රාවය

ඇමතිට වැටෙන්න ගහන්න ලේසි ද?

ඇමතිට වැටෙන්න ගහන්න ලේසි ද?

ටිරන් කුමාර බංගගමආරච්චි

ඔලිම්පික් සංගමයේ නිලවරණය එළැඹෙන වසරේ මුල එනම් ජනවාරි 09 වැනිදා පැවැත්වෙන බව මේ දිනවල කතාබහය. ඊට ඇති සූදානමද සෑහෙන උනන්දුකාරීය. බැලූබැල්මට බලය කාට යතැයිද කිව නොහැකි මුත් එක් පාර්ශ්වයක් දැනටමත් දිනුම්ය. ඒ රොහාන් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් තරග වදින පිලය. එහි ලේකම්කමට තරග කරනුයේ ඩයන් ගෝමස්ය.

දැනට බලයේ සිටින හේමසිරි ප්‍රනාන්දු පාර්ශ්වයද තම පාර්ශ්වයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරයි. ඒ සුරේෂ් සුබ්‍රමනියම් සහ ලේකම් ලෙස වත්මන් ලේකම් මැක්ස්වේල් සිල්වාමය.
එසේනම් දැන් ඔලිම්පික් නිලවරණයට දින ඇත. එයට තරග වදින්නටද දෙපිරිසක් ඇත. මේ දෙපිරිසෙන් දැනටමත් ජයගත් පිලක් ද ඇත. ඒ රොහාන් සහ ඩයන් පාර්ශ්වයය. රොහාන් ප්‍රනාන්දු ඔරු පැදීමේ සංගමය නියෝජනය කරන්නෙකි. ඩයන් බොක්සිං ක්‍රීඩාවේ ලංකාවේ එකම හිමිකරුවාය. බොක්සිං පේටන්ට් අයිතිය ඇත්තේ ඔහුගේ නමටය. ඔහු සිතන්නේ එහෙමය. දැන් කෙනකුට ඔහු හිතන හැටි අප දන්නේ කොහොමදැයි ප්‍රශ්නයක් මතු විය හැක. එය ප්‍රශ්නයක් කර නොගන්න. ඔහු ගැන දන්නා අයට එය නොරහසකි.

අනෙක් පිලේ සුබ්‍රමනියම් හිටපු ටෙනිස් සභාපතිවරයෙකි. ලේකම් මැක්ස්වේල් ද ටෙනිස් නියෝජනයක්මය. බොහෝ විරුද්ධවාදීන්ගේ අදහස නම් මැක්ස්වේල්ට සංගමයක් හෝ නැති බවය. විරුද්ධවාදීන් වනාහී කලක් ඔවුන් ළඟම සිටි හිතමිතුරන්මය.
ඔලිම්පික් නිලවරණයට අදාළ ලිපියක් අපි ගියවර කලාපයේද ලියුවෙමු. මෙවර කීමට ඇත්තේ එහි විය හැකි සහ නොවිය යුතු තැන් කිහිපයක්ය.

ක්‍රීඩා අමාත්‍යවරයා යනු ක්‍රීඩාවේ ප්‍රබලයාය. එබැවින් ඔහුට කවුරු කෙරෙහි පක්‍ෂග්‍රාහී බවක් තිබිය නොහැකිය. ක්‍රිකට්වලදී මේ තත්ත්වය එළිපිටම පෙන්වීම නිසා ඔහු තාමත් නා ගනිමින් සිටී. එය නැවත නොකළ යුතු ය. මන්ද රොහාන් පාර්ශ්වයේ බහුතරය තැන් තැන්වල කියනුයේ ක්‍රීඩා ඇමතිගේ පූර්ණ සහාය තම පාර්ශ්වයට බවත් ඇමතිගේ එකම හීනය හේමසිරි ප්‍රමුඛ නඩය පරාජය කිරීම බවත්ය. ඒ සඳහා ඔහු පූර්ණ සහාය දෙන බව මොවුන්ගේ අදහසය. ක්‍රීඩා ඇමතිවරයාට එලස විය නොහැකිවා සේම ඔහු එලෙස නොවනු ඇතැයි අපගේ විශ්වාසය. ඕනෑම ප්‍රශ්නයකදී පපුව දෙන්න වුව කඩා පැනීම ජයසේකර ඇමති වරයාගේ සිරිතය. එය හොඳ ලක්‍ෂණයකි. ඔහු ප්‍රශ්නවලින් කර ඇරීම වෙනුවට ඒවා බාර ගැනීම තෝරාගෙන ඇත.

මේ අතර අමතර කාරණයක්ද කිව යුතුය. බොහෝ අයගේ අදහස වත්මන් ක්‍රීඩා ඇමති වැඩකට නැති බවය. අද ක්‍රීඩාව විනාශ බවය. අද ක්‍රීඩා විනාශයට යමින් ඇති බව සැබෑය. එහෙත් එයට වගකිව යුත්තේ නම් දයාසිරි ඇමතිවරයා නොවන බව කිව යුතුය. එය කාලයක පටන් පැවත එන්නක් මිස ඔහු ආ සැණින් වූවක් නොවන බව කිව යුතුය.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ප්‍රශ්න විසඳීමට උත්සාහ ගන්නා අතර ක්‍රීඩාව ඉහළ තලයකට ගෙනඒමටත් අවංක උත්සාහයක් ගන්නා බව අපගේ අදහසය.
දැන් නැවත ඔලිම්පික් ප්‍රශ්නයට එන්නේ නම් ක්‍රීඩා ඇමතිවරයාට කවුරු ඔලිම්පික් කමිටුවට පත්වුවද නොවැදගත් බව කිව යුතුය. එහෙත් එක් පාර්ශ්වයක් (රොහාන්) ක්‍රීඩා ඇමති තමන් සමඟ කියමින් ප්‍රචාරණ මාධ්‍ය ගෙනයෑම ඔවුන්ට හොඳ වුවද ඇමතිට අයහපත්ය. ඇමති මේ බව දන්නවාද නොදන්නවාද අපි නොදනිමු. එහෙත් ඇමතිවරයා මෙවැනි කුණු නොකෑ යුතු බව කියමු. ඔහු ක්‍රියාකළ යුත්තේ ඔහුගේ වපසරියේය. එනම් නිවැරදි ලෙස නිලවරණය පැවැත්වීමය.
නිලවරණයක් පැවැත්වීමට පෙර විගණන වාර්තා ලබාගැනීම අනිවාර්යය. රොහාන් සහ ඩයන් පාර්ශවයේ අදහස ගිණුම් පිරික්සීම පසෙකලා ජනවාරි 09 නිලවරණය පැවැත්විය යුතු බවය. නිල මඩුල්ල පත්වූ පසු ගිණුම් පිරික්සිය හැකි බවය. මේ තක්කඩි කතා ක්‍රීඩා ඇමතිවරයා පිළිගත යුතු නැත. ක්‍රීඩා ඇමතිවරයා මුල සිටම සංගම්හි ගිණුම් වාර්තා නිසි ලෙස විගණනය විය යුතුය. යන තැන සිටි බව කිව යුතුදෑය. බොහෝ සංගම් ඇදෙන්නේද මේ නිසි ක්‍රමවේදය ක්‍රීඩා ඇමතිවරයා අකුරට පිළි පැද්දා වූ නිසාය. එසේනම් ඔලිම්පික් නිලවරණයේදී එය වෙනස් විය යුත්තේ ඇයි? අනෙක් අතට ඔලිම්පික් නිලවරණයට එන සංගම් සියල්ල නිසි ලෙස ගිණුම් වාර්තා ලබා දී ඇතිද යන්න පවා සෙවිය යුතුය. එය අනිවාර්යයෙන්ම කළ යුතුය.

ක්‍රීඩාව දූෂිත වූයේ මේ මුදල් නිසාය. නිසි ලෙස ලබන මුදල් ගනුදෙනු පෙන්වා දිය නොහැකි නම් එය වංචාවකි. ක්‍රීඩා ඇමතිවරයා ගිණුම් නොමැතිව නිලවරණ පවත්වන්නේ නම් එම වංචාවට අනුබල දෙන්නේය. ඔහු ඒ දේ නම් නොකරන බව අපගේ අදහසය. නීතිඥයකු වන ක්‍රීඩා ඇමතිවරයා එවැනි මෝඩ කතා අහක ලන බව සැබෑය.

අවුරුදු නවයක් නිලවරණයක් නොපවත්වා බලා සිටියේ නම් ගිණුම් අනුමත කර ගැනීමෙන් පසු නිලවරණය පවත් වන්නට ඉවසන්නට මේ අයට නොහැක්කේ ඇයි? ඇමතිවරයා හමු වී වැරදී ක්‍රමවේදයට ගිණුම් නැතිව නිලවරණය තියන්නැයි ඉල්ලන්නේ ඇයි? ඒ මොහොතේ ඇමතිවරයා තදින් සිට ගිණුම් අනුමත විය යුතු යැයි කීම සැබැවින්ම වටිනේය. කුමන හෝ හේතුවක් මත ගිණුම් අනුමත කරගත නොහැකි වුවහොත් එය සති දෙක තුනකින් හෝ කල් දමා ගිණුම් අනුමත කර ගත් පසුව නිලවරණය පවත්වන්නැයි අපි ඇමතිගෙන් ඉල්ලා සිටිමු.

නව වසරක් බලා සිටිය අයට අමුතු හදිසියක් තිබිය නොහැකිය. අනෙක් අතට එම වැරදි ආදර්ශය ඔලිම්පික් නිලවරණයේදී දුනහොත් අනෙක් සංගම්වලටද එය ලබාදීමට සිදුවනු ඇත. එවැනි නරක ගමනක් ඇමති නොයන බව අපගේ අදහසය.

මේ අතර මෙවර නිලවරණයට අදාළව තවත් සංගම් කිහිපයක් ඔලිම්පික් ඡන්ද වරම් ලබාගන්නට නියමිතය. මේ ඇතැම් සංගම් ප්‍රතික්‍ෂේප කිරීමේ වෑයමක් දියත් වන බව කසුකුසුවය. ඒවා තම පාර්ශ්වයට අවැසි බව පවසා ඇමති නොමඟ යවා ඒවා පිළි නොගැනීමට කටයුතු දියත් වන බව පැවසේ. මේ උගුලටද ඇමතිවරයා හසු නොවිය යුතුය. යම් හෙයකින් එලෙස වුව හොත් එම සංගම් තම අයිතිය පතා උසාවි ගිය හොත් මේ පවත්වන්නට නියමිත ඔලිම්පික් නිලවරණය ඉබේම කල් යනු නියතය. ඒ නිසා මේ උගුලේ ඇමති නොපැලටෙනු ඇතැයි අපගේ අදහසය.

ඔලිම්පික් නිලවරණය පැවැත්විය යුතුය. එහෙත් එය නියම රාමුවේ පැවැත්විය යුතුය. එසේ නොමැතිව රොහාන් සහ ඩයන්ලාගේ වුවමනාවට ඒ අයගේ ඕනෑ එපා කම් මත නොපැවැත්වීය යුතුය. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති කළ ඔහු රූකඩකයක් කර ගත් ඩයන් මෙවරද එම සෙල්ලමම දමන්නට සැරසේන මුත් එම උගුලට වත්මන් ක්‍රීඩා ඇමති හසු වෙතැයි අපි නොසිතමු. බොහෝ ක්‍රීඩා ඇමතිවරුන්ට නව වසරක් යන තෙක් පවත්වන්නට නොහැකි වූ ඔලිම්පික් නිලවරණය නියමිත ලෙස වත්මන් ඇමතිවරයා පවත්වා එහි ගරුත්වය අත් කර ගනු නියතය. එයට ඔහු කාගේ හෝ ඉත්තකු පක්‍ෂ ග්‍රාහිකයකු නොවිය යුතුය. ක්‍රීඩා ඇමතිවරයා කාගේ හෝ කණ්ඩායමක ඇමතිවරයා නොව ක්‍රීඩාවේ ඇමතිවරයාය. ඒ බව වත්මන් ඇමති දැනුවත් බව අපගේ දැනුමය. වටහා ගැනීමය. ඩයන්ලා හිතාගෙන ඇත්තේ මේ ඇමතිටද වැටෙන්නට ගහන්න ලේසි බවය. බලමු.

සැ.යූ
ඔලිම්පික් නිලවරණය ලබන වසරේ ජනවාරි මස 09 වැනිදා පවත්වන්නට නියමිත වුවද එය එදිනට පැවැත්විය නොහැකි බව මේ වන විට ඇති අලුත්ම ආරංචිය වේ. ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියමය පරිදි සපුරා ගත යුතු කරුණු කිහිපයක් නිසාවෙනි. මේ තීන්දුව කෙසේ වෙතත් අප මතු කරන කාරණය ඊට ගැටලුවක් නොවන බව අපගේ අදහසය. ඔලිම්පික් නිලවරණය පවත්වන දිනය කවදා වුව සපුරාලිය යුතු කොන්දේසි පැපිරිය යුතුමය.■