ග්‍රේස් මුගාබෙගේ ජනාධිපති සිහිනය බොඳවෙයි

එස්. නන්දලාල්

ග්‍රේස් මුගාබේ යනු 93 හැවිරිදි සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ 52 හැවිරිදි බිරියයි. ඔවුන්ගේ විවාහය 1996 වසරේ සිදු වූ අතර එතැන් සිට ඕ තොමෝ අධිසුඛෝපභෝගි දිවියක් ගත කරමින් මිලාධික සාප්පු සවාරිවල යෙදෙමින්, දිලිඳුබවේ පතුළේ ම සිටින සිම්බාබ්වේ ජනයාගේ පොදු අරමුදල් කොල්ලකෑමේ නිරතව සිටින්නීය.

රොබට් මුගාබෙ නිදහස් සිම්බාබ්වේ දේශයේ අගමැතිවරයා ලෙස 1980 වසරේ පත් වූ අතර 1987 වසරේ එරට දෙවැනි ජනාධිපතිවරයා ලෙස පත් විය. එදා සිට අද දක්වාත් එරට පාලකයා ඔහු ය. ඔහුගේ දේශපාලන පක්‍ෂය ZANU-PF යන කෙටි නමින් හැඳින්වෙන සිම්බාබ්වේ අෆ්‍රිකා ජාතික සංගමය – දේශානුරාගී පෙරමුණයි.

ZANU-PF යනු විප්ලවකාරී අතීතයක් සහිත පැරණි දේශපාලන පක්‍ෂයකි. එය අද දක්වා එරට පාලනය කරමින් සිටියි. රොබට් මුගාබෙගේ නායකත්වයෙන් යුත් එහි සෙසු ප්‍රමුඛයන් වූයේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල එවකට රොඬේෂියාව නමින් හැඳින්වුණු සුළුතර සුද්දන්ගේ පාලනයට එරෙහිව ‘රොඬේෂියානු පඳුරු සටන්’ නමැති කැරලිකාර ව්‍යාපාරය මෙහෙය වූ දේශීය කල්ලන් පිරිසකි. අදත් එහි පෙරමුණේ සිටින්නේ ඔවුන් ය. සුද්දන්ගෙන් රට නිදහස් කැර ගැනීම වෙනුවෙන් මුගාබෙට ජාතියේ පියා යන විරුදාවලිය යෙදන අතර අනෙක් තැනැත්තෝ රණවිරුවන් සේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙති.

කලක් මුගාබේගේ අනියම් බිරිඳ ව සිට පසුව නීත්‍යනුකූල භාර්යාව බවට පත් වූ ග්‍රේස් න්ටොම්බිසොද්වා මරුෆු, පැරෂුට් මගින් නායකත්වයට පහත් වන්නේ එවැනි පක්‍ෂයකට ය.
සල්ලහුක ජීවිතයක් ගතකරන ග්‍රේස් දේශපාලනයට එළැඹෙන්නේ පක්‍ෂයේ කාන්තා අංශයේ නායකත්වයට තරග කරමිනි. ඒ දක්වා එම තනතුර දරන ලද්දේ එවකට උපජනාධිපතිනිය වූ ජොයිස් මුජුරු විසිනි.

ජොයිස් මුජුරු යනු මුගාබේගේ සටන් සගයකු මෙන් ම පසුව සිම්බාබ්වේ හමුදාපතිධුරය ද කෙටිකලක් උපජනාධිපතිධුරය ද දැරූ සොලමන් මුජුරුගේ බිරියයි. කලක් නම ඇසෙන විට පවා එරට වැසියන් බිය පත් කළ ඔහු 2011 අගෝස්තු 08දා සිය ගොවිපොළේ දී අබිරහස් අන්දමින් මිය ගියේ ය. 1983 සිට 1987 දක්වා පැවැති ගුකුරාහන්දි සමූලඝාතනය මෙහෙය වූයේ ඔහු ය. සේනාවිධායක රොබට් මුගාබෙ විසින් අණ දෙන ලදුව ඒ පෙදෙසේ වෙසෙන න්ඩෙට්ලෙ ගෝත්‍රිකයන්ට එරෙහිව රජයේ හමුදාව විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරයට එවක ආරක්‍ෂක ඇමති එමර්සන් ම්නැන්ගාග්වා ද සම්බන්ධ ය. සැමියාගේ ඝාතනයෙන් පසු ඔහුගෙන් හිස් වූ පක්‍ෂයේ තනතුර ඇයට පවරන ලද අතර පසුව ඇය උපජනාධිපතිනිය වූවා ය. මුගාබේගේ ඇවෑමෙන් පක්‍ෂ නායකත්වයටත් ජනාධිපති අපේක්‍ෂකත්වයටත් පොලිට්බියුරෝව විසින් තීරණය කරන ලැබ තිබුණේ ඇයගේ නමයි.

සිය සැමියාගේ මරණය ගැන ජොයිස්ගේ සැකයක් තිබිණි. උපජනාධිපතිධුරය දැරුවත් ඇයට එම මරණයේ අබිරහස විසඳාගත නොහැකි විය. මේ නිසා ඇය සිටියේ රජය සමග තරහිනි. ඒ තරහ ඇගේ මුවින් පිට වූයේ වරක් දෙවරක් නොවේ. ඇය පළවා හරින්නට උපයෝගි කැර ගත්තේ ජොයිස්ගේ ඇතැම් ප්‍රකාශ ය. ඇය ජනාධිපතිවරයාට සහ පක්‍ෂයට ද්‍රෝහීකම් කරති’යි ග්‍රේස් චෝදනා කළා ය. ජොයිස්ට අසුනින් බැස යන්නට සිදුවිය. ඉන්පසු එතැන ගත්තේ එමර්සන් ම්නැන්ගාග්වා ය.

මේ අතර ජනාධිපති මුගාබේගේ ලේ ඥාතියකු වන තරුණ කටයුතු ඇමති පැටි්‍රක් ෂුආඕ සහ උසස් අධ්‍යාපන ඇමති ජොනතන් මෝයෝ වැනි තරුණ කණ්ඩායමක් විසින් ‘40 කණ්ඩායම’ පිහිටුවා ගන්නා ලදි. මෙහි සාමාජිකයන් වූයේ වයස හතලිස් ගණන්වල පසුවන උගතුන් ය. එහෙත් ග්‍රේස්ට උගත්කමක් නොතිබිණි. එයට ජනාධිපති සැමියාගේ නොමඳ ආශීර්වාදය සහ උපකාරය ලැබිණි. ඔහු නොපමා ව තමා කුලපතිත්වය දරන සිම්බාබ්වේ විශ්වවිද්‍යාලයෙන් ඇයට ආචාර්ය උපාධියක් ප්‍රදානය කළේ කිසිදු ආචාර්ය උපාධ්‍යායවරයකු හෝ උපාධි නිබන්ධනයක් හෝ නොමැති ව ය. 2014 සැප්තැම්බර මස පැවැති එම විශ්වවිද්‍යාලයයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ඇයට එම උපාධිය පිරිනැමිණි.

ඒත් එක්කම වාගේ ඇය පක්‍ෂයේ පොලිට්බියුරෝවට ඇතුළත් කැර ගැනිණි.
මෙනයින් ජනාධිපතිධුරය අත පොවන මානයට එන්නට ඇයට හැකිවිණි.
මුගාබෙගෙන් පසුව ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වරින්වර පුද්ගලයන් නම් කරන ලද නමුත් ඒ කිසිවකුටත් උපජනාධිපතිධුරයෙන් එහාට යන්නට අවස්ථාව ලැබුණේ නැත. මන්දයත් පුද්ගලයකුට ජනාධිපතිධුරයට පත් වන්නට ඇති අවස්ථා ගණන එරට ව්‍යවස්ථාවෙන් සීමා කොට නොමැති හෙයිනි. මේ නිසා 87 වසරේ සිට නොකඩවා ම මුගාබේ එයට ඉදිරිපත් ව ජය ලැබී ය. ඔහු දිගට ම කීවේ සුද්දන් පළවා හැර පාලනය භාර ගත්තත් තමාට තවත් කරන්නට බොහෝ දේ ඇති බව ය. ඒවා ඉටු කරන තෙක් තනතුරේ රැඳී සිටීම ඔහු කරන්නේ තමාගේ අවශ්‍යතාවට වඩා සිම්බාබ්වේ දේශයට සුබ අනාගතයක් උදා කැර ලීමේ අරමුණින් බව ය. එහෙත් 1980 සිට ඔහු එරටට කළ කෙංගෙඩියක් නැති බව පෙනෙන්නේ රටේ ආර්ථිකය පිරිහී ඇති තරම සලකා බලන විට ය. වරක් විදෙස් කාටූනයක දැක්වුණේ පාන් ගෙඩියක් මිල දී ගැනීම සඳහා සිම්.ඩොලර් තොගයක් විල්බැරෝවක පටවාගෙන යන එරට පුරවැසියෙකි. එහි ඇත්ත නැත්ත කෙසේවෙතත් වර්තමාන සිම්ඩොලරයක අගය ඇඩො 0.00276කි. ඒ කියන්නේ ඇඩො එකක වටිනාකම සිම්ඩොලර් 361.900ක් බවයි.

2018 ජනාධිපතිවරණය පැවැත්වෙන අතර එයට ඉදිරිපත් වන්නට තරම් තමාට කායික වශයෙන් හැකියාවක් නොමැති බව මුගාබේ දනී. එහෙත් ජනාධිපතිධුරය පවුලෙන් පිට යනවාට ද ඔහුගේ කැමැත්තක් නොමැත. එහෙත් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ කැමැත්ත ඇත්තේ එමර්සන් ම්නැන්ගාග්වාට ය. මෙය වහාම වෙනස් කළ යුතු ය. ඔහු ජනාධිපති ධුරාපේක්‍ෂකයා ලෙස එළිපිට ම වැඩ කරන්නට වූ කල ග්‍රේස් ඔහු පිටු දැකීමේ මං සෙව්වා ය.

මේ අතර එමර්සන් ම්නැන්ගාග්වාට ද ඔහුගේ ම කල්ලියක් පක්‍ෂය තුළ සිටියි. විමුක්ති අරගලයට සම්බන්ධ වූ අතීත කැරලිකරුවෝ ග්‍රේස් ප්‍රමුඛ 40 කණ්ඩායමට එරෙහි වූයේ ‘කිඹුලා’ යන අපර නාමයෙන් හැඳින්වෙන ම්නැන්ගාග්වාට එක් වීමෙනි. වත්මන් හමුදා ප්‍රධානියා වන කොන්ස්තන්තිනෝ චිවෙන්ගා ද ඒ කණ්ඩායමට අයත් ය. ඇත්තට ම නම් කිඹුලා යන්න ම්නැන්ගාග්වාට අපර නාමයක් නොව අන්වර්ථ නාමයක් බව ඇතැම් තැනක දැක්වෙයි. මළාක් මෙන් සිට එක්වර හැරී පහර දීමේ කිඹුල්වෘතය ඔහු අනුගමනය කරන හෙයිනි. ඔහුගේ කණ්ඩායම කිඹුලකු වෙළෙඳ ලාංඡනය ලෙස දක්වන ‘ඛ්ජදිඑැ’ යනුවෙන් හැඳින්වෙයි. ම්නැන්ගාග්වා චීනයේ සහ තුර්කියේ සටන් පුහුණුව ලැබූ සොල්දාදුවෙකි. ඉහත සඳහන් ගුකුරාහුන්දි සංහාරයේ එක් මූලිකයෙක් ඔහු ය.

පසුගිය අගෝස්තු 08 දින පැවැති තරුණ සමුළුවක දී ඔහුට වස දෙනු ලදුව දිවි ගලවා ගත්තේ අපාසුවෙනි. උත්සවය සංවිධානය කළ 40 කල්ලියේ වැඩක් බව අනිවාර්ය ය. මේ මස මුල් සතියේ මුගාබේ විසින් ඔහු එතෙක් දැරූ අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ ජ්‍යෙෂ්ඨ උපජනාධිපතිධුරයෙන් ද පහ කරනු ලැබූ අතර 13දා පොලිට් බියුරෝවෙන් ද ඉවත් කරන ලදි. ඉන්පසු රටින් පළාගිය හේ දකුණු අෆ්‍රිකාවේ සැඟව සිටියේ ය.

මේ සිද්ධියෙන් මුගාබේගේ පාලනය අවසන් කළ යුතු ය යන ස්ථාවරයේ සිටි ලකොස්ටෙ කණ්ඩායම කෝපයට පත්විය. පසුගිය 15දා හමුදාව ජනාධිපති මුගාබේට ‘නිවසින් පිට වන්නට නොහැකි වන තරමේ ආරක්‍ෂාව’ සැපයී ය. එය නිවාස අඩස්සියේ තැබීමක් වන නමුත් හමුදාව එම වචනය භාවිතය ප්‍රතික්‍ෂෙප කරයි. හමුදා ප්‍රධානියා ජාතික රූපවාහිනියෙන් ජනතාව අමතා මුගාබේ සහෝදරයා ඔහුගේ සතුරන්ගෙන් ආරක්‍ෂා කැරගනු වස් තමන් විසින් ඔහුට දැඩි ආරක්‍ෂාව සපයන ලදැයි පැවසී ය. ඔහුගේ සතුරන් කවුරුන්දැයි සඳහන් කොට නොමැති නමුත් 40 කණ්ඩායමේ බහුතරයක් ද නිවාස අඩස්සියට පත් වීමෙන් ඒ පිළිබඳ ඉඟියක් සැපයේ. මුගාබේ සහෝදරයා තවදුරටත් සිම්බාබ්වෙ ජනාධිපතිවරයා බවත්, විධායකය, අධිකරණය මෙන්ම ව්‍යවස්ථාදායකයත් පැවැති අයුරින් සමහරවිට ඊටත් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බවත් අනෙකුත් සියලු රජයේ නිලධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරිවල නොපිරිහෙලා නිරත විය යුතු බවත් ඒ සමග ම ඔහු නිවේදනය කළේ ය. ග්‍රේස් පිළිබඳ තොරතුරක් නොමැති නමුත් හමුදා ප්‍රධානියා නිවේදනය කළ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සියල්ලන් නිරුපද්‍රිතව ජනාධිපති මන්දිරයේ සිටින බව ය.

හමුදාවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් නොවන බවත් ඒ සමග ම ඔහු නිවේදනය කළේ ය.
මෙය කුමන්ත්‍රණයක් වුවත් නැතත් චීනයේ උපදෙස් මත මෙය සිදුවන්නට ඇති බව ඇතැම් මාධ්‍යයක සඳහන් ය. ජනරාල් චිවෙන්ගා සැප්තැම්බර් මාසයේ චිනයේ සංචාරයක නිරත විය. ඔහු සොල්දාදුවකු ලෙස පුහුණුව ලබා ඇත්තේ චීන යුද ඇකඩමියකින් වන අතර මේ කාරණය සම්බන්ධයෙන් ඔහට මග පෙන්වන්නට ඇත්තේ චීන නිලධාරීන් බවට සැකයක් නොමැති බව ඒවායේ සඳහන් ය. ඇතැම් මාධ්‍යයකට අනුව මේ කාරණය ගැන පෙන්ටගනය ද දැනුවත් ව සිට ඇත.

17 දා ජනාධිපති මුගාබේ සිම්බාබ්වේ විශ්වවිද්‍යාලයයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි විය. 18දා ඔහු රූපවාහිනියෙන් ජනතාව ඇමතීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලන ලදින් හමුදාව විසින් එයට අවස්ථාව ලබා දෙන ලදි. බොහෝ දෙනා අපේක්‍ෂා කළේ ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇතැයි කියා ය. එහෙත් ඒ වෙනුවට ඔහු කීවේ තමා තවමත් ආදරණීය සිම්බාබ්වේ ජනතාවගේ ජනාධිපති බව ය. 2018 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු තමා එම ධුරය දරනවා ඇත.

මේ අතර සානු-පීඑෆ් පක්‍ෂයේ නායකත්වය එමර්සන් ම්නැන්ගාග්වාට පවරන්නට පොලිට්බියුරෝව ඒකමතික ව තීරණය කරන ලද අතර මුගාබේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ද ඒ සමග ම තීරණය කළේ ය. ග්‍රේස් සම්බන්ධයෙන් කිසියම් තීරණයකට එළැඹුණු බවට සඳහනක් නැත.
ජනතාව වීදි බැස ප්‍රීතිඝෝෂා පවත්වන අයුරු විදෙස් මාධ්‍යවල දක්නා ලැබේ. එහෙත් මුගාබේ තවමත් පවසන්නේ තමා විසින් කළ යුතු වැඩ කොටසක් තවමත් කරන්නට ඇති හෙයින් තවදුරටත් තමා ජනාධිපතිධුරයේ සිටිය යුතු බව ය. එහෙත් ඔහුගේ ඉරණම කෙටි ඇත්තේ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමටය.■