රාවය

ගල්කොරි දහසයකට යටවූ දසදහස් ගණන් මිනිස්සු

ගල්කොරි දහසයකට යටවූ දසදහස් ගණන් මිනිස්සු

 

පාදුක්ක මීපේ නුරානි කන්ද නැති හෙට දවසක් ගැන හිතීම පුදුම වේදනාකාරී අදහසක් බව කල් තබාම ලියා තැබිය යුතුව ඇත. එය අපට එසේනම් ඒ කන්දේ පහසින් දිවි ගෙවූ අවට ගම්වල ජනයාට කෙසේද යන්න සිතා ගත හැකිද?
අප සිටිනුයේ පිටුම්පේ ශ්‍රී පූර්වාරාම විහාර මිදුලේය. විහාර මිදුලට මුහුණලා මේ කන්ද සිටගෙන සිටී. විහාර මිදුල මෙන්ම ඒ අවට නිවෙස් බොහොමයක මිදුළුවල සිට ගත් විට ඇස ගැටෙන්නේ මේ කන්දය. මේ නුරානි කන්දත් මීපෙත් දෙකක් නොව එකක්මය. එය මීපේ හදවත බඳුය.
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටුම්පේ උතුර, පිටුම්පේ දකුණු වේවැල්පනාව සහ ගලගෙදර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්වලට මායිම්ව නුරානි වත්ත නම් කඳු පන්තිය පිහිටා ඇත. මෙය විවිධ ජෛව විවිධත්වයකින් හෙබි ඵෙතිහාසික වටිනාකමින් යුක්ත සුන්දර මිටියාවතකි.

ඉතිහාසය
ඉතිහාසය පිරික්සීමේදී මේ ප්‍රදේශය වළගම්බා රජ සමයේත් සීතාවක රජ සමයේදීත් ආරක්‍ෂික ප්‍රදේශයක් ලෙස භාවිත කර ඇති බවට සාක්‍ෂි ඇත. මෑතකදී පුරාවිiා දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණවලදී කටාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක්ද හඳුනාගෙන ඇත. හමු වූ කටාරම් දිගු ඉතිහාසයක් ඇති දෑ නොවන බව ගල් කොරිකාරයන්ගේ කතාවය. එහෙත් එලෙස සොයා ගත් ගල් ලෙන් අලුතින් හඳුනා ගන්නා ලද ගල් ලෙන් ලෙස ගැසට් කිරීමක්ද සිදුකොට ඇත. මෙම කඳු පන්තිය අතර බිසෝවරුන් ස්නානය කළ දොළක් සහ රජ දවස භාවිත කළ උමං මාර්ග පද්ධතියක් ඇති බවටද සාධක හෙළි වී ඇත.

ප්‍රශ්නය
මේ කුමන කතා කීවද අද වන විට මේ කන්ද සාතන් ගිලගනිමින් සිටියි. අවට මිනිසුන් මහා සම්පතක් ආශීර්වාදයක් ලෙස සැලකූ මේ කන්ද අද වන විට මහා පරිමාණ කළුගල් කැඩීමේ ව්‍යාපාරිකයන්ගේ ගොදුරක් බවට පත්වී ඇත. කළුගල් ව්‍යාපාරිකයෝ 16 දෙනෙක් මේ කන්ද කඩාගෙන ව්‍යාපාර කිරීමේ කාර්යයේ නියැලෙති. අධිතාක්ෂණික ක්‍රම භාවිත කරමින් කළුගල් සැකසීමේ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් වර්ග කිලෝමීටර් හතරක පමණ ප්‍රදේශයක විහිදුණු පැතිරුණු මේ කළුගල් හප කරමින් සිටිති. ව්‍යාපාරිකයන් දහසය දෙනකුගේ ග්‍රහණයට හසු වී ඇති මේ කන්ද අවට ග්‍රාමසේවක වසම්වලට අයත් පවුල් දහසකට වැඩි පිරිසකට අද ජීවත්වීමේ ගැටලුවට මුහුණ දීමට සිදුව ඇත.
වසර ගණනාවක් තිස්සේම පරම්පරා ගණනාවක්ම පානය කළ පිරිසිදු ජලය අද දූෂණය වී පානීය ජලය සහ ගෙවතු ළිංවල ජලය අපවිත්‍ර වී ඇත. කඳු මුදුන්වල සිට ගලා ආ පිරිසිදු ජලකඳ අද සිඳීගොස් බීමට ඇති ජලය පවා අපවිත්‍ර වීම ගැන මේ මිනිසුන් හුල්ලන්නේ ගල්කොරිවලින් එන අධික ගල්කුඩුද පෙණහලුවල පුරවාගෙනය. මේ නිවෙස්වල බොහෝ පොඩි අය ඇදුම රෝගයෙන් පෙළෙති. බීමට පවා ජලය නැති තැන වගාව ගැන කවර කතාද? මෙතෙක් වගාවන් සඳහා භාවිත කළ වාරි ජලය ලබා ගන්නා ඇළ මාර්ග සිඳීයෑමට ලක්ව ඇත. ඉතාම හොඳ පරිසරයක්ව පැවති මේ ප්‍රදේශ අද සියලු විපාකවලට මුහුණ පා ඇත්තේ ගල් කොරිකරුවන් මේ කන්ද කඩා විනාශ කිරීම නිසා බව පැහැදිලිය.

ඉතිහාසය පුරා කිසිදා නාය නොගිය මේ කන්ද මේ දිනවල නායයෑමටද ලක් වී ඇත. නාය යෑම සිදුව ඇත්තේ කන්දේ මෙහා පැත්තේ බවත් කන්ද කඩනුයේ එහා පැත්තේ බවත් කන්ද විනාශ කරන විනාශකරුවන් කියන සරල කතාවය. එහෙත් මේ වන විට කන්දේ අඩක්ම කපා දමා ඇත. ඒ විනාශය මේ පැත්තට නොදැනෙතැයි බලපෑමක් නැතැයි කිව හැක්කේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා මෙවැනි මිනිසුන්ටමය. මේ එවන් මිනිසුන්ය. පරිසරය වුව විනාශ කොට තම දිවි පෙවෙත රැකෙයි නම් මේ මිනිසුන්ට ප්‍රමාණවත්ය.

උදේ සිට හවස් වරුව දක්වා එකදිගට කැඩෙන ගල්වල කුඩු අවට ගම්වල ගහකොළ පවා අත්අඩංගුවට ගෙන තිබේ. මේ අවට මිනිසුන් ආශ්වාස කරනුයේ මේ ගල්කුඩුය. මේ නිසා බොහෝ මිනිසුන් ලෙඩ වී ඇත. පොඩිවුන් ඒ අතර විශාලය. ගල්කොරි 16ක ගල් උදේ හවා එහා මෙහා යෑම සුළුපටු කරුණක්ද? නවීනතම තාක්‍ෂණය යොදාගෙන මේ කන්ද කඩන විට එහි දෙදරුම අවට සියලු නිවෙස්වලට ද බලපාන අතර බොහෝ නිවෙස් ඊට ඔරොත්තු දිය නොහැකිව ඉරි තලා ඇත.

ජල අපවිත්‍රය
මේ ප්‍රදේශවල ජලය අපවිත්‍රව ඇති බව අපි කීවෙමු. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් 2016 සැප්තැම්බර් මස 21 වැනිදා වේවැල්පනාව ශ්‍රමශක්ති ප්‍රජා මූල සංගමයේ පොදු ළිඳෙන් ලබාගත් ජල සාම්පල පරීක්‍ෂා කිරීමේදී එහි අඩංගු ඇමෝනියා ප්‍රතිශතය 0.16 දක්වා වැඩි වී ඇති බව වාර්තා කර ඇත. ඒ නිසාම එම ජලය බීමට නුසුදුසු බව අනතුරු අඟවා ඇත. සාමාන්‍යයෙන් බීමට ගන්නා ජලයේ තිබිය හැකි ඇමෝනියා ප්‍රතිශතය 0.06කි. එය 0.16ක් වීම ගැන කවර කතාද? ජල සම්පාදන මණ්ඩලය පැමිණ එම ජලය කිසිසේත්ම පානයට නුසුදුසු බව වාර්තා කරන තෙක් මේ ළිඳේ ජලය කොතරම් නම් පානය කර ඇත්ද? ඒවායේ විපාක ඒ මිනිසුන් විඳිනුයේ දැන්ය.
මීට පෙර ඉතා පිරිසිදුව තිබූ මේ ජලය අද අපවිත්‍රව පානයට නුසුදුසු වී ඇත්තේ මේ කන්ද විනාශ කරන ගල්කොරි ව්‍යාපාර බවට ඇති මේ මිනිසුන්ගේ සැකය අහක දමන්නේ කෙසේද? පරිසර පද්ධතියක් විනාශ කිරීම බරපතළ ප්‍රතිවිපාක විඳින්නට වන කාරණයක් බව නොදන්නා පොඩි ළමයෙකු ඇත්ද? දැනට මෙම පුපුරවන ගල් වළවල්වල භාවිත කරන රසායනික ද්‍රව්‍ය මේ ජලයට එකතු වී නැතැයි කියන්නේ කෙසේද? මෙම පරිසරයේ ඇති ගල්වළවල් දහසය වසරකට ඇමෝනියා කිලෝ 60,000ක් පමණ අවම වශයෙන් යොදාගන්නවා ඇතැයි යන්න පරිසර වේදීන්ගේ විශ්වාසයය. මෙම ගල් වළවල් දහසයම පිහිටා ඇත්තේ වර්ගකිලෝ මීටර හතරක් තරම් කුඩා වපසරියක නිසා එයින් වන හානීය සුළු පටු නැති බව පැහැදිලිය. මේ නිසාම ඒ අවට ඇති ජලයේ ච්‍ය අගය වෙනස්වන බව අමුතුවෙන් කිව යුතුද?

වගාවන් විනාශ වීම
නුරානි කඳු පන්තියෙන් ආරම්භ වන ඇළ මාර්ග හතරක් ගලා බසිනුයේ වේවැල්පනාව පිටුම්පේ උග්ගල්ල, අරුක්වත්ත යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සපයමිනි. දිනන් ඇළ, ගිරා ඇළ වේවැල්පනාව සහ පිටුම්පේ ග්‍රාමයන් හරහා ගලා බසිනුයේ අමුණු 5කට ජලය සපයමිනි. එහෙත් දැනට වසර පහක පමණ කාලයක සිට මෙම ඇළ මාර්ගවලින් ලැබෙන ජල ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත. ඒවා කෙටි නියං සමයකදී වුව සිඳී ම යන බව ගම්මු පවසති. මේ හැම දේටම ගල් වළවල් පළියැයි කීම වැරදිද? ගල් වළවල් මේ කන්දේ පලුවක්ම විනාශකර තිබියදී මේ කඳු මුදුනින් පටන් ගත් ඇළ මාර්ග හිඳීම අරුමයක්ද?

නාය යෑම
පිටුම්පේ ග්‍රාම සේවා වසමේ ගලබඩවත්ත ප්‍රදේශයේ ජීවත් වන්නා වූ පවුල් 52ක් සහ අන්නාසිගල හේන ප්‍රදේශයේ ජීවත් වන්නාවූ පවුල් 45ක් සෘජු ලෙසම නාය යෑමේ අවදානමට මුහුණ දී ඇත. එම නිවාසවලට ඉහළින් පිහිටි විශාල ප්‍රමාණයේ ශේෂ ගල් කුට්ටි හා දැවැන්ත පස් තට්ටු මේ ප්‍රදේශවල දිවි ගෙවනවුන්ගේ හිස මත කොයි වෙලේ හෝ පතබෑවෙනු ඇතැයි මේ ගම්මුන්ගේ විශ්වාසය. අනෙක් පසින් වන විශාල දෙදරුමත්, පිපිරුමත් නිසා මේ ගල් ඉබේම පහළට වැටෙනු ඇති බව මේ මිනිසුන් කියනුයේ අනාගතය දිවැසින් දකිමිනි. අනතුර දැනෙන්නේද අනතුරෙහි ජීවත්වන මිනිසාටය. මෙය හිතලුවක් නොවන බව පැහැදිලි වන්නේ පාදුක්ක ප්‍රදේශීය ලේකම් කාර්යාලය මඟින් මෙම ප්‍රදේශ අනාරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර එම ජනතාවට එයින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති නිසාය. එය තවත් තහවුරු වන්නේ 2017.05.27 වැනි දින මෙම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම නායයෑම් සිදුවන නිසාය. ඉන් නිවාස හා දේපළ කිහිපයකටම අලාභහානි සිදුවී ඇත. ඒ නිසා අනාගත ඛේදවාචකයක ඉඟි දැන් සිටම පෙනෙන්නට ඇති බව කිව යුතුය.

ලෙඩ රෝග
සතියේ දින හය පුරාම සිදුවන පිපිරවීම්වලින් නිකුත් වන දුවිලි ස්වභාවය හා එහි ඇති මහා පරිමාණ කළුගල් සැකසීමේ යන්ත්‍ර සූත්‍ර මඟින් විශාල වශයෙන් පරිසරයට මුක්ත වන්නා වූ ගල්කුඩු මිශ්‍ර දුවිලි මඟින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්ව ඇත. දැනට මෙම ප්‍රදේශය තුළ ජීවත් වන්නා වූ බොහෝ පිරිසක් ශ්වසන ආබාධවලට ගොදුරු වී ඇත. දැනට ගල් සැකසීමේ යන්ත්‍ර 2ක් කන්දේ ඉහළ පිහිටුවා ඇති නිසා එමඟින් විශාල ගල්කුඩු ප්‍රමාණයක් පහළ ප්‍රදේශයේ ගම් පුරා සුළං මඟින් පැතිරේ. මෙම ගල් සැකසීමේ යන්ත්‍ර ඉදිකොට ඇත්තේ ප්‍රධාන ඇළ මාර්ග අවහිර කරමින් නිසා එයද විශාල ප්‍රශ්නයක් වී ඇත. වර්ෂාව කාලයේදී ඇළ මාර්ගය හරහා ගල් කුඩු ගලාඒම දැන් සුලබ සිද්ධියකි. මිනිස් ප්‍රශ්න නොතකන අය පරිසර ප්‍රශ්න කෙසේවත් සලකතැයි සිතිය හැකිද?

පිපිරීම සහ ඝෝෂාව
දින හයක් පුරා ගල් වළවල් දහසයකින් නැගෙන අධික ඝෝෂාව කම්මලේ බල්ලන්ට මෙන් ඉවසන්නට මේ ජනයාට සිදුව ඇත. මෙම ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කරන දරුවන් එම හේතුව නිසා දැඩි පීඩාවට ලක්ව ඇතැයි කියති. පිටුම්පේ ශ්‍රී පූර්වාරාමය පවා මෙම පිපිරුමෙන් ඇතිවන දෙදරුම නිසා ඉරිතලා ඇත. එලෙස ඉරිතැලුණු නිවාස බොහෝ සංඛ්‍යාවක් ඇත.

ප්‍රවාහනය
අධික ලොරි රථ ධාවනය නිසා මග දෙපස ගමන් කරන්නන් නියං කාලයේදී ගල් කුඩුද වර්ෂා කාලයේදී මඩෙන්ද පීඩා විඳින තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මේ ප්‍රශ්නයට ඇතුළත්ව මේ මිනිසුන් මුහුණදෙන ගැටලු දෙස බැලුවහොත් මෙය සුළුපටු ව්‍යසනයක් නොවන බව තේරුම් ගත හැකිය. එමෙන්ම එය අනාගතයේ බරපතළ ගැටලුවක්ද වන බව පැහැදිලිය. ජනාධිපතිවරයා කතා කරන හැම වාක්‍යයක්ම අවසන පරිසරය ඈඳාගනියි. එහෙත් පරිසරය තරම් විනාශ කරන දෙයක් අද වේද? පරිසරය විනාශය යනු ජනජීවිතද විනාශය බව සිතිය යුතුය.

මේ ප්‍රශ්නය පවුල් දහස් ගණනක් කියන්න ඕනෑ හැම තැනටම කියා ඇතත් තවමත් විසඳුමක් නැත. විසඳුම් සොයන අයුරක්ද නැත. මෙම ගල්වළ ආරම්භ කර වසර 20ක් පමණ ඇත. ඒ සාම්ප්‍රදායික ක්‍රමයට කුළුගෙඩිවලින්ය. බෝර දමාය. එය ඉතාම සුළුවට කර ඇත. එහෙත් කාලයත් සමඟ මෙය හොඳ ඉල්ලමක් බව වටහාගත් ව්‍යාපාරිකයෝ සූක්‍ෂ්මව මේ ගල් වළවල් ව්‍යාප්ත කරගෙන ඇත. 1994 සිට ගම්මුන් මේ හේතුවෙන් වෙන දුක අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. මෑතක සිට එනම් වසර හතර පහක සිට මේ ගල් වළවල් මුළු කන්දම බිමට සමතලා කරන තැනට පැමිණ ඇත. දැන් කන්දේ පලුවක්ම නැත. 2017 පෙබරවාරි මස 11වැනිදා ජනතාව පාරට බැස මහා උද්ඝෝෂණයක් කරනුයේ මෙය දරා ගත නොහැකි තැනය. වගකිවයුත්තන්ට කියුවද නෑසූ කන්ව සිටින කාලය ඉන් ඇස් ඇරෙන පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාවකට එළ ඹෙන්නේය. එහිදී වන සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස ගම්මුන් ඉදිරිපත් කරන තර්ක පිළිගෙන තාවකාලිකව ගල් වළවල් තහනමකට ලක් කරනුයේය. තහනම් කොට ක්‍ෂේත්‍ර පරීක්‍ෂාවක් සිදු කොට ගම්මුන්ගේ චෝදනා සත්‍යදැයි විමසා බලන අතර එහිදී ඔප්පු වන්නේ බලපත්‍රය ලබාගත්තද බලපත්‍රයේ ඇති කොන්දේසි කිසිවක් නොරකින බවය. ඒ අනුව ගල්කොරි 15ක් භූවිiා හා පතල් කැණිමේ කාර්යාංශය විසින් තහනම් කරන ලදි. එයද බලධාරීන් ඇඟ බේරාගන්නට කළ විජ්ජා බව දැන් පැහැදිලිය. පරිසර විනාශ මිනිස් ගැටලු පසෙකලා ඔවුන් සලකා බලනුයේ බලපත්‍රවල කොන්දේසි සපුරාද යන්න පමණි. කොන්දේසි හරි නම් ජනතාවට හෙණ ගැහැව්වද කමක් නැතිය. බලපත්‍ර ප්‍රකාරව ක්‍රියාකර නැතැයි තහනම් කරන ගල්කොරිවලට නැවත 2017.05.19 වන දින බලපත්‍ර සක්‍රිය කර ඇත. 2017.05.25 දින එම ප්‍රදේශයේ නායයෑම් කිහිපයක් සිදුවීමත් සමඟ 2017.05.31 වන දින නැවත තහනම් කර ඇත. එලෙස තහනම් කළ බලපත්‍ර නැවත බලපත්‍ර නැවත කිසිදු වගවිභාගයකින් තොරව 2017.06.23 දින නැවත සක්‍රිය කර ඇත. මෙයින් මනාව පැහැදිලි වන්නේ රජයේ වගකිව යුතු පාර්ශ්ව සියල්ල එක්ව මෙම ව්‍යසනය සිදු කරන බවය.

රටේ සංවර්ධනය නියතව සිදුවිය යුතුය. ඊට මේ මිනිසුන් කවදාවත් විරුද්ධද නැත. ඒ වෙනුවෙන් මේ ගල්කොරි කන්දේ භාගයක්ම කඩාගෙන යන තෙක්ද මේ මිනිසුන් ඉවසා ඇත. එසේනම් තවදුරටත් ඒ ඉවසීම සාධාරණද? රටේ සංවර්ධනය සිදුවිය යුත්තේ මේ මිනිසුන් බිලි දීමෙන්ද? වසර විස්සක් පමණ කළුගල් කොරි සමඟ ජීවත් වීම අමාරුවෙන් හෝ කළ මොවුන් මිය යන තෙක් මේ දුක වැළඳිය යුතුද? කළුගල් ව්‍යාපාරිකයන් කිසිවෙක් මේ ගම්වල අය නොවෙති. ඔවුහු කොළඹ වෙසෙන සුපිරි පිරිස්ය. ඔවුන්ට මේ කළු ගල් හැර මිනිසුන් විඳින පීඩාව වැදගත් නැත. මුදල් හමුවේ මේ අයගේ හිත්ද කළුගල් වී ඇත. පෝට් සිටි එකම පුරවන්න වුව මේ අය මේ කඳු බිමටම සමතලා කරති. එසේ නම් ඉතිරිවන පරිසරය කුමක්ද? ජනපති උදේ හවා මතුරන පරිසර සුරැකීම කෝ. රටේ ජනතාවගේ යහපාලනය ගැන කතා කරන මේ අවට මිනිසුන් සලකන්නේ මේ රටේ මිනිසුන් ලෙස නොවේද? පවුල් දහස් ගණනක් දහසය දෙනකුගේ ගල් කොරිවලට යටකළ යුතුද? රටේ සංවර්ධනය වෙනුවෙන් මීපේ ජනයා කළුගල් දුන්නා හොඳටම ඇතිය. මන්ද ඒ කළුගලේ ඉතිරි කොටසට ඔවුන් යටවන දිනය වැඩි ඈතක නොවන බැවිනි. දැන්ම මෙය නවතා දැමුවහොත් මේ විනාශය අවම හෝ කර ගත හැකිය.
පාදුක්ක ප්‍රදේශීය ලේකම් කාර්යාලය භූවිiා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, ජනපති කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය යන හැම තැනටම මේ ජනයාගේ දුක දැනුම් දී ඇතත් ඔවුන් ගල්කොරි මුදලාලිලාගේ පැත්ත ගෙන ක්‍රියා කරනු හැර ජනතාව දෙස බලා නැත.■

(මේ පිටුම්පේ උතුරු, දකුණු වේවැල්පනාව සහ ගලගෙදර සහ පාදුක්ක මීපේ සංචාරයකින් පසු මිනිසුන්ගේ අදහස් ඇසුරින් සකස් කළ ලිපියකි.)