රාවය

ඡන්දයට බය ශ්‍රීලනිපය

ඡන්දයට බය ශ්‍රීලනිපය

ඡන්දයට බය ශ්‍රීලනිපය

මිනිසුන් අධිකරණය ඉදිරියට යන්නේ යුක්තිය සාධාරණය ඉල්ලාගෙන, සද්භාවයෙන් ය. එහෙත්, සමහරුන් අධිකරණයට යන්නේ යුක්තිය සාධාරණය ඉටු වීම වළක්වන්නට, අසද්භාවයෙන් ය. පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කළ ගැසට් පත්‍රයට එරෙහි ව අභියාචනාධිකරණය ඉදිරියට ගියවුන් ද එසේ ගොස් ඇත්තේ යුක්තිය සාධාරණය ඉටු වීම වැළැක්වීම සඳහා, අසද්භාවයෙනි. මේ නඩු දැමීම හරහා පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීම ඔවුන්ගේ වුවමනාව බව පැහැදිලි ව කිව යුතු ය. අසාධාරණයක් වන විට හැම කෙනකුට ම නඩු දමන්නට අයිතියක් ඇතැ’යි වැනි වාක්‍ය මෙවැනි ජනතා විරෝධී ක්‍රියා සාධාරණීකරණයට යොදා නොගත යුතු ය.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වී ඇත්තේ මීට මාස නවයකට පෙර ය. ගැසට් පත්‍රයක් නිකුත් කිරීම යනු, මහජනයාට දැන ගත හැකි වන පරිදි යමක් ප්‍රසිද්ධ කිරීමේ නිල ක්‍රමය යි. ඒ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් කිසිවකුට ආරාවුලක් තිබේ නම්, ඒ ගැන නීතිය ඉදිරියට යන්නට ප්‍රමාණවත් කාලයක් තිබුණි. එහෙත් කිසිවෙක් එසේ නොකළහ. පසුගිය සතියේ හය දෙනකු අධිකරණය ඉදිරියට ගොස් තිබෙන්නේ, පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා කැඳවීම සඳහා සහ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් දින වකවානු ද දළ වශයෙන් නියම කොට තිබෙන පසුබිමක දී ය. නඩු කියන්නන්ගේ වුවමනාව වී ඇත්තේ, දැන් නොවැළැක්විය හැකි තත්ත්වයට පත්ව තිබෙන ඡන්ද විමසීම පැවැත්වීම, එය වැළැක්විය හැකි එක ම ක්‍රමය, එනම් අධිකරණ නියෝගයක් හරහා, නැවැත්වීම ය. දෙසැම්බර් 4වනදා වන තෙක්, අභියාචනාධිකරණය එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළකා වාරණයක් පනවා ඇති නිසා, අසද්භාවයෙන් නඩු කියන්නන්ගේ වුවමනාවන් යම් තරමකට දැනටමත් ඉෂ්ට වී තිබෙන බව පෙනෙයි.
යම් හෙයකින් අභියාචනාධිකරණය වාරණය තවත් දිගු කොට, පෙත්සම් විභාගය කල් දැමුවහොත්, ඡන්දය බොහෝ කාලයකට කල් යෑම වළක්වන්නට බැරි වෙයි. අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු වුව ද, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වුවහොත්, තත්ත්වය තවත් නරක වනු ඇත. එනිසා, අභියාචනාධිකරණය ද රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සැලකිල්ලට ගෙන මේ නඩුවේ දී ක්‍රියා කරන්නේ නම් යහපත් ය.්‍

මේ පෙත්සම් පසුපස සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බව අලුතෙන් කිවයුතු නැත. කොළඹ, මහනුවර, හාලිඇළ, මාතර හා ඇඹිලිපිටිය ප්‍රදේශවාසී ඒ ඒ පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන්ගේ සමීපතමයන් බව දැන් ඉතා ප්‍රසිද්ධ ය.
අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු වූ වහාම, එම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා පෙත්සම්වලට මැදිහත් වීමට පාර්ශ්ව ගණනාවක් ම, විශේෂයෙන් දේශපාලන පක්‍ෂ හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන, කටයුතු කළේ ය. එහෙත්, පුහුල් හොරා කරෙන් දැනේ කීවාක් මෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එලෙස මැදිහත්වීමට උත්සාහ කළේ නැත.
අන් සියලු ම පාර්ශ්ව පෙත්සම්වලට එරෙහිව අධිකරණයට යද්දී නොගොස් සිටීම නිසා තමන්ගේ වංක චේතනාව හෙළිවන බව තේරුම් ගත් ශ්‍රීලනිපය, ගිය බදාදා තමන්ට ද මැදිහත්කාරක පාර්ශ්වයක් වීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව දැන් ශ්‍රීලනිපයට සිදුව ඇත්තේ, ශ්‍රීලනිප සාමාජිකයන් විසින් ම ගොනු කරන ලද පෙත්සම්වලට එරෙහි ව කරුණු ඉදිරිපත් කිරිමේ විහිළුකාරී තත්ත්වයකට පත් වන්නට ය.

පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමේ වුවමනාව ඇත්තේ ශ්‍රීලනිපයට ය. ඡන්දයකට යෑමේ බිය ඇත්තේ ශ්‍රීලනිපයට ය. පක්‍ෂය දෙකඩ වීම නිසා, පක්‍ෂයේ වැඩි බලය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට හිමි වීම නිසා, පළාත් පාලන ඡන්දයේ දී තමන්ට විශාල පරාජයක් අත්වනු ඇතැ’යි ශ්‍රීලනිපය සිතයි. එය සාධාරණ හා පදනමක් ඇති බියකි. එක පැත්තකින් එය, තමන්ගෙන් කැඩී ගිය රාජපක්‍ෂ පාර්ශ්වයට එකතු වීම සඳහා ආරාධනා කරයි. අනෙක් පැත්තෙන්, එසේ එකතු වීම සඳහා කොන්දේසි යෝජනා කරයි. ඒ සාකච්ඡා සඳහා කමිටු පත් කරයි. ජනවාරි 8 දේශපාලන වෙනස සිදුවන විට ජනාධිපතිවරයා සමඟ නොසිටි ශ්‍රීලනිප දේශපාලකයෝ, රාජපක්‍ෂ පාර්ශ්වය සමග එකට එකතු වී ඡන්දයට යා යුතු බවට යෝජනා කරති. මේ සියලු ව්‍යාකුල තත්ත්වයන් යටතේ, බයට පත්ව සිටින ශ්‍රීලනිපය ඒ බිය මඳකට හෝ සමනය කර ගැනීමට උත්සාහ කරන්නේ, ඡන්දය කල් දමා ගැනීමෙනි. එහෙත්, එය ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.

ඡන්දය කල් දැමීමේ මේ ආණ්ඩුවේ අවලස්සන පිළිවෙත නිසා කැත මුහුණු ඇති පරණ පාලනයේ ඇත්තන්ට ඒ කැත මුහුණේ පුයර උලාගෙන තාවකාලික ව පියකරු වීමට ද අවස්ථාව ලැබී තිබේ. ඔවුන් කියන්නේ, තමන් හැමදාම ඡන්ද පැවැත්වූ බව ය. එයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළ බව ය. ඒ පාලන කාලයේ දී අවුරුද්ද පුරා විවිධ ඡන්ද නම් කඩින් කඩ පැවැත්වුණු නමුත්, රටේ නොතිබුණේ ම ප්‍රජාතන්ත්‍රවාදය බැව් රටේ ජනතාව හොඳින් දනිති.

ශ්‍රීලනිපය මෙන් ම අනෙක් දේශපාලන පක්‍ෂ ද යථාර්ථයට මුහුණ දිය යුතු ය. තමන්ගේ බිය සැකකම් හා පරාජයන් වසා ගන්නට ජනතාවගේ ඡන්ද අයිතිය බිල්ලට ගන්නට කිසිවකුට බලයක් නැත.■