්න. අම්පිටියෙත් එහෙමයි. අපි එහෙම එකට ඉන්න මිනිස්සුන්ට ගැහැව්වේ නැහැ.