අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට බය කවුද? (1)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම සඳහා වන පහත සඳහන් යෝජනාව වර්තමාන පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ ඒකච්ඡන්දයෙනි:
“සැකයක් ඇති නොවනු පිණිස, ආණ්ඩුක්‍රම ව්‍යස්ථා කෙටුම්පතක්, නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව, මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකේ විශේෂ බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබ, ඉනික්බිතිව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කෙරෙන්නේ නම් පමණක් නීතියක් වශයෙන් පැනවිය යුතු බවට මෙහි ලා තවදුරටත් ප්‍රකාශ කෙරේ.”

මෙය අපේ පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වී තිබේය යන්නෙන් අදහස් වන්නේ, මහින්ද රාජපක්ෂ ඇතුළු ‘ඒකාබද්ධ විපක්ෂයත්’ ඊට එකඟ වී ඇති බව ය. ඇත්ත වශයෙන්ම, ඊට එකඟ නොවී සිටිමේ හැකියාවක් මහින්ද රාජපක්ෂට හෝ ‘ඒකාබද්ධ විපක්ෂයට’ හෝ නොවුණි. මන්ද යත්, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශය තුළ පවා ඔවුන් මෙසේ කියා තිබුණු බැවිනි:

“1978 දී නිසි සංවාදයකින් තොරව අප මත පැටවූ ව්‍යවස්ථාවෙන් වසර තිස් හයක් පුරා අපි බැටකෑවෙමු. එමෙන්ම එකිනෙකට නොගැළපෙන සංශෝධන පැලැස්තර මගින් පවතින ව්‍යවස්ථාව විකෘති හැඩයක් ගෙන ඇතැයි මම ද පිළිගනිමි. එබැවින් තව තවත් පැලැස්තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි”

හොඳින් කියවන්න: “..තව තවත් පැලැස්තර එකතු කිරීම වෙනුවට, ජනතා පැතුම් පිළිබිඹු කරන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත් සම්මත කිරීමට” ඔහු කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇත. එපමණක් ද නොවේ. එය කිරීමට තමා බලාපොරොත්තු වන ආකාරයත් එම ‘මහින්ද චින්තන’ ප්‍රකාශය තුළ ඔහු මෙසේ පැහැදිලි කොට තිබේ:

“(1) ජනතා අපේක්ෂාවන් හඳුනාගෙන නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට අයත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත.
(2) අලුත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්, ආණ්ඩුක්‍රම විශාරදයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත්කරමි.
(3) ව්‍යවස්ථා කෙටුම්පත පවතින ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. දෙවැනුව මෙම කෙටුම්පත ඔබේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි.
(4) පවතින විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය වැනි ක්ෂේත්‍ර සියල්ලම නව ව්‍යවස්ථාවෙන් ආවරණය කරමි.

හොඳින් කියවන්න: “සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත.” වර්තමාන යහපාලන ආණ්ඩුව හරියටම කර ඇත්තේ එයයි. අද මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව එක් රැස් වන්නේ, ‘ව්‍යවස්ථා සභාවක්’ වශයෙනි.
ඊළඟට ඔහු මෙසේ කියයි: “..පාර්ලිමේන්තුව නියෝජනය නොකරන… පුරවැසි සභාවක් පත්කරමි” වර්තමාන යහපාලන ආණ්ඩුව ලාල් විජේනායක යටතේ පත්කළ කමිටුව රට පුරා ගොස් අදහස් එකතු කර ගත්තේ, එවැනි පුරවැසි සභාවක් වශයෙනි.

ඊළඟට ඔහු මෙසේ කියයි: “…මෙම කෙටුම්පත ඔබේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි.” මේ ලිපියේ පළමු ඡේදයේ සඳහන් පරිදි වර්තමාන පාර්ලිමේන්තුව සම්මත කර ගත් ඒකමතික යෝජනාව තුළ එවැනි ජනමත විචාරණයක් පිළිබඳ පැහැදිලිව ප්‍රතිඥා දී තිබේ.
ඉහත සඳහන් කරුණුවලින් පෙනී යන්නේ, හිටපු ජනාධිපතිවරයා වශයෙන් ඔහු මේ සම්බන්ධයෙන් මේ රට ඉදිරියේ තැබූ ප්‍රතිඥාව, වර්තමාන යහපාලන ආණ්ඩුව මගින් ද පිළිගෙන කටයුතු කරමින් යන බවයි. අනිත් අතට, ඔහුගේ මේ මූලික ප්‍රතිපත්තිමය කාරණය සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී 58 ලක්ෂයක් ජනතාව ඔහුට අනුමැතිය දුන්හ.
කෙසේ වෙතත්, ඉහත සඳහන් ප්‍රතිඥාව තුළ කිසි තැනක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවක් ඔහු කියා නැත.

එහෙත් අද ඔහුගේ ප්‍රතිපත්තිය තුළ අභූත වෙනසක් පෙන්නුම් කරයි. ඉහත සඳහන් කළ ‘අලුත් ව්‍යවස්ථාවක්’ සඳහා ජනවරමක් මේ ආණ්ඩුවට නොලැබුණු බව තරයේ කියන ඔහු, එසේ වෙතත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නම් ජනවරමක් වත්මන් ආණ්ඩුවට ලැබුණු බව පිළිගනී. ඒ මෙසේ ය: “නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන පාර්ශ්වය ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු වූයේ, 2015 අප්‍රේල් 20 වැනි දාට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පමණි. මුළු ව්‍යවස්ථාවම වෙනස් කිරීමට ජනවරමක් මේ ආණ්ඩුවට ලැබුණේ නැත.” (කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට සති තුනකට පෙර).
ඔහුගේ වර්තමාන ආස්ථානය අනුව, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට (සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට) ඔහු එකඟ ය. ඒ කාරණාද්වය සඳහා ජනවරමක් මේ ආණ්ඩුවට ලැබී ඇතැයි ඔහු පිළිගනී. එහෙත් යෝජිත ව්‍යවස්ථාවේ ඉතිරි කරුණුවලට ඔහු එකඟ නැත. ඒවා මොනවා ද? ඉන් ප්‍රධාන වන්නේ, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් විය හැකි බලතල බෙදාහදා ගැනීමේ පාලන ක්‍රමයක් ඇති කර ගැනීමයි. (මේ කාරණය සම්බන්ධයෙන් ඇති ඔහුගේ ‘ඉතිහාසය’ සහ ඔහුගේ පක්ෂයේ ඉතිහාසය ගැන මෙහිදී කතා නොකරමි).

එහෙත්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සමග සිටි සහ ඔහු නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අද වන විට, බලතල බෙදාහදා ගැනීමේ ක්‍රමයකට එකඟ ය. ඔවුන් විරුද්ධ වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. ඒ ගැන එම පක්ෂය අද කියන්නේ මෙවැන්නකි: “අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි… රටේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහාත්, බලතල ප්‍රමාණයක් සහිතව යම් ජනාධිපතිවරයෙකු කෙලින්ම ජනතා ඡන්දයෙන් තෝරා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි.”

මේ ද්‍රෝහී මතය ඉදිරිපත් කරන වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල නායකයා මෛත්‍රීපාල සිරිසේන ය. මේ තත්වය තුළ, ඔහු පසුගිය වර පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව මේ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු කවරේදැ යි සොයා බැලිය යුතුව තිබේ. ඒ අරභයා පුළුල් සහ පැහැදිලි චිත්‍රයක් ඇති කර ගැනීම සඳහා එය ලිඛිත සහ අලිඛිත වශයෙන් වර්ග කර ගත යුතුය. ලිඛිත කොටස මූලික වශයෙන් සමන්විත වන්නේ, “මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක්” නැමැති ප්‍රකාශනයේ ය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ ප්‍රකාශනය තුළ ප්‍රතිඥාවක් දී නැතැ යි අද කියන පිරිස් ඒ සඳහා සාක්ෂියට කැඳවන එක වාක්‍යයක් මේ ප්‍රකාශනය තුළ තිබේ. එය මෙසේ ය: “පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි.”

හොඳින් කියවන්න: “මෙම යෝජිත සංශෝධනයේදී..” යැයි එහි දැක්වේ. කුමක් ද මේ යෝජිත සංශෝධනය? එනම්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එම සංශෝධනයේ පසුබිම ගැන එම ප්‍රකාශනය තුළම මෙසේ සඳහන් වෙයි: “එම සංශෝධනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මා සමග ගිවිසුම්ගත වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ 1994 සිටම මේ පිළිබඳව අප පක්ෂය සමග එකඟ වී ඇත. ජාතික හෙළ උරුමය ද මීට සහාය දක්වන බවට මා සමග එකඟ වී ඇත. එම නිසා සෙසු පක්ෂ සමග ද සාකච්ඡා කොට දින සියයක් ඇතුළත මෙම සංශෝධනය අනිවාර්යයෙන්ම සිදු කරන්නෙමි.”
මෙනයින් බලන කල, ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට අත නොතබන බවට ප්‍රතිඥා දෙන්නේ, “දින සියයක් ඇතුළත අනිවාර්යයෙන්ම සිදු කරන සංශෝධනයක්” සම්බන්ධයෙන් පමණි. ජනමත විචාරණයක් අවශ්‍ය කරන වෙනස්කම් දින සියයක් ඇතුළත කිරීමේ හැකියාවක් නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. අනිත් අතට, රටේ ජනාධිපතිවරයා පත්කර ගැනෙන්නේ දින සියයක් සඳහා හෝ දින සියයක වැඩපිළිවෙළක් සඳහා පමණක් නොවන බවත් ඕනෑම කෙනෙකුට පැහැදිලි ය. එසේ නම් ඉතිරි ධුර කාලය තුළ ඔහු කරන බවට ප්‍රතිඥා දුන් ප්‍රතිපත්තිමය කාරණා කවරේද?■
(ඒ පිළිබඳව ඊළඟට)