රාවය

හතාගේ උරුමය ගෙනයෑම

හතාගේ උරුමය ගෙනයෑම

තරිඳු උඩුවරගෙදර

එරංග නිදහසේ ගීය හෙවත් ‘රිඩෙප්ෂන් සෝන්ග්’ ගීය ගැඹුරෙන් ගයයි. බරසාර කටහඬත් නිසි උච්චාරණයත් සමදුඡ්ඟ ඉංග්‍රීසිය නොදත් අයෙකුට වුව ගීයෙන් අමුතු අරුතක් දැනෙයි. ඉංග්‍රීසිය මිනිසුන් තලන අවියක් කර නොගෙන අවැසි මොහොතක පාවිච්චි කිරීමට එරංගලා තම ගුරුවරයාගෙන් ඉගෙනගෙන ඇත. ලොව පුරා පීඩිතයන් වෙනුවෙන් ගැයුණු මේ ගීය යළි ගැයෙන්නේ ඒ නිසාය. එය බලා සිටින මා ගත හරහා විදුලියක් ගමන් කරනවා මෙන් දැනෙයි. චමරු, සංගීතා, රොෂාන් ඇතුළු කණ්ඩායම බංකු දමා තැනූ මිටි වේදිකාවේය. චමරු පරිණත රංගන ශිල්පියාය. රොෂාන් වේදිකාව මත ජවය මවන්නට සමත්ය. සංගීතා ශක්තිමත් ගැහැනු හඬ සියුම්ව මවයි. මනෝජ් මවන හැඩතල ඔහුටම පමණක් මැවිය හැකි සුවිශේෂ ඒවාය. නම් හතරක් මෙතැන ලීවාට කණ්ඩායමම එකිනෙකාට නොදවැනිය. පරිණත ශිල්පීන්ය. අප නරඹන්නේ ඔවුන් විසින් නිර්මාණය කළ නව පර්යේෂණාත්මක නාට්‍යයි. මේ විවෘත වීදිනාට්‍ය කණ්ඩායමයි. වෙන විදියකට කීවොත් ගාමිණී හත්තොට්ටුවේගම වීදිනාට්‍ය කණ්ඩායමයි. හතාගේ වීදිනාට්‍ය කණ්ඩායමයි.

බස්රථය
ප්‍රවීණ කලාකරු පරාක්‍රම නිරිඇල්ල මහතා, හත්තොට්ටුවේගම මහතා මියගිය මොහොතේ ලියූ ලිපියක් මෙලෙස අවසන් කරයි. ‘විවෘත වීදි නාට්‍ය කණ්ඩායම කොහේදෝ ඈතක තිබෙන සොඳුරු අන්තයක් කරා යන බස් රථයක් මෙන් විය. එහි රියැදුරාව සිටියේ හත්තොටුවේගම ගුරුතුමා ය. ගමනාරම්භයේ මේ බස්රථයට ගොඩ වූ බොහෝ දෙනෙක් එයින් බැස තම තමන් අපේක්ෂා කරන විවිධ තැන් සොයා ගියහ. මගියන්ගේ ස්වභාවය ගැන මේ රියැදුරා පිරිසිඳ දැන සිටියේය. එබැවින්, ඔහු ඒ ගැන කම්පා වූවේද නැත. අවුරුදු 35 කට පෙර බසයට ගොඩ වී රියැදුරු අසුනේ වාඩි වී සුක්කානමට අත ගැසූ ඒ රියැදුරාද දැන් බසයෙන් බැස ගොසිනි. එහෙත්, ඔහුගේ බසය ඔහු නැවැත් වූ තැන නවතා තිබේ. එයට ගොඩ වූ මගියෝද එහි සිටිති. බස්රථය සහ ගමනාන්තය ගැන දැන් සිතිය යුත්තේ ඔවුන්ය.’
මේ සටහන ආදරණීය හතා ගැන නොව හතා පැදවූ බසය දැන් හතාගේ ඉලක්කයටම පැදගෙන යන කණ්ඩායම ගැනයි. සති කිහිපයකට කලින් ගාමිණී හත්තොට්ටුවේගම මහතා අභාවප්‍රාප්ත වී වසර 8ක් සම්පූර්ණ විය. ඔහුගේ අටවැනි ගුණසමරුව පැවැත්වුණි. ඒ මහා වේදිකාවල නොව වීදියේදීමය. පුංචි මිනිසුන් සංවිධානය කළ පුංචි උත්සවවලය. පුංචි උත්සවවලින් වුණත් දැනෙන ආදරය අතිමහත්ය. අවසන් වරට මා ඔවුන්ව මුණගැහුණේ මැදමුලන කුඩාබිබුල ගම්මානයේ පන්සලේ බෝමළුවේ කළ රංගයකදීය. පන්සලේ නායක හිමිනමගේ මැදිහත්වීමෙන් ගම්වැසි සිසුන් විසින් සංවිධානය කළ ගුණසමරුවකි ඒ.
1974 ජුලි 05 වැනිදා අනුරාධපුරයේ සිට කොළඹ දක්වා දුම්රියේ පැමිණෙනු පිණිස අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිටින හත්තොට්ටුවේගම මහතා ඇතුළු කණ්ඩායමක් ක්ෂණිකව පහළවූ අදහසක් අනුව දුම්රිය වේදිකාවේ නාට්‍ය දර්ශනයක් පවත්වයි. වීදිනාට්‍ය උපත ලබන්නේ එතැනින්ය. ඉන්පසුව රට පුරා වීදිනාට්‍ය රඟදක්වමින් බස් නැවතුම්, දුම්රියපොළවල්, බස්රථ ඇතුලු ඕනෑම මිනිසුන් එක්වන තැනක නාට්‍ය රඟදක්වන්නට පටන්ගනියි. 2009 ඔක්තෝබර් 29 වැනිදා හත්තොට්ටුවේගම මහතා අභාවප්‍රාප්ත වනතුරුම රංග ශාලාවක නාට්‍යයක් බලන්නට අවස්ථාවක් නොමැති මිනිසුන් වෙනුවෙන් මහපොළොවේ, නොමිලයේ නාට්‍ය පෙන්වීම ජීවන කලාව බවට පත්කරගෙන සිටියේය.

වත්මන් කණ්ඩායම
එකල විවෘත කණ්ඩායමේ සිටි බොහෝ නළුනිළියන් අභිමානයෙන් කතාකරයි. සුළු පිරිසක් එය අතීතය ගැන ප්‍රකාශයක් කර නොගෙන වර්තමානයේද භාවිතාවක් කරගෙන සිටියි. ඔවුන්ගේ ගුරුවරයා වන හත්තොට්ටුවේගම කළේ එයයි. ‘ඉස්සර මම වීදිනාට්‍ය කළා’යැයි කියමින් අතීතය සිහිපත් කළ මිනිසෙකු නොවී මියයන මොහොත තෙක්ම වීදිනාට්‍ය ජීවිතයම කරගත් මිනිසෙකි ඔහු.

දැන් සිටින පිරිස විවෘත වීදිනාට්‍ය කණ්ඩායම සමඟ එක්වෙන්නේ අනූ ගණන්වලදීය. ඒ වනවිට විවෘත නාට්‍ය කණ්ඩායමේ සිටි අතිබහුතරය කණ්ඩායම අත්හැර ගොසිනි. ඒ හත්තොට්ටුවේගම මහතා සමඟ ඇතිකරගත් යම් යම් ගැටලු නිසාය. ඒ වනවිට සැබැවින්ම ආදරණීය හතා තනිව සිටියේය. එහෙත් අධිෂ්ඨානය දියවී ගොස් නොතිබුණි. ඔහු ඒ වනවිට පාසල් සිසුන් සහ තරුණයන් පිරිසක් සමඟ යළි කණ්ඩායම පණ ගන්වයි. අත්දැකීම් නැති තරුණයන්ට අත්දැකීම් ලබාදෙයි.
හත්තොට්ටුවේගම මහතාගේ අභාවයෙන් පසු වසර අටක් තිස්සේ මේ කණ්ඩායම වීදිනාට්‍ය කණ්ඩායම පවත්වාගෙන යයි. නිකන්ම පවත්වාගෙන ගියා නොව, අඛණ්ඩව නාට්‍ය දර්ශන පවත්වයි. කණ්ඩායමේ සාමාජික චමරු පතිරණ මෙසේ කියයි. ‘අපි සර් නැතිවුණ මොහොතේ ඉඳන් මේ වනතුරු හැම මාසයකම අඩුම තරමේ එක් දර්ශනවාරයක් හෝ පෙන්වලා තියෙනවා. දර්ශනවාරයක් නැත්නම් අපි බස් එකකට නැඟලා සිංදුවක් හරි කියලා තියෙනවා.’
විවෘත කණ්ඩායමේ අඛණ්ඩව රැඳී සිටින්නේ අතේ ඇඟිලි ගණනක ශිල්පීන් ප්‍රමාණයකි. චමරු පතිරණ, සංගීතා අබේරත්න, එරංග ෆ්‍රනෑන්ඩු, වෙරංග මෙන්ඩිස්, මනෝජ් යාලේගල, අමරවංශ සමරකෝන්, රොෂාන් හඳුන්නෙත්ති, තුෂාර ජාගොඩ, චතුරංග පෙරේරා, සුජිත් නිශාන්ත, නිලක්ෂි මංජුලා, මොහාන් දේශප්‍රිය, නිරංග මනුකුලසූරිය, කුමුදු පද්මදේව, කුමේෂ් කාවින්ද ඇතුළු කණ්ඩායමක් එසේ රැඳී සිටියි. ඇතැම් අය හත්තොට්ටුවේගම මහතාගේ අභාවයෙන් පසුව කණ්ඩායමට එක්වූ අයයි.

මේ අතරින් චමරු සහ සංගීතා යුවළ ගුරුවරුන්ය. චමරු කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. එරංග ෆ්‍රනෑන්ඩු දෘෂ්ටි විශේෂඥයෙකි. වෙරංග මෙන්ඩිස් ලී බඩු සම්බන්ධ ව්‍යාපාරයක යෙදෙන්නෙකි. මනෝජ් යාලේගල මේ වනවිට පූර්ණකාලීනව රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. කොළඹ නගර සභාවේ කම්කරුවෙකුද දැන් විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ සිටියි. විවිධ රැකියා කරන අතරේ සති අන්තයෙහි මේ කණ්ඩායම සතිපතා එක්වෙයි. හැකි මොහොතක නිවාඩුවක් ලබාගෙන වීදියේ දර්ශනවලට සහභාගීවෙයි. අසීරුවෙන් වියදම් පියවාගනියි. විටෙක රන්භාණ්ඩ උගස් කරයි. විටෙක ආර්ථික පාඩු ලබයි. එහෙත් අධිෂ්ඨානය හීන කර නොගනියි.

කණ්ඩායමේ සිටින මනෝජ් යාලේගල මේ වනවිට ජනප්‍රිය මුහුණක් සහිත රංගන ශිල්පියෙකි. ටෙලිනාට්‍යවල අමතක නොවෙන චරිත ඔහු රඟපා ඇත. ඔහු මෙසේ කියයි.
‘මම කණ්ඩායමට සම්බන්ධ වුණේ 2007 දී විතර. මට ලොකු දේශපාලන අරමුණු තිබුණෙත් නෑ. මට ඕනෙවුණා රඟපාන හැටි ඉගෙනගන්න. දැන් මගේ ආදායම් ලබන වෘත්තිය ටෙලිනාට්‍ය ඇතුළු නිර්මාණවල රඟපෑම. ඒත් මොන වැඬේ තිබුණත් මම අංක එකේ වැඬේ විදියට වීදිනාට්‍ය කණ්ඩායම එක්කම ඉන්නවා. මම සම්බන්ධවුණේ රඟපෑමේ ආසාවෙන් වුණත් කල් යද්දී සර්ගෙ අරමුණ තේරෙන්න ගත්තා. ලංකාවෙ සමහර මිනිස්සු ඉන්නවා මුළු ජීවිත කාලයෙම නාට්‍යයක් බලලා නැති. කොළඹ හරි කොළඹින් පිට නගරයක හරි රඟහලකට ගිහිල්ලා නාට්‍යයක් බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා. ඒ අය වෙනුවෙන් රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නෙ විවෘත කණ්ඩායමේ ඉන්නකොට. ඒ මිනිස්සු එක දර්ශනයක් බලලා මැරෙනකන් ඒ නාට්‍යය යළි යළිත් සිහිපත් කරමින් වින්දනයක් ලබයි. කුඹුරක වැඩ කරද්දී, ශ්‍රමය වෙහෙසද්දී අපි කරපු නාට්‍යයකින් කීව කතාවෙ තේරුම කල්පනා කරල බලයි. සමහරවිට දාහකට එක මිනිහෙක් හරි ඒ දර්ශනයක් බලලා ජීවිතේම වෙනස් කරගනියි. ඒ වෙනුවෙන් කැපවෙන එක මට මාර සැනසීමක්. ඒ හින්දා මම මැරෙනකන් වීදියේ ඉන්නවා. වීදියේ රඟපානවා.’

චමරු කණ්ඩායමේ ප්‍රවීණයෙකි. හතා මියගොස් වසර අටක් තිස්සේ විවෘත කණ්ඩායම පණපිටින් රැගෙන එන්නට ශක්තිය ලැබුණේ කෙසේදැයි මම චමරුගෙන් ඇසුවෙමි. ‘අපි සර් ළඟට යද්දී අපි දැක්කෙ එකම දෙයයි. ඒ නොසැලෙන ගුණය. අවසන් හුස්ම වැටෙන්නට ළංවෙනතුරු සර් අකම්පිතව මේ වැඬේ එක්ක හිටියා. අන්තිම කාලයේ අපට තේරුණා සර්ට ඕනෑ එකම දේ ඔහුගෙන් පස්සේ මේ කණ්ඩායම ඉදිරියට ගෙනයෑම කියලා. ඔහු අපව තනියෙන් වැඩවලට යැව්වා. ඔහු අපව ළඟ තියාගෙන උපදෙස් දුන්නා. අපි වැඬේ ඉදිරියට ගෙනියන්න ඉටාගත්තා.’
රොෂාන් හඳුන්නෙත්ති කණ්ඩායමේ සිටින විශිෂ්ට රංගන ශිල්පියෙකි. තරුණයෙකි. ඔහු හත්තොට්ටුවේගම ගුරුවරයාගේ අවසාන සිසුවාය. හැකියාවෙන් පිරිපුන් තරුණයෙකි. ඔහුට ඇති ජවය වීදියට මනාව ගැළපෙයි. ජනප්‍රිය කලාවට තවමත් මේ ජවය හමු නොවීමම පුදුම සහගතය. රොෂාන් ජනප්‍රියත්වය පසුපස හඹා නොයෑම හේතුව වෙන්නට ඇත.

‘මගේ ගම මාතර. මාතරට ඉඳහිට නාට්‍යයක් එනවා. ටිකට් එක රුපියල් දාහට එහා. ඉතින් සාමාන්‍ය මිනිස්සු ජීවිතේට නාට්‍යයක් බලන්නෙ නෑ. ඒ වෙනුවට රූපවාහිනියේ තියෙන අරුත්සුන් නිර්මාණ බලනවා. මම නාට්‍යවලට ආදරය කරන කෙනෙක් විදියට සර්ගේ අරමුණ හොඳට තේරෙනවා. සර් මිනිස්සුන්ට ඔවුන් විඳින පීඩනය ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන බව ඇත්ත. එතැනින් එහා ගිහිල්ලා රසවත් නාට්‍යයක් බලන්න අවස්ථාව ලැබෙන්නෙත් වීදියේදී. ඒ නිසා තමයි මම එතැන ඉන්නෙ. මම පොඩි ව්‍යාපාර කරන්නෙ ජීවත්වෙන්න. ඒත් මම ජීවත්වෙන්නෙ වීදිනාට්‍ය වැඬේ හින්දා. ඉදිරියේදී මට ජනප්‍රිය වැඩකට කතාකළොත් මම යනවා. හැබැයි මම කවදාවත් වීදිය අතාරින්නෙ නෑ.’ රොෂාන් කියයි.

කාන්තාවන් කණ්ඩායම සමඟ රැඳෙන්නේම නැති තරම්ය. එක් කලෙක දීපානි සිල්වා අසීරුතා මැද රැඳී සිටියාක් මෙන් දැන් සංගීතා කණ්ඩායම සමඟ අනවරත ගමනක යෙදෙයි. බොහෝවිට චමරු සහ සංගීතා පුංචි දරුවන් දෙදෙනාත් රැගෙන ලංකාව වටේ කරක් ගසන්නේ අධිෂ්ඨානය බිඳකින්වත් අඩු නොකරගනිමිනි.

දැන් එදාට වඩා ජනතාවගේ චර්යාවන් වෙනස් වී ඇත. එදා බස්රියක් එනතුරු බලා සිටින වෙලාව අද බලා ඉන්නට වෙන්නේ නැත. එදා මොහොතක් කැපකරන්නට හැකියාව තිබුණු මිනිසුන් අතර වේගයෙන් ගමන් කරමින් සිටියි. එක්තැනක මොහොතක් රැඳී සිටියත් කාලය කා දමන්නට ස්මාට් දුරකථනයක් හෝ අන් යමක් ඇත. ඉතින් පොදු ජනතාව ගැවසෙන තැන්වල හදිසියේ වීදිනාට්‍යයක් පෙන්වීමෙන් පිරිසක එකතු කරගැනීම දැන් දැන් අසාර්ථක විය හැකිය. ඒ නිසා බොහෝවිට විවෘත වීදිනාට්‍ය කණ්ඩායම දැන් කරන්නේ මිනිසුන් සොයා ගොස් නාට්‍ය පෙන්වීමයි.
‘අපට දැන් නිල නොලත් සංවිධායකවරු රැසක් ඉන්නවා. කොහේ හරි ගමක, කමතක, සෙල්ලම් පිට්ටනියක, පන්සලක, ඉස්කෝලෙක නාට්‍ය දර්ශනයක් සංවිධානය කරනවා. ගමේ අයට කතාකරලා නාට්‍ය පෙන්වනවා. අපි සුපුරුදු විදියට බස් ස්ටෑන්ඞ්වල එහෙමත් කරනවා. ඒත් බොහෝවිට සර් පටන්ගත්ත වැඬේ විශ්වාස කරන මිනිස්සු ලංකාව පුරාම විසිරිලා ඉන්නවා. ඒ අය අපට කතාකරනවා. ඇත්තටම අපි මෙතෙක් කල් අඛණ්ඩව එන්න ඒ පිරිස ප්‍රධානම හේතුවක්.’ චමරු, එරංග එසේ කියයි.

එදාට වඩා සමාජය සම්පූර්ණයෙන් වෙනස්ව ඇත. තරඟකාරී සමාජයක වීදිනාට්‍ය වැනි ‘නොවැදගත්’ දෙයක් වෙනුවෙන් ජීවිතයම කැපකරන්නට සූදානම් අය සොයාගන්නට නැති තරම්ය. දෙවැනි සහශ්‍රකයේ අවසානයෙන් පසුව කණ්ඩායමට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුගේ අරමුණ වුණේ කණ්ඩායමේ කලින් සිටි දැවැන්ත නළුවන් මෙන් රඟපෑමට අවස්ථාවක් සොයාගැනීමයි. ඉහළට යන ඉනිමඟක් ලෙස කණ්ඩායම පාවිච්චි කිරීමයි. ඒ හැර මෙතැන රැඳෙන්නට තරම් ‘උමතුවක්’ තිබුණේ අප කතාකරන මේ කිහිපදෙනාට පමණි. මෙවන් කාලයක එවන් ශක්තියක් එකතුකරගැනීම එක්තරා විස්මයකි.

යළි යළිත් එරංග රිඩෙප්ෂන් සෝන්ග් ගීය ගයන අයුරු මතකයෙන් ඇසෙයි. මේ කණ්ඩායම අර ඓතිහාසික රංගයන් යළි රඟදැක්වූ අයුරුත් ගුරු උරුමය රැගෙන වත්මනට ගැළපෙන පරිදි නව නිර්මාණ රඟදැක්වූ අයුරුත් සිහියට නැඟෙයි. හත්තොට්ටුවේගම කළ දේ සුවිශේෂ නම් මේ කණ්ඩායම කරන දේ ඒ තරම්ම සුවිශේෂ නොවේදැයි අපට දැනෙයි.■