රාවය

ව්‍යවස්ථා විරෝධය හිතේ මවාගත්ත දේවල් නිසා ආ විරෝධයක් | ජාතික හෙළ උරුමයේ සභාපති කරුණාරත්න පරණවිතාන

ව්‍යවස්ථා විරෝධය හිතේ මවාගත්ත දේවල් නිසා ආ විරෝධයක් | ජාතික හෙළ උරුමයේ සභාපති කරුණාරත්න පරණවිතාන

තරිඳු උඩුවරගෙදර

ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනාවල තියෙනවා ස්ථාවරභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමබර කළ ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
ව්‍යවස්ථාවකින් ප්‍රධාන කාරණා දෙකක් බලාපොරොත්තු වෙන්න ඕනෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම. රට දියුණු වෙන්න දෙකම ඕනෑ, අපි දැඩිව ස්ථාවරභාවය අවධාරණය කරනවා. ඒකෙන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලා අපි කියන්නේ නෑ. ස්ථාවරභාවය ගැනම හිතලා හදපු 1978 ව්‍යවස්ථාව නිසාම තමයි බොහෝ ප්‍රශ්න ඇතිවුණේ. අන්තිමේදී ඒකාධිපති රාජාණ්ඩුවක් දක්වා රට යන ලකුණු පෙනෙන්න ගත්තා. ජාතික හෙළ උරුමය පක්ෂයක් හැටියට ඒකාධිපතිවාදය පරද්දන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියට ආවේත් ඒ නිසා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන සටන් පාඨය අධිනිශ්චය වෙලා තිබුණා කියලා ඒ පස්සේම යන්න ඕනෑ නෑ. ස්ථාවරභාවයට බර තියන්න ඕනෑ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වත්මන් ආණ්ඩුව බලයට ගෙනෙන්නට හේතුවුණ පළමු සටන්පාඨය. දැන් ඔබේ පක්ෂය ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නැයි ඉල්ලන්නේ ඇයි?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන දේශපාලන මාතෘකාව ආවේ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ආ විරෝධය සරල කිරීමක් විදියට. දේශපාලන ව්‍යාපාරයකදී හැම වෙලාවෙම සටන්පාඨ සරල වෙන්න ඕනෑ. උදාහරණයක් කිව්වොත්, ඔක්තෝබර් විප්ලවය. විප්ලවය වුණේ විශාල දාර්ශනික අදහස් මත. හැබැයි එළියේ තිබුණේ සටන්පාඨ තුනයි. සොල්දාදුවන්ට සාමය, ගොවියන්ට ඉඩම්, කම්කරුවන්ට පාන් කියන තුන. පාන් කියන එකෙන් අදහස් වුණේ පාන් විතරක් නෙවෙයි. කම්කරුවන්ට ලැබෙන අයිතිවාසිකම් අදහස් වුණේ. සොල්දාදුවන්ට සාමය කීවාම රුසියාව හැමකෙනාටම යටත් වෙන්නේ නෑ. එදා සාමය සටන්පාඨයක් කරගත්තාට සෝවියට් රුසියාවට විප්ලවයෙන් පස්සේ සිද්ධවුණා හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරන්න. ඉතින් ඒ වගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන්නේ සටන්පාඨයක්. හැබැයි විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් වූ පමණින් ප්‍රජාතන්ත්‍ර විරෝධී නෑ. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය එක්ක. දැන් පළාත් සභා ක්‍රමය තියෙනවා. මේ සියල්ල එක්ක පාර්ලිමේන්තුවට සෑහෙන වගකියන ජනාධිපති ක්‍රමයක් තිබීම අවශ්‍යයි. විශේෂයෙන් මැතිවරණ ක්‍රමය එන්නේත් සමානුපාතික සහ කොට්ඨාස ක්‍රමයක්. එතකොට අස්ථාවර ආණ්ඩු හැදෙනවා. ඉතින් ස්ථාවරභාවයේ සංකේතයක් විදියට ජනාධිපති ක්‍රමයක් තිබිය යුතුයි.

ජාතික හෙළ උරුමයේ යෝජනා බලය බෙදීම ගැන යෝජනාවලට විරෝධය දක්වලා තියෙන බව පෙනෙනවා නේද?
අපි පැහැදිලිව කියනවා සුළුතර ජනවර්ග පාලනයට හවුල් කරගන්න ඕනෑ. හැබැයි ඒකට ප්‍රාදේශීය ස්වයංපාලනවාදය විතරක් ප්‍රමාණවත් නෑ, දැන් වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව ප්‍රාදේශීය ස්වයංපාලනවාදයේ තව තවත් ඈතට යනවා. ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. විසඳුම් හොයන්න තව ක්‍රම ගොඩාක් තියෙනවා. ප්‍රාදේශීය ස්වයංපාලනයට අමතරව මධ්‍යම ආණ්ඩුවේ බලය බෙදාගැනීම ගැන හිතන්නට අපි දෙමළ පක්ෂවලටත් ආරාධනා කරනවා. අපි දන්නවා, සමහර දෙමළ දේශපාලන නායකයන් මධ්‍යස්ථ ලෙස මේ ප්‍රශ්නයට මැදිහත්වෙද්දී ඔවුන්ව ඔවුන්ගේ ප්‍රදේශවල සමහරු හඳුන්වන්නේ ද්‍රෝහීන් හැටියට. ජාතිවාදය හැම කොණකම තියෙනවා. මහාජාතියේ ස්වරූපයෙන් මෙන්ම සුළුජාතිවාදයේ ස්වරූපයෙනුත් ජාතිවාදය එනවා. ඒ දෙකම වැරදියි.

උඩරට සිංහල නායකයන් ෆෙඩරල් ඉල්ලපු කාලෙක ජී.ජී. පොන්නම්බලම් වගේ පැරණි දෙමළ නායකයන් පණහට පණහ නියෝජනය වගේ යෝජනා ගෙනල්ලා මධ්‍යම ආණ්ඩුව තුළ බලය බෙදාගැනීමට උත්සාහ කළා. ඒ කාලයේ නායකයන් ඒක තඹේකට ගණන් ගත්තේ නෑ. දැන් මධ්‍යයේ ඉඳන් බලය බෙදාගන්න ආරාධනා කිරීම විහිළුවක් නෙවෙයිද?
ඒක තමයි අපේ ඉතිහාසයේ නරක තැන. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙනුයි පණහට පණහ ඉල්ලුවේ. ඒ දෙමළ ජනතාවට විතරක් නෙවෙයි. බහුතර සිංහල ජනතාව සහ අනෙකුත් සියලු සුළුතර ජනතාව අතර බලය බෙදීමක් විදියට ඉල්ලුවේ. ඒත් ඒක බොහොම නරක ෂයිලොක් යෝජනාවක් විදියට දැක්කා. ඒ ගැන සාකච්ඡා කරන්නවත් ඒ ගැන ප්‍රගතිශීලී විදියට දකින්වත් දකුණේ නායකයන්ට ඕනෑකමක් තිබුණෙ නෑ. ඇත්තටම අපේ ජාතික ගැටලුවේ ගැඹුරු මූලයන්වල තියෙන්නෙ කුලවාදය. 1910 උගත් ලාංකික නියෝජිතයා තෝරාගනිද්දී තද කුලවාදයක් තිබුණා. දෙමළ ප්‍රභූන් සහ සිංහල ප්‍රභූන් එකතුවෙලා අනෙක් කුලයන් යට කරන්න වැඩකළා. ඒ කුලවල අය හිතුවා දෙමළ මිනිස්සු අපට විරුද්ධයි කියලා. අන්තවාදී සිංහල දේශපාලනය පටන්ගත්තේ ඒකෙදී. ලංකා ජාතික සංගමයත් ඒකෙන් කැඩුණා. පණහට පණහ යෝජනාව සාකච්ඡාවට නොගත්තේ ඒක උඩ. ඒ වෙද්දී සර්වජන ඡන්ද බලය තිබුණා. ඒකෙන් පස්සේ 1935දී සර්වසිංහල ඇමති මණ්ඩලයක් හැදුණා. ෆෙඩරල් ඉල්ලන තැනට එන්න සාධාරණ හේතු තිබුණා තමයි. හැබැයි ඒකෙත් විකල්පය වෙන්නේ වෙනම රාජ්‍යයක් දිහාට යන එක නෙවෙයි. අපි කරන්න ඕනෑ එදා තත්ත්වයන් වෙනස් කරලා එකතුවෙන්න බලන එක. අපි බලය මධ්‍යයේ බෙදාගන්න කීවාම ඒකේ තේරුම ප්‍රාදේශීය ස්වයංපාලනය එපා කියන එක නෙවෙයි. ඒකේ ඉම කොතැනද කියන එකයි අපි බලන්න ඕනෑ. අද ඇත්තටම දෙමළ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ජීවත්වෙන්නේ උතුරු නැගෙනහිරින් පිට. ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද. මේ ගැන හුදෙක් ප්‍රාදේශීය ස්වයංපාලනයේ කෝණයෙන් බලන්න එපා කියන එකයි අපි ඉල්ලන්නේ.

අපේ රටේ බහුතරය ජාතිය කියලා හඳුනාගන්නේ සිංහල, බෞද්ධ ජාතියක්. අනෙක් මිනිස්සුන්ව අමතක කරනවා. ජාතිය කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න පසුබිමක ජාතික දේශපාලනය ශක්තිමත් කිරීම ගැන හිතන්නේ කොහොමද?
මෙහෙමයි, ජාතිකවාදය කියන්නෙ දේශපාලන යථාර්ථයක්. ලෝකයේ හැම තැනකම ජාතිකවාදය තියෙනවා. එක් සමාජ විද්‍යාඥයෙක් කියනවා ජාතිකවාදයට මාක්ස් කෙනෙක්, හේගල් කෙනෙක්, මැක්ස්වෙබර් කෙනෙක් නැහැ කියලා. ජාතිකවාදයට දාර්ශනික අඩංගුවක් නෑ. මිනිස්සු රංචු ගැහෙන එක මිනිසා පිළිබඳ යථාර්ථයක්. පුරවැසි ජාතිකවාදය සහ ජනවාර්ගික ජාතිකවාදය ගැන දෙකක් තියෙනවා. පොදු දේශපාලන ඉරණමක් හුවමාරු කරගැනීම සහ සංස්කෘතික, ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගැනීමයි ඒ දෙක. අපට දැන් පුරවැසි ජාතිවාදයක් හදාගන්නයි ඕනෑ. අපි අර ජනවාර්ගික ජාතිකවාදයන්ට පිටින් පොදු දේශපාලන ඉරණමක් බෙදාගන්නයි ඕනෑ. මිනිස්සු සංස්කෘතික අනන්‍යතා තියෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි ජාතිකවාදයක් ඇතිකරගන්න ඕනෑ. ඒකට අලුත් සංවාදයක් ඇතිකරගන්න ඕනෑ.

දැන් දෙමළ ප්‍රජාව ලෝකය පුරාම විසිරිලා ඉන්නවා. ඔවුන් ලංකාවෙ දෙමළ ජනතාවගේ දේශපාලන අදහස්වලට බලපෑම් කරනවා. ලෝක දෙමළ ප්‍රජාව මෙවන් යෝජනාවකින් සෑහීමකට පත් කරන්න පුළුවන් වේවිද?
මධ්‍යස්ථ දෙමළ නායකයන් එක්ක මේ ප්‍රශ්නය විසඳාගන්නට තියෙන ලොකුම බාධාව තමයි ලංකාවෙන් පිට ඉන්න දෙමළ ප්‍රජාව. විශේෂයෙන් දකුණු ඉන්දියාවෙ ඉන්න දෙමළ නායකයන්. අනෙක, ලෝකයේ ඉන්නවා දේශපාලන සරණාගත ප්‍රජාව ඔස්සේ හැදුණු ගෝලීය දෙමළ ප්‍රජාවක්. එයාලා තමන් හීන දකින දෙමළ රාජ්‍යය පිළිබද කාව්‍යොක්තිය නඩත්තු කරනවා. අරමුදල් සපයනවා. මේක ලංකාවේ ප්‍රශ්නය විසඳාගන්නට බාධාවක්. හැබැයි හැමදාම ඒකට ඉඩදෙන්න ඕනෑ නෑ. මේවාට සර්වසම්පූර්ණ විසඳුම් සෙවීම අද හෙට කරන්න බෑ. අද කරන්න පුළුවන් උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරන එකයි. අමාරුවෙන් හරි ඒ මාවතේ යෑම විතරයි අපට ඉතිරිවෙලා තියෙන්නේ.

ව්‍යවස්ථා යෝජනාව ගැන දෙමළ හා සිංහල ජනතාව තෘප්තිමත් නැති බව පෙනෙනවා නේද? මිනිස්සු තියෙන ව්‍යවස්ථාව හොඳයි කියලා හඬ නඟන තැනට ඇවිත් නේද?
මගේත් තියෙන්නේ ඒ ගැන කනගාටුවක්. රටක ව්‍යවස්ථාවකට පොදු ජනතාවගේ සහයෝගය නැත්නම් මේකෙ සුජාතභාවය නැතිවෙලා යනවා. මේක කෙටුම්පත් කරන්න කලින්ම ලොකු ව්‍යවස්ථා විරෝධයක් මතුවෙලා. හැබැයි මේ ව්‍යවස්ථාව ගැන ආ විරෝධයේ ස්වභාවය දැක්කාම අපට පෙනෙනවා මේක හිතේ මවාගත්ත දේවල්වලට ආ විරෝධයක් කියලා. නොවැදගත් තාක්ෂණික කරුණු මහා ගැටලු විදියට මතුවෙලා. උදාහරණයක් විදියට විජේදාස රාජපක්ෂ මැතිතුමා කියපු අදහස. ඔහු කියන්නේ 1972 නම් ව්‍යවස්ථාවක් හදන්න බැරි නිසයි පාර්ලිමේන්තුවට පිටින් ගිහිල්ලා ව්‍යවස්ථාව හැදුවේ, දැන් පාර්ලිමේන්තුව නොවන වෙනත් ආයතනයක ව්‍යවස්ථාව හැදීම වැරදියි කියලා. මට අනුව ඒ කතාව බොරුවක්. අපට ඕනෑ නම් 1972 දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ වුණත් ව්‍යවස්ථාව හදන්න තිබුණා. ඒකේ 29 වැනි වගන්තිය සම්බන්ධයෙන් විතරයි ගැටලුවක් තිබුණේ. 29 වැනි වගන්තියේ තිබුණේ කිසියම් ජාතියකට අගතියක් වන නීති පාර්ලිමේන්තුවේ හදන්න එපා කියලායි. ඒ වගන්තිය හොඳයි. අලුත් ව්‍යවස්ථාවකට වුණත් ඒක එහෙමම දාන්න තිබුණා. ඒක හැර අනෙක් ඕනෑ දෙයක් කරන්න පුළුවන්කම තිබුණා එදා පාර්ලිමේන්තුවට. ඇත්තටම එහෙම කරලාත් තියෙනවා. 1970 දී මුලින්ම කළ වැදගත් වෙනසක් තියෙනවා. ඒ වෙද්දී 1948 ව්‍යවස්ථාවේ තිබුණු වැදගත් විධිවිධානයක් තමයි ඉහළම අභියාචනාධිකරණය විදියට බි්‍රතාන්‍යයේ ප්‍රිවි කවුන්සිල් කියන අධිකරණය පිළිගැනීම. ඒක බි්‍රතාන්‍යයෙන් දාපු නීතියක්. සෝල්බරි ව්‍යවස්ථාවේ ස්වාධීනත්වය සීමා කරන තැනක්. 1970 ආණ්ඩුව ආ ගමන් ඒක වෙනස් කළා. ඉතින් ඔය බොළඳ තර්ක අල්ලගෙන විජේදාස රාජපක්ෂ මහත්තයා මවන්නේ පල රහිත විරෝධයක්.

බුද්ධාගමට තැන නැතිවෙනවා කියලා තවත් පිරිසක් විරෝධය දක්වනවා නේද?
නවවැනි වගන්තිය ව්‍යවස්ථාවට ගෙනෙන්න යෝජනා කළේ බෞද්ධයෙකුත් නෙවෙයි. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා තමයි ඒක යෝජනා කළේ. වාදයට හේතුවෙලා තියෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන කියන නම එජාපයෙන් ගෙනා එකක්. ශ්‍රීලනිපයෙන් රටේ නම හැටියට යෝජනා කළේ ශ්‍රී ලංකාව නිදහස් නිවහල් ස්වාධීන ජනරජයක් විය යුතුය කියන එක. ඒකට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කෑල්ල දැම්මේ එජාපය. මේවා නිකන්ම සංකේතාත්මක පිළිගැනීම් විතරයි. මේවා අල්ලාගෙන කෑගහලා වැඩක් නෑ. මේ පුංචි ගැටලු මුලින්ම නිරාකරණය කරගන්න ඕනෑ. එහෙම වුණොත් මේ පදනම් විරහිත විරෝධය නැති කරගන්න පුළුවන්. මේ ජනතා විරෝධයන් නිරීක්ෂණය කිරීම වටිනවා. අපි කාලයක් හිතුවා සමාජ මාධ්‍ය වර්ධනය වෙලා මේ තත්ත්වයට ආවාම මිනිස්සුන් දියුණුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේවි කියලා. හැබැයි ඇමෙරිකාවේ පටන් මුළු ලෝකයේම දැන් තියෙන යථාර්ථය තමයි වර්තමානයේ මිනිස්සු හරි මතයක් නැතිව සරල තර්කවල එල්ලිලා දේශපාලනය තවත් අවුල්වෙලා තියෙනවා කියලා. මේ අවුල් පරෙස්සමට ලෙහන්න ඕනෑ. ව්‍යවස්ථාවට සුජාතභාවයක් නැතිව වැඩක් නැහැ. සුජාතභාවය ලබාගන්න ඕනෑ.■