රාවය

මිලියන 2257ක් කාබාසිනියා කරන කෘෂිකර්ම ගොඩනැගිල්ල අගමැතිගේ සොඳුරු වැරදීමක්ද?

මිලියන 2257ක් කාබාසිනියා කරන කෘෂිකර්ම ගොඩනැගිල්ල අගමැතිගේ සොඳුරු වැරදීමක්ද?

ලසන්ත රුහුණගේ

මේ දිනවල පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන 2018 වසරට අදාළ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ මතුවුණු එක් ප්‍රබල කාරණාවක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස එම විවාදයට එක්වෙමින් ගෙනහැර පෑවේ ලබන වසරේ අයවැය මගින් විවිධ අමාත්‍යාංශ හා ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණයන් හා සැසඳීමේදී අදාළ ගොඩනැගිල්ල සඳහා අතිවිශාල මුදලක් නිකරුණේ නාස්ති කරමින් පවතින බවය. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාගේ එම කරුණු දැක්වීම ජනමාධ්‍යයටද ඉතා හොඳ ප්‍රවෘත්ති මැවීමක් වූ අතර ඔවුන්ද එය සිය මුල් පිටුවල අලංකාරවත් ලෙස වාර්තා කර තිබුණි.

ඒ නිසාම මෙම ගොඩනැගිල්ල කුමක්ද? එවැනි ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාගත්තේ ඇයි? එම කටයුතු සිදුවූයේ කෙසේද යන්න යළි ආවර්ජනය කිරීම මේ අවස්ථාවේ වටී. (මේ පිළිබඳව මුල්ම හෙළිදරව්වේ සිට සියලු හෙළිදරව් කිරීම් සිදුකරනු ලැබූයේ රාවය පුවත්පත විසිනි.)

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට අලුත් අදහසක් පහළ වී තිබුණි. ඒ රට සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට වඩා දායක කර ගැනීමත් ඒ සඳහා ඔවුන්ට තවදුරටත් වරප්‍රසාද හා වරදාන පිරිනැමීමත්ය. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන ආ යෝජනාව හෙවත් නම වූයේ පාර්ලිමේන්තු ආංශික කාරක සභා යන්නය. ඔහුගේ කල්පනාව වූයේ රටේ සංවර්ධනය වෙනුවෙන් මේ ආංශික කාරක සභා වෙතින් විශාල දායකත්වයක් ලබාගත හැකිය යන්නය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මේ අදහසට පෙර පාර්ලිමේන්තුව තුළ තිබුණේ උපදේශක කාරක සභාය. අප ජනප්‍රිය ලෙස දන්නා කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව යන්න එතෙක් තිබූ උපදේශක කාරක සභාය. රනිල් වික්‍රමසිංහගේ මේ ආංශික කාරක සභා යනු එතෙක් තිබූ උපදේශක කාරක සභාවලට අමතරව අලුතින් ඇති කරන්නක් යැයි අපගේ කල්පනාව විය. ඊට හේතුව වූයේ මේ ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තුවේ ඉඩ මදි බව පවසමින් ඊට අවශ්‍ය ඉඩකඩ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සෙවූ නිසාය. ඒ අනුව පාර්ලිමේන්තුව අසල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය හා තවත් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන පිහිටි ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කටයුතු සඳහා අවශ්‍ය යැයි තීරණය කරනු ලැබූ අතර එම ගොඩනැගිල්ලෙන් අදාළ අමාත්‍යාංශ හා රජයේ ආයතනවලට ඉවත්වන ලෙසට දැනුම් දෙනු ලැබීය. ඉවත්වන අමාත්‍යාංශ හා රජයේ ආයතනවලට සෙත්සිරිපාය ගොඩනැගිල්ලෙන් හෝ සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙන් ඉඩ ලබාගන්නා ලෙසද දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව වනජීවී අමාත්‍යාංශයද විශේෂ කාර්යභාර අමාත්‍යාංශයද සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ සිය අමාත්‍යාංශ පිහිටුවූ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය කීවේ එහි එක් ස්ථානයකින් පමණක් ඔවුන්ට අවශ්‍ය ඉඩ ලබාගැනීමට නොහැකි බවය. මේ කල්මැරීම ඒ ආකාරයට සිදුකරමින් සිටින කාලයේ එක්වරම කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකට රාජගිරිය පාර්ලිමේන්තු පාරේ අංක 288හි පිහිටි ඩී.පී. ජයසිංහ සමාගමට අයත් (ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහට අයත්) ගොඩනැගිල්ලක් හමුවී තිබූ අතර එම ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙනයෑමට ඔහු විසින් 2015 දෙසැම්බර් 02 දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලබන්නේය. (කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙම ගොඩනැගිල්ල සොයාගන්නේ ඒ සඳහා වූ ප්‍රසිද්ධ දැන්වීම් පළකර යෝජනා කැඳවීමකින් නොවන බව සැලකුව මැනවි. එහෙත් ඒ වනවිටත් යහපාලන ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසමක්ද නීතියෙන් ස්ථාපිත කර තිබූ බව මතක තබාගන්න.) එහෙත් කැබිනට් මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ එම යෝජනාවට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම ගනුදෙනුව ඇගැයීම සඳහා කමිටුවක් පත් කරයි.
ඒ අතරතුර කාලයේ සෙත්සිරිපාය නව ගොඩනැගිල්ල සුදුසු නොමැති නම් රජයේ වෙනත් ගොඩනැගිල්ලක් සොයාගැනීම, පෞද්ගලික හිමිකරුවකුගේ වෙනත් ගොඩනැගිල්ලක් සොයාගැනීම හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු බත්තරමුල්ල ප්‍රදේශයේම පිහිටි හෙක්ටයාරයක පමණ වූ ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකරගැනීම වැනි වූ විකල්ප කරා යොමුවීමටද කෘෂිකර්ම අමාත්‍යාංශයට අදහස් පහළවන්නේ නැත. ඩී.පී. ජයසිංහ සමාගමේ ගොඩනැගිල්ල ලැබෙන තුරු ගොවිජන මන්දිරයෙන් ඉවත් නොවී එහි තවදුරටත් සිටින්නට ඔවුහු කටයුතු කරන්නෝය.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම කරුණ ගැනම 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේය. ඊට කැබිනට් අනුමැතිය හිමි වුවද මේ ගනුදෙනුව පිළිබඳව සැකසංකා මතුවන්නේය. විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීම්වල කැපීපෙනෙන කාරණා වන්නේ රජයේ තක්සේරුකරුගේ මිල අබිබවා වර්ග අඩියක් සඳහා රුපියල් 167.50ක් ගෙවීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාරයක පමණ හිස් ඉඩමක් තිබීම හා තරගකාරී මිල ගණන් නොකැඳවීම ආදියය. එම ප්‍රශ්න කිරීම් සඳහා සාර්ථක පිළිතුරු කෘෂිකර්ම අමාත්‍යාංශ පාර්ශ්වයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට නොලැබෙන අතර ඔවුන් ද දිගින් දිගටම මෙම ගනුදෙනුව පිළිබඳව සුපරීක්ෂාකාරීවීම් කරන්නේය.

මෙම ගනුදෙනුව පිළිබඳව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවද (කෝපා) අවධානය යොමු කරන අතර එම කමිටුව මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්නද එම කමිටුව හමුවට කැඳවනු ලබන්නේය. එම කැඳවීමට පෙර එම කමිටුව දැනුම් දෙන්නේ මෙම ගනුදෙනුව පිළිබඳව ඔවුන්ට අනුමැතිය ලබාදීමට නොහැකි බවය. ඉන් කලබලයට පත්වන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන්නේ පාර්ලිමේන්තු කමිටුව හමුවට යෑමට පෙර මෙම ගනුදෙනුවේ නීත්‍යනුකූල කටයුතු අවසන් කරන ලෙසටය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සිදුකරන්නේ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව කැඳවූ දිනයට පෙර දින එනම් 2016 අප්‍රේල් 07 දින මෙම ගනුදෙනුව සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවීමට රුපියල් මිලියන 590ක මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා යැවීමය. එම කමිටුව සඳහා යෑමට පෙර එම කමිටුවට යන දිනය වූ 2016 අප්‍රේල් 08 දිනම ඩී.පී. ජයසිංහ සමාගම සමඟ එම ගොඩනැගිල්ල වසර පහක කාලයකට බදු ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹීමය. භාණ්ඩාගාරය මෙම ගනුදෙනුව සඳහා කොතරම් හැඟීමකින් හා කැපවීමකින් සිටියාද කිවහොත් රටේ ආර්ථික අර්බුදයක් පැවතියත් ඉල්ලූ සැණින් මුදල් අනුමත කිරීමට වගබලා ගත්තේය. ඒ අනුව වසර පහක බදු ගිවිසුම් එකඟතාව ලෙස මසකට රුපියල් මිලියන 21 බැගින් අවුරුදු දෙකක කාලයක බදු කුලී වශයෙන් රුපියල් මිලියන 504ක්ද, ආරක්ෂිත තැන්පතුව වශයෙන් තවත් රුපියල් මිලියන 63ක් හා වැට් හා එන්බීටී බදු වශයෙන් තවත් රුපියල් මිලියන 23ක්ද වශයෙන් මුළු මුදල රුපියල් මිලියන 590ක් වන අත්තිකාරම් මුදල අදාළ සමාගමට ගෙවා දමන්නේය. ගිවිසුම අනුව වසර පහක කාලය අවසන් වන විට ගොඩනැගිල්ල හිමි ඩී.පී. ජයසිංහ සමාගමට ගෙවීමට සිදුවන මුළු මුදල රුපියල් මිලියන 1855කි. (ඒ එම කාලය තුළ ගිවිසුම් ප්‍රකාර වැඩිවීම්ද සැලකිල්ලට ගනිමින්ය.)

මේ ආකාරයට තදියමේ ගිවිසුමක් අත්සන් කර අත්තිකාරම් වශයෙන් විශාල මුදලක් ගෙව්වද එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා සුදුසුද නැද්ද යන්නවත් ඒ වනවිට සොයාබලා තිබී නැත. එය තහවුරුවන්නේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය එම ගොඩනැගිල්ල පරීක්ෂා කර 2016 මැයි 05 දින ලබා දුන් වාර්තාව අනුවය. ඔවුන් එම වාර්තාවෙන් කරුණු ගණනාවක් මතුකර තිබුණි. ඉන් ප්‍රබලම කරුණ වූයේ මෙම ගොඩනැගිල්ල වාණිජ සාප්පු සංකීර්ණයක් සඳහා ඉදිකර ඇති බැවින් එය කාර්යාල කටයුතු සඳහා සුදුසු නොවන බවය. එසේ කාර්යාල කටයුතු සඳහා සකස් කිරීමට නැවත සකස් කිරීම් සිදුකළ යුතු බව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සිය වාර්තාවෙන් කියා තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 402ක මුදලක්ද වැයවන බව ගණන් බලා තිබුණි. ඒ අනුව මෙම ගොඩනැගිල්ල සඳහා රජයට දරන්නට සිදුවන මුදල රුපියල් මිලියන 2257ක් දක්වා ඉහළ යනු ලැබීය.

එම ගොඩනැගිල්ලේ අඩුපාඩු රාශියක්ද එම කාර්යාංශය තවදුරටත් පෙන්වා දී තිබුණු අතර ඒවා අතර කැපීපෙනුණේ රථගාලක් නොමැතිවීම, මුළු ඉඩම පුරාම ගොඩනැගිල්ල ඉදිකර තිබීම හේතුවෙන් කසළ එකතු කිරීම, අපජලය හා මලජලය බැහැර කිරීම ආදිය සිදුකිරීමට යන්ත්‍රාගාර ඉදිකිරීමට ඇති අපහසුව, අනතුරු අවස්ථාවකදී හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක් නොමැතිවීම, එවැනි අවස්ථාවක රැස්විය හැකි පොදු ස්ථානයක් නොතිබීම, වැසිකිළි ප්‍රමාණවත් නොවීම, විදුලි ධාරිතාවේ අවමබව, ගොඩනැගිල්ලට යොදා ඇති වීදුරුවලට වායුසමනය සඳහා යෝග්‍ය පරිදි ක්‍රමවේද සකස් කිරීම, ගොඩනැගිල්ලේ පඩිපෙළට යොදා ඇති අත්වැට උසින් අඩුවීම, විදුලි සෝපාන ප්‍රමාණවත් නොවීම ආදියය. එමෙන්ම එම ගොඩනැගිල්ල අඩුපාඩු සකස් කර කෘෂිකර්ම අමාත්‍යාංශයේ භාවිතයට ගැනීම සඳහා අවම වශයෙන් වසරක කාලයක් ගතවිය හැකි බවද එම කාර්යාංශය පෙන්වා දී තිබුණි.

ඉංජිනේරු කාර්යාංශයේ මෙම දැනුම්දීමත් සමඟ කලබලයට පත්වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න 2016.05.13 දින සහිතව එම අඩුපාඩු ඩී.පී. ජයසිංහ සමාගමේ හිමිකරු උපාලි ජයසිංහට දැනුම්දෙන අතර එහි පිටපත් අමාත්‍ය මණ්ඩල ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම්ට යොමුකරයි. ඉන්පසු මෙම අඩුපාඩු පිළිබඳව 2016.05.16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ නිලධාරීන් හා ගොඩනැගිල්ලේ හිමිකරු සහභාගි වන්නෝය. එහිදී හිමිකරුගේ පාර්ශ්වයෙන් යුතු අඩුපාඩු සකස්කිරීම් ගැන සාකච්ඡා කර ඇති අතර කසළ එකතු කිරීම සඳහා දිනපතා සේවාවන් කෝට්ටේ මහනගර සභාවෙන් ලබාදීමටද ගොඩනැගිල්ල යාබදව ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම රථගාල සඳහා තාවකාලිකව ලබාගැනීමටද සාකච්ඡා කර ඇත.
එහෙත් මෙම අඩුපාඩු කිසිවක් ගිවිසුමෙන් වසරක කාලයක් ඉකුත් වන විටත් සකස් කරගන්නට සමත් වී තිබුණේ නැත. ඒ නිසාම 2017 අප්‍රේල් මාසය වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ල භාවිතයට ගත්තේ නැත. එහෙත් මසකට රුපියල් මිලියන 21 බැගින් වූ බදු කුලිය ගෙවමින් තිබුණි. මේ සටහන ලියන මොහොත වනවිටත් ගිවිසුමෙන් වසර එකහමාරක් පසුවීත් කෘෂිකර්ම අමත්‍යාංශය ස්ථිර වශයෙන්ම එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර නැත. (කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලේ සිට කටයුතු කරන බවට වූ කිසිදු පුවරුවක් තවමත් නැත.) එමෙන්ම ගොවිජන මන්දිරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත්වීද නැත. පොදු මහජනයාගේ මුදල් ව්‍යාපාරිකයෙකුට නිකරුණේ පුදකරමින් පමණක් සිටියි. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පය වූ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවලට ගොවිජන මන්දිරය වුවමනාවූ බවක්ද පෙනෙන්නට නැත. නම පමණක් වෙනස් වූ පාර්ලිමේන්තු උපදේශ කාරක සභා ආංශික කාරක සභා වශයෙන් පාර්ලිමේන්තුව තුළ පැවති ඉඩකඩ භාවිතකරමින් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව පෙනෙන්නේ ඇත්තටම නොතිබූ ඉඩ අවශ්‍යතාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගොවිජන මන්දිරය ඉල්ලා ඇති බවය. තවමත් එහි අවශ්‍යතාවක් අග්‍රාමාත්‍යවරයාට හෝ පාර්ලිමේන්තුවට නොමැත්තේ ඒ නිසාය. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ගොවිජන මන්දිරයෙන් යෑම පිළිබඳ ප්‍රශ්නයක් තිබී නැති බව පෙනෙන්නේ ඔවුන්ටද වසර එකහමාරකටත් වඩා කාලයක් රුපියල් මිලියන ගණනින් නිකරුණේ කුලී ගෙවමින් සිටින ගොඩනැගිල්ලට යෑමට උනන්දුවක් නැති නිසාය.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලදී රජයට හෝ රජයේ ආයතනවලට හෝ රජයේ අරමුදල්වලට සිදුවී ඇති පාඩුව කොතෙක්ද යන්න තවම ගණනය කර නැත. එහෙත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂිදෙමින් රජයේ විගණකාධිපතිවරයා කීවේ රුපියල් මිලියන 1674ක ක්ෂණික පාඩුවක් බැඳුම්කර වංචාව මගින් සිදුවී ඇති බවය. මෙම කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිලි ගනුදෙනුවේ වසර පහක කාලයකදී රජයට දරන්නට සිදුවන පිරිවැය රුපියල් මිලියන 2257කි. විගණකාධිපතිවරයා බැඳුම්කර සම්බන්ධයෙන් කී කතාවට වඩා පිටතට නොපෙනුණාට මෙම ගණන විශාලය. අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දී පැමිණීමෙන් පසු මාධ්‍යයට කීවේ වැරදි සිදුවුණත් ඒවා හදාගෙන යහපාලන ආණ්ඩුව ඉදිරියට යන බවය. අපට අසන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සිදුවූ මෙම කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිලි ගනුදෙනුව එවැනි සොඳුරු අත්වැරදීමක්ද යන්නය.■