රාවය

එන්ටර්ප්‍රයිස් ලංකාවේ බණ්ඩාරනායක පිළිමය

එන්ටර්ප්‍රයිස් ලංකාවේ බණ්ඩාරනායක පිළිමය

 

කොළඹ ගාලු මුවදොර අසබඩ ඉදිවූ ෂැංග්‍රිලා හෝටල් ජාලයට අයත් අලුත්ම සුපිරි හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගි වූහ. මෙම විවෘත කිරීමට සමගාමීව ෆෙස්බුක් සමාජජාලා වෙබ් අඩවිවල සාකච්ඡාවට ලක් වී තිබුණු එක් කරුණක් වූයේ දැවැන්ත ෂැංග්‍රිලා හෝටලය සහ ඒ ඉදිරිපිට තිබෙන හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ පිළිමය අතර පරස්පරයයි. මෙම ලිපිය සමඟ පළවන ඡායාරූපයෙන් ද පෙනෙන පරිදි දැවැන්ත ෂැංග්‍රිලා හෝටලය ඉදි වී තිබෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිමාව අගුටුමිට්ටෙකු බවට පත්කරමිනි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා
ෂැංග්‍රිලා හෝටලය විවෘත කිරීමට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ-සිරිසේන ආණ්ඩුව සිය තුන්වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ‘නීල හරිත අයවැය – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කොට තිබූ අයවැය යෝජනාවලිය මෙම ආණ්ඩුවේම මීට පෙර අයවැය ලේඛනවලට වඩා වෙනස් වූයේ ආණ්ඩුවේ සිතීම පසුපස තිබෙන ආර්ථික චින්තනය පැහැදිලි හා නිරවුල් ලෙස ඒ තුළ ප්‍රකාශ කොට තිබුණු ආකාරයෙනි. අයවැයේ පූර්විකාවේ දැක්වෙන විධියට ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ 2025 දක්වා ඉලක්කගත වූ, බාධාවලින් තොර ශීඝ්‍ර ආර්ථික වර්ධනයකි. මේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද? ඒ සඳහා අ) ආර්ථික ලිහිල්කරණය සහ ආ) ගෝලීයකරණය යන සාධක ගැන ආණ්ඩුව විශ්වාසය තබයි. මේ දැක්මට අනුව ප්‍රාග්ධන, ශ්‍රම හා ඉඩම් වෙළෙඳපොළවල් තුළ නිදහස් වෙළෙඳපොළ වර්ධනයට බාධා කරන යම් යම් ‘බාධක‘ පවතී. ඒ බාධක ඉවත් කළ යුතුය. අනෙක් අතට, ගෝලීයකරණයේ වාසි ලබාගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම තවදුරටත් නිදහස් කළ යුතුය. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් විය යුතුය. නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ දේශීය නිෂ්පාදකයන්ට යම් ගැටලු ඇතිවිය හැකි බව ආණ්ඩුව පිළිගන්නා නමුදු ඒ සඳහා ආණ්ඩුව ඔවුන්ට කරන යෝජනාව තරගයට ඔරොත්තු දිය හැකි තරමට කාර්යක්ෂම හා තරගකාරී වීමයි. ‘ව්‍යාපාර කිරීම’ රජයේ කටයුත්තක් නොවේ. රජයේ කාර්යය ව්‍යාපාරිකයන්ට සුමට ලෙස හැසිරිය හැකි ලෙස පරිසරය නිරවුල් කොට දීමය.
‘ශ්‍රී ලංකාවේ මෙම ඉදිරි ගමන සාර්ථක වන්නට නම් පෞද්ගලික අංශයේ සහයෝගය ප්‍රමාණවත් නොවේ. සියලුම ශ්‍රී ලාංකිකයන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රවේශයේ පාර්ශ්වකරුවන් වීම අත්‍යවශ්‍ය වෙනවා’ (අයවැය කථාව, පිටු අංක 11)
එනම් ව්‍යාපාර කේන්ද්‍ර කරගත් ආර්ථික දියුණුව ගැන මේ අදහසට සහය වීම ‘සියලුම ශ්‍රී ලාංකිකයන්’ – එනම් ව්‍යවසායකයන් නොවන ශ්‍රී ලාංකිකයන්ගේ ද යුතුකමකි. හැකි සියලුම දෙනාට-මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් නොව සුළු හා මැද පරිමාණ ව්‍යාපාරිකයන්ට ධනවතුන් වීම සඳහා එකිනෙකා සමග තරග කරන ලෙසට සංඥා කරන ආණ්ඩුව ඒ සඳහා තමුන් පහසුකම් සලසන බවත් අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන් ඒ සඳහා උදවු කළ යුතු බවත් කියා සිටී.

යල් පැන ගිය නීති
අයවැය තුළ ආර්ථික ලිහිල්කරණය කඩිනම් කිරීම සඳහා පහසුකම් සලසා තිබෙන ආකාරය ශීර්ෂ ගණනාවක් ඔස්සේ සාකච්ඡා කළ හැකි අතර ඉන් එක් ශීර්ෂයක් වන්නේ ‘යල් පැන තිබෙන නීති’ ගැන ආණ්ඩුව ඉදිරිපත් කරන අදහසයි. ඉහත කී ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ‘යල් පැන තිබෙන’ ඇතැම් නීති වෙනස් කළ යුතු බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. ඒ අනුව යල් පිනූ නීති ලෙස සැලකෙන්නේ මොනවාද? 1958 කුඹුරු පනත, 1973 කෘෂිකාර්මික ඉඩම් පනත, 1972 ගෙවල් කුලී පනත සහ 2014 ඉඩම් (සීමාකිරීමේ හා බැහැරකිරීමේ) පනත යන පනත් සංශෝධනය සඳහා යෝජනා කොට ඇත. මෙම නීති ඉඩම් වෙළෙඳපොළ නිදහස්කරණයට වැදගත් වන්නේ ඇයි? උදාහරණ ලෙස 1973 කෘෂිකාර්මික ඉඩම් පනතේ 50 වෙනි වගන්තිය මගින් කුඹුරු ඉඩම් වී වගාව හැර වෙනත් කටයුතු සඳහා යොදාගැනීම සීමා කරවමින් ප්‍රතිපාදන පනවා ඇත. 1972 ගෙවල් කුලී පනතේ අරමුණ වූයේ ගෙවල් කුලී සඳහා පාලන යාන්ත්‍රණයක් ඇති කිරීමය.
ශ්‍රම වෙළෙඳපොළට අදාළව 1954 සාප්පු හා කාර්යාල සේවක පනත හා 1943 පඩි පාලක සභා පනත රජයේ ප්‍රධාන සංශෝධන ඉලක්ක වේ.

ආර්ථික ස්වාධීනතාව සහ සුබසාධනය
ආණ්ඩුව යල් පැන ගියා සේ සලකන මේ නීති එක්තරා යුගයක ලෝකයේ වගේම ලංකාවේ ද සාමාන්‍ය දැනුම බවට පත් වී තිබුණු ආර්ථික චින්තනයක ලක්ෂණ පිළිබිඹු කරන ඒවාය. දෙවන ලෝක යුද්ධයට පසු සිදුවූ යටත් විජිතහරණයෙන් ඉක්බිති අලුත නිදහස් වූ රටවල ජනප්‍රිය වූ මෙම චින්තනය මූලික වශයෙන්) ආර්ථික ස්වාධීනත්වය පිළිබඳ අදහස සහ ඊ) සුබසාධනවාදය පිළිබඳ අදහස මඟින් සංලක්ෂිත වූවක් විය.
ආර්ථික ස්වාධීනත්වය ගැන අදහස මගින් හැඟවුම් කළේ පැරණි යටත් විජිත බලවතුන්ගේ ආර්ථික ආධිපත්‍යයට අභියෝග කරමින් ඒ ඒ රටවල ජාතික ආර්ථිකයන් ශක්තිමත්ව ගොඩනැගීමය. ‘ස්වාභාවික සම්පත් මත වූ ස්ථිර ස්වාධිපත්‍යය‘ (ඡැරප්බැබඑ ීදඩැරුසටබඑහ ධඩැර භ්එමර්ක ඍැිදමරජැි) ගැන සංකල්පය මගින් මෙම අදහස අනුබල ලැබීය. අලුත නිදහස් වූ රටවල විදේශිකයන්ට අයත්ව තිබුණු ව්‍යාපාර ජනසතු කිරීම, ආනයන-ආදේශනය මගින් ජාතික කර්මාන්ත පදනමක් ගොඩනැගීමට උත්සාහ කිරීම ආදිය මේ අනුව පුළුල්ව ක්‍රියාවේ යොදවන ලදි. විශාල කර්මාන්ත පටන් ගැනීමට තරම් ශක්තිමත් ධනපති පංතියක් නොසිටි බොහෝ රටවල රජය මැදිහත් වී ආයෝජන සිදුකොට කර්මාන්ත ගොඩනැගීමට උත්සාහ ගැනිණි. අනෙක් අතට, ආර්ථික ස්වාධීනත්වය ගැන මේ අදහස සුබසාධනවාදයේ බලපෑම මගින් හැඩගැස්වී තිබිණ. වෙළෙඳපොළ හා සමාජය අතර තුලනයක් ඇති කිරීම සඳහා රජය ආර්ථිකයට සුබසාධන පදනමින් මැදිහත්වීම සුබසාධනවාදයේ අර්ථයයි.
ලංකාව තුළ නම්, මෙම ආර්ථික ස්වාධීනත්ව-සුබසාධනවාදී චින්තනය ප්‍රධාන දහරාවේ පිළිගැනීම බවට පත් වූයේ 1956-1975 අතර කාලයේය. අනෙක් අතට, බණ්ඩාරනායකගෙන් පසු බලවත් වූ, රාජ්‍යයේ ජනවාර්ගික පක්ෂපාතීත්වයේ පසුබිම තුළ මෙම ආකෘතිය වර්ධනය වූයේ එක්තරා දුරකට දෙමළ ජනයා එමගින් බැහැර කෙරෙන යොමුවක් ද සහිතවය.

අභාවයාගේ අභාවය?
1977ට පසු ලංකාවේ ආර්ථික ඉතිහාසය පැහැදිළි කළ හැකි එක් විධියකි එම සමස්ත කාලය මෙන්න මේ ස්වාධීනත්ව-සුබසාධනවාදී සුසමාදර්ශයට එරෙහිව නව ලිබරල්වාදය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයක ඉතිහාසය ලෙස වටහා ගැනීම. ඒ අනුව පූර්ව යුගයේ පොදු පිළිගැනීම් ලෙස සැලකුණු සියලු වටිනාකම් හා සම්මතයන්ට එරෙහිව යුද ප්‍රකාශ කෙරිණ. මෙවර අය වැය ලේඛනය යනු එබඳු යුද ප්‍රකාශ කිරීම් මාලාවක තවත් එක් ප්‍රකාශනයකි. හාම්පුතුන්ගේ බලය සීමා කරමින් කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන යමක් ලෙස කම්කරු නීති දෙස බැලීම වෙනුවට කම්කරු නීති යනු ආයෝජන ආකර්ෂණය කරගැනීමට තිබෙන බාධාවක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හෙළා දකින සන්දර්භයක් නිර්මාණය වී ඇත. ඒ තර්කයම අනුව, ගෙවල් කුලී සීමා ආදිය වූකලි කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන යමක් නොව ආර්ථික දියුණුව වලක්වන බාධකයකි.

රජයේ මෙම අයවැය ඉදිරිපත් කිරීම සහ ඒ සමග බණ්ඩාරනායක කුරුමිට්ටෙකු කරමින් ජනාධිපති හා අගමැති දෙපොලගේම සහභාගිත්වයෙන් ෂැංග්‍රිලා හෝටලය විවෘත කිරීම සංකේතීය වශයෙන් වැදගත් එසේම රසවත් සංසිද්ධියකි.
කෙසේ වූවද අවසන් වශයෙන් කිව යුත්තේ රජය 2017 වර්ෂයේ අයවැය යෝජනා ඉදිරිපත් කරන විට තිබෙන ලංකාව සහ ලෝකය අවුරුදු හතළිහකට එපිට තිබුණු ලංකාව හා ලෝකය නොවන බවය. ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණය යනු තවදුරටත් හුදෙක් ශාස්ත්‍රීය පාඨ ග්‍රන්ථවල තිබෙන උපන්‍යාස පද්ධතියක් නොව දීර්ඝ කාලයක් තිස්සේ ලොව පුරා අත්හදා බැලුණු සජීවී යථාර්ථයන්ය. මේ ක්‍රියාවලීන් විසින් ලෝකයේ ඇති කොට තිබෙන තත්වයන් ගැන බරපතළ විවේචන මේ වනවිට ලොව පුරා අපමණ පවතී. ආර්ථික ලිහිල්කරණය විසින් ඒ ඒ රටවල් තුළ මෙන්ම ගෝලීයව ද සමාජ අසමානතා උග්‍ර කොට ඇත.■

 

රමිදු පෙරේරා