රාවය

2020දී අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්න අපේ ආණ්ඩුවක් අවශ්‍යයි | එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

2020දී අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්න අපේ ආණ්ඩුවක් අවශ්‍යයි | එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දේශපාලනිකව ඉස්සරහට ආවා. ඔබේ කණ්ඩායම එකට අදහස් පළකරනවා. මේ විදියේ බලපෑම් කණ්ඩායමක් සංවිධානය වුණේ ඇයි?
මේක ඉතාමත් වැදගත්. අපට මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලනිපයෙන් එළියට බැහැලා කීවේ ඔවුන්ට කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ කියලායි. එතුමා ශ්‍රීලනිපයේ ලේකම් විතරක් නෙවෙයි ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති. එහෙම ඇමතිවරයෙක් එහෙම කිව්වා නම් ඒ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්න ඇත්තේ කොහොමද. අපි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විදියට අපට ඕනෑම විදියක අදහස් පළකරන්න නිදහස තියෙනවා. අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අපේ ආණ්ඩුවල ඇමතිවරුන්ට ඕනෑ දෙයක් කියන්න දෙනවා. කටවල් වහන්නේ නෑ. හැබැයි අපි තනි තනිව හඬ නඟනවාට වඩා සාමූහිකව අදහස් ඉදිරිපත් කිරීමත් වැදගත්. ඒ නිසා අපි කණ්ඩායමක් විදියට කටයුතු කරනවා. අපි පක්ෂයට සහ නායකත්වයට ගරු කරනවා. පක්ෂයේ තීරණවලට ගරු කරනවා.

මේ ආණ්ඩුවට කිසිවක් කරන්නට බැරිවුණ බව කියනවා නේද?
මොනතරම් දේවල් කළාද. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැදිහත්වීමෙන් සහ එතුමාගේ නායකත්වයෙන් රටට අහිමිවුණ ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා, මාධ්‍ය නිදහස ලැබුණා. සාමය, නීතිය, සාධාරණත්වය ඇතිවුණා. මානව හිමිකම් උල්ලංඝනය කළායැයි ලෝකය ඉදිරියේ කළු පැල්ලම් තිබුණා, ඒවායින් ගැලවෙන්නට අපට ලැබුණා. ස්වාධීන කොමිෂන් සභා පත්කරන්න, අතුරුදන්වූවන්ගේ කාර්යාලය ආරම්භ කරලා රටට නැතිවුණ බොහෝ දේ ලබාදුන්නා. පළමුවැනි වතාවට ජනාධිපතිවරයාගේ බලතල අඩුකළා. ඒ විතරක් නෙවෙයි, රටට ජීඑස්පී ප්ලස් ලැබුණා. යුරෝපා මත්ස්‍ය තහනම ලැබුණා. ඒවායින් විශාල ආදායමක් රටට ලැබෙන්න පටන්ගත්තා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිකළා, ඖෂධ මිල අඩුකළා, මහපොළ සහ සමෘද්ධිය දෙගුණයක් කළා. මේ ඔක්කෝම කළේ එජාපයේ නායකත්වය, එජාප ප්‍රතිපත්ති සමඟ. මේකේ වැදගත්ම කාරණය තමයි ලංකාවේ සංහිඳියාව ඇතිකරන්න පසුබිම හැදෙමින් යනවා. අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. ඒකීය රටක් තුළ ජීවත්වෙන්න පුළුවන් වපසරිය නිර්මාණය කරන්නට කටයුතු කරනවා. ආගම්, ජාති භේදයක් නැතිව හැමෝමට ජීවත්වෙන්නට අයිතිය ලබාදෙන වැඩසටහනක්.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල සහ රාජපක්ෂ පිල එකතුවෙන කතා කෙරුණා. එජාපයේ ආණ්ඩුව මේකෙන් අවසාන වේවිද?
පළාත් පාලන මැතිවරණය කට ළඟට ඇවිත්. ගොඩක් අය අහනවා මේ දෙගොල්ල එකතුවුණොත් එජාපයට මොකද වෙන්නේ කියලා. හැබැයි මේ දෙගොල්ල එකතුවෙලා තමයි අගෝස්තු 17 වැනිදා ඡන්දය කළේත්. මෛත්‍රී පිළ, මහින්ද පිළ එක වේදිකාවක නැග්ගා. හැබැයි එදා එකතුවුණ ශ්‍රිලනිපයත් පරාජය වුණා. එදා ජනතාව එක අවුරුද්දක් තුළ දෙවැනි වතාවටත් ශ්‍රීලනිපය පරාජය කළා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට හදන්න හැකියාව තියෙන බව ජනතාව පිළිගත්තා. අවුරුදු ගාණක් අප පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල බලය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ වුණත් දැන් තියෙන්නේ පුංචි බලයක්. එහෙම වෙලාත් අපි ලොකු සේවයක් කළා. දැන් අපි ගමේ බලය ලබාගන්න සැලසුම් කරනවා. ඒ ජයග්‍රහණ ලැබුවාට පස්සේ පාරවල් ටික, කාණු ටික හදලා ගමේ වැඩ ටික පිළිවෙළට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලනිපයේ මහින්ද, චන්ද්‍රිකා ආණ්ඩු දෙකේම ඉහළ නායකයන්ට බරපතළ චෝදනා තිබුණා. ස්ත්‍රී දූෂණ, අපරාධ, වංචා චෝදනා තිබුණා. එහෙම ආණ්ඩුවකින් පස්සේ එජාපයේ ආණ්ඩුවක් මිනිස්සුන්ට ලැබුණා. ඒක ලොකු සම්පතක්.

එහෙම වුණත් යහපාලන ආණ්ඩුවට ඡන්දය වෙලාවට තියාගන්න බැරිවීම නම් මහා අපරාධයක් නේද?
අපි ඉතාමත් කනගාටු වෙනවා ඡන්දය කල්යෑම ගැන. ඒකට අදාල පාර්ශ්වයන් අපි හැමෝම දන්නවා. ඒ අය ගැන අපි කළකිරීමෙන් ඉන්නේ. අපි පැහැදිලිව කිව්වා ඡන්දය තියලා ජනතාවට ඡන්දය දෙන්න අයිතිය දෙන්න කියලා. අපව පරද්දන්න වුණත් කමක් නෑ ඡන්දය දෙන්න ජනතාවට අයිතිය තියෙනවා. ඉදිරියටත් මැතිවරණය පවත්වන්න කළ හැකි හැම මැදිහත්වීමක්ම අපි කරනවා.

ජනාධිපතිවරයා එජාප කණ්ඩායමට වක්‍රාකාරව චෝදනා එල්ල කරන බව පෙනෙනවා. ආණ්ඩුව ගැන කලකිරීමක් සහ කේන්තියක් එක්ක කතාකරන බව පෙනෙනවා. ජනාධිපතිවරයාගේ චෝදනා ගැන අදහස මොකක්ද?
එතුමාව තමන්ගේ ජනාධිපති විදියට හඳුන්වාගන්න පිරිසක් ඉන්නවා. හැබැයි ඒ කණ්ඩායම එතුමාව පරද්දන්නයි වැඩ කළේ. දැන් ගත්තාම එතුමා එක්ක වැඩි බැඳීමක් අපට තියෙනවා. අපි එතුමා එක්ක එකට හිටගත්ත අය. ජනාධිපතිතුමාට අපේ කණ්ඩායමේ හොරු, වංචාකාරයෝ ඉන්නවා කියලා සැකයක් තියෙනවා නම් ඕනෑම ස්වාධීන පරීක්ෂණයක් කරලා දඬුවම් දෙන්න කියලායි අපි කියන්නේ. අපි හොරු රකින්නවත්, හොරු බලාගන්නවත්, ආරක්ෂා කරන්නවත් උත්සාහ කරන්නේ නෑ. අපි හොරකමට විරුද්ධයි. ඒ නිසා එතුමා කනගාටුව ප්‍රකාශ කරමින් ඉන්නවාට වඩා බලය ක්‍රියාත්මක කිරීම වැදගත් කියලයි අපි හිතන්නේ.

එහෙම වුණත් ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක්ටම චෝදනා එල්ලවෙලා ඉල්ලා අස්වෙන්න සිදුවුණා නේද? යහපාලන ආණ්ඩුවකට මේවා ගැළපෙනවාද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ චෝදනා තියෙන මැති ඇමතිවරු හිටියේ නැද්ද. සෑහෙන චෝදනා මාධ්‍ය හරහා ඔප්පු වුණ අය කොච්චර හිටියාද. ඔවුන්ට තවත් උපදෙස් ලැබුණා මිස අන් යමක් වුණේ නෑ. අපේ ආණ්ඩුවේ චෝදනාවක් ලැබුණු ගමන් ඇමතිවරු ඉල්ලා අස්වුණා. අපේ රටේ ඇමතිවරු ඉල්ලා අස්වෙන යුගයක් කවදාද ඇතිවෙන්නේ කියලා මිනිස්සු අහපු කාලයක් තිබුණා. අපි මේ මොහොතේ ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාට ඔය ඇමති ධුරයෙන් ඉවත්වෙන්න කියලා කීවෙත් ඒ නිසයි. අපි අලුත් ක්‍රමයක් ඇතිකරලා පෙන්වුවා.

රාජපක්ෂ සමයේ දූෂිතයන් ගැන පියවර ගන්න මේ ආණ්ඩුවට අවස්ථාව තිබුණා. ඒත් නීතිය හා සාමය භාර සාගල රත්නායක ඇමතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රීලනිපය භේදකිරීමේ අරමුණෙන් රාජපක්ෂ පිලේ වංචා ගැන පරීක්ෂණ යට ගැහුව බවට බරපතළ චෝදනාවක් එල්ලවෙනවා නේද?
අපි ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. රටේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා තමයි ආණ්ඩුවේ නායකයා. එතුමා පත්කළ නිලධාරීන් ඉන්නවා හොරුන්ට එරෙහිව තීන්දු ගන්න එතුමාට පුළුවන්. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපි සම්මත කරගත්තා හොරු වංචාකාරීන්ට විරුද්ධව විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි කියලා යෝජනාවක්. හොරුන්ව රකින්න හදනවා නම් අපි එහෙම කියන්නේ නෑනේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා එජාපය එක්ක එකතුවෙන්නට සාකච්ඡාවක් යන්නේ නෑනේ. ඔවුන් එකතුවෙන්න සූදානම් වෙන්නේ ශ්‍රීලනිපය එක්කනේ. ඉතින් හොරුන්ව රකින්න වුවමනාවක් තියෙනවා නම් ඒ අපට වෙන්න බැහැනේ. ඒ පැත්තෙන් ආශීර්වාදයක් තියෙනවාද කියන්න අපි දන්නේ නෑ. අපි නීතිය

සාධාරණත්වය ඇති කරන්න අවශ්‍ය ශක්තිය අගමැතිතුමාත් සාගල ඇමතිතුමත් ලබාදෙනවා.
ලංකාවෙ මානව හිමිකම් රැකීම ලෝකයට පෙන්වන සංදර්ශනයක් වෙලා. තරුණ මන්ත්‍රීවරයෙක් විදියට රටේ මානව හිමිකම් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමට ගත් පියවර ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?
මම හිතන්නේ මානව හිමිකම් කඩවීමක් සිද්ධවුණ හැම අවස්ථාවකදීම එජාපය හැටියට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව අපි පෙනීහිටියා. රාජපක්ෂ රෙජීමය සමයේ මාධ්‍යවේදීන්ගේ, අහිංසක දෙමළ ජනතාවගේ සහ දකුණේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙද්දී අපි ඒකට විරුද්ධව පෙනී හිටියා. හලාවත ඇන්තනි මැතිතුමාගේ ජීවිතය අහිමි කළ වෙලාවේ, රතුපස්වල, රොෂේන් චානක සිදුවීම වගේ අවස්ථාවල එජාපය පැහැදිලිව පෙනීහිටියා. එස්.බී. මැතිතුමාව සිරගත කළ වෙලාවේ දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා ජිනීවා ගියා. සරත් ෆොන්සේකා මැතිතුමාගේ ගැටලුවේදීත් එජාපය පෙනීහිටියා. දැන් මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ. මිනිසුන්ට විරෝධය පළකරන්න, සටන් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මානව හිමිකම් ගැන මීට වඩා අවධානය යොමුකරලා මේ පවුල්වලට සාධාරණයක් ඉටු කරන්න ඕනෑ කියලා. මානව හිමිකම් කඩවීම ගැන වේදනාවෙන් පෙළෙන පවුල් වෙනුවෙන් මහා පරිමාණයෙන්, දීර්ඝකාලීනව ගතයුතු පියවර තියෙනවා. මට හැඟෙන විදියට පෞද්ගලිකව ගත්ත තීන්දුවල මන්දගාමී ගතියක් තියෙනවා. ආණ්ඩුව මානව හිමිකම් කියන මාතෘකාවට මීට වඩා ප්‍රමුඛතාවක් දිය යුතුව තිබුණා.

ආණ්ඩුව 2025 වෙනකන් සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. 2020න් පස්සෙත් හවුල් ආණ්ඩුවක් ඇතිකිරීමේ යෝජනාවට පසුපෙළ මන්ත්‍රීවරුන් එකඟද?
අපි දැඩි සේ පක්ෂයට බල කරනවා 2020දී අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්න අපේ ආණ්ඩුවක් අවශ්‍යයි කියලා. අපි ඒක දැඩිව පක්ෂයට කියනවා. කිහිපවතාවක්ම පක්ෂයටත්, ජනතාවටත් අපි ඒක කියනවා. මම විශ්වාස කරන්නේ ජාතික ආණ්ඩුවකට වඩා යහපාලනය සහිත එජාප ආණ්ඩුවක් වැදගත්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ඕනෑ. ■