රාවය

මහින්ද බොරු සමාජගත කිරීම ගැන මට කනගාටුයි| විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

මහින්ද බොරු සමාජගත කිරීම ගැන මට කනගාටුයි| විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර

දෙමළ ජාතික සන්ධානය බලය බෙදන්නැයි ඉල්ලන්නේ කාලෙක පටන්. ‘බලය බෙදීමක් ඇයි?’ කියන්නෙ පරණ ප්‍රශ්නයක්. ඒ පරණ ප්‍රශ්නය යළිත් ඇහුවොත් ඔබ ලබාදෙන පිළිතුර මොකක්ද?
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොඩාක් රටවල් පිළිගන්නවා බලය බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුදුසුයි කියලා. ඒකීය රටවල් පවා දැන් බලය බෙදීම බාර අරගෙන තියෙනවා. විවිධ පළාත්වල ඉන්න ජනතාවට බලය පාවිච්චි කරන්න, ඒක අත්හදා බලන්න ඉඩ දෙනවා. එතකොට කාර්යක්ෂමව ගැටලු විසඳාගන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවල ඉන්න නායකයො එදිනෙදා ප්‍රශ්න ගැන වගකියනවා. සමහර පුංචි දේවල් තමන්ගේ පළාත ඇතුළේ කරගන්න පුළුවන්. ඒවා ඈත ඉන්න මධ්‍යම ආණ්ඩුව කරන තුරු බලාගෙන ඉන්න ඕනෑ නෑ. ඒක ඉක්මන්. මුදල් නාස්ති වෙන්නේ නෑ. දූෂණයට ඉඩ අඩුයි. මොකද පළාතේ වෙන දේවල් පළාතේ ඉන්න මිනිස්සුන්ට පෙනෙනවා. ගමේ ප්‍රශ්න විසඳන්නැතිව කාටවත් කොළඹ හැංගෙන්න බෑ. පළාතෙ නායකයො පළාත ඇතුළේ ඉන්න ඕනෑ. මිනිස්සුන්ට උත්තර දෙන්න ඕනෑ. වෙන වෙන පළාත්වල ජනතාවගේ අදහස් අනුව එදිනෙදා ප්‍රශ්න විසඳාගන්න පුළුවන්. බලය බෙදීම දැන් අපේ ඉල්ලීමක් විතරක් නෙවෙයි. ඒක රටේ ඉල්ලීමක්. ලංකාවේ උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත්වල මහඇමතිවරු ඉල්ලුවේත් තව බලය දෙන්න කියලා. බලය බෙදීමේ ප්‍රතිලාභය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ලැබෙනවා. සියල්ලන් බලය පාවිච්චි කරනකොට හැමෝටම එකතුවෙන්න ලැබෙනවා. මේක ජනවාර්ගික කාරණයක් විදියට විතරක් දකින්න ඕනෑ නැහැ. අපි දන්නවා, සහෝදර සිංහල ජනතාවට තියෙන බිය. රට බෙදෙයි කියන එක. මේ සුන්දර ශ්‍රී ලංකාව බෙදෙන්න ඕනෑ නෑ. හැමෝටම බලය තියෙනවා නම් කවුරුවත් මේ රටෙන් වෙන්වෙන්නේත් නෑ. රට දියුණුවෙනවා නම් කවුරුවත් දියුණුවෙන් පලායන්නේ නෑ. අපි බලය ජනතාව අතර බෙදීගිය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තොත් ස්ථාවර බව, තිරසර සාමය, ජනතාව අතර එකඟතාව ස්ථාපිත කරලා විශාල ආර්ථික සංවර්ධනයක් ලබාගන්න පුළුවන්.

ඔබේ පක්ෂය ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියත්, අනෙක් සියලු පාර්ශ්ව කැමතිවුණ පසුබිමක ඒකීය ක්‍රමයක් යටතේ බලය බෙදන්නට එකඟ බව කියනවා. හැබැයි ලෝකයේ වෙනත් රටවල ඉන්න දෙමළ ජනතාවත් ලංකාවෙ දේශපාලනය ගැන උනන්දුවෙන් ඉන්නවා. ඔවුන් ෆෙඩරල් ක්‍රමයක් නොවන බලය බෙදීමකට එකඟ වේවිද?
වචනවලින් වැඩක් නැහැ. මිනිස්සු අතට බලය ලැබෙන්නයි ඕනෑ. මේ රටේ නැති මිනිස්සුන්ට තමන්ගේ අදහස් කියන්න පුළුවන්. හැබැයි එයාලාට තීරණ ගැනීම ගැන බලපෑම් කරන්න බෑ. තීරණවලට බලපෑම් කරනවා නම් ලංකාවට එන්න ඕනෑ. පිටරටවලට ගිහින් කතාකිරීම පහසුයි. මේ රටේ ඉන්න මිනිස්සු හිතන දේයි අපට වැදගත්. ලංකාවේ ඉන්න අය අතරින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වගේ කිහිපදෙනෙක් කෑගහයි. ඒත් බහුතර දෙමළ ජනතාවට ඕනෑ ගැටුමක් ඇතිකර නොගෙන මේ රට ඇතුළේ අභිමානවත් පුරවැසියෙක් විදියට ජීවත්වෙන්න විතරයි. එයාලාගේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන සුහදතාවෙන් ජීවත්වෙන්න, මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්නයි දෙමළ ජනතාවට ඕනෑ. අපට මෙච්චර දේවල් ඕනෑ කියලා ෂයිලොක් පන්නයේ ඉල්ලීම් සාමාන්‍ය දෙමළ ජනතාව කරන්නේ නැහැ. අපි මැද එකඟතාවකට එන්නේ නැතිව කොච්චර ප්‍රශ්නවලට මුහුණදුන්නාද. දැන් ඇති. අපි එකඟතාවකට එමු. මොකක්ද මේ මහාලොකු ප්‍රශ්නය. ඔබ දිහා බලලා බාහිර පෙනුමෙන් කාට හරි කියන්න පුළුවන්ද ඔබ සිංහලයෙක් කියලා. මා දිහා බලන කෙනෙක්ට බැලූබැල්මෙන් මෙයා දෙමළෙක් කියලා කියන්න පුළුවන්ද. අපි හැමෝම එක වගේ මිනිස්සු. ඇයි අපට එකට දියුණුවෙන්න බැරි? අපි එකිනෙකා සමානයි කියලා හිතන්න බැරි?

ඒත් එක් නායකයෙක්ට බලය ලැබීම රටේ දියුණුවට හොඳයි කියලා කියනවා නේද? අනෙක රටේ ස්ථාවරභාවය ආරක්ෂා වෙන්නෙත් මධ්‍යම ආණ්ඩුව වටා බලය රැඳුණොත් නේද?
ස්ථාවර බව කියන්නේ එක්කෙනෙක් අතට බලය යන එක නෙවෙයි. බලය කොළඹ විතරක් තියෙන එකෙන් යහපතක් වෙන්නේ එක් දේශපාලනඥයෙකුට හෝ සුළු පිරිසකට මිස රටේ පොදු මහජනතාවට නෙවෙයි. අපි පැහැදිලිව, හැම මොහොතේම කියනවා නොබෙදුණු ලංකාවක තෘප්තිමත් ජනතාවක් විදියට ජීවත්වෙන්නයි අපටත්, අප නියෝජනය කරන දෙමළ ජනතාවටත් ඕනෑ.

ඔබ ගිය සතියේ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන බලවේගවලින් ඉල්ලීමක් කළා අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා කියලා. රාජපක්ෂ පිලේ ව්‍යවස්ථා විරෝධී සටන්පාඨ ගැන ඔබට දැනෙන්නේ මොකක්ද?
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමා අසත්‍ය කරුණු සමාජගත කරන එක ගැන මට බොහොම කනගාටුයි. මම කියන්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා මීට පෙර කිහිපවතාවක් කියපු දේවල් ටිකක්. අපට ඕනෑ එතුමා කිව්ව ඒ දේවල් යථාර්ථයක් කරන්නයි. රාජපක්ෂ මැතිතුමා 2006 ජුලි 11 වැනිදා සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ හා බහුවාර්ගික විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ඇමතුවා. එතුමා ඒ වෙනකොට ජනාධිපති. එතකොට එතුමා පැහැදිලිව කීවා නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සාධාරණ විසඳුමක් ගොඩනඟා ගැනීම අපේ අරමුණ විය යුතුය කියලා. ඊට අමතරව කීවා මෙහෙම.
“ජනතාව තමන් ජීවත්වෙන ප්‍රදේශය තුළ තම ඉරණම හා දේශපාලන වටපිටාව පාලනය කිරීම පිළිබඳ වගකීම ගත යුතුයි. අසමාන ලෙස සම්පත් බෙදීයන පරිදි මධ්‍යම රජය විසින් ගන්නා තීරණ කාලයක් තිස්සේ ගැටලුවක්ව පවතී. ඊට අවනතව අනන්‍යතාව, ආරක්ෂාව හා සමාජ ආර්ථික ප්‍රගතිය සම්බන්ධ කරුණු ඉටුකරගැනීම මධ්‍යමය කරනු වෙනුවට බලය විමධ්‍යගත කිරීම තුළින් ඒවා ආමන්ත්‍රණය කළ යුතු බව ප්‍රත්‍යක්ෂ කරුණකි.” ඉතින් මම කියන්නේ දැන් අපේ අරමුණත් ඒකම තමයි. එතුමා ඒ වෙලාවේ පැහැදිලි සිංහලයෙන් කීවේ උපරිම බලය බෙදීමකට යා යුතුයි කියලා. ඉතින් ඒ වෙලාවේ එතුමා කීවේ නැහැ මේක රට බෙදීමක් කියලා.
තව අවස්ථා කිහිපයකදීම මහින්ද මැතිතුමා මේ ගැන අදහස් දක්වලා තියෙනවා. එතුමා 2009 මැයි 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කීවා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම මෙන්ම, මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එදා එතුමා පෙන්වාදුන්නා. මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් 2011 මැයි මාසයේදී ඉන්දියාවට ගිය අවස්ථාවේ 13 වැනි සංශෝධනය පදනම් කරගත් බලය බෙදීමක අවශ්‍යතාව පෙන්වාදුන්නා. 2012 දී ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට ආ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු නායකයන් එක්ක කළ සාකච්ඡාවලින් පසුව ජී.එල්. පීරිස් මැතිතුමා ප්‍රකාශයක් කරමින් කීවේත් එලෙස අර්ථාන්විතව බලය බෙදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ ඇමතිවරයාට කී බව.
මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්ම පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම විසින් නිර්දේශ කළේත් බලය බෙදීමේ අවශ්‍යතාවයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 මැතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේදී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පෙන්වාදුන්නා. ඒ ප්‍රකාශයේ තිබුණු කොටසක් මම උපුටා දක්වන්නම්. “බලහත්කාරයෙන් අපේ ජනතාව හා රට මත පැනවූ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අපි අවුරුදු 36ක් තිස්සේ විවේචනය කර ඇත්තෙමු. වසර ගණනාවක් තිස්සේ කරනු ලැබූ විවිධ සංශෝධන හේතු කොටගෙන, එනම් අනෙකුත් ඒවා සමඟ සංගත නොවන තත්ත්වයක්ද ඇති බැවින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට විකෘති තත්ත්වයකට පත්ව ඇති බව අප සියලුදෙනා විසින් පිළිගත යුතුව ඇත. එහෙයින් මෙම ව්‍යවස්ථාව අක්‍රමවත් ලෙස තවදුරටත් සංශෝධනය නොකර ජනතාවගේ අදහස්, අභිලාෂයන් හා අභිමතාර්ථ පිළිඹිබු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්පාදනය කිරීමට පියවර ගනිමි.” එතුමා එදා එහෙම කීවා. දැන් එතුමා යළි බලයට එන්නයි ව්‍යවස්ථාව සංශෝධනය නොකළ යුතුයි කියලා කියන්නේ. රට බෙදන්න සූදානම් වෙනවා කියලා කරන්නේ. මහින්ද මැතිතුමා මීට පෙර යෝජනා කරලා තියෙන දේවල්වලට වඩා දශමයකින්වත් වෙනස් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. මහින්ද මැතිතුමාගෙන් මම ප්‍රසිද්ධියේ, ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එතුමාගේ සහයෝගය. එතුමාට මේ රටේ මිනිස්සු ගරු කරනවා. එතුමාව විශ්වාස කරනවා. ඒ විශ්වාසය අවභාවිත කරමින් එතුමා ජනතාවට අසත්‍ය පැවසීම නවත්වන්න ඕනෑ. එතුමා යළි බලයට එනවා නම් අපි ඒකට විරුද්ධ නෑ. එතුමාට බලයට එන්න පුළුවන්. එහෙත් බලයට පැමිණීමේ අරමුණෙන් ව්‍යවස්ථාව ගැන ජනතාවට බොරු කියන්න අවශ්‍ය නෑ. වෙන කාරණාවක් ගැන කතාකරලා එතුමාට බලයට එන්න පුළුවන්. රටේ වැදගත්ම ප්‍රශ්නය ගැන බොරු නොකියා.

රාජපක්ෂ පිල විතරක් නෙවෙයි. උතුරේ විග්නේශ්වරන් මහතාගේ කණ්ඩායමත් ඔබව දේශද්‍රෝහීන් විදියට හඳුන්වනවා. දැන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් ඔබේ නායකත්වයට විරුද්ධ දේශපාලන බලවේගයකුත් ඇතිවෙලා නේද?
ඕනෑ කෙනෙක්ට ඕනෑ අදහසක් කියන්න පුළුවන්. ජනතාව ඡන්දයෙන් පස්සෙ අපට විශ්වාසය දීලා අපට නායකත්වය දීලා තියෙනවා. අපි ඒ අනුව වැඩ කරනවා. තව ඡන්දයක් ආවාම එයාලාට තමන්ගෙ අදහස් කියලා, ජනතාව කැමැත්ත දුන්නොත් එයාලාට එයාලාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ හෙට. අදට ජනතාව අපට කැමැත්ත දීලා තියෙනවා.

සිංහල නායකයන්ව විශ්වාස කරලා චෙල්වනායගම්, අමිර්තලිංගම් වගේ නායකයන් එදා රැවටුණු බව කියනවා. ඒකේ ප්‍රතිඵලය මහා යුද්ධයක්. ඔබත් සිංහල නායකයන්ව විශ්වාස කරලා අන්තිමේ රැවටෙයිද? දෙමළ ජනතාව නොමඟ යයිද?
විශ්වාසයක් නැතිව කිසිම දෙයක් කරන්න බැහැනේ. දැන් ලෝකය, රට වෙනස්වෙලා. අවුරුදු තිහක් යුද්ධය වුණා. අපි ඔක්කොම හොඳ හොඳ පාඩම් ඉගෙනගත්තා. රටට විශාල හානි වුණා. අපි සිංගප්පූරුව, මැලෙසියාව වගේ දියුණු වුණේ නැත්තේ ජාතික ප්‍රශ්නය නිසා. දැන් රටවල් ඔක්කෝම දියුණුවෙනවා. හේතුව කලබල නැතිව ඔක්කෝම එකතුවෙලා වැඩ කරන නිසා. ඒ නිසා එදා විශ්වාසය කඩකිරීම් අමතක කරලා අනාගතය ගැන විශ්වාසය තියන්න ඕනෑ. අපි විශ්වාසය තියනවා. ඒක තමයි එකම මාර්ගය.

සිංහල දෙමළ දෙපාර්ශ්වයේම ඇතැම් අය කියනවා ටීඑන්ඒ, යූඇන්පී සහ මෛත්‍රී පාර්ශ්වයේ නායකයන් එකතුවෙලා රහස් එකඟතාවක් හදාගෙන ව්‍යවස්ථාව හදනවා කියලා. ඒ ගැන අදහස මොකක්ද?
අපට හොරෙන් ව්‍යවස්ථා එපා. අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගන්න. ජනතාව ඉදිරියට ගෙනියන්න. ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්ත අහන්න. මම කලින් කිව්වා වගේ දැන් ආණ්ඩුව කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව දේවල්. අපි විපක්ෂය විදියට සහයෝගය දෙන්නේ ඒවාට. මහින්ද රාජපක්ෂ මහත්තයා අවංකව කළා නම් අපි එතුමාටත් ඒ වෙනුවෙන් සහයෝගය දෙනවා. ඔහු කීවා ජනතාව ඉදිරියට දාලා, සියලු පක්ෂ සහභාගි කරගෙන විවෘතව සාකච්ඡා කරලා ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා කියලා. දැන් කරන්නේ ඒකම තමයි.

දකුණේ ප්‍රශ්න ගැන ඔබතුමන්ලා කතා නොකරන බව ඇතැම් සිංහල නායකයෝ චෝදනා කරනවා. රටේ විපක්ෂනායකයා විදියට ඒ චෝදනාව ගැන ඔබේ අදහස මොකක්ද?
අපි කතාකරනවා. හැබැයි එදිනෙදා ප්‍රශ්නවලට අවධානය යොමුවෙන්නේ අඩුවෙන්. අපි ව්‍යුහාත්මක ප්‍රශ්න ගැනයි කතාකරන්නේ. ඇත්තටම මේ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නය උතුරේත්, දකුණේත් හැමෝමට බලපාන ලංකාවේ ලොකුම ප්‍රශ්නය. ඒක විසඳුණාම මුළු රටටම ප්‍රතිලාභ ලැබෙනවා. ආර්ථික ගැටලුවලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා. අපි දූෂණයට විරුද්ධව කතාකරනවා. ඒක රටේම ප්‍රශ්නයක්. සමහරවිට අපි එදිනෙදා ප්‍රශ්න ගත්තාම උතුරේ ප්‍රශ්න ගැන වැඩියෙන් අවධානය යොමු කරනවා ඇති. ඇත්තටම එදිනෙදා ප්‍රශ්න ගැන කතාකරන්න හුඟක් අය ඉන්නවානේ.

බොහෝදෙනෙක් කියන දෙයක් තමයි ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න පුළුවන් අවසාන අවස්ථාව ඔබ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරන මොහොත කියලා. ඔබ අසාර්ථක වුණොත් මැද මාවත පරාජය වේවි කියලා කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම දන්නේ මෙච්චරයි. මේක ඉවරයක් කරන්න අපි හුඟාක් කල් මහන්සිවෙලා තියෙනවා. තවත් මේක ප්‍රමාද කරන්න ඕනෑ නෑ. මේක හුඟක් ලෝකයට ගිහිල්ලා තියෙනවා. යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වෙලා තියෙනවා. අපේ ප්‍රශ්නය ගැන අපිම කතාකරන්න ඕනෑ. එයාලාට මැදිහත්වෙන්න දෙන්න ඕනෑ නෑ. තව වැඩිපුර මේ ප්‍රශ්නය ගියොත් තමයි ලෝකයේ රටවල් අපට අත දාන්නේ. අත දාන්න ඉඩදෙන්නේ ඇයි. මෙහෙම තීන්දුවක් නොගත්තොත් ප්‍රශ්නය උග්‍ර වෙනවා. තවත් යුද්ධයකට යන්න වෙනවා. වුණ දේවල් මදිද? ගාමිණී දිසානායක, ඇතුලත්මුදලි, ප්‍රේමදාස, කදිරගාමර්, අමිර්තලිංගම් ඇතුළු නායකයන් කොච්චර මැරුණාද? මිනිස්සු කොච්චර මැරුණාද? දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව කොච්චර මැරුණාද? ආර්ථික ප්‍රශ්න කොච්චර වුණාද? යුද්ධයට කොච්චර සල්ලි වියදම් කළාද? තවත් මේක ඕනෑ නෑ. මෙතැනින් ඉවරකරමු. අපි එකම රටක මිනිස්සු. අපි මේ ප්‍රශ්නය විසඳාගෙන දියුණු වෙමු.■