රාවය

ජනතාව බහුතරයක් කැපුවත් කොළ, කැපුවත් නිල් කියන තැන නෑ | ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත

ජනතාව බහුතරයක් කැපුවත් කොළ, කැපුවත් නිල් කියන තැන නෑ | ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත

 

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්වෙලා පොදු අපේක්ෂකයා බවට පත්වෙලා අවුරුදු තුනක්. අවුරුදු තුනකට පස්සේ දැන් ශ්‍රීලනිපයේ දෙපාර්ශ්වය ඒකාබද්ධ වීම ගැන සාකච්ඡා කරනවා. ගෙවුණු අවුරුදු තුනේ ජනාධිපතිවරයාට කරන්නට හැකිවුණේ මොකක්ද?
ආණ්ඩුවත් අවුල් කළා. රටත් අවුල් කළා. ගෙවුණු අවුරුදු තුනේ රටට දැනෙන්න මොනවත් කළේ නැහැ. ආර්ථිකය තිබුණාට වඩා පහළට ගෙනාවා. වංචා හොරකම් වර්ධනය වුණා. හොරු අල්ලනවා කිව්වා, දූෂණ නතර කරනවා කිව්වා. හැබැයි මේ ආණ්ඩුව ඇවිත් ඒවා පටන්ගත්තා. දැන් හොරු ඔක්කොම ආපහු එකතුවෙලා. ගෙවුණු අවුරුදු තුන රටේ ජනතාවගේ අනාගතය අවිනිශ්චිත තැනකට ඇදහෙළුවා. ප්‍රධාන පක්ෂ දෙකම මේකට වගකියන්න ඕනේ. දෙගොල්ලෝම දෙපැත්තට ඇද ඇද ආණ්ඩුව කරනවා. රටක් විදියට ඒකෙන් අවුල් ජාලාවක් වුණු එකයි වුණේ.

ජනාධිපතිවරයා පහුගිය දිනවල අදහස් දක්වද්දී පෙන්වුවේ දැඩි කලකිරීමක් සහ වේදනාවක්. ඔහුට බලාපොරොත්තු වූ විදියට ඇතැම් දේ කරන්නට ඉඩ නොදී බාධා ඇතිවුණු බව කිව්වා. එජාපයට වක්‍රාකාරව චෝදනා එල්ලකළා. ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා හෝ ජනතාව වෙනුවෙන් යමක් කරනවා කිව්වා. ජනාධිපතිවරයාගේ වෙනස ගැන අදහස මොකක්ද?
ඇත්තටම එතුමාගේ කලකිරීමෙන් ජනතාවට ඇති වැඩක් නෑ. එතුමා දැන් ජනාධිපති. කැබිනට් එකේ ප්‍රධානියා. එහෙම ඉඳන් කරන්න බැරි දේවල් ඒ තනතුරෙන් ඉවත්වෙලා කරන්නේ කොහොමද. අරක මේක වුණේ නැහැ කියලා අඳෝනාවක් දැන් ඉදිරිපත් කරනවා. අඳෝනාවෙන් ජනතාවට වැඩක් නෑ. පහුගිය කාලයේ ගොඩක් දේවල් වළක්වාගන්න බැරිවුණා නම් එතුමාත් වගකියන්න ඕනෑ. වෙන අයගේ පිට පටෝලා මම මේක කළේ නැහැ කියලා අත පිහදාගන්න බෑ. එයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා, විධායකයේ නායකයා. සිදුවුණ සමහර දේවල්වලට ඍජුවම වගකියන්න ඕනෑ එතුමා.

අනෙක් පැත්තෙන් එජාපය චෝදනා කරනවා ශ්‍රීලනිපය තමයි මේවා කරන්න බාධකය වුණේ කියලා. එජාපය බලයට ආවෙ අවුරුදු ගණනාවකට පස්සේ. එජාපයේ භූමිකාව ගැන අදහස මොකක්ද?
එජාපය ආ ගමන්ම බැඳුම්කර හොරකම කළා. ඒකට පක්ෂයේ ඉහළම අය ඍජුවම සම්බන්ධ වුණා. පහුගිය කාලේ තව ඇමතිවරු, මන්ත්‍රීවරු එළිදරව් වුණා. ගෙවල් ගත්ත අය, දුරකථන ඇමතුම් දුන්න අය, අපාට්මන්ට් ගත්ත අය හෙළිවුණා. ගිය ආණ්ඩුවේ තිබුණ ඒවා මේ ආණ්ඩුවේ දෙපාර්ශ්වයම කරන්න පටන්අරන්. අද ගමේ එජාප පාක්ෂිකයාට එජාපය එපාවෙලා තියෙනවා. මේ පක්ෂ නායකයෝ පහුගිය කාලයේ කළ දේවල් එක්කයි එහෙම වුණේ. එයාලා ශ්‍රීලනිපයට චෝදනා කරලා ඇඟ බේරාගන්න හදනවා නම් ඒක හතරබීරි කතාවක්. ජනාධිපති එජාපයටත්, එජාපය ශ්‍රීලනිපයටත් ඇඟිල්ල දිගු කළාම ජනතාව අතරමං වෙලා. එජාපය ඇත්තටම මේ ආණ්ඩුවේ බහුතරය. එජාපය අසාර්ථක බව දැනටමත් ඔප්පු කරලා හමාරයි.

ජනතාවට ප්‍රධාන පක්ෂ දෙක ගැන මේ වගේ කලකිරීම් ඉතිහාසය පුරා ඇතිවුණා. ඒ කලකිරීම පාවිච්චි කරලා බලයට එන්න ජවිපෙට බැරිවුණා. මේ අවස්ථාවේ ජවිපෙට ඒක කරන්න පුළුන්ද?
අපේ රටේ පරම්පරාවෙන් දේශපාලනය ගෙනියන සංස්කෘතියක් තියෙනවා. කැපුවත් කොළ, කැපුවත් නිල් ලක්ෂණ තියෙනවා. මේ පරම්පරාගත ලක්ෂණය අත්හැරියොත් ලංකාවේ ජනතාවට අලුත් ගමනක් යන්න පුළුවන්. ගෙවුණ අවුරුදු හැත්තෑව පුරාම ජනතාව මේ පක්ෂ දෙකට බලය දුන්න එකයි කළේ. අන්තිමේදී මේ දෙගොල්ලට හවුල් ආණ්ඩුවක් කරන්න ඉඩහැරියා. මේ හැම එකෙන්ම පාඩම් ඉගෙනගෙන තියෙනවා. විකල්පයක වුවමනාව දැන් ජනතාවට ඇතිවෙලා. මේ දෙගොල්ලන්ටම රට හදන්න බෑ කියලා පැහැදිලියි. අතීතයට වඩා වර්තමානයේ ජනතාව අත්දැකීමෙන් තේරුම් අරන් තියෙනවා දෙගොල්ලන් එක්ක ඡන්දය කරන්න බෑ කියලා. පරම්පරාගත දේශපාලනය වෙනුවට අලුත් ගමනක් යන්න ජනතාව සූදානම් වෙන්න ඕනෑ.

ප්‍රධාන පක්ෂ දෙකේම දූෂිත බව දැන දැනම ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දය දුන්නත් ජවිපෙ එක්ක තියෙන මතවාදී ගැටුම් නිසා ජවිපෙට ඡන්දය නොදෙන අය ඉන්නවා. මේක ජවිපෙට අභියෝගයක් නේද?
ඇත්තටම ප්‍රශ්නය තියෙන්නෙත් එතැන. මේ දෙපැත්තෙම කට්ටිය හෘදය සාක්ෂියට අනුව ජවිපෙ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ හොඳය කියලා පිළිගන්නවා. ඒ ඔක්කොම කියනවා. ඒ නිසාම ජවිපෙ ඒ හැමෝගෙම හදවතේ තියෙනවා. ජේවීපියට ආදරය කරලා අර පක්ෂ දෙකෙන් එකක් කසාද බඳිනවා. ඒක තමයි මම කිව්වෙ පරම්පරාගත ලක්ෂණය කියලා. හැබැයි දැන් පෙනෙන්නේ ඒ ලක්ෂණ වෙනස්වෙලා කියලා. අනූහතරෙන් පස්සෙ ශ්‍රීලනිපයට හෝ එජාපයට තනිවම බහුතර ආණ්ඩුවක් හදන්න බැරිවුණා. පොදු පෙරමුණට, යූඇන්පියට 2002, ආසන්න මැතිවරණයේදී බහුතර බලය ගන්න ආණ්ඩුවලට බැරිවුණා. සන්ධාන හදලායි බලය ගත්තේ. දැන් ආණ්ඩුවේ වුණත් විකල්ප පක්ෂවලට ලැබිලා තියෙන නියෝජනය වැඩියි. ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයෝ අඩුයි. ඒ කියන්නෙ දැන් රටේ ජනතාව බහුතරයක් කැපුවත් කොළ, කැපුවත් නිල් කියන තැන නෑ. මැද පරාසය ලොකු වෙමින් යනවා. විශේෂයෙන් අනූහතරෙන් පස්සේ මේ තත්වය වෙනස් වෙනවා. අපි අනාගතයේදී තවත් මේ පක්ෂ දෙකෙන් ජනතාව මිදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රවණතාව පෙනෙන්න තියෙනවා.

ජවිපෙ පුළුල් පෙරමුණක් විදියට ඉදිරි මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන බව කියනවා. ඒකේ ආරම්භයක් විදියට පළාත් පාලන මැතිවරණයේදී පියවරක් ගන්නවාද?
ඇත්තටම වෘත්තිකයන්, කලාකරුවන්, උගතුන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති එකතු කරගත්ත ජාතික පෙරමුණක් 2020 මැතිවරණය ඉලක්ක කරගෙන අපි ගොඩනඟනවා. ඒ අනුව අපි මේ මැතිවරණයේදී ගම් මට්ටමේ, නගර මට්ටමේ ඉන්න ප්‍රගතිශීලී අයට ආරාධනා කළා අපි එක්ක ඉදිරිපත් වෙන්න කියලා. ඒ ආරාධනාව එලෙසම පවතිනවා. අපි 2020 ගොඩනඟන පුළුල් පෙරමුණේ ආරම්භක ළදරු බීජය මේ මැතිවරණයෙන් වපුරනවා.

ජවිපෙ හදන ආණ්ඩුවක් ගැන ඇතැම් අයට සැකයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේවි කියලාත් හිතනවා. ජවිපෙ බලය ගන්නේ මොනවාගේ ආණ්ඩුවක් ඇති කරන්නද?
ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම ලබාදෙන්නේ වාමාංශික ආණ්ඩුවක් අවොත්. ධනපති ආණ්ඩුවක් කවදාවත් සැබෑ ප්‍රජාතනත්ත්‍රවාදයක් ලබාදෙන්නේ නෑ. මේ තියෙන්නේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක්. ඇත්තටම ජනතාවගෙන් බහුතරයක් තැලෙන පෑගෙන පොඩිවෙන ජනතාව වෙනුවට අයිතීන් තහවුරු කරගන්නට වමේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන්නේ සුඛවිහරණය වෙනුවෙන් හැදෙන ආණ්ඩු. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතුරමින්, පම්පෝරි ගහමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරනවා. දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතනවා නම් ඒක මිථ්‍යාවක්.

එතකොට මේ මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වෙන්නේ මොන තේමාවක් එක්කද?
අපි දකින්නේ මේ රට හදන්න බැරිවෙලා තියෙන්නේ මේ දෙගොල්ලන්ගෙම තියෙන හොරකම්, දූෂණය, නාස්තිය සහ වංචාව නිසායි. මේ දෙගොල්ලම හොරා කනවා. දූෂණයේ යෙදෙනවා. ඒකෙන් තමයි රට අගාධයට තල්ලුවෙන්නේ. අපි ගන්න කෝටිප්‍රකෝටි ගණන් ණය ප්‍රමාණය කිහිපදෙනෙකුගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් වැය වෙන්නේ. හොරා හොරා කියන වචනය තමයි තුන් පැත්තෙන්ම අහන්න ලැබෙන්නේ. අපි ජවිපෙට කියන්නේ ගම ගොඩනගන්න දූෂණයට එරෙහි ජවසම්පන්න බලයක් දෙන්න කියලායි. ගමේ පිරිසිදු පාලනයක් ඇති කරන්නයි අපි ඉල්ලන්නේ. හැම ගමකම එවැනි පාලනයක් ඇති කළොත්, බිම් මට්ටම පිරිසිදු කළොත් එතැනින් මහ ආණ්ඩු පිරිසිදු කිරීම පටන්ගන්න පුළුවන්.

ඔබ කිව්වා දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතනවා නම් ඒක මිථ්‍යාවක් කියලා. දැන් සර්වජන ඡන්ද බලයක් තියෙනවා. ඉතින් ආණ්ඩු ජනතාවට වගකිව යුතුයි නේද? ආණ්ඩු ඇත්තටම වගකියන්නේ කාටද?
ඇත්තටම දැන් පත්වෙන ආණ්ඩු ජනතාවට වගකියන්නේ නෑ. එයාලා දන්නවා මොන වැරැද්ද කළත් ආයෙත් කොහොමහරි ඡන්ද ටික හම්බවෙනවා කියලා. අපි හිතන්නේ ජනතාවටත් බරපතළ වගකීමක් තියෙනවා. හැමදාම දෙගොල්ලන්ට බැන බැන ඉන්නවා. ආපහු ඡන්දය දීලා ජනතාව ඒ අයම පත් කරවාගන්නවා. මේක නැවැත්වීමේ වගකීම ජනතාවට තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි බඩගෝස්තරවාදය. එයාලා ජනතාවගේ වුවමනා ඉටුකරන්නේ නෑ. අතළොස්සක් ජාවාරම්කාරයන් නඩත්තු කරනවා. ජනතාවට වගකියන ආණ්ඩු බිහිවුණේ නෑ. මේ ආණ්ඩුවත් එහෙම නෑ. ජනතාවට වගකියන ආණ්ඩුවක්, ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් නැවත ආණ්ඩුව කැඳවීමේ අයිතිය ජනතාවට තියෙන්න ඕනෑ. ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් ප්‍රතිචාර දක්වන්න ජනතාව හුරුවෙන්න ඕනෑ.■