රාවය

මගේ කවිවල මස් නෑ ඇට විතරයි තියෙන්නේ | කිවිවර ආරියවංශ රණවීර

මගේ කවිවල මස් නෑ ඇට විතරයි තියෙන්නේ | කිවිවර ආරියවංශ රණවීර

ටිරන් කුමාර බංගගමආරච්චි 

රණවීර මහත්තයගේ ගම කොහෙද?
ගම කෑගල්ල සියඹලාපිටිය. ඒත් මට වැඩි මතකය තියෙන්නේ අරනායක. මොකද මගේ පාසල් කාලය ගෙවෙන්නේ එහේ. මම පාසල් ගියේ මාවතගම එවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ කාලේ මධ්‍ය විද්‍යාල ආරම්භ කරනකොට මුලින්ම ආරම්භ කළ විද්‍යාලයක් තමයි අපේ පාසල. පාසල් ජීවිතය මට හරි ප්‍රියයි. පාසලේදීත් මම කලා කටයුතුවලට සහභාගී වුණා.

මව්පියෝ මොනවද කළේ.
අම්මයි තාත්තයි දෙන්නම රැකියා කළා. දෙන්නම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වැඩ කළේ. අම්මයි තාත්තයි සාමාන්‍ය රැකියා කළේ. ඒ අයට අපිව මහා ඉහළට යවන්න ඕනම කියලා දැනුමක් තිබුණේ නැහැ. හැබැයි ඉගෙන ගන්න ඉඩ ඇරියා. කොටින්ම මව්පියන් ලොකු සහයක් නොදුන්නට බාධාවක් ඇති කළෙත් නැහැ. ඉතින් ඒ කාලය මගේ උනන්දුව කැපවීම මත මගේ අධ්‍යාපනය ගලා ගෙන ගියා.
ඔබ අධ්‍යාපනයෙන් ඉහළට යනවා.
ඔව්! ඉගෙන ගැනීමේ දක්‍ෂකමක් මට තිබුණා. ඒ නිසා මට විශ්ව විද්‍යාලයට යන්න හැකි වුණා. 1960 දී තමයි මම විශ්ව විද්‍යාලයට ගියේ. ඒ කාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේත් ස්වර්ණමය යුගයක්. අපේ අංශ භාර ප්‍රධාන ගුරුවරයා වුණේ සරච්චන්ද්‍ර මහත්තයා.

විශ්ව විද්‍යාල ජීවිතය ඔබට ප්‍රිය වුණාද?
එහෙම නෑ. මොකද මම බලාපොරොත්තු වුණා එක විෂයක් සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙක් වෙන්න. ඒත් මට ඒක කරන්න බැරි වුණා. මොනයම් හෝ හේතුවකට මට පළමු වසරේ විභාගයට ලැබුණු ලකුණු මදි වුණා. ඒක එහෙම වුණේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. ඒ කොහොම වුණත් ඒ කළ කිරීම මට තදින් බලපෑවා. ඒ සිද්ධියෙන් පස්සේ විශ්ව විද්‍යාලයේ හිටියට ඒ ජීවිතය මට ප්‍රියම වුණේ නැහැ. ඒ නිසා මට දෙවැනි වසරේදී සිංහල, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව කියන විෂයන් තෝරා ගන්න සිද්ධ වුණා. ආර්ථික විද්‍යාව පැත්තෙන් ඉදිරියටත් ගියා. අර සාම්ප්‍රදායක කියමනක් තියෙනවානේ හැම දේම වෙන්නේ හොඳට කියලා. මෙතනදීත් මට වෙච්ච හොඳ දෙයක් තියෙනවා. මට වැඩිපුර කාලය ඉතිරි වුණා. ඉතින් හැම මොහොතේම මම කියවන්න පෙළඹුණා. පෙරාදෙණිය පුස්තකාලය කියන්නේ සාගරයක්. මම ඒකේම කාලය ගත කළා. රුසියානු, ප්‍රංශ, ඇමරිකානු සාහිත්‍ය මම ඇති තරම් කියෙව්වා. මේ අතර මට කියවන්න ලැබුණා. ජපන්, චීන කවි මේවා මගේ මුළු ජීවිතයම කනපිට පෙරළුවා කිව්වොත් නිවැරදියි. ඒ කවි හරිම ආශ්වාදයක් ගෙන දුන්නා. මම සාහිත්‍ය පැත්තට නැඹුරු වුණේ ඒ නිසා කියලයි අද මට හිතෙන්නේ.

සරච්චන්ද්‍ර මහත්තයා එක්ක නාට්‍ය කරන්න ගියේ නැද්ද?
ඒකත් රසවත් ඔය කාලය තමයි සරච්චන්ද්‍ර සර්ගේ කලා භාවිතාවෙන් ඉහළම යුගය. “සිංහබාහු” කළේ 62 අවුරුද්දේ. සරච්චන්ද්‍ර සර් නාට්‍යයක් කරනකොට නෝටිස් එකේ දානවා ඒකට නළුවන් නිළියන් බඳවා ගන්නවා කියලා. ඉතින් “සිංහබාහු” එකටත් ඒ දැන්වීම දැම්මා. මටත් ටිකක් සිංදු කියන්න පුලුවන් හැකියාව තිබුණා. ඉතින් මමත් ගියා. සරච්චන්ද්‍ර සර් දක්‍ෂ උපහාස කතා කියනවනේ. මගේත් එක්ක හිටි ගොඩක් අය සිංදු කිව්වහම අහගෙන ඉඳලා කියනවා. “ඔව්! ඒ සිංදුව ඒ විදිහටත් කියන්න පුළුවන් තමයි.” කියලා. ඒක මට කිව්වේ නෑ. මම කිව්වේ අමරදේව මාස්ටර්ගේ ගීතයක්. මගේ සිංදුව අහගෙන ඉඳලා මට කිව්වා. “කෝරස් එකක් ආවත් කමක් නැහැ නේද කියලා.” මට හිතුණේ මේ කියන්නේ කෝරස් නාවනම් කියලා වෙන්න ඇති කියලා. කොහොම හරි මාව තේරුණේ නැහැ. ඊට පස්සේ ඒ පස්සේ මම ගියෙත් නැහැ. මොකද මම ඒ වෙනකොට වමේ දේශපාලනය තදට කරනවා. කැම්පස් එකේ. ඉතින් පෙළපාළි යනවා. පෝස්ටර් ගහනවා. උද්ඝෝෂණ කරනවා. ආයේ කලාවක් කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම අපි ඒ කල්ලියට විරුද්ධත් වුණා. මොකද සරච්චන්ද්‍ර සර් ළඟ දැවටි දැවටී ඉන්න කල්ලියක් හිටියා. ඒක හරි ප්‍රසිද්ධයි. අපි හිටියේ ඊට විරුද්ධ කල්ලියේ. එදා මම සර්ගේ පස්සෙන් ගිහින් ඔහුගේ සමඟම හිටියනම් මගේ ගමන මේක නොවන්න තිබුණා. ඒත් මොකද්දෝ එහෙකට අදටත් හිතෙනවා. එහෙම නොගිය එකත් හොඳයි කියලා.

ඔබ ඉංග්‍රීසිය හුරු කරගත්තේ කොහොමද?
ඒක කියන්නම ඕන. අපේ පවුල් පසුබිමින් ආපු දෙයක් දෙයක් නෙමෙයි මේක. ඒ වගේම ලොකුවට ඉගෙන ගන්න පහසුකම් තිබුණෙත් නැහැ. හැබැයි පාසලේ තිබුණා. “ලයිෆ් ස්ටොරි ඉංග්‍රීලිෂ්” කියලා පොත්. මම දන්න වචන ප්‍රමාණය කොච්චරද ඊට ගැලපෙන පොත් තිබුණා. පිළිගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය ඉංග්‍රීසි පොත පත කියවීම. මම කළේ කියවන එකමයි. මුලින් වචන තුන් හාර සියේ පොත් කියවපු මම පාසලෙන් අයින් වෙනකොට වචන හත් අටදාහේ පොත් කියෙව්වා. කැම්පස් යාමත් එක්ක ඒක වැඩි දියුණු වුණා. මගේ මුළු ජීවිතයම වෙනස් කළේ කියවීම තමයි.

ඔබ කවී ලියන්න පටන් ගන්නේ අවුරුදු හතළිහත් පැන්නට පස්සේ. ඊට පෙර ලිව්වේ නැද්ද?
විශ්ව විiාලයේ ඉන්න කොට එකක් දෙකක් ලිව්වා. ඒත් ඒවා කාටවත් පෙන්නුවේ වත් නෑ. ඒකත් එහෙම්ම යටපත් වුණා. කැම්පස් එකේ දේශපාලනය කරන්න පටන් ගත්තහම. කොහොම වුණත් මගේ ඇඟ ඇතුළේ කවිය හිටියා. ඒක මතු කර ගන්න සැහෙන කාලයක් ගියා. මට මාව හොයා ගන්න සැහෙන කාලයක් ගියා.

විශ්ව විද්‍යාල ජීවිතයෙන් පස්සේ ඔබගේ ජීවිතය ගලා ගියේ කොහොමද?
ගුරු වෘත්තියට ගියා. පාසල් තුනක ඉගැන්වීම් කළා. තුන්වන පාසල විදිහට හමු වුණේ තෝලංගමුව මධ්‍ය මහා විiාලය. ඒ කාලය තමයි මගේ ජීවිතේ වටිනාම කාලය කියලා වෙලාවකට හිතෙනවා. මට ඒ පාසලේදී ගුරු මිතුරෙක් හමු වෙනවා. ඔහු දයා අල්විස්. ඔහුට මුල්ම ගුරු පත්වීම ලැබෙන්නේ තෝලංගමුව මධ්‍ය විiාලයට. අපි දෙන්නා එකතු වෙලා පාසලේ නාට්‍යය කළා. මම පිටපත ලියනවා. ඔහු අධ්‍යක්‍ෂණය, සංගීතය කරනවා. එහෙම නාට්‍ය හතරක් පහක් කළා. එක නාට්‍යයක් ජාතික පාසල් නාට්‍යයෙන් ජයග්‍රහණත් ලැබුවා. සුමින්ද සිරිසේන ඒ කාලේ අපේ පාසලේ ළමයෙක්. ඔහු මේ නාට්‍යවලින් තමයි නළුවෙක් විදිහට මුලින්ම ඉදිරියට ආවේ. ඒ නාට්‍යයේ නම “ගිරිකුඨ” පස්සේ මෑතකදී මම ඒක නැවත කළා. “ගිරිකුඨ කාශ්‍යප” කියලා.

ඉතින් ගුරු ජීවිතයෙන් අයින් වුණේ ඇයි?
ගුරු ජීවිතය තිබුණේ අවුරුදු හතරක් පහක් විතරයි. මම ඒ අතර පරිපාලන විභාගයට ලිව්වා. ශ්‍රී ලංකා පරිපාලන විභාගයෙන් සමත් වෙලා පරිපාලන සේවයට ගියා. ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරී කළා. වව්නියාව, අනුරාධපුර, තලාව, දෙහිඕවිට, ගල්ගමුව, රඹුක්කන රට වටේම වගේ ගියා. වව්නියාවේ හිටියේ අතිරේක දිසාපති විදිහට. පස්සේ 1981 දී කොළඹට ආවා. ඒ ඇවිත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් වුණා. ඒ අතර ශි්‍යත්වයක් ලැබිලා වැඩිදුර අධ්‍යාපනයට පිටරටකට යන්න ලැබුණා. ඒ ගිහිල්ලා ආවේ 83 දී. එතකොට ජුලි කළබල. මම කාලයක් මාතර වැඩ කළා. විදෙස් ගත වෙලා ඉඳලා ආපුවහම මාව මාතරටම දැම්මා. එහේ කාලයක් ඉඳලා ආයේ කොළඹ ඇවිත් රාජකාරි කළා. විවිධ දෙපාර්තමේන්තුවල.

ඔබ ආරක්‍ෂ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදිහටත් කටයුතු කළා කාලයක්.
ඔව්! සමහරු මම එහෙම තනතුරක ඉන්න අතරේ කවී ලියන්නේ කොහොමද? කියලත් ඇහැව්වා. මම වෘත්තියක් කළා. මට එකේ පැවරිලා තිබුණේ සාමාන්‍ය පරිපාලනය සහ පොලිසිය. නැතිව ආයුධ ගේන්නවත් යුද්ධ කරන්න අණ දෙන්නවත් නෙමෙයි. මම පරිපාලන නිලධාරියෙක්. විවිධ දෙපාර්තමේන්තුවල වැඩ කළා. මේත් තව එකක්. එහෙම නම් සොල්දාදුවෙකුට කවි ලියන්න තියා හිතන්නවත් බැහැනේ.

එතකොට ඔබ කවියා වුණේ හතළිහ පැනලා.
ඔව්! 1980 දී තමයි මම මුලින්ම කවි ලියන්න පටන් ගත්තේ. එතකොට මට හතළිහත් පැනලා. ඊළඟට මම ලියපු කවී කිහිපයක් එකතු කරලා පොතක් කළා. ඒකට නම දැම්මෙත් “කවි කිහිපයක්” කියලයි. ඒ කාලේ පුස්තකාල සේවා මණ්ඩලයට පොත් ඉල්ලලා තිබුණා. මමත් අර පොත නිකමට දැම්මා. කවී 30ක් විතර තිබුණේ. කොහොම හරි මේක මුද්‍රණය කරන්න තෝරාගෙන තිබුණා. මට පුදුමත් හිතුණා. අදටත් ඒක පුදුමයක්. ඒ කවි කියවලා සමහරු බැන්නා. තව සමහරු හොඳ කිව්වා. කොහොම වුණත් පොදුවේ ආපු අදහස තමයි එතෙක් තිබුණ කවිවලට වඩා වෙනස් කියන එක. මගේ කවිවල මස් නෑ. ඇට විතරයි තියෙන්නේ. මොකද මම ලියද්දී හූරලා හූරලා ඇට විතරයි මතු කරන්නේ. මේවා ගොඩක් අයගේ හිතට දැනුණා. ඉතින් ඒ නිසා මටත් පාඨක පිරිසක් ඇති වුණා. මෙතනදී කියන්න ඕන ඊළඟට මටම හිතා ගන්න බැරි විදිහට වක්කඩ කැඩුවා වගේ මගේ අතින් කවී ලියවෙන්න ගත්තා. සමහර විට අවුරුදු ගාණක් ලද අත්දැකීම් එක පාර වාන් ඇරියා වගේ වුණා කියලයි මට හිතෙන්නේ.

ඔබගේ කවියේ හයිකු ආර තියෙනවද?
මම ඔබට කිව්වේ. දවසක් විශ්ව විiාලයේදී ජපන්, චීන කවි කියෙව්වට පස්සේ මාව වෙනස් වුණා කියලා. ඊළඟට ඊට පසුබිම වෙච්ච දාර්ශනික පසුබිමත් හොයාගෙන කියෙව්වා. සෙන් කියවීම් මාව සැහෙන පිරෙව්වා. මේ සියල්ලේ එකතුවෙන් වගේ හැදෙන්න ඇති. හැබැයි ඒ හයිකු කවි නම් නෙමෙයි. ඊට ළඟින් යනවා ඇති. මොකද හයිකුවල විශේෂ ගුණය මම හදාරපු නිසා ඒ ලක්‍ෂණ ඇති. කොහොම වුණත් මට මම ගැනම කියන එක වැරදියි. ඒත් මගේ කවියේ රුක්ෂ ගුණයක් තියෙනවා. මම දිගටම කවි ලිව්වා පොත් කළා. මට කවියෙකු විදිහට මේ පොළොව තුළ වටිනාකමක් ලැබුණා. ඒක මම ජීවිතයේ ලබපු ලොකුම සතුටක්.

ඊළඟට ඔබ සාහිත්‍ය සමාජයේ කරක් ගහන්න ඇති.
ඔව්! මට ආරාධනා ලැබුණා. මමත් විවිධ කලා වැඩවලට සහභාගී වුණා. මට විශේෂ වටිනාකමක් ඇති වුණා.

ඔබ කවිකයකු ලෙස ප්‍රකට නමක් තියෙන කෙනෙක්. මම කැමතියි ඔබ ඔබගේ කවිය ගැන තක්සේරු කරන්නේ කොහොමද දැන ගන්න.
මම තාමත් විශ්වාස කරන්නේ මගේ කවී තව දියුණු වෙන්න ඕන කියලයි. තව ඒවා සාරවත් වෙන්න ඕන. ඒත් ඒකට කාලය මදියි මගේ හිතේ. මම ආයේ කවි ලියයිද දන්නේ නැහැ. මම දැන් කරන්නේ විදෙස්හී සාරවත් කවි නම් මෙහේ පාඨකයන්ට ලබා දෙන්න උත්සාහ කිරීමයි. මගේ කවි කියලා ආයේ ලියවෙයිද දන්නේ නැහැ.

ඔබ ලියන්න පටන් ගත්තේ වයස අවුරුදු හතළිහත් පැනලා. මේක ඔබ හිතන්නේ හොඳද? නරකද?
නරක දෙයක්. එකෙන් වැඩ කරන කාලය අඩු වුණා. ජීවිතේ වයසට යනකොට ශාරීරිකව දුබල වෙනවා. ඒක හැමදේටම වගේම නිර්මාණ කාර්යටත් බල පානවා. ඉතින් මට හිතෙන්නේ මට කාලය මදී. පරක්කුවෙලා පටන් ගත්ත හින්දා.

ඔබ වඩා කැමති ගුරුවරයටද? පරිපාලන නිලධාරියටද? කවියටද?
කවියට තමයි වඩා කැමති. හැබැයි අර හැම කෙනා තුළම ඉද්දී මගේ කවියා හිටියා. ඒත් එයා මතු වුණේ අර දේවල් වලින් ඉවත් වුණාට පස්සේ. ගුරුවරයටත් මගේ ලොකු ඇල්මක් තියෙනවා. වෙලාවකට අද හිතන කොට ගුරු වෘත්තිය දාලා පරිපාලනයට ආවේ ඇයි කියලත් හිතෙනවා. පරිපාලන සේවයෙත් ලේකම් තනතුරු මම දැරුවා. එතකොට මට හිතුණා. දැන් සැහෙන වැඩ කරන්න පුලුවන් කියලා. ඒත් ඒක බොරුවක් ලේකම් තනතුර තරම් නරක තනතුරක් තව නෑ. මොකද කිසිම දෙයක් අපිට කරන්න බෑ. දේශපාලන කැමැත්තට පිටින්. හරිම නරකම සහ මම අකමැතිම කාලයක් ලේකම් ධුරය දරපු කාලය. අතිරේක ලේකම් යන වෙනත් තනතුරු වල ඉන්නකොට ඒකට සීමාවක් තියෙනවා. ඒ සීමාව කරගෙන ඉන්න පුලුවන්.
ඒ සැමටම වඩා සාහිත්‍ය තුළ කවිය තුළ ඉන්න කොට මම තෘප්තිමත්. ඒක මම මගේ ඇතුළේ කරන අරගලයක්. ඒක මාව ජීවත් කරනවනවා. රණවීර කියන කවියා තමයි මට වැදගත්.

මව්පියන් සතුටු වුණාද ඔබගේ දියුණුවට
පරිපාලන සේවයේ ඉහළට යනකොට ඒ අය සැහෙන සතුටු වුණා. ඒත් කවි ගැන සාහිත්‍ය ගැන ඒ අයට ලොකු අවබෝධයක් නෑ. ඒ අය සාමාන්‍ය අය. අද මේ දෙන්නම ජීවතුන් අතර නෑ. පුංචි දෙයක් කියන්නම් මගේ මුල්ම කවි පොත පිදුවේ මගේ මව්පියන්ට. ඉතින් මම මුල් පොත තාත්තට දුන්නහම තාත්තා ඉස්සරවෙලා බැලුවේ පොතේ පිටුපස පිටුව. ඒකේ පොතේ මිල දාලා තිබුණේ රුපියල් 15ක් කියලා. තාත්තා ඒක දැකලා මගෙන් ඇහැව්වා. “මිනිස්සු මෙච්චර මුදලක් දීලා පොත් ගන්නවද?” එයාට එහිතෙන්න ඇති මොන අපරාධයක්ද මේ කියලා. (හිනා)

ඔබ ජීවිතේ සැඳෑ සමය ගෙවන්නේ. ආපස්සට හැරිලා බලනකොට ජීවිතය තෘප්තිමත්ද?
මට ඕන වුණේ විශ්ව විiාලයේ ඇදුරෙක් වෙන්න. ඒකට මට අවස්ථාව ලැබුණේ නැහැ. මම ආර්ථික විiාව නරකයි කියන්නේ නැහැ. ඒත් මට ඕන වුණේ පාලි සිංහල ඉහළටම ඉගෙන ගෙන ඒ අංශයෙන් යන්න. ඒ අංශයෙන් ගියානම් මට මීට වඩා මගේ සාහිත්‍ය ලෝකය කවිය පුළුල් කරගන්න තිබුණා. මම අනෙක් වැඩ සේරම ඉවර වුණහමයි සාහිත්‍යයට ආවේ. ඒ ගැන හිතන කොට අර්ධ සාර්ථක බවක් තියෙන්නේ.
තරුණ කාලෙම කලාව පැත්තෙන් ගියානම් මට සම්ප්‍රදානයක් හදන්න තිබුණ කියලා අද හිතෙනවා. මේවා වයසට යනකොට හිතෙන විකාරද මන්දා. කොහොම වුණත් කාලය මදි වුණා.■