රාවය

රොබෝ මාධ්‍යවේදීන්ගේ ආගමනය හා අපේ මාධ්‍ය අනාගතය

රොබෝ මාධ්‍යවේදීන්ගේ ආගමනය හා අපේ මාධ්‍ය අනාගතය

1992 දී ඇරැඹි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, 2017දී විසිපස් වසරක් සපුරනවා.
මේ කාලය පුරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැදගත් හා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළා. එහෙත් එය සදා නොනිමි අරගලයක්.

2017දී අප සිටින්නේ පැවති දරුණු මාධ්‍ය මර්දනය පහව ගොස් මාධ්‍ය නිදහස වඩාත් ස්ථාපිත කරනු ලැබූ අවධියකයි. එදිනෙදා වාර්තාකරණය හෝ නිදහසේ මත දැක්වීම නිසා හෝ පවත්නා රජය විවේචනය කිරීම නිසා හෝ තවදුරටත් නාඳුනන මැර කල්ලි මාධ්‍ය ආයතනවලට පහර ගසන්නේ නැහැ. තර්ජනවලින් මෙල්ල කර ගත නොහැකි මාධ්‍යවේදීන් තවදුරටත් මරා දමන්නේ නැහැ.
නොවැම්බර් 21 වනදා කොළඹ පැවති සමරු උත්සවයක කථා කරමින් මා කීවේ මෙයයි:
“වත්මනෙහි මාධ්‍ය නිදහස අරභයා මේ පවතින්නේ තාවකාලික ‘සටන් විරාමයක්’ ද නැතහොත් දිගුකල් පවතින ‘සාමයක්’ ද? මේ ගැන අප කිසිවකුට අනාවැකි කීමට නොහැකියි. එහෙත් යුද්ධයක් නතර වීම යනු පූර්ණ සාමය නොවන්නා සේම, මාධ්‍යවලට තවදුරටත් ප්‍රහාර එල්ල නොවීම යනු පූර්ණ මාධ්‍ය නිදහසක් ද නොවෙයි.

“යම් අස්වැසිල්ලක් ලත් මේ අවස්ථාවේ මෙරට මාධ්‍ය වෘත්තිකයන් කළයුත්තේ දිගුකාලීනව සිය නිදහස තහවුරු කැරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට විචාරශීලීව සම්බන්ධවීමයි. එසේ කරන අතරම සිය මාධ්‍යකරණයේ වෘත්තිමයභාවය (media professionalism) බොහෝ සෙයින් වැඩි කර ගැනීමයි.

“එසේම මාධ්‍ය නිදහස යනු හුදෙක් මාධ්‍ය වෘත්තිකයන්ගේ හා මාධ්‍ය ආයතනවලට සීමා වූ අයිතියක් නොව සමස්ත සමාජයේම අයිතියක් බව අප සිහි තබා ගත යුතුයි. මාධ්‍ය ග්‍රාහකයන් ලෙස ලක් සමාජයේ අප සැමට ඉහළ ප්‍රමිතියෙන් යුතු, අන්තවාදී නොවූ, ආචාර ධර්මීය මාධ්‍යකරණයක් ලැබීමට අයිතියක් තිබෙනවා. සැබෑ මාධ්‍ය නිදහස සම්පූර්ණ වන්නේ මෙකී පුළුල් වගකීම් සමුදායට මාධ්‍ය වෘත්තිකයන් හා මාධ්‍ය කර්මාන්තය අනුගත වූ විට පමණයි.”
මාධ්‍ය නිදහස ව්‍යුහාත්මකව (එනම් ප්‍රශස්ත නීති හා නියාමන හරහා) තහවුරු කර ගන්නා අතරම, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය බව නගා සිටුවීම කළ යුතුව තිබෙන බව මා අවධාරණය කළා.
ඕනෑකමින්ම ආන්දෝලනාත්මක විග්‍රහයක් මා මෙහිදී කළේ මාධ්‍ය වෘත්තීයබවින් තොර මාධ්‍ය නිදහසක් පැවතීමේ බරපතළ සමාජ ආදීනව හුවා දක්වන්නයි. 2015න් පසු මාධ්‍ය අයිතීන් හා නිදහස සාපේක්ෂව ඉහළ ගොස් ඇතත්, රාජ්‍ය හා පුද්ගලික දෙපැත්තේම මාධ්‍ය ප්‍රමිතීන් පවතින්නේ පහත් මට්ටමක බව මා කියා සිටියා.
තාක්ෂණය, ආර්ථික සාධක හා ජනව්‍යුහාත්මක (demographic&) සාධක යන තුනම මාධ්‍ය අනාගතයට තීරණාත්මකව බලපානවා.

කලෙක සිට මා විශේෂ අවධානය යොමු කරන්නේ තාක්ෂණය පැතිකඩටයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රගමනය මාධ්‍ය කර්මාන්තයට හා වෘත්තියට ප්‍රබල බලපෑම් එල්ල කිරීම තවදුරටත් සිදුවනවා. මාධ්‍ය නිදහස් පිළිබඳ ක්‍රියාකාරිකයන්ට ගත හැකි හොඳම පියවර නම් මේ ප්‍රවණතා තේරුම් ගෙන, ඒවා තම අරමුණු සඳහා උපක්‍රමශීලීව භාවිත කිරීමයි.
මාධ්‍ය නිදහස ගැන මෙරට සංවාදවලට ඩිජිටල් තාක්ෂණ සාධකය අදාළ නැතැයි තර්ක කළ මාධ්‍යවේදීන් පිරිසක් මීට දශක එකහමාරකට පමණ පෙර සිටියා. එවක ඒ ගැන කථා කරන්න ගොස් මා ඔවුන්ගේ දැඩි දෝෂාරෝපණයට ද ලක්වුණා. එහෙත් එදා මා කී සියල්ල වසර කිහිපයකින් සනාථ වුණා.

නුදුරු අනාගතයේ යම් දිනෙක පත්‍රකලාව ඉතිරි වී පත්තර නැතිවිය හැකියි. ඒ කියන්නේ අප දන්නා ආකාරයට කඩදාසි ගොන්නක මුද්‍රණය කොට, රට පුරා බෙදා හරිනු ලැබ පත්තර ලෑලිවල විකුණන පත්තර තව කොපමණ කලක් පවතීදැයි සැකසහිතයි. සමහර විට අවුරුදු 15-20ක් විය හැකියි.
එහෙත් පොදු උන්නතිය (public interest) උදෙසා පෙනී සිටින ජනමාධ්‍යවේදය (public journalism), කඩදාසි මාධ්‍යය නොමැතිව වුව තවත් දිගු කලක් වෙනස් ආකෘතීන්ගෙන් පවතිනු ඇති. පත්‍ර කලාවට හරිහමන් අනාගතයක් හා සමාජ අදාළත්වයක් දිගටම තිබීමට නම් එය කරවන ඇත්තන් නවෝත්පාදනයට හා නව අදහස්වලට විවෘත විය යුතුයි.
මුද්‍රිත ස්වරූපයෙන් වේවා, විද්‍යුත් හෝ වෙබ් ස්වරූපයෙන් වේවා මාධ්‍ය කලාව සමාජ සංස්ථාවක් සේ තවදුරටත් වලංගුවීමට නම් පොදු උන්නතිය සඳහා කැපවීමත් මහජන වින්දනය සඳහා දායකවීමත් අවශ්‍යයි.

ජන සමාජයට අවශ්‍ය හා ප්‍රයෝජනවත් දෙයක් සැපයීම මූලික අරමුණ කර ගත් විට මාධ්‍යවලට අනාගතයක් තහවුරු කරගත හැකියි. තාක්ෂණය දියුණු වූවාට මේ මූලික ගුණාංගය යල්පැන යන්නේ නැහැ.
යළිත් වරක් නුදුරු අනාගත දෙස බැල්මක් හෙළන්නට මා තැත් කරනවා. මේ ගැනත් සාවධානව මෙනෙහි කරන්න.
කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) දැන් ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙනවා. මේ නිසා මානවයන් කරන සංකීර්ණ වෘත්තීමය ක්‍රියා එතරම්ම හොඳින් එහෙත් ඊට වඩා අධිවේගයෙන් කළ හැකි යාන්ත්‍රික මොළ හෙවත් දියුණු පරිගණක බිහි වනවා.
දියුණු පරිගණක යොදා ගෙන කරන ස්වයංක්‍රීය මාධ්‍යවේදය (automated journalism) දැනටමත් දියුණු රටවල යම් මූලික මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. මෙය මාධ්‍ය තාක්ෂණයේ නව රැල්ලක්.
2016 වන විට නිවුස් රූම් එකට කෘත්‍රිම බුද්ධිය එකතු කර ගත් මාධ්‍ය ආයතන අතර ්ිAssociated Press (AP),Forbes, ProPublica, Washington Post iy Los Angeles Times තිබුණා.
විශේෂයෙන් දත්ත රැසක් විශ්ලේෂණය කොට ලිවිය යුතු මාධ්‍ය වාර්තා ලියන්න මේ ‘රොබෝ මාධ්‍යවේදීන්’ යොදා ගැනෙනවා. උදාහරණ ලෙස කොටස් වෙළෙඳපොළ, ලෝක වෙළෙඳපොළ ප්‍රවණතා හා සමහර තරගකාරී ක්‍රීඩා තරගාවලි දැක්විය හැකියි.

තවමත් මේ මාධ්‍ය ආයතනවල කෘත්‍රිම බුද්ධියෙන් සම්පාදනය වන වාර්තා, ඉනික්බිති මානව අධීක්ෂණයට ලක් වනවා. මානව කතුවරුන් ප්‍රමිතිකරණය සපයනවා. එහෙත් තාක්ෂණය දියුණු වන වේගය අනුව රොබෝ රිපෝටර්ලා ඉක්මනින්ම නව හැකියාවන් ලබා ගන්නවා.
තමන් ලද කර්තෘ මණ්ඩල ප්‍රතිපත්ති රාමුව තුළ සිට, කෘත්‍රිම බුද්ධියක් ස්වෝත්සාහයෙන් සම්පාදිත මාධ්‍ය වාර්තාවක් මුල් වරට 2017 ජනවාරියේ චීනයේ, ග්වන්ෂු නගරයේ පත්‍රයක පළවුණා. පෙර දින හටගත් මහාමාර්ග තදබදයක් ගැන දත්තවලින් පොහොසත් පුවත් වාර්තාවක් ලියන්න මේ යන්ත්‍රයට ගතවුණේ විනාඩියකට අඩු කාලයක්. මේ වේගය අතිදක්ෂ මානව මාධ්‍යවේදියකුට වුවද සම කළ නොහැකියි.

2014දී ස්වීඩනයේ කාල්ස්ටාඞ් සරසවියේ පර්යේෂකයෙක් සරසවි සිසුන් රැසක් යොදා ගෙන අධ්‍යයනයක් කළා. දියුණු පරිගණක අතින් ලියැවුණු මාධ්‍ය වාර්තා ගොන්නකුත්, මානව මාධ්‍යවේදීන් ලියූ මාධ්‍ය වාර්තා ගොන්නකුත් තෝරාගත් ඔහු, කවුරු කුමක් ලීවාදැයි නොකියා ඒවායේ කර්තෘත්වය අනුමාන කරන්න යයි ඔවුන්ට කීවා.
ඇත්තටම මානව මාධ්‍යවේදීන් ලියන ලද වාර්තා 56%ක් අවස්ථාවලදී පරිගණක විසින් ලියා ඇතැයි සිසුන් වැරදියට අනුමාන කළා. එමෙන්ම සැබැවින්ම පරිගණක ලියූ වාර්තාවලින් 37%ක් මානව මාධ්‍යවේදීන් ලියූ බවටත් සිසුන් වර්ග කළා.

මෙයින් පෙනෙන්නේ මානවයන් හා දියුණු පරිගණක අතර මාධ්‍ය වාර්තාකරණයේ වෙනස ලෙහෙසියෙන් සොයා ගන්නට බැරි තරම් සියුම් වී තිබෙන බවයි.
සම්මුඛ සාකච්ඡා කරන්න, මාධ්‍ය සාකච්ඡාවල ප්‍රශ්න අසන්න හෝ ඉක්මනට ක්ෂේත්‍රයට ගොස් දුව පැන තොරතුරු එකතු කරන්න මේ යන්ත්‍රවලට (තවම) නොහැකියි. මේ නිසා දක්ෂ හා කුසලතා පූර්ණ මාධ්‍යවේදීන්ට නම් නුදුරු අනාගතයේ රොබෝ මාධ්‍යවේදයෙන් තර්ජනයක් නැහැ.
එහෙත් අලස හා අකාර්යක්ෂම මානව මාධ්‍යවේදීන්ට වඩා ප්‍රශස්තව ක්‍රියා කරන කෘත්‍රිම බුද්ධියක් එළැඹෙන 2020 හෝ 2025 වන විට බිහිවිය හැකියි. මේවායේ මූලික වියදම අධික වූවත්, ඉනික්බිති වැටුප් හෝ වෙන දීමනා ගෙවීමක් නැහැ. දවසේ පැය 24ම, වසර පුරාම වැඩ කළ හැකියි. නිවාඩු ගන්නේ නැහැ. වෘත්තීය සමිති වැනි ක්‍රියාවලට යොමුවීමක් ද නැති නිසා මාධ්‍ය හිමිකරුවන් මේ යාන්ත්‍රික මාධ්‍යවේදීන්ට කැමති වේවි!

තම කාරිය දක්ෂව, කැපවීමෙන් කරන කුසලතා පූර්ණ මාධ්‍යවේදීන් නම් කවදාවත් යන්ත්‍රයකින් ‘රිප්ලේස්’ කරන්න බෑ. පන්ති කාමරවලට පරිගණක ආ පසු අදක්ෂ ගුරුවරුන් කොන්වූවත්, ඉතා දක්ෂ හා කැපවීමෙන් යුතු ගුරුවරුන්ගේ තැන ගන්න කවදාවත් පරිගණකයකට නොහැකියි වගේම තමයි. එහෙත් පරිගණක ආගමනය නිසා ඉගැන්වීමේ හා උගෙනීමේ වෙනස්කම් ඇති වූවා සේම කෘත්‍රිම බුද්ධිය පුවත් කාමරවලට පැමිණීම නිසා සමස්ත මාධ්‍ය කලාවේත් වෙනස්කම් සිදුවේවි.
මාධ්‍ය ග්‍රාහකයකු හා පර්යේෂකයකු ලෙස මා උදක්ම අගය කරන්නේ වෘත්තීයබවින් යුතු අන්තර්ගතයයි. ඒවා දත්ත හා සාක්ෂි මත පදනම්ව, ආචාර ධර්මීයව සම්පාදිත නම්, එය කළේ මානවයෙක්ද යන්ත්‍රයක්ද යන්න මට ප්‍රශ්නයක් නොවෙයි.

ඇත්තටම ජාතියක් හෝ ආගමක් නැති පරිගණක, සිය වාර්තාකරණයේදී පක්ෂග්‍රාහී නොවී මැදහත්ව ක්‍රියා කරතැයි අපේක්ෂා කළ හැකියි. අද අපේ රටේ සිටින පළපුරුදු මානව මාධ්‍යවේදීන්ගෙන් කී දෙනාටද හැකියාව තිබෙන්නේ තම වාර්ගිකත්වයෙන් අත්මිදී මාධ්‍යකරණයේ නියැලෙන්න?
රට ගිනි තබන, සමාජ චින්තනය මොට කරන පසුගාමී මානව මාධ්‍යවේදීන් වෙනුවට කෘත්‍රිම බුද්ධිය හරහා මට කරුණු හා මතවාදයන් වෙන වෙනම ලැබිය හැකි නම්, මා එවන් මාධ්‍යවලට මගේ පූර්ණ මනාපය ලබා දෙනවා!

ඇඟලුම් කර්මාන්තයේ ඇඳුම් මසන යන්ත්‍ර ක්‍රියා කිරීමට මානව සේවකයන් යොදා ගැනීම කෙමෙන් අඩුවෙමින් පවතිනවා. දැන් එන්න එන්නම ස්වයංක්‍රිය මහන මැෂින් භාවිතයට එනවා (අපේ ඇඟලුම් කර්මාන්තයට මෙය 2025 වන විට ප්‍රබලව දැනේවි.)
මාධ්‍යකරණය මීට වඩා අභියෝගාත්මක වූවත්, අපේ සමහර මාධ්‍යවේදීන් සිතනවාට වඩා ලෙහෙසියෙන් සූක්ෂ්ම යන්ත්‍රයකට ඔවුන්ගේ රැකියාව ඔවුන්ට වඩා හොඳට කළ හැකි වන කාලය ළඟදීම උදා වේවි.

තාක්ෂණය මාධ්‍ය අනාගතයට වැදගත් හා තීරණාත්මක වූවත්, අවසාන විනිශ්චයේදී එය මෙවලමක් පමණයි. ජනමාධ්‍යකරණයේ මූලික හරයන් ඊයේ මෙන්ම අදටත්, අද මෙන්ම හෙටටත් එක සේ අදාළයි.■