රාවය

කළ යුතු දෙයයි කළ යුත්තේ | ලාල් හරින්ද්‍රනාත්

කළ යුතු දෙයයි කළ යුත්තේ | ලාල් හරින්ද්‍රනාත්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ලාල් හරින්ද්‍රනාත් මෙරට සිනමා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකි. ටී. අර්ජුනගේ ‘සාරා’ චිත්‍රපටයෙන් ඇරඹෙන ඔහුගේ කලා ගමන්මග තුළ ඔහු විජය ධර්මශ්‍රීගේ ආරාධනා, යසඉසුරු, ධර්මසේන පතිරාජගේ මතුයම් දවස, සක්කාරං, එච්ඩී ප්‍රේමරත්නගේ කිණිහිරියා මල්, මන්දාකිණි, වසන්ත ඔබේසේකරගේ සලෙළු වරම, අසනි වරුසා, ආගන්තුකයා, වැනි චිත්‍රපටිවල සිට නෝ මෝ ටියර්ස් සිස්ටර්ස්, වෝටර්, ඩාර්ක් ඉන් ද වයිට් ලයිට්, බියොන්ඞ් රංගූන්, ද ස්ලීපිං ඩික්ෂනරි, ද සෙකන්ඞ් ජන්ගල් බුක්, මදර් තෙරේසා, ගුඞ් කර්ම හොස්පිට්ල් ආදි දෙස් විදෙස් නිර්මාණ හැත්තෑවකට පමණ මේ වන විට දායකත්වය සපයා තිබේ. අඹ යහළුවෝ, යශෝරාවය, තාරාදේවි, සිහින නිම්නය, කඩඉම, දුර්ගාන්තය වැනි ටෙලිනාට්‍ය සඳහා ද ඔහු කලා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. ඔහු කලා අධ්‍යක්ෂණය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. මේ, ලාල් හරින්ද්‍රනාත් සමග රාවය කළ සංවාදයක සටහනකි.

යම් නිර්මාණයක කලා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව මොකක්ද?
ඕනෑම තිරනාටකයක විවිධ චරිත තියෙනවා. ඒවා පිළිබඳ අධ්‍යයනය කරද්දී ඒ ඒ චරිතවල සමාජීය තත්ත්වය, ආර්ථික තත්ත්වය, දේශපාලනය ආදි සියල්ල මේ චරිත තුළ ගැබ් වී තිබෙනවා. එම චරිත නළුවෙකු හෝ නිළියක් ප්‍රතිරූපණය කරනවා. ඒ සමග ඊට සරිලන පසුතලය, පසුතල අලංකරණය, රංග භාණ්ඩ, අංගරචනය ආදි සියල්ල ගැළපිය යුතු වෙනවා. එම නළුවා හෝ නිළිය ඉදිරිපත් කරන චරිතය ප්‍රේක්ෂකයන්ට නිර්ව්‍යාජ චරිතයක් ලෙස හැඟවීමට සිදුකරන කාර්යය කලා අධ්‍යක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්.

ඔබේ ජීවිතය සමඟ කලාව ගැටගැසෙන්නේ කොහොමද?
උනන්දුව සහ ආශාව තියනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක් ජයගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධවෙලා හිටියේ නැහැ. මට මතකයි සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර දවසේ මම පින්සල්, දියසායම් විතරක් නෙමෙයි බ්ලේඞ් තල කෑලි, ඉටි පන්දම් කෑලි, ටූත් පික්ස්, පතුරු කෑලි වගේ දේවල් මම විභාගයට අරන් ගියා. නුවර පෙරහැර අඳින්න කියලා ප්‍රශ්න පත්‍රයේ තිබුණා. මම කළ දේ තමයි ඉස්සෙල්ලාම ඉටිපන්දම් කෑල්ලෙන් දළදා පෙරහැරේ නැට්ටුක් කාරයන්ගේ රිද්ම වගේ ඒවා කොලේ ඇන්ද එක. පස්සේ දිය සායම් මිශ්‍ර කරලා අර ඉටිපන්දමෙන් ඇන්ද ඒවා උඩ සායම් ගෑවා. වැක්ස් නිසා ඒවා උඩ දිය සායම් රැඳෙන්නේ නෑ, ඒවා අයිනට යනවා. ඒ රේඛා එහෙම ඇඳිලා තිබුණා. එහෙම කරලා බලද්දී ඒක ලස්සනට තිබුණා. ඉතින් මම ඒකට අලියාගේ හොඬවැල, හුළඟට යනවා වගේ පෙනෙන නැට්ටුක් කාරයන්ගේ හිස් පළඳනාවල තියන පටි, ඇඳුම වගේ කොටස් ටිකක් එකතු කළා. එපමණයි. සාමාන්‍ය පෙළ චිත්‍රවලට මට ඩී සාමාර්ථයක් ලැබුණා. පස්සේ උසස් පෙළටත් චිත්‍ර හැදෑරුවා. උසස් පෙළ විභාගයටත් චිත්‍ර අඳිද්දී මම ඉටිපන්දමෙන් ඇඳීම කළා. උසස් පෙළටත් ඒ සාමාර්ථයක් ලැබුණා. ඊළඟට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කළා. ඒ අවස්ථාවේත් විභාගයක් තිබුණා. මම ඒකේදීත් ඉටිපන්දමේ කලාව පාවිච්චි කළා. ඒක හොඳටම සාර්ථක වුණා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුල්වුණා. එහෙම බලද්දී මම නව සොයාගැනීමක් ලෙස ඉටි පන්දමක් භාවිතයෙන් චිත්‍ර ඇඳීම නිසා ඇතිවුණු කලාකරුවෙක්.

අද වන විට ඔබ දෙස් විදෙස් සිනමා නිර්මාණ රාශියකට කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබේ දායකත්වය ලබා දී තිබෙනවා, සම්මානයන්ට ද පාත්‍ර වී තිබෙනවා. මේ ගමනේ ආරම්භය සිදුවෙන්නේ කොහොමද?
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ එස්එච් සරත් මහතා මාව ටී අර්ජුන අධ්‍යක්ෂණය කළ ‘සාරා’ චිත්‍රපටයේ සහායකයෙකු ලෙස කටයුතු කරන්න එක්කගෙන ගියා. ඊළඟට ‘චූඩා මාණික්‍යය’ චිත්‍රපටයේ රූගත කිරීම් බලන්න මාව එක්ක ගියා. ඒ යද්දී එතැන කිසිම දෙයක් සූදානම් වෙලා තිබුණේ නෑ. පහළ තට්ටුවේ තිබුණු ගෘහභාණ්ඩ ඔක්කෝම උඩ තට්ටුවට ගෙනියන්න සිදුවෙලා තිබුණා. අධ්‍යක්ෂවරයා වුණු විජය ධර්ම ශ්‍රී මහත්මයා මට කීවා ඒ ටික ගෙනියන්න උදව් කරන්න කියලා. ඉතින් ඒ බඩු ඔක්කෝම උඩ තට්ටුවට ගෙනියන්න උදව් කළා. ඊළඟට පැයකින් වගේ රූගතකිරීම්වලට ඔක්කෝම සූදානම් කරලා දුන්නා. මාස කීපයකට පස්සේ එස්එච් සරත් මට කීවා, විජය ධර්ම ශ්‍රී මහත්මයා මට එන්න කීවා කියලා. මම ගිහින් හමුවුණාම ඔහු කීවා, ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරන්න කියලා. මම එහි කලා අධ්‍යක්ෂණය කළා. එතැන් සිට චිත්‍රපට හැත්තෑවකට වැඩි ගණනකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණා.

ඔබට විදෙස් චිත්‍රපට ගණනාවකටම නිර්මාණ දායකත්වය සැපයීමේ අවස්ථාව හිමිවෙනවා.
විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදීම ස්පිල්බර්ග්ගේ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේත් වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා. පස්සේ අසූතුනේ කලබල කාලයේ චිත්‍රපට නිර්මාණය නැවතුණානේ. ඒ කාලයේ රූපවාහිනියේ තනතුරකට ඉල්ලුම්පත් කැඳවා තිබුණා. මමත් එයට ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණයේ වැඩිම ලකුණු තිබුණේ මටයි. ඒ වෙද්දී මම ස්පිල්බර්ග්ගේ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේත් වැඩකරලා තිබුණා වගේම ලූකස් ෆිල්ම්ස්ලාගේ සහතිකයකුත් මට ලැබිලා තිබුණා. රූපවාහිනියේ වැඩකළ කාලයේත් මට ඕස්ටේ්‍රලියානු චිත්‍රපටයක් වන ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා චිත්‍රපටයේ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. පස්සේ අඹ යාළුවෝ ටෙලිනාට්‍යයෙන් පටන් අරන් තාරාදේවි, යශෝරාවය වගේ ටෙලි නාට්‍යවලත් වැඩකිරීමේ අවස්ථාව ලැබුණා. පස්සේ බියොන්ඞ් රන්ගූන්, ස්ලීපින් ඩික්ෂනරි වගේ චිත්‍රපට හතර පහකටම සම්බන්ධ වීමට විවිධ රටවලට යෑමට සිදුවුණා. ඉන්දුෂින් චිත්‍රපටයේත් සහාය කලා අධ්‍යක්ෂණයෙන් දායක වීමේ අවස්ථාව මට හිමිවුණා. ඒ චිත්‍රපටය හොඳම විදෙස් චිත්‍රපටයට 1996 දී ඔස්කාර් සම්මානය දිනාගත්තා. 1991 දී මම රූපවාහිනියෙන් ඉවත්වුණා. ඉන් පස්සේ දෙස් සහ විදෙස් චිත්‍රපට ගණනාවකට කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.
ලංකාවේ සිනමා නිර්මාණ සදහා බොහෝ විට යෙදවීමට හැකියාව තිබෙන්නේ අඩු පිරිවැයක්. එහෙම නිර්මාණ කාර්යයන් ඇතුළේ සාර්ථක කලා අධ්‍යක්ෂණයක් සිදුකිරීම පහසු නොවිය හැකියි.
ලංකාවේ සිනමා නිර්මාණ සිදුවෙන්නේ මානුෂීය හැඟීම් සමඟයි. සම්මාන ගත් හැම චිත්‍රපටයක්ම බැලුවොත් ඒවායේ කතාවෙන්නේ මිනිසුන් ගැන, මානුෂීය හැඟීම් ගැන. විදේශීය චිත්‍රපටවල බොහෝ විට තිබෙන්නේ එය නොවෙයි. බොහෝ විට චරිතයට වඩා එහා ගිය කලා අධ්‍යක්ෂණයක් ඒවායේ තියනවා. කලා අධ්‍යක්ෂණය කියන දේ ඒවායේ මතුවිය යුතුයි කියලා මතයක් තියනවා. ඒවාට ඉතා විශාල මුදලක් වැයකරනවා. ඒ නමුත් අපේ රටේ නිර්මාණ තුළ මානුෂීය චරිත වටා ගොඩනැගුණු සංකේ තාත්මක කලා අධ්‍යක්ෂණයක් ප්‍රමාණවත් වෙනවා. ඒවායේ ප්‍රබල ප්‍රකාශනයන් කැටිවී තියෙනවා. උදාහරණයක් විධියට වෙස්මුහුණක් පාට කළාම ලස්සනයි. ඒත් පාට නොකළ වෙස් මුහුණක තියෙන්නේ වෙන ලස්සනක්. ඒකේ තියනවා ඒක නිර්මාණය කළ පුද්ගලයාගේ වේදනාව, නියං පහරවල්, ඒ හැඩතල ගත්ත ආකාරය, එයින් ඇතිවන හැඟීම. අන්න ඒක තමයි මම කැමතිම කලා අධ්‍යක්ෂණය. ඒ වගේම සමහර විදෙස් චිත්‍රපටවල මා යටතේ තව සහායකයන් පහළොවක් පමණ සේවය කර තියෙනවා. ඒත් ලංකාවේ චිත්‍රපටයක දී ගොඩක් වෙලාවට යොදාගන්නේ සහායකයන් දෙදෙනෙක් පමණයි. ලංකාවේ සිනමාව විශාලම අර්බුදයක් වෙලා තිබුණේ සිනමාවේ ආඛ්‍යානය දැනසිටියත් එය ප්‍රායෝගිකව සිදුකිරීමට නොදන්නාකම නිසායි. සැලසුම් නොකිරීම නිසා සමහර අවස්ථාවල විශාල අලාභ සිදු වෙනවා. සමහර විදෙස් චිත්‍රපටවල රූගතකිරීම් මාසයක් පමණක් වුණත් පූර්ව නිෂ්පාදන කටයුතු මාස පහක් පමණ සිදුවෙනවා, හැමදේම සැලසුම් වෙනවා. එහෙම කරද්දී ලාභයි, හානි අඩුයි.

මෙරට සිනමාවේ මුල් යුගයේ කලා අධ්‍යක්ෂණය තිබූ ස්ථානය සහ අද වන විට එහි සිදුව තිබෙන පරිණාමය ඔබ දකින්නේ කොහොමද?
ඒ කාලයේ ලෙස්ටර් මහත්මයාගේ රේඛාව වැනි චිත්‍රපටවලත් කලා අධ්‍යක්ෂණය ඉතා සංයමයකින්, ඒවා අනවශ්‍ය ලෙස මතු නොවන ලෙස, අත්‍යවශ්‍යම ගෘහභාණ්ඩ ආදිය යොදාගනිමින් කලාත්මක ලෙස භාවිතවුණා. එයින් රූපයට වෙන මැවිල්ලක් පෙන්වූයේ නැහැ. කතාව තමයි වැදගත් වුණේ. පාට කරන ලද වෙස්මුහුණ වගේ අද වන විට සමහර නිර්මාණ තුළ කතාව අබිබවා ගිය සුන්දරත්වයක් මතුකරන අවස්ථා දක්නට තියනවා. හැබැයි තවමත් සම්භාව්‍ය චිත්‍රපටවල ඒ සංයමය සහිත කලා අධ්‍යක්ෂණය තිබෙනවා. බොහෝ විට ඒවාට යෙදවීමට සිදුවන අඩු පිරිවැය සමග ඒ සරල බව ස්වයංක්‍රියවම ඇතුල් වෙනවා. ඒ නිසා එවැනි නිර්මාණ තුළ නම් එදා සහ අද අතර ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. හැබැයි වාණිජ නිර්මාණ තුළ නම් කලා අධ්‍යක්ෂණයේ විශාල වෙනසක් අද දකින්න පුළුව්න්. මොකද ඒවාට අලංකරණය අවශ්‍යයි.

නව තාක්ෂණය අද වන විට සිනමාවේ කලා අධ්‍යක්ෂණය සමග බැඳෙන්නේ කොහොමද?
මුල් කාලයේ චිත්‍රපට සඳහා මිමී35 නෙගටිව් පටි තමයි භාවිත වුණේ. පස්සේ කාලයේ ඩිජිටල් කැමරා එනවා. මේ ඩිජිටල් කැමරාවේ තිබෙන විශේෂත්වය සමග තාක්ෂණය වැඩිපුර භාවිත කිරීමට කලා අධ්‍යක්ෂ වරයාටත් සිදුවෙනවා. උදාහරණ ලෙස ක්‍රෝමා කී, ඉෆෙක්ට්ස්, වර්ණ සංයෝජනය වැනි දේ මෘදුකාංග භාවිතයෙන් කිරීමේ හැකියාව තාක්ෂණයේ දියුණුව සමග ඇති වී තිබෙනවා. ඒවා සංයමයකින් භාවිත කිරීමෙන් කලාකෘතියකට ඉතා ඉහළ මට්ටමේ සාර්ථකත්වයකට ළඟා වීමේ හැකියාව පවතිනවා.

මෙරට කලා අධ්‍යක්ෂවරයෙකුට තිබෙන වෘත්තීය පිළිගැනීම ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්, මම නම් සෑහීමකට පත්වෙනවා. ඒක තමන්ගේ අතේ තිබෙන වැඩක්. කෙනෙක්ට අධ්‍යාපනික සුදුසුකම් තිබෙනවා නම්, තමන් කරන කටයුතු තුළ සංවිධානය, නිර්මාණ ශීලීබව, අලුත් අදහස් අනුව කටයුතු කිරීම වගේ දේ සමග එම වෘත්තීය පිළිගැනීම ගොඩ නැගෙනවා. කලා අධ්‍යක්ෂවරයෙකු විෂය පථය දන්නවා නම්, කළ යුතු දේයි කරන්නේ. බොහෝ විට ගැටලුව මතුවන්නේ කලා අධ්‍යක්ෂවරයෙකු නොකළ යුතු දේ කිරීමට යෑමයි. අනෙක් දේ තමයි සාමූහික කටයුත්තක් බව තේරුම්ගෙන කණ්ඩායම සමඟ කටයුතු කළ යුතුයි.■