රාවය

අත්හැර දැමූ මනියන්තෝට්ටම් ඝාතනය

අත්හැර දැමූ මනියන්තෝට්ටම් ඝාතනය

රේඛා නිලුක්ෂි හේරත්

සරකට පෙර අපි ඝාතන සිදුවීමක් වාර්තාකරන්නට යාපනයට ගියෙමු. ඒ 2016 සැප්තැම්බර් 20 වැනිදා විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාජා ගජන් යන සිසුන් දෙදෙනාව පොලිස් මුරපොළකදී පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කිරීම ගැන වාර්තාකරන්නටයි.
සිදුවීමෙන් වසරක් ගතවීමෙනුත් පසුව අදත් ඒ ගැන යුක්තියේ මාවත දෙසට අඩියක්වත් ගමන් කර නැත. තවමත් ඒ ගැන නඩුවක්වත් නැත.

අප නැවත මෙවර යාපනයට ගියේ තවත් එවැනිම ඝාතනයක් ගැන කතාබහ කරන්නටය. තවමත් ඝාතකයන් කවුදැයි හෙළිවී නැත. එහෙත් පළමු චෝදනාව ඇත්තේ ආරක්ෂක අංශවලටය. සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේද පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකි.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා දොන් බොස්කෝ නම් තරුණයෙකු මනියන්තෝට්ටම්හිදී ඝාතනයට ලක්ව තිබුණි. පිට දෙසින් වැදුනු වෙඩි පහරකින් ඇතිවූ තුවාලයකින් ලේ ගමන් කිරීම නිසා ඔහු මියගොස් තිබුණි. යාපනය අරියාලෙයි නගරයේ කෙළවර ඇති මනියන්තෝට්ටම් ප්‍රදේශයේ අවසාන ගම්මානය වන උදයපුරම් ප්‍රදේශයේ 10 වැනි පටුමගේ එම තරුණයා වාසය කළේය. ඔහුගේ වයස අවුරුදු 24 කි. ඔහුව නිවසේ අය සහ අසල්වැසියන් අමතන්නේ දිනේෂ් කියාය. මේ සටහනේදි ඔහුව දිනේෂ් යනුවෙන් අපි හඳුන්වන්නෙමු.

මනියන්තෝට්ටම් සහ උදයපුරම් ප්‍රදේශවල අනෙක් පවුල් මෙන්ම දිනේෂ් ධීවරයෙකි. ඔහු මූලික අධ්‍යාපනයෙන් පසුව පාසැල් ගමන අත්හැර පියා සමඟ ධීවර රැකියාවට යොමු වී ඇත. අපි ඔහුගේ නිවසට ගියෙමු. එය ඉතා කුඩා නිවසක් විය. එක් කාමරයක්, කුස්සි කෑල්ලක්, තිබුණු ලෑලි සහ ටකරම් බිත්ති සහ තල්අතු වහලයක් ඇති දිළිඳු නිවසකි.
දිනේෂ්ගේ අම්මා අපි සමඟ කතාකළාය.

‘මට ළමයි පස්දෙනෙක් ඉන්නවා. මරාදැම්මේ බාලයාව. ඔය සිද්ධිය දවසේ දවල් පුතා ගෙදර හිටියා. කෝල් එකක් ආවාට පස්සෙ එයා එළියට ගියා. දවල් එකපාරම මනුස්සයෙක් දුවගෙන ඇවිත් කිව්වා පුතාට වෙඩි තියලා, එයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා කියලා. එතකොට දවල් 1.30ට විතර ඇති. අපි එවෙලේම ඉස්පිරිතාලයට ගියා. එයා ගිහින් තිබුණේ නිශාන්තන් කියන යාලුවා එක්ක. අපි දන්නේ නැහැ පුතාට වෙඩි තිබ්බේ කවුද කියලා. අපට දැනගන්න ලැබුණේ හෙල්මට් දාපු දෙන්නෙක් හැංගිලා ඉඳලා වෙඩි තිබ්බා කියලයි. පුතා බයික් එකේ යද්දී තමයි වෙඩි වැදිලා තිබුණේ. නිශාන්තන් තමයි බයික් එක එලවලා තිබුණේ.’

නිශාන්තන් සහ දිනේෂ් මෝටර් බයිසිකලයේ යන අයුරුත්, ඒ පසුපසින් ටික මොහොතක් තුළ ත්‍රීවීලර් රථයක් සහ තවත් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණෙන අයුරුත් සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇත. පසුව ඒ වාහන දෙකම යාපනයේ නාවික හමුදා කඳවුරකින් හමුවිය. වෙඩිතබා ඇති බව සැක කරන්නේ ඒ මෝටර් සයිකලයේ ගිය දෙපළයි.
එහෙත් මුලින්ම සිදුවීම ගැන පොලීසියේ තොරතුරු මත මාධ්‍යවේදීන් වාර්තාකර තිබුණේ දිනේෂ් පයින් යද්දි වෙඩිපහරට ලක්ව ඇති බවයි.

අරියාලෙයි රා තැබෑරුම මංසන්ධියේදී තරුණයා පයින් යමින් සිටියදී මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පලාගොස් ඇති බව තරුණයා විසින් පොලීසියට පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබුණි. මාධ්‍යවලින් අසත්‍ය පුවතක් පළකර තිබුණේ නැතිනම් පොලීසිය විසින් මාධ්‍යවලට ලබාදී තිබුණේ වැරදි තොරතුරු බව නිශාන්තන් නමැත්තාගේ මෝටර් සයිකලයෙන් දිනේෂ් ගමන් කළ අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබීමෙන් තහවුරු වෙයි.
රෝහලෙන් පවසා ඇති ආකාරයට දිනේෂ් මියගොස් ඇත්තේ වෙඩි පහරින් පසුව විශාල වෙලාවක් තිස්සේ ලේ ගලායෑමම නිසාය.

‘යාපනය ඉස්පිරිතාලයෙන් කිසිම පරීක්ෂණයක් කළාද කියලා අපි දන්නේ නැහැ. එදාම අපට එයාගේ මිනිය දුන්නා. ඒ වෙලාවේම අපේ අම්මා පොලීසියට ගියා පැමිණිල්ලක් දාගන්න. යාපනය පොලීසියේ හිටපු නිලධාරීන් එයාව ගණන් ගත්තේ නැහැ.’දිනේෂ්ගේ සහෝදරයා පවසයි.
‘පොලීසිය, මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා. සිදුවීම ගැන නෙවෙයි. පුතා එල්ටීටීඊ එකේ හිටියාද? මත්ද්‍රව්‍ය විකුණනවාද? ගංජා ගේනවාද කියලා අහන්න ගත්තා. මම කිව්වා එයා ගංජා විකුණන්නේ නැහැ මුහුදු රස්සාව කරන්නෙ කියලා. ඊටපස්සේ පොලීසියෙන් මට කිව්වා එහෙනම් වැරදිලා වෙඩි වදින්න ඇති කියලා. මම ඇහුවා අපි ළමයි හැදුවෙ වැරදීමකින් වෙඩි වදින්නද? කියලා. ඊට පස්සෙ තමයි පැමිණිල්ල ලියාගත්තේ.’ ඔහුගේ මව එසේ කියන්නීය.

සිදුවීමෙන් පසුවද යාපනය පොලීසිය දක්වා තිබුණේ අඩු උනන්දුවකි. සිදුවීම පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාගත් පසුව පරීක්ෂණ ඉදිරියට ගියා පමණි. නොවැම්බර් 03 වැනිදා තෙක් අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වුණේ ඒ නිසාය.
දිනේෂ්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරේ මහා විරෝධතාවන් ඇති නොවීය. සුළු විරෝධතා පමණක් ඇතිවිය. දේශපාලනඥයන් ඒ ගැන කතාකළේ නැත. මාධ්‍ය ඒ තරම් උනන්දුවක් නොදැක්වීය. එයට හේතුව මනියන්තෝට්ටම් ප්‍රදේශය නූගත් සහ දිළිඳු මිනිසුන් වෙසෙන ප්‍රදේශයක් වීමයි.

මනියන්තෝට්ටම් පාර වසර තිහක් පැරණි මාර්ගයක් මෙන් සම්පූර්ණයෙන්ම අබලන් වී ඇත. මනියන්තෝට්ටම් ගමට පාසැලක් තිබුණේ නැත. දැන් ප්‍රාථමික පාසැලක් පමණක් ඇත. දිනේෂ්ලා පාසැල් යන වයසේදී දුෂ්කර පාරක දුර ගෙවාගෙන යාපනයේ පාසැල්වලට යා යුතුවිය. බොහෝදෙනෙකු පාසැල් ගියේ සතියකට දිනක් දෙකක් පමණි. සාක්ෂරතාවයෙන් එහාට ඉගෙනගන්නට කිසිවෙකුට පහසුකම් තිබුණේ නැත. ඒ නිසා අධ්‍යාපනයට ඉහළ තැනක් ඇති යාපනයේදී වුණත් මනියන්තෝට්ටම්වල වෙසෙන්නන් නූගතුන් ලෙස සලකනු ලැබීය.
උතුරේ දේශපාලනඥයන් විසින්ද මනියන්තෝට්ටම් අත්හැර දමා ඇති සෙයකි.

ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාල සිසුන්ව ඝාතනය කළ මොහොතේ ඇතිවුනු උණුසුමෙන් හතරෙන් එකක්වත් දිනේෂ්ව ඝාතනය කිරීම නිසා ඇති නොවීය. ඒ ගැන මනියන්තෝට්ම් ගමේ උදයපුරම්හිදී අපට හමුවූ මිනිසුන් කතාකළේ වේදනාවෙනි.
“දිනේෂ් ලොකු පවුලක නෙවෙයි, දේශපාලන පක්ෂයකට සම්බන්ධ නෑ, එයා විශ්වවිද්‍යාලයේ නැහැ, අපි සල්ලිකාරයෝ නෙවෙයි, ඉහළ කුලවල නෙවෙයි. ඒ නිසාද අපිට මෙහෙම සලකන්නේ. අපේ කෙනෙක් මැරුණාම උතුරේවත් දකුණේවත් කාටවත් ගාණක් නැහැ.” මනියන්තෝට්ටම් වල වැසියෝ කියති.

දිනේෂ්ව ඝාතනය විමෙන් පසුව මනියන්තෝට්ටම් වල වැසියෝ බොහෝදෙනෙකු අත්සන් කොට දිනේෂ් අපරාධවලට සම්බන්ධ තරුණයෙකු නොවන බවත්, ඔහු අහිංසක තරුණයෙකු බවත් කියමින් පෙත්සමක් සකස් කොට තිබුණි. එසේ කර තිබුණේ ඔහු අපරාධවලට, ජාවාරම්වලට සම්බන්ධයැයි කියමින් මරණය සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහයන් නිසාය. “මගේ පුතා නූගත් තමයි. හැබැයි වැරදි වැඩ කරන්නෙ නැහැ.” දිනෙෂ්ගේ මව කියන්නීය.

“අපි දැන් බයේ ඉන්නේ. ළමයෙක්ව පාරට දාන්න බැහැ. මේකද නීතිය. මේකද සාධාරණ සමාජය. මේකටද සාමය කියන්නෙ. මිනීමරුවන්ට නිදැල්ලෙ ඉන්න අරින එකටද සාමය ආරක්ෂා කරනවා කියන්නෙ. උතුරේ අපරාධකරුවන් ඉන්න එක ගැන ආරක්ෂක අංශ වගකියන්න ඕනේ. මෙහේ තමයි ලංකාවේ කොහේටත් වඩා ආරක්ෂක අංශ ඉන්නෙ. එච්චර ඉඳලත් මහදවාලේ අහිංසක තරුණයන්ට වෙඩි තියනවා.” දිනේෂ්ගේ අසල්වැසි මවක් අප සමඟ එසේ කීවාය.

තරුණයාගේ පියාව අපට කිසිදා අමතක නොවනු ඇත. ඔහුට කතාකරන්නට වචන ආවේ නැත. සිංහල පුවත්පතක මාධ්‍ය වේදීන්යැයි කී නිසා අප දෙමළ නොදන්නා බවත් ඔහු සිතුවා විය හැකිය. ආංගික අභිනයෙන් ඔහු දිවගොස් තමන්ගේ ස්වසනාබාධවලට ගන්නා බෙහෙත් පෙන්විය. පපුව අතගාමීන් තමන් අසනීපයෙන් සිටින බව රඟපා පෙන්වුවේය. ඉන්පසුව වචන අතරින් පතර පාවිච්චි කරමින් ආංගික අභිනයෙන්ම කිවේ තමාගේ උදව්වට සිටියේ පුංචි පුතා බවයි. ලොකු පුතා ධීවර රැකියාව ගැන ඒ තරම් දැනුමක් නොතිබුණු බව තාත්තා පැවසීය. ඒ අසරණකම මෙතැන වචන කිරීම කළ හැක්කක් නොවේ.

වාර්තාවන අන්දමට සීඅයිඩීයෙන් සාර්ථක ලෙස සිදුවීම ගැන විමර්ශන මෙහෙයවයි. මේ වනවිට කරුණු හෙළිවෙමින් ඇත්තේ ආරක්ෂක අංශවලට සම්බන්ධ අය විසින් දිනේෂ්ට වෙඩිතබා ඇති බවයි. සිදුවීමෙහි අගමුල හොයා වැරදිකරුවන් සම්බන්ධයෙන් නඩු පවරනු ඇතැයි අපි සුභවාදී බලාපොරොත්තු තබන්නෙමු. නැතිනම් ලබන අවුරුද්දේත් මෙවැනිම තරුණයෙකු හෝ දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා කරන්නට අපට යාපනයේ යන්නට සිදුවනු ඇත. එසේ යද්දී මේ වසරේ අත්අඩංගුවට ගත් නිලධාරීන් නඩු නැතිවම ඇප ලබා සිටීමට ඉඩ ඇත. එසේ වීම යුක්තිය ගැන විශ්වාසයෙන් උතුරේ ජනතාව ක්‍රමයෙන් ඈත් කරවනු ඇත.■