රාවය

ගෝඨාභය නොගන්නේ ඇයි?

ගෝඨාභය නොගන්නේ ඇයි?

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එෆ්සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නට නියමිත බව පසුගිය අඟහරුවාදා වන විට රාවයක් පැතිර ගියේය. සිය පියා වූ ඩීඒ රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගී තිබේ. එහෙත්, මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැත. ඊට පැහැදිලි හේතුවක් තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නට යන බව සැලවීමත් සමග, එයින් ඔහු බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වීමය. ඒ, භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙනි.

ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි, කැලණි විහාරයේ නායක හිමි, මැදගොඩ අභයතිස්ස හිමි වැනි භික්‍ෂූන් පිරිසක් අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණේ, පැජට් පාරේ ඔහුගේ නිවසේදී බව දැනගන්නට තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට නොගත යුතු බවට එහිදී භික්‍ෂූන් කී විට, ජනාධිපති සිරිසේන එම ඉල්ලීමට එකඟ වුණු බවට, එම අවස්ථාවට සහභාගිවුණු නායක භික්‍ෂුවක් පසුව තම හිතවතකු සමඟ කීවේය. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ඉතා සුබවාදී බව භික්‍ෂූන්ගේ මතය විය. ඒ සුබවාදී බව දැන් එළිපිටම පෙනෙන්නට තිබේ.
ඉහත කී නායක භික්‍ෂුවක් අධිපතිත්වය දරන පන්සලට යාබද ඉඩමක් පන්සලට ඈඳාගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ ලේකම්ධුරයේ සිටි කාලයේ ඒ හිමියන්ට විශාල සහායක් ලැබුණු බව තතු දන්නෝ කියති. එවැනි තත්ත්වයක් යටතේ, ගෝඨාභය බේරාගන්නට ජනාධිපති හමුවන්නට යන්නට එන ලෙස කී විට, නොයා ඉන්නට ඒ හාමුදුරුවන්ට බැරි විය. ඒ අතර, මේ හිමිවරුන් පිරිස ජනාධිපතිවරයා වෙත යැවීම එක් මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු හා රජයේ ඇමතිවරයකු විසින් සංවිධානය කරන ලද බවද දැනගන්නට තිබේ.

කොහොම හරි ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනුණේ නැත. ඒ ගැන වගකිවයුත්තන්ගෙන් විමසන්නවුන්ට දැනගන්නට ලැබෙන්නේ, අගමැති රනිල් ඉන්දීය සංචාරය අවසන්කොට දිවයිනට පැමිණි පසු ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවය. අගමැතිවරයා දිවයිනට පැමිණි පසු, දැන් පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උද්ගත වනු ඇතැ’යි පෙනෙන්නට නැත. රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නට ඔහු කැමතිවේයැ’යි සිතන්නටද කිසිසේත් ඉඩක් නැත. රාජපක්‍ෂලා සමඟ අගමැතිවරයා සිටින අශුද්ධ එකඟතාව මත, මේ අවස්ථාවේදි ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට රනිල් වික්‍රමසිංහ කැමති වනු ඇතැ’යි සිතන්නට නොහැකිය. ඒ එක්කම අගමැතිවරයා දිවයිනට පැමිණ දින දෙකකට පසු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක් සඳහා පිටත්ව යයි. ඉතින්, ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට, ජනාධිපතිවරයා කොරියාවේ සිට එන තුරු සිටිය යුතුයැ’යි අදහසක් මතුවන්නටද ඉඩක් නැත්තේ නොවේ. ඇත්ත නම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව බියක් දක්වන බවය.

එහෙත්, මේ ස්ථාවරය, පසුගිය නොවැම්බර් 8වැනිදා, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි අනුස්මරණ උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාවට සපුරා වෙනස්ය. ජනාධිපතිවරයා එහිදී කීවේ, පසුගිය ආණ්ඩුවේ හොරුන් සම්බන්ධයෙන් ආරක්‍ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරනවාට අමතරව මේ ආණ්ඩුවේ උදවියටද දූෂණ චෝදනා තිබෙන බවය. එහෙත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස හෝ එය කල් දමන ලෙස භික්‍ෂූන් වහන්සේලාගේ හමුවෙන් පසු ජනාධිපතිවරයා හෝ වෙනත් රජයේ වගකිවයුත්තකු හෝ නියම කොට ඇත්නම්, එහි තේරුම පසුගිය ආණ්ඩුවේ හොරුන් සමග මේ ආණ්ඩුවේ නායක පිරිස්ද නිරුවතින් එකට සිටගෙන සිටින බවය. මෙය රටේ ජනතාව බලාපොරොත්තු වන නීතියේ පාලනය නොවේ. ආණ්ඩුවේ නායකයන් විසින් නීතිය තමන්ට වුවමනා විදියට පාලනය කිරීමකි. රාජපක්‍ෂ ආණ්ඩුව කළේත් ඒ ටිකමය. ඒ ගර්හිත තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නට වුවමනා වී නම් අලුත් ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු අවශ්‍ය වන්නේ නැත.

අනෙක් අතට මෙවැනි අවලස්සන ක්‍රියාවලින් අපරාධ විමර්ශන පවත්වන නිලධාරීහුද අධෛර්යයට පත්වෙති. රටේ නායකයන් අතර ඇතිවන අශූද්ධ සන්ධානයන් නිසා හෝ වෙනයම් කාරණා නිසා හෝ, තමන් දිවි නොතකා කරන විමර්ශනයන්ට අනුව හෙළිවන අපරාධකාරයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු කරන්නට නොහැකිවීමෙන් අපරාධ පරීක්‍ෂකවරුන් අතර ඇතිවී තිබෙන කනස්සල්ල සුළුපටු නොවේ. පසුගියදා පාර්ලිමේන්තුවේදි කතාකරමින් ජවිපෙ නායක අනුර දිසානායක පවා කිව්වේ, අපරාධවල සැකකරුවන් ඇමතිවරුන්ගේ නිවෙස්වල හංගාගෙන ඉන්නා තත්ත්වයක් යටතේ තමන් නඩු කරන්නේ කොහොමදැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුව්න් අතර පවා මැසිවිල්ලක් තිබෙන බවය. එය සාධාරණ මැසිවිල්ලකි. ආණ්ඩුවේ නායකයන්ගේ විවිධාකාර වුවමනා එපාකම් නිසා, පරණ හොරුන්ටත් අලුත් හොරුන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ආකාරයට සමස්ත අපරාධ විමර්ශන පද්ධතියම දුර්වල වීම භයානක තත්ත්වයකි.

ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂවරුන් හා ඔවුන්ගේ සමීපතමයන් පසුගිය ආණ්ඩුව කාලයේදී හිටියේ නීතියට ඉහළින්ය. කිසිම හේතුවක් නිසා ඔවුන් නීතිය ඉදිරියට ගෙනඑන්නට නොහැකි විය. ඔවුන්ගේම වුවමනාවට, ඔවුන්ගේ වාසියට නීතිය ඉදිරියට ආ අවස්ථාවල පවා ඔවුන් සිටියේ නීතියට ඉහළිනි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සන්ඬේ ලීඩර් පුවත්පතට එරෙහිව අපහාස නඩුවක් පැවරූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන්නට ගල්කිස්ස උසාවියට ආ දා සිදුවුණු දේවල් ඊට හොඳම උදාහරණය. ගෝඨාභය රාජපක්‍ෂ උසාවි එන නිසා, ගල්කිස්ස උසාවියේ සාමාන්‍යයෙන් වැඩකරන කිසිම නීතිඥවරයකුට එදින තමන්ගේ වාහන උසාවියේ සාමාන්‍යයෙන් ගාල් කර තබන ස්ථානයට ඇතුළු කිරීම පවා තහනම් කර තිබුණේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්ඒ සුමන්තිරන්, ගෝඨාභය රාජපක්‍ෂගෙන් හරස් ප්‍රශ්න අසන දා, කිසිම ජනමාධ්‍යයකට උසාවියට ඇතුළුවීමද තහනම් විය. මෙය ප්‍රසිද්ධ නඩු විභාගයක් බැවින්, වාර්තා කරන්නට අයිතියක් තමන්ට ඇති බව මාධ්‍යවේදීන් කී විට ඔවුන්ට සිදුවුණේ පොලිස් නිලධාරීන්ගේ තර්ජනවලට මුහුණ දෙන්නටය.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කටඋත්තරයක් ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගෙන් ලබාගන්නට අවශ්‍යව තිබුණු විට, හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාට කතා කළේය. එෆ්සීඅයිඩීයට ඇය නොගෙන්වා වෙනත් තැනකදී කටඋත්තර ගන්නට අගමැතිවරයා මහින්ද රාජපක්‍ෂට පොරොන්දු විය. ඒ අනුව, ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ කටඋත්තරය ගත්තේ කතානායක නිල නිවසේදීය. හිටපු ජනාධිපතිවරයාද එහි සිටියදීය. එලෙස පුද්ගලයන් අනුව නීතිය වුවමනා විදියට පාලනය කරන්නට නියම කළේ අගමැති රනිල් වික්‍රමසිංහය. මේ සිදුවීම ගැන ඇතිවුණු මහජන අවධානය හා විවේචන නිසා, පසු කලෙක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් කටඋත්තර දෙන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටම යන්නට ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට සිදුවිය.

මේ විදියට බලන විට, රාජපක්‍ෂවරුන් නීතියට ඉහළින් සිටියේ තමන්ගේ පාලන කාලය තුළ පමණක් නොවේ. වර්තාමාන ආණ්ඩුවේ පාලන කාලයේද ඔවුහු නිතියට ඉහළින් සිටිති. පුදුමයට කරුණ නම්, ඒ සඳහා පහසුකම් සලසා දෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාත් වීමය.
මේ ආකාරයට බලන විට, ගෝඨාභය රාජපක්‍ෂ වැනි පසුගිය ආණ්ඩුවේ ප්‍රධාන වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව කිසිදාක නීතිය ක්‍රියාවේ යෙදැවෙන්නේ නැත. ඔවුන් අත්අඩංගුවට ගන්නට හෝ නීතිය ක්‍රියාත්මක කරන්නට හදන හැම විටෙකම මෙලෙස භික්‍ෂූන් වහන්සේලා ජනාධිපතිවරයා හමුවන්නට පටන්ගත්තොත්, චීවරයට විශාල බියක් දක්වන ජනාධිපතිවරයා කිසිම දවසක මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගන්නට ඉඩක් දෙන්නේ නැත.

භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට අමතරව ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට නොගන්නට ශ්‍රීලනිපය පැත්තෙන්ද ජනාධිපතිවරයාට තවත් වුවමනාවක් තිබෙන්නට පුළුවන. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය සමග එකට එකතුවී ඡන්දය ඉල්ලීමට දැන් ශ්‍රීලනිපය පාර්ශ්වයෙන්ම අලුත් උනන්දුවක් ඇතිවී තිබෙන නිසාය. තනිව ඡන්දය ඉල්ලීම සියදිවි නසා ගැනීමක් බව හොඳින්ම දන්නා ශ්‍රීලනිපය විවිධාකාරයෙන් ඒකාබද්ධය පැත්තට අත දික්කරනු පෙනේ. විජිත් විජයමුනි සොයිසා වැනි දේශපාලකයන්, දැන් එකතුවීමක් ගැන අලුත් වාදනයක් කරන්නේ මෙතෙක් කාලයක් ශ්‍රීලනිපයේ නිල පාර්ශ්වය සමග එකට සිටීමෙන් පක්‍ෂයේ ඇත්ත තත්ත්වය ගැන අවෙබෝධවීමෙන් පසු වන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂය හමුවී එකට එකතුවී වැඩකරන්නට ආරාධනා කළේය. එහිදී ඔහු ඉදිරිපත් කළේ යෝජනා තුනකි. එකක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එකට ඡන්දය ඉල්ලීමය. දෙක, නිතරග ගිවිසුමක් යටතේ පළාත් පාලන ආයතන වෙන්කරගෙන ඡන්දය ඉල්ලීමය. තුන්වැන්න, ශ්‍රීලනිපය යටතේ සියල්ලෝම ඡන්දය ඉල්ලීමය. ඒකාබද්ධ විපක්‍ෂය ඒ යෝජනාව ප්‍රතික්‍ෂෙප කළේය. ඒ වෙනුවට ඔවුන්ගෙන් යෝජනා දෙකක් ශ්‍රීලනිපයට ඉදිරිපත් වී තිබේ. එකක්, ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්‍ෂය සමග තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වී, පක්‍ෂයේ සියලුදෙනාම එකතුවී සුළුතර ශ්‍රීලනිප ආණ්ඩුවක් හෝ තවත් පක්‍ෂවල අය එකතුකරගෙන බහුතර බලය සහිත ආණ්ඩුවක් හෝ පිහිටුවා, මහින්ද රාජපක්‍ෂ එහි අගමැතිවරයා කිරීමය. නැතිනම්, ශ්‍රීලනිපය සම්පූර්ණයෙන්ම වික්‍ජෂයට එකතුවී විපක්‍ෂ නායකවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීමය.

මේ දෙපැත්තේම යෝජනාවලට දෙපැත්තම වහා කැමතිවන ආකාරයක් නොපෙනේ. හැබැයි, එකතු නොවීමට වැඩියක්ම හේතුවී ඇත්තේ, තමන්ට තනිව විශාල ජයග්‍රහණයක් ලබාගන්නට පුළුවන්යැයි රාජපක්‍ෂ පාර්ශ්වය සිටිනා අධිතක්සේරුව නිසාය. ඒ තත්ත්වය මත ඒකාබද්ධ විපක්‍ෂය හදන්නේ ශ්‍රීලනිපය මුළුමනින්ම තමන්ගේ පැත්තට කඩාගන්නටය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පීඩනයෙන් ගැලවී සිටීම අපහසු වනු ඇත. එපමණක් නොවේ. තනිව ඡන්දයකට ගියහොත්, තමන්ට අත්වන ඉරණමද පූර්වනිගමනය කරන්නට ඔහුට පුළුවන්කම තිබේ.

ජනතාව ඉදිරියේ තනිව පරාජයට පත්වීම දෙයාකාරයකින් ශ්‍රීලනිපයට බලපායි. එක පැත්තකින්, තමන් සමග දැනටමත් සුළු සුළු ගැටුම් හදාගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවේ කොටස්කාරයා වන එජාපයට, තමන්ගේ නියම ඡන්ද පදනම එවිට හෙළිදරව්වීමය. තමන්ට විශාල මහජන පදනමක් නැති බව හෙළිදරව් වූ විට, එජාපය සමග කේවෙල් කිරීමේ හැකියාව තවදුරටත් මෛත්‍රී පාර්ශ්වයෙන් ගිලිහී යි. එවිට, ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාටද අභියෝගයක් වෙමින් එජාපය ශක්තිමත් වනු ඇත. අනෙක් පැත්තෙන් ශ්‍රීලනිපයේ නොහැකියාව එළිදරව්වීමෙන් රාජපක්‍ෂ පිලේ ශක්තිය තවත් ඉස්මතු වනු ඇත. ඉදිරියේදී ඔවුන් සමග හැර ගමනක් නැතැ’යි තේරුම් ගන්නා පාක්‍ෂිකයන් අතිවිශාල වශයෙන් ඒකාබද්ධ විපක්‍ෂය දෙසට හැරෙනු වළක්වන්නට බැරිවනු ඇත. මේ කාරණා දෙකන්ම පෞද්ගලිකව අගතියට පත්වනු ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. ඒ නිසා මේ අවස්ථාවේදී නිවැරදි තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ගමන්මග තීන්දු කරන සාධකයක් වනු ඇත. ජනාධිපතිවරයා මේ මොහොතේ සිටගන්නේ කා සමගදැයි යන්න ඒ අතින් තීරණාත්මකය.

කොහොම වුණත්, ඒකාබද්ධය සමග එකතුවීමේ අදහස ශ්‍රීලනිපය පැත්තෙන් දිගටම පවත්වාගෙන යනු ඇතැ’යි සිතන්නට පුළුවන. එකට එකතු වීමේ යෝජනාවලියක් ඒකාබද්ධය පැත්තට ගෙනගියේ තමාගේ තනි වුවමනාවටද, නැතිනම් කිසිවකුගෙන් ලැබුණු පෙලඹවීමක් නිසාදැයි සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මේ සතියේ විමසූ අයකුට ඔහු දී ඇති පිළිතුර නම්, එය තමා තනි වුවමනාවට කළ දෙයක් නොවන බවත්, ඉහළින් ලැබුණු පෙළඹවීම මත කළ දෙයක් බවත්ය. ඒ අනුව දේවල් සිදුවන්නේ කුමන දිහාවටදැයි තේරුම් ගැනීම අපහසු නැත.■