රාවය

වැඩ ඇරී වැඩට යන ගැහැනු

වැඩ ඇරී වැඩට යන ගැහැනු

රේඛා නිලුක්ෂි හේරත්

අප ඉන්නේ හම්බන්තොට මැදමුලන පැත්තේ ගම්මානයකය. අප සොයාගෙන ගියේ කොහු කෙඳිවලින් බුරුසු නිෂ්පාදනය කරන වැඩපොළකි. පාර කාපට්ය. මැදමුලනේ කාපට් නැති පාරවල් සොයාගැනීම අසීරුය. ඉඳහිට වාහනයක් යන පාරවල් වුණත් මංතීරු දෙකේ විශාල කාපට් පාරවල්ය. විශාල කාපට් පාරවල් යනු සංවර්ධනයේ වෙළෙඳනාමයයැයි සිතූ ආණ්ඩුවක් සිටි රටක මැදමුලන ගම්මානවල කාපට් පාරවල් පුදුමයක් නොවේ. අප පුදුම වෙන්නේ කාපට්වලට සාපේක්ෂව ජනතාවගේ ජීවිත සිටින තැන දැක්කාමය. ජීවිතත් කාපට් වූ ඒවාය. වෙනසක් නැත. හිටි තැන්වලමය. ඒත් මිනිසුන්ගේ හිත් පිරී ඇත. කාපට් පාරවල්වලින්ය.

ප්‍රධාන පාරෙන් කොන්ක්‍රීට් අතුරු පාරකට හැරුණෙමු. අපි ගමනාන්තයට ළංවෙමින් සිටින්නෙමු. ගැහැනුන්ගේ බුරුසු වැඩපොළ ගමනාන්තයයි. වැඩ බැරි ගැහැනුන් වසර තුනක් තිස්සේ දියුණු කළ බුරුසු වැඩපොළකි එය. ඒ වැඩපොළට හිමිකාරයෙක් නැත. සේවය කරන සියලුදෙනා හිමිකරුවන්ය. ලාභය සියලුදෙනා අත සමව බෙදීයයි. කොටසක් ව්‍යාපාරයේ අනාගතයටත්, ණය පියවන්නටත් වෙන්වෙයි. හිමිකරුවන් සියලුදෙනා නිවෙස්වල සිටින, කිසිවක් කරගත නොහැකියැයි කියන කාන්තාවන්ය.

ගැහැනු ඉන්නේ වැඩ කරන්නට නොවේ. ඔවුන්ට වැඩ කළ නොහැකිය. ඔවුන් ඉන්න ඕනෑ කුස්සියේය. ගැහැනු කරන්නට ඕනෑ දරුවන් හදන එකය. ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක්ද නැත. ඉතින් ඒ සමාජ සත්‍යයන්ට මුහුණදෙන සුමනාගේ වැඩපොළට එන්නේ උදේට නිවසේ කෑම පිළියෙල කොට, පුංචි දරුවන්ද රැගෙන වැඩට විත්, යළි හවස් වරුවේ රෑට උයනු පිණිස ගෙදර යන කාන්තාවන්ය. වැඩපොළේ වැඩ කරන්නේ එක් ඇහැක් දුව පනිමින් සෙල්ලම් කරන දරුවන් දෙසට එල්ල කරගෙනය. පාසල් ගිය දරුවා ගැන හිතේ තියාගෙනය. “වැඩ ඇරී වැඩට යති ගැහැනු” කියා කීවේ ලක්ෂාන්ත අතුකෝරළ කවියාය. මෙතැන ඉන්නේ ඒ ජාතියේ ගැහැනුය. වේගයෙන් දියුණුවෙන මේ වැඩපොළේ හිමිකරුවන් ඔවුන්ය.

අපි එතැනට ළඟා වුණෙමු. විශාල ඉඩමකි. මැදමුලනේ පමණක් නොව ඈත ගම්මානයක මිනිසුන්ට ඇති එකම සම්පත පරම්පරාවෙන් හිමිවුණු අක්කර ගණන්වල ඉඩකඩම්ය. කන්නට කිසිවක් නැතත් විශාල පොළොවක් ඇතැමුන්ට හිමිය. මේ වැඩපොළ ඇත්තේත් එසේ විශාල පොළොවක් හිමි සුමනා ලියනආරච්චිගේ ඉඩමකය. කොහු වැඩපොළේ අදහස රැගෙන ගමට ආවේ සුමනා විසිනි. වැඬේ අල්ලාගෙන ගමේ අය සමඟ බෙදාගත්තේත් ඇයයි. එහෙත් ඇය ව්‍යාපාරයේ හිමිකාරිය නොවීය.

වැඩපොළේ කොටස් කිහිපයකි. එක් කොටසක පොල් ලෙලි වලින් කෙඳි වෙන්කර ගැනීම කරයි. ඒ වෙනුවෙන් විශාල යන්ත්‍ර කිහිපයකි. කොහු ගොඩවල්ය. කොහු පල්කිරීමට වගා ළිඳක් යොදාගැනෙයි. අනෙක් කොටසෙහි කොඳිවලින් කොහු බුරුසුව නිර්මාණය කිරීම කරයි. පුංචි යන්ත්‍රවලින් කොහු අඹරා බුරුසුව තනා ගනියි. මෙලෙස තනාගන්නා බුරුසුවක වටිනාකම ඉහළය. මේවා ලංකාව වෙනුවෙන් නොවේ. ලංකාවේ අප පාවිච්චි කරන්නේ චීනයෙන් ගෙන්වූ ප්ලාස්ටික් කෙඳි ඇති බුරුසුය. අලුතෙන් තැනූ කොහු බුරුසු ඕනෑ වෙන්නේ විදෙස් රටවලටය. මේ මැදමුලනෙන් බුරුසු යන්නේ සිංගප්පූරුව, ඉන්දියාව, ජපානය ආදී රටවල්වලටය.
අප සමඟ කතාබහට සූදානම් වූ සුමනා වැඬේ කෙරෙන හැටි මෙලෙස පැහැදිලි කරන්නට පටන් ගත්තාය.

“අපට ලැබෙන ඕඩර් අනුව තමයි අපි බුරුසු හදන්නේ. එක එක කාලෙට වෙනස් විදියේ බුරුසු ඕඩර් එනවා. කම්පැණියෙන් බුරුසුවේ ප්‍රමාණය, දිග එහෙම කියනවා. වත්තලතියෙන කොම්පැණියකින් තමයි අපිට මේ ඕඩර් දෙන්නේ. එයාලා තමයි මේක රට යවන වැඬේ කරන්නේ. දැන් අපි අවුරුදු 3 ක් වෙනවා මේක පටන් අරන්. ඒත් තවම ශක්තියක් නැහැ ව්‍යාපාරය ටිකක් දියුණු කරගන්න.” සුමනා එලෙස විස්තරය කියන්නට පටන් ගත්තාය. සාමාන්‍ය ව්‍යාපාරයක් ගැන මේ තරම් කතා මොකද. තත්ත්වය අසාමාන්‍ය වෙන්නේ ඇය සිටින ගම, ඇය සිටින පසුබිම ආදිය සමඟ සසඳද්දීය. ඇය මුලින් ගැමිදිරියට සම්බන්ධ වී එහි ක්ෂේත්‍ර නිලධාරිනියක් ලෙස සේවය කළාය. ඉන්පසුව ඇය ගෙවත්තෙහි වගා කටයුතුවල යෙදුණාය. තමන්ගේ ස්වාධීන ආර්ථික පසුබිමක් හදාගැනීම ඇගේ වුවමනාව වී ඇත. ගමක සිටින ගැහැනියක් එලෙස කල්පනා කිරීමය අසාමාන්‍ය තත්ත්වය. අපට පුදුමය ගෙනෙන්නේ ඇගේ මේ වෙනස් සිතීමයි.

“මට දරුවෝ තුනක් ඉන්නවා. ලොකු පුතා මහණ වෙලා. දවසක් මම මගේ දරුවට බෙහෙත් ගේන්න ගියා. එනකොට වැස්ස. ඒ නිසා මම ළඟ තිබුණ ගෙදරක හෙවණට ගියා. එතැනදී තමයි මම මේ වැඬේ දැක්කේ. ඒ ගෙදර අයත් කළේ මේ රැකියාවම තමයි. පොඩි මඩුවක් ගහලා මේ විදියට කොහු බුරුසු හදනවා. මම එතනට යනකොට වත්තල කොම්පැණියෙන් බුරුසු ගෙනියන්න ආපු මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා එක්ක කතා කරලා තමයි මම මේ වැඬේ ගැන අහගත්තේ. මම ඒ මහත්තයාට කිව්වා මමත් කැමතියි මේ රැකියාව කරන්න කියලා. ඊට පස්සේ ඒ මහත්තයා මට එතන තිබුණු පරණ කැඩිච්ච මැසින් එකක් දුන්නා. මම ඒක ගෙනල්ලා මෙහේ ගැරේජ් එකකට දීලා හදා ගත්තා. සැරෙන් සැරේ අර ගෙදරට ගිහින් මම බුරුසු හදන විදිය පුරුදු වුණා.”
ඇය තමන් මීට පෙර කිසිදා නොදැන සිටි වැඩකට අත ගසන්නට පටන් ගත්තාය. වගා කටයුතුවලට වඩා සාර්ථක ආදායමක් ලබන්නට මේ මාර්ගය පාවිච්චි කළ හැකි බව ඇයට වැටහුණු නිසා ඇය මේ වැඬේට අතගැසුවාය. වැඬේ සාර්ථකය. මැෂින් එකකින් වැඩ කරද්දී ඇය කොහු කෙඳි ගෙන්වාගත යුතුය. එයට මුදලක් වැයවෙයි. ඇය කරන්නේ බුරුසුව නිර්මාණය කිරීම පමණි. එය කරන්නේද ඇයට තනි ශ්‍රමයෙන් කළ හැකි ප්‍රමාණය පමණි. ඇය කල්පනා කරන්නේ මේ රැකියාව මීටත් වඩා ඉදිරියට ගෙන යා හැකි නොවේද කියායි. කෙඳි ගෙන්වාගැනීම වෙනුවට කෙඳි ගමේදීම නිර්මාණය කළ හැකිය. බුරුසු කිහිපයක් වෙනුවට වැඩි බුරුසු ප්‍රමාණයක් නිර්මාණය කළ හැකිය. ඇය මේ අදහස ඔස්සේ ඉදිරියට ගියාය.

“මම තවත් 15 දෙනෙක් එක්ක එකතු වෙලා සමිතියක් පිහිටුවා ගත්තා. ඒ 15 දෙනාගෙන් එක්කෙනෙක්ගෙන් රුපියල් 3000 ක් ගානේ එකතු කරලා මැෂින් වගයක් මිලදී ගත්තා. බුරුසුව හදන්න ඕනෑ වෙන පුංචි මැෂින් එක. ඒකේ මිල අඩුයි. මැෂින් තියන්න මේස ටික ඉල්ල ගත්තේ ගමේ අයගෙන්. තවත් මැෂින් එකක් තියෙනවා කෙඳි එක මට්ටමකට කපාගන්න ඕන වෙන මැෂින් එක. මම කලින් ගිය ගෙදර වැඩ කළ අයටත් ඒ මැෂිම තිබුණෙ නෑ. එයාල අතින් හදන බුරුසුව විතරයි යැව්වේ. වත්තල කම්පැණියෙන් තමයි ඒ බුරුසුවේ කෙඳි මට්ටම් කරන මැෂිමට දාලා අවසන් නිර්මාණය කළේ. අපි ණය ක්‍රමයකට මට්ටම් කරන මැෂිමත් ගෙවන්න ගත්තා. ඒ මැෂින් එක එක්ලක්ෂ දහදහක් වෙනවා. ඒත් අපට ඒකෙ පාඩුවක් නෑ. අවසන් කරපු බුරුසුවකට ලැබෙන මිල වැඩියි.”

මෙලෙස ඇරඹුණු පුංචි ව්‍යාපාරයේ සේවය කරන්නේ කාන්තාවන් පමණි. එයට හේතු කිහිපයකි. “එක විදියකට මේකට හේතුව තමයි මේකෙන් ලැබෙන ආදායම ටිකක් අඩුවීම. ඒ නිසා පිරිමි කෙනෙකුගේ ශ්‍රමයේ වටිනාකටම අඩු වටිනාකමක් තමයි මේ වැඩෙන් ලැබෙන්නේ. අනෙක් පැත්තෙන් මට හිතුණා ගෙවල්වල ඉන්න ගැහැනු අයම මේ වැඬේට එකතු කරගන්න. ගැහැනු එකතුවුණොත් වැඩ කරන්න ලේසියි. මට තවත් රැකියා දෙන්න ඉදිරියේදී පුළුවන් වේවි. ඒ අවස්ථා දෙන්නෙත් ආබාධිත, කාන්තාවන්, මහලු වගේ දුර්වලයි කියලා කියන අයට තමයි.”
රැකියාවක් නොමැතිව නිවසෙහි සිටි ගමේ කාන්තාවන් පමණක් මේ වැඩපළෙහි සේවය කරයි. වැඩපළට විනයක් ඇත. උදේ අටට වැඩට ආ යුතුය. හවස පහට වැඩ අවසන් වෙයි. එහෙත් ගමේ වැදගත් රැස්වීමක්, උත්සව අවස්ථාවක් හෝ විපත් අවස්ථාවකදී ප්‍රශ්න කිරීමකින් තොරව නිදහස ලැබෙයි.

මේ බුරුසු වැඩපළෙහි අපූරුම ලක්ෂණය එයට හිමිකරුවෙක් නොසිටීමයි. සංකේතාත්මකව සුමනා වැඩපොළෙහි හිමිකාරිය වුණත් ඇයට ආදායමක් ලැබෙන්නේද ඇය අවසන් කරන බුරුසු ප්‍රමාණය අනුවයි. වැඩ කරන ප්‍රමාණයටයි.
“මම මූලික වෙලා මේ ව්‍යාපාරය පටන් ගත්තත් මම වැඩ කළොත් විතරයි මේකෙන් මට මුදල් ලැබෙන්නේ. අපිට මාසෙකට රුපියල් ලක්ෂයක් ලැබුණොත් කෙනෙක් මාසෙට බ්‍රෂ් විසිදහක් හදලා තිබුණා නම් ඒ හදපු ගාණට එයාට සල්ලි බෙදෙනවා. කිසිම කෙනෙකුට වැඩිපුර සල්ලි බෙදෙන්f නැහැ.”

මේ නිසාම බුරුසු වැඩපොළ තම තමන්ගේම ව්‍යාපාරයක් ලෙස කල්පනා කරන්නට එතැන වැඩකරන කාන්තාවන් පුරුදු වී ඇත. මේ තමන්ගේම ව්‍යාපාරයයි. තමන් අවංකව වැඩ කරන තරමට තමන්ගේ ව්‍යාපාරය දියුණුවෙයි. කොහු වැඩපොළ ටික කලකින් ලක්ෂ ගණනක තවත් යන්ත්‍ර මිලට ගෙන පොල්ලෙලි වලින් කෙඳි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර ටිකත් සපයාගන්නේ ඒ එකමුතු හැඟීම නිසාය. මුලින් පුංචි ලාභ ලැබූ ඔවුන්ගේ ලාභය දැන් එන්න එන්නම වැඩිවෙයි. ලාභය බෙදීයෑමද වැඩිවෙයි. අනෙක් අතට ශ්‍රමය සූරාකෑමක්ද නැත.

මේ කොහු වැඩපොළ ගමේ කාන්තාවන්ගේ සමඟිය වර්ධනය කිරීමටද හේතුවී ඇත. වැඩ කෙරෙද්දී දරුවන්ද රැගෙන කාන්තාවන් වැඩපොළට එයි. පුංචි දරුවන්ට සෙල්ලම් කරන්නට වෙනම ඉඩක් නිර්මාණය වී ඇත. නිවෙස්වල තනිව මානසික අවුල්වල සිටි අයටත් දැන් කරන්නට දෙයක් ඇත. සුමනාගේ වැඩපොළෙහි සිටින එක් කාන්තාවක් දරුවන් නොමැති නිසා අපවාදයටද, මානසික අවුලකටද මුහුණපා සිටියාය. දැන් වැඩපොළ නිසා ඇයට ලැබෙන්නේ අසීමිත සහනයකි.
“මට බබාලා හිටියේ නැහැ. මම මානසිකව වැටිලා හිටියේ. ගෙදරට වෙලා නිකම් ඉන්න එකම වේදනාවක්. හැබැයි මෙතැන වැඩට ආවාම ඒක වෙනස් වෙනවා. කට්ටිය එක්ක කතාකරනවා. මගේ ඔළුවේ තිබුණු බර සැහැල්ලු වෙනවා.” ඒ කාන්තාව කියන්නීය.

“අපට එකතුවෙලා ගමම උස්සන්න පුළුවන්.” අප සමඟ කතා කළ කාන්තාවන් කියයි. කණ්ඩායමම ගමේ ජනප්‍රියව ඇත්තේ එකිනෙකා අතර සමීපත්වයෙන් බැඳුණු, ඕනෑම දෙයකට මුහුණදීමට ශක්තිය ඇති කණ්ඩායමක් ලෙසයි. ගැහැනු ගැන ගමේ ආකල්ප වෙනස් කරන්නටද සුමනාගේ වැඩපොළ හේතුවෙයි.

ඔවුන් මුහුණදෙන අභියෝගද බොහෝය. මොනතරම් ඉදිරියට ගියත් ඔවුන්ට ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන අවස්ථා ඇත. ඔවුන් වැඩ කරන්නේ එළිමහනේ පොල් අතු හෙවිලි කළ වහලක් ඇති මඩුවකය. ඒ මඩුව වැහි දිනවල තෙමෙයි. වැහි දිනයට වැඩ නැත. වැහි කාලයට වැඩ අකාර්යක්ෂමය. ටකරම් හෙවිලි කරගන්නට මහා මුදලක් අවැසි නැත. එහෙත් දැනට ඇති ණය නිසා නුදුරේදී ටකරම් මිලදී ගන්නට ඔවුන්ට හැකියාවක් නැත. අනෙක් ගැටලුව කොහු පල් කරගැනීමයි. පොල්ලෙලි පල් කරගැනීමට ඔවුන් පාවිච්චි කරන්නේ පැරණි වගා ළිඳකි. ඒ ළිඳෙහි එකවර කොහු 3000ක් පමණ පල් කළහැකි වුණත් ඔවුන්ට ඇති ශ්‍රමය, යන්ත්‍ර පහසුකම් නිසා ඊට වඩා පොල්ලෙලි ඕනෑවෙයි. ඒ වෙනුවෙන් ඔවුන් දැන් කොහු කපා, වතුර දමා වේලාගැනීමේ අසීරු ක්‍රමවේදයක් පාවිච්චි කරයි. තවත් ටැංකියක් තනාගැනීමට ලක්ෂ තුනක් පමණ වැයවෙයි. එයද අභියෝගයකි.

“අපි මේවා කරගන්න විවිධ ආයතනවලින් උදව් ඉල්ලුවා. ඒත් උදව් ලැබුණේ නෑ. දැන් අපි උදව් ඉල්ලන එක අත්හැරලා. අපිම දියුණු වෙනවා.” සුමනා කියයි. කාපට් පාරවල කතාව සිහිවෙන්නේ ඔය මොහොතේය. කාපට් පාරක වර්ග මීටරයක් නිම කරනවිට කොමිස් ගලායන අයුරු ප්‍රසිද්ධ රහස්ය. ඒ නිසා ‘සංවර්ධනය’ ගැන සිතන අය කාපට් පාරවල් ගැනම කල්පනා කරයි. සුමනා වැනි අයව මඟහැරෙයි. කාපට්වලින් ‘සංවර්ධනය’ වෙන්නේ එක් පිරිසකි. සුමනාගේ ව්‍යාපාරය වැනි ව්‍යාපාරවලට ලබාදෙන උදව්වකින් ‘සංවර්ධනය’ වෙන්නේ ගැමියන්ය.

‘අමාරුවෙන් හරි අපි ඉස්සරහට යනවා. අපි දැන් සාමාන්‍ය කෙඳි විතරයි නිෂ්පාදනය කරන්නේ. මේකට ගන්න තවත් කෙඳි වර්ගයක් තියෙනවා. ඒක කෙමිකල් එකක් දාලා හදන සුදුපාට කෙන්දක්. ඒ කෙඳි දැන් අපි ගෙන්නනවා. අපට ඒක හදාගන්න නම් අක්කර දෙකක ඉඩමක්, ලොකු ආයෝජනයක් ඕනෙ. මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ඕනෙ. අපේ ඉඩම අක්කර දෙකකට වැඩි නිසා අවසරය ගන්න එක ප්‍රශ්නයක් නෑ. සල්ලි එකතුකර ගන්නයි ඕනෙ. අපි ඊළඟට ඒ පියවරත් තියනවා. ඉන්පස්සේ තව රැකියා විස්සක් විතර දෙන්න පුළුවන් වේවි. එතැනින් නවතින්නේ නෑ. කෙළින්ම කොහු අපනයනය කරන තැනටත් එන්න අපි උත්සාහ කරනවා. එහෙම වුණොත් අහළ පහළ ගම්මානවල ගැහැනු අයටත් ජොබ් දෙන්න පුළුවන් වෙයි.” සුමනා එසේ කියන්නීය.■