කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහිදී ආණ්ඩුව දුන් පොරොන්දු!

ශී ලංකා  ආණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙනයන බවටත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන බවටත් පසුගිය 17දා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් හමුවෙහි යළි වතාවක් ශපථ කළේය. එසේ ප්‍රකාශකරන ලද්දේ නොවැම්බර් 15 සහ 17වන දින පවත්වන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විමසා බැලූ එක්සත් ජාතීන්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනය අවසානයෙහිදීය.

එකී කාලාන්තරීය විශ්ව සමාලෝචන ක්‍රියාවලියේ වැදගත්කම නම් එය සැම රටක්ම සම්බන්ධයෙන් එක සමානව ක්‍රියාත්මකවීමත් සෑම රටකටම සෑම රටක් ගැනම සිය අදහස් දැක්වීමටත් තවද ඕනෑම සිවිල් සමාජ සංවිධානයකට ලිඛිත වාර්තා ලෙස අදහස් දැක්වීමටත් අවස්ථාව සැලසෙන නිසාය. එමෙන්ම සමාලෝචනය අවසානයේදී ප්‍රකාශිත අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් සෑම රටකටම තමන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මානව හිමිකම් පිළිවෙත් තීරණය කර ප්‍රකාශ කිරීමට සිදුවන නිසාත්ය.

මෙම නොවැම්බර් මාසයෙහි පවත්වන ලද්දේ කාලාන්තරීය විශ්ව සමාලෝචන ක්‍රියාවලියේ තෙවන රවුමය. ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු සමාලෝචනය 2008 මැයි මාසයේදීත් දෙවන සමාලෝචනය 2012 ඔක්තෝබර් මාසයේදීත් පවත්වන ලදි. මෙම නොවැම්බර් මස පවත්වන ලද කාලාන්තරීය විශ්ව සමාලෝචනය සම්බන්ධයෙන් මධ්‍යකාලීන ප්‍රගති වාර්තාවක් ශ්‍රී ලංකාව විසින් 2020 මැයි මාසයේදී ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධ හතරවන වටයේ කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2022 නොවැම්බර් මාසයේදී ජිනීවාහිදී පැවැත්වෙනු ඇත.

පසුගිය සමාලෝචනයෙහි සලකා බැලීම පිණිස ශ්‍රී ලංකාණ්ඩුව මෙන්ම විවිධ සිවිල් සමාජ කණ්ඩායම්ද කල් තබා සංයුක්ත වාර්තා ඉදිරිපත් කර තිබුණි. අවාසනාවකට මෙන් මෙම මානව හිමිකම් සමාලෝචනයට ඉදිරිපත් කරන ලද ආණඩුවේ වාර්තා මෙන්ම සිවිල් සංවිධාන වාර්තාද තිබෙන්නේ ඉංග්‍රීසි බසින් පමණි. ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි ඇති බරපතළ ඛේදවාචකයක් නම් එය මූලික වශයෙන්ම ඉංග්‍රීසි බසින් කැරෙන සාකච්ජාවකට සීමාවී තිබීමයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉලක්කකර කැරෙන මානව හිමිකම් වාර්තා කිරීම් ඉංග්‍රීසි බසට පමණක් සීමාවී තිබේ.

පසුගිය 15වන දින පැවැති කාලාන්තරීය විශ්ව සමාලෝචනයට පැමිණි නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා ආණ්ඩුවේ පැත්තෙන් විස්තීර්ණ කරුණු දැක්වීමක් කරමින් කියාසිටියේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාවට දී ඇති මානව හිමිකම් පොරොන්දු නිසැක ලෙසම ක්‍රියාවට නැංවෙනු ඇති බවයි. අඩුම වශයෙන් එම කතාවවත් සිංහල සහ දෙමළ බසින් පළවී නැත.
ශ්‍රී ලංකාආණ්ඩුව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි දෙන පොරොන්දු වැදගත් වන්නේ ඒවාහි අන්තර්ජාතික වටිනාකමට වඩා මෙරට ජනසමාජයේ අභිවෘද්ධියට ඒ මගින් ලබාගත හැකි ප්‍රයෝජන නිසාය. එමෙන්ම එවැනි පොරොන්දුවලින් දිගින් දිගටම පැනයාම ආණ්ඩුවේ ඇඟට එතරම් ගුණදායක නොවිය හැකි නිසාත්ය.

පසුගිය 15 දින පැවති කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මානව හිමිකම් නිර්දේශ දෙසියයකට වැඩි ගණනාවක් ඉදිරිපත් කරන ලදි. ලංකාණ්ඩුව ඉන් නිර්දේශ 177ක් පිළිගත් අතර 53ක් පිළිගත්තේ නැත. එම පිළිනොගත් නිර්දේශ ලංකාණ්ඩුව විසින් සඳහන් කරන ලද්දේ සටහන් කරගන්නා ලද ඒවා වශයෙන් මිස පෙර අවස්ථාවලදී මෙන් ප්‍රතික්ෂේප කළ ඒවා ලෙස නොවේ. තවද ලංකාණ්ඩුව ස්වෙච්ඡාවෙන් කරන ලද ගිවිස ගැනීම් 20ක්ද ඊට ඇතුළත් විය.

පිළිගත් නිර්දේශ අතර කැපීපෙනෙන ඒවා මෙසේය. ඒවා දක්වා ඇත්තේ සාරාංශ වශයෙන් ගොනුකරමිනි. වරහන් තුළ දක්වා ඒ ඒ යෝජනා ඉදිරිපත් කළ රටවල්ය.
■ වධහිංසා පැමිණවීමට එරෙහි ප්‍රඥප්තිය පිළිබඳ වෛකල්පික ගිවිසුම පිළිගෙන ක්‍රියාත්මක කිරීම. (පෝලන්තය, උරුගුවේ, සෙනගාලය, නවසීලන්තය, ඝානා, ඇප්ගනිස්ථානය, එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය, කෝ ඩිවා, ගුවතමාලාව, පෘතුගාලය, ඩෙන්මාර්කය)
■ නව මානව හිමිකම් පරිච්ඡේදයක් සහ කවර හෝ පදනමක් මත විසම සැලකීමට භාජනය නොවීමට ඇති අයිතිය ද ඇතුළු නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා වන ක්‍රියාවලිය පෙරට ගෙනයෑම (දකුණු අප්‍රිකාව, වියට්නාමය, මෙක්සිකෝව)
■ ශ්‍රී ලංකවේ මානව හිමිකම් කොමිසම මූල්‍ය සහ ආයතනික වශයෙන් මෙන්ම පැරිස් මූලධර්ම මත ශක්තිමත් කිරීම (පිලිපීනය, මියන්මාරය)
■ ආණ්ඩුවේ 2016-2021 ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සම්මත කර ක්‍රියාවට නැංවීම. ඊට රජයේ සියලු ආයතනවල සහභාගිත්වය ඇතිකර ගැනීම (මෙම ලියැවිල්ල ශ්‍රී ලංකා ජනතාව සඳහා තවමත් විවෘතකර නොමැති එකකි.) (මියන්මාරය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, සූඩානය, තායිලන්තය, වෙනිසියුලාව, බෙලරුස්, කියුබාව)
■ අධ්‍යාපන පාඨමාලාවන්ට ‘මානව හිමිකම්’ ඇතුළත් කිරීමට වන මූලිකත්වය, එය විසින් ජාතික සංහිදියාව සහ සමාජයෙහි විශ්වාසය ගොඩනැගීමට දායක වනු ඇති බැවින්, දිගටම ගෙනයෑම, (ඉන්දියාව)
■ සියලුම ආකාරයේ විසම සැලකීම් සහ භාවිතාවන් අහෝසි කිරීමට පියවර ගැනීම (ඉතියෝපියාව, නේපාලය, සෙනගාලය, ඉතාලිය)
■ සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට කැරෙන විසම සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයන් පරීක්ෂා කර ඒවා නතර කිරීම මගින් ඔවුන්ගේ මූලික අයිතීන්ට ගරුකිරීම (ආජන්ටීනාව, පෘතුගාලය)
■ වෛර භාෂාව සහ වෛරය උසිගැන්වීම සම්බන්ධයෙන් පුළුල් නීතිරීති සම්පාදනය සහ වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම (සියරා ලියෝනය, ටියුනීසියාව, නැමීබියාව, ඕස්ටේ්‍රලියාව)
■ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීමේදී මානව හිමිකම් ප්‍රවේශයන් ශක්තිමත් කිරීම සහ ත්‍රස්ත-විරෝධී නීති අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල කිරීම (පේරු, එස්තෝනියාව)
■ මරණ දඬුවම අහෝසි කිරීම ගැන සලකා බැලීම (ඉතාලිය, ටිමෝර්- ලෙස්තේ)
■ වධහිංසා පැමිණවීමට කිසිසේත්ම ඉඩ නොතබන නීතිරීති පැනවීම, අත්අඩංගුවෙහි සිටින පුද්ගලයන්ට පොලීසිය සහ යුදහමුදා බුද්ධි අංශ විසින් වධහිංසා පැමිණවීම වැළැක්වීම, පාපෝච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පැමිණවීම වළක්වන තදබල නීති පැනවීම (ඉන්දුනීසියාව, ඉරානය, ස්ලෝවැකියාව, මැඩගස්කරය)
■ ජාතික සහ ආගමික සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අන්තර් ජාතික බැඳීම්වලට අනුකූලව සහ අධිකරණමය සහ බන්ධනාගාර පද්ධතීන් ඉහළ නංවමින් නීති සම්පාදනය කිරීම ඉදිරියට ගෙනයෑම (රුසියානු පෙඩරේෂණය)
■ බලහත්කාර අතුරුදන්කිරීම් කෙරෙන් සියලුම පුද්ගලයනට ආරක්ෂාව සැලසෙන නීති පැනවීම, බලහත්කාර අතුරුදන්කරවීම් අපරාධයක් නීතියෙන් සැලකීම, එවැනි පැමිණිලි පරීක්ෂා කිරීම (ස්පාඤ්ඤය, ස්ලෝවැකියාව, ස්වීඩනය, ඉතාලිය)
■ යෝග්‍යතම කොමසාරිස්වරුන් පත්කිරීම සහ ප්‍රමාණවත් අරමුදල් සැපයීම මගින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සම්පූර්ණ සක්‍රියත්වයට ගෙනඒම (ජර්මනිය, දකුණු කොරියාව)
■ අතුරුදහන්වීම් පිළිබඳ සොයාබලන ලද සියලුම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධ කිරීම (ස්විට්සර්ලන්තය)
■ යුද අපරාද පිළිබඳ ගවේෂණයේලා සහ ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් පුහුණුව ලබාදීමෙහිලා අන්තර්ජාතික සහාය දිගටම ලබාගැනීම (ඉරානය)
■ සිවිල් යුද සමයෙහි සිවිල් ජනතාවට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් කෙරීගෙන යන පරීක්ෂණ අවසානයකට ගෙනයන බව සහතික කිරීම (ප්‍රංශය)
■ සන්නද්ධ ගැටුමෙන් පසු කැරුණු මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට සහ අධිකරණමය පිළියම් ලබාදීමට අවශ්‍ය පරිපූර්ණ පියවර ගැනීම සහතික කිරීම. (සියරාලියෝනය)
■ ගැටුම අතරතුර සහ ඉන්පසු කරන ලද සියලුම මානව හිමිකම් කෙළෙසීම් ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස පරීක්ෂා කිරීමත් වරදකරුවන්ට නඩු පැවැරීමත්, ගොදුරු බවට පත් වින්දිතයනට නියමානුකූල සහන ලබාදීමත් දිගටම කරගෙනයෑම (පලස්තීනය, ආජන්ටීනාව)
■ මානව හිමිකම් කෙළෙසීම් සහ අපචාර සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව සහතික කිරීම (ඇමෙරිකා එක්සත් ජනපදය)
■ ගැටුමෙන් වින්දිතයන් බවට පත් අයට මානසික සහාය ලබාදීම සඳහා වැඩසටහන් ඇතිකිරීම දිගටම කරගෙනයෑම ( ඉරානය)
■ සංක්‍රමණීය යුක්තිය අරබයා දෙන ලද පොරොන්දු, විශ්වසනීය, වින්දිත කේන්ද්‍රීය සහ අන්තර් ජාතික විශේෂඥයන්ගේ සහාය ලබන වගවීමේ යාන්ත්‍රණයද ඇතුළුව, මෙන්ම මෑතදී පිහිටුවන ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පූර්ණ ක්‍රියාකාරිත්වයට ගෙනඒමද ඇතුළුව ක්‍රියාවට නැගීම (ස්ලොවේනියාව, ප්‍රංශය)
■ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රිය කරමින් සත්‍යය සෙවීමේ කොමිසමක්, හානිපූර්ණ කාර්යාලයක් සහ ඒ වෙනුවෙන්ම කැපවූ විශේෂ නීතිවේදියකු සහිත වගවීමේ යාන්ත්‍රණයක්ද ඇතුළුව පරිපූර්ණ සංක්‍රමණීය යුක්ති වැඩසටහනක් පිහිටුවීම. (දකුණු අප්‍රිකාව)
■ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ආරම්භ කිරීම, නව ත්‍රස්ත විරෝධී අණපනත් සම්මත කිරීම මෙන්ම උතුරු නැගෙනහිර පළාත්හි ජනයාට තවදුරටත් ඔවුන්ගේ ඉඩම් ලබාදෙමින් සංහිදියා සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය ශීඝ්‍ර කිරීම (තායිලන්තය)
■ සංක්‍රමණීය යුක්තිය තහවුරු කිරීම පිණිස සත්‍යය, යුක්තිය, සංහිඳියා සහ හාණිපූර්ණ කාර්යාලයක් පිහිටුවීම ද ඇතුළුව සඳහා අධිකරණමය සහ අධිකරණමය නොවන පුළුල් රාමුවක් පිහිටුවීම. (බෙල්ජියම)
■ සමාන ස්ත්‍රී නියෝජනයක් ඇති ලිංගික අපරාධ සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පුහුණුවක් ලද පුද්ගලයන්ගෙන් සමන්විත සහ ඔවුන්ගේ තීරණ පාරදෘශ්‍ය සහ ප්‍රසිද්ධ කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලියක් පිහිටුවීම ඉක්මන් කිරීම. (මෙක්සිකෝව)
■ ජාතික සංහිඳියාව සඳහා අන්තර් ජාතික ප්‍රජාවෙහි සහයෝගයෙන් ජාතික සංහිඳියාව සඳහා දැරෙන ප්‍රයත්න සියලුම පරදුදරන්නන් සහභාගි කරගනිමින් ඉදිරියට ගෙනයෑම. (ජපානය)
අප හමුවේ ඇති අභියෝගය නම් මෙම පොරොන්දු ඉටුකරවා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.■
මතු සම්බන්ධයි.