රාවය

යහපාලන දීගය බිඳවැටීම

යහපාලන දීගය බිඳවැටීම

 

දැන් යහපාලන ආණ්ඩුව තිබෙන්නේ දෙපළුවීමක් ඇතිවීමට ආසන්න තත්ත්වයකය. මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ දීගය කඩා වැටෙන්නට ආසන්නම තත්ත්වයකය. මේ දීගය හොඳ අවබෝධයකින් ඇති කරගත් දෙයක් නොවූ අතර දෙපාර්ශ්වයම අවස්ථාවාදී හා බලලෝභී හේතු මත ඇති කරගත් බොරු දීගයක් ලෙස සැලකිය හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කළ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේ ම අගමැති රනිල් වික්‍රමසිංහද මහජනයාට පෙනුණේ රට ගලවා ගැනීමට පහළ වූ වීරයන් දෙදෙනකු ලෙසය. අභ්‍යන්තර යුද්ධය පරාජය කළ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහජනයාට පෙනුණේද ඊටත් වඩා ලොකු වීරයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට හිමිවූ වීරත්වය ආරක්ෂා කරගැනීමට සමත් නොවීය. ඒ නිසා දෙවැනි නිල කාලය සම්පූර්ණ කරන්නටත් පෙර පරාජය වී ගෙදර යන්නට රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවිය. ඒ ආකාරයටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සේ ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද තමන්ට හිමිවූ වීරත්වය ආරක්ෂා කරගැනීමට අසමත් විය.

අසාර්ථකත්වයේ සියලු බීජ මෙම පරස්පර එකතුව ඇති කරගන්නා මොහොතේ සිටම සැඟවී තිබුණේ යැයි කිව හැකිය. සෝභිත හිමියන්ගේ අපේක්ෂාව කුමක් වුවත් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය තුළ ආරම්භයේ සිටම රනිල් විරෝධී පෙළගැස්මක්ද තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරනවාට අතිරේකව රනිල් වික්‍රමසිංහට බලයට පත්වීමට ඉඩ නොදෙන දේශපාලන වුවමනාවක්ද එයට ඉඩ තිබුණි. ඒ ඇත්ත වුවමනාව සඟවා ගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි ශක්තිමත් පුද්ගලයෙක් පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට ගත යුතුයි කියන තේමාව තුළය. රනිල් වික්‍රමසිංහට මහින්ද පරාජය කරන්න පුළුවන්ද කියන කිසියම් සැකයක් මහජනයා අතර තිබුණේ නම් මහින්ද පරාජය කිරීමට රනිල්ට හැකියාවක් නැතැයි කියන අදහස ප්‍රබල අදහසක් බවට වර්ධනය කළේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසිනි.
රනිල් වික්‍රමසිංහද එජාපය තුළ ඒකමතික පිළිගැනීමක් හිමිකරගෙන සිටි නායකයෙක් නොවීය. ඔහු කෙරෙහි සැකයෙන් බලන අය පමණක් නොව තරහෙන් බලන පිරිසක්ද එම පක්ෂය තුළ සිටියේය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස එවැනි අයගේද ආකර්ෂණයට හේතුවී තිබුණි. ඔවුන්ද දැන හෝ නොදැන පොදු අපේක්ෂකයා පිළිබඳ අදහසට ලොකු පිළිගැනීමක් ලබා දුන්නේය.

ඒ වනවිට රනිල් වික්‍රමසිංහ සිටියේද පක්ෂය ඒකාග්‍ර තත්ත්වයක තබා ගැනීමට අසමත් තත්ත්වයකය. පොදු අපේක්ෂකයා පිළිබඳ අදහසට එකඟවනවා හැර තෝරා ගැනීමට අන් මගක් ඔහුටද නොතිබුණි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනගේ තෝරා ගැනීමට එකඟවීමට ඔහුට සිදුවිය.
පොදු අපේක්ෂකයා පිළිබඳ සූත්‍රය ඉදිරිපත් කළ අය වැදගත් කොට සැලකුයේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පමණය. ඉන්පසු සිදුවිය යුත්තේ කුමක්ද යන්න ගැන හරි අදහසක් ඔවුන්ට නොතිබුණේය. දින 100ක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් තිබුණද එය මනෝරාජික වැඩසටහනක් වූවා මිස යථාර්ථවාදී වැඩසටහනක් නොවීය.

රනිල් වික්‍රමසිංහ ඒ මැතිවරණයේදී ඊට පෙර ජෙනරල් ෆොන්සේකාගේ මැතිවරණයේදී මෙන් පොදු අපේක්ෂකයාට යටින් කපන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඔහු පොදු අපේක්ෂකයාට උපරිම මට්ටමකින් ආධාර කළේය. එජාපයට තිබෙන ජන බලයෙන් පමණක් නොව, ධන බලයෙන්ද උපරිම මට්ටමෙන් ආධාර කළේය. මෛත්‍රීපාල සිරිසේන ලබන ජයග්‍රහණයෙන් පසු ගොඩනගන ආණ්ඩුවේ ප්‍රධාන මෙහෙයුම්කරු බවට පත්වී අවුරුදු පහ සම්පූර්ණවීමෙන් පසු රටේ නායකයා වීම ඔහුගේ අපේක්ෂාව වූවා විය හැකිය. එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නම් එහි වරදක් ඇතැයිද කිව නොහැකිය.

එහෙත් අවාසනාවකට ජයග්‍රාහී නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාර්ථක නායකයකු ලෙස ස්ථාපිතවීමට සමත් නොවූවා පමණක් නොව, අගමැති රනිල් වික්‍රමසිංහද සාර්ථක නායකයකු ලෙස ස්ථාපිතවීමට සමත් වූයේ නැත. රනිල් විරෝධී පුද්ගලයන් තමන් වෙත ළංකර ගැනීම හා ශ්‍රීලනිපයේ නායකත්වය තමන් අතට ගැනීම ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වය කෙරෙහි බලපෑ ප්‍රධානම හේතු දෙක ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කළේ ශ්‍රීලනිප අපේක්ෂකයකු වශයෙන් නොව ශ්‍රීලනිපයට හා එහි නායකයාට එරෙහිව ප්‍රධාන කොට එක්සත් ජාතික පක්ෂයෙන් ආධාර ලබන විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයකු වශයෙනි. ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරයෙකු තේරී පත්වන අවස්ථාවකදී ශ්‍රීලනිප නායකත්වය එම ජනාධිපතිවරයාට හිමිවිය යුතුය කියන ව්‍යවස්ථාමය සිද්ධාන්තය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අදාළ වන්නේ නැත. ඔහු ජනාධිපති ධුරයට තේරී පත්වූයේ ශ්‍රීලනිපයෙන් නොව ශ්‍රීලනිපයට එරෙහිව තරග කළ ප්‍රතිපක්ෂයෙනි. ප්‍රතිපක්ෂයකින් තරග කරන ක්‍රියාවලිය තුළට ඔහුට ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද අහිමිවන්නේය. මේ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෑගි දුන් නිසා හෝ වෙනත් ආකාරයකින් එය ලබාගත් නිසා හෝ නීතිමය අර්ථයෙන් සේ ම සදාචාරමය අර්ථයෙන්ද ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමිවන්නේ නැත.

එහෙත් ඊට වෙනස්ව මහින්ද රාජපක්ෂට එරෙහිව ශ්‍රීලනිපය තුළ අභ්‍යන්තර අරගලයක් වී නම් හා මෛත්‍රීපාල සිරිසේන එම අභ්‍යන්තර අරගලයට නායකත්වය දුන් පුද්ගලයා වී නම් හා එම අභ්‍යන්තර අරගලය නිසා ශ්‍රීලනිප තුළ ලොකු බෙදීමක් ඇතිවී තිබුණේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කරන්නේ එම කණ්ඩායමේ සහාය ඇතිව එම කණ්ඩායම වෙනුවෙන් නම් ශ්‍රීලනි පක්ෂයේ නායකත්වයට අයිතිවාසිකම් කීමේ අයිතිය ජයග්‍රාහී ජනාධිපතිවරයාට හිමිවන්නේය. එහෙත් සිදුවූයේ එවැනි දෙයක් නොව ඊට සහමුලින් වෙනස් දෙයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්කිරීමට දායක වූ බල කණ්ඩායම එජාපය වන නිසාත් එම ජයග්‍රහණයෙන් ගොඩනගන ලද ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවා එජාපය වීම නිසාත් උග්‍ර රනිල් විරෝධී පුද්ගලයන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයකට යෑමෙන් ජනාධිපතිවරයා වැළකී සිටිය යුතුව තිබුණි. එහෙත් එවැනි සංයමයක් පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා සමත් වූයේ නැත. ඒ නිසා ජනාධිපති කෙරෙහි සැකයෙන් බලන තැනකට අගමැතිවරයා තල්ලු කිරීමට හේතුවිය.

මෙම නායකයන් දෙදෙනා අතුරින් දැනුමෙන් හා අත්දැකීම්වලින් වැඩිම නිපුණත්වයක් හිමිකරගත් නායකයා ලෙස සැලකිය හැක්කේ අගමැති රනිල් වික්‍රමසිංහය. එහෙත් ඔහු මෙම යහපාලන භූමිකාව තුළ ඔහුට මහජනයා අතර සේ ම පාක්ෂිකයන් අතර තිබෙන පිළිගැනීම ශක්තිමත් කරගනිමින් හොඳ විකල්ප නායකයකු ලෙස තහවුරුවීමට තිබුණු අවස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වූයේ නැත. ඔහු තම ප්‍රතිරූපය ශක්තිමත් කරගන්නවා වෙනුවට දුර්වල කරගත්තේය.

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ වැඩසටහන ඔහු ක්‍රියාවට නගන ලද්දේ ඒ ගැන නිසි විවේචනාත්මකව කරුණු සොයා බැලීමකින් තොරවය. ඒ වනවිට රට තිබුණේ විශාල විනාශයකට පසුව මහා ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබූ අවස්ථාවකය. සමාජය තිබුණේ කිසියම් විශාල ප්‍රමාණයකට මරණයට පත්වූ හා විකෘති වූ තත්ත්වයකය. රටේ සමස්ත ආයතන ක්‍රමය තිබුණේ අකාර්යක්ෂම දූෂිත හා කුණුවූ තත්ත්වයකය. දේවල් ආරම්භ කළ යුතුව තිබුණේ ආපසු හැරී බලන තැනකට යෑමෙනි. එහෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද මතුපිටින් අතපත ගාන තැනට ගියා මිස ලංකාව ඇද වැටී තිබුණු අවාසනාවන්ත තත්ත්වයෙන් රට ගලවා ගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික ගැඹුරු දැක්මක් තමන්ට ඇති බව පෙන්නුම් කිරීමට සමත් වූයේ නැත.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය කුණුවී තිබුණු ආයතන ක්‍රමය එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට හේතුවන සාර්ථක විසඳුමක් නොවන බව කල්තියා තේරුම් ගැනීමට අගමැතිවරයාද අසමත් විය. දීර්ඝ කාලයක් තිස්සේ රටේ ඇතිව තිබූ මහා විනාශය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු ඕනෑම ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යන්නට පෙර සිදුවී තිබූ දේවල් දෙස ආපසු හැරී බලන තැනකට යන්නට අසමත් විය. අන් වර්ග හා ආගම්වලට එරෙහිව වෛරය ඇති කිරීමට හේතුවන ප්‍රචාරක ව්‍යාපාරවලට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට අසමත් විය. සමහර දේවල් සිදු කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට නොව සටකපට ආකාරයකටය. විරුද්ධ පක්ෂ නායකත්වය දෙමළ සන්ධානයේ නායකයාට දීම, විරුද්ධ පක්ෂයේ සංවිධායක ධුරය ජවිපෙ නායකයාට දීම ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ සෙල්ලම් කරන්නට යෑම ඉතාමත් භයානකය.

රනිල් වික්‍රමසිංහ පාලනය තුළ දක්නට ලැබුණු අවලස්සනම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා ඔහු විසින් යොදා ගත් ඔවුන්ට කප්පම් ගෙවීමේ ක්‍රමයයි. මේ ක්‍රමය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් රටට හඳුන්වා දුන් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඊට පෙර මහජන මන්ත්‍රීවරුන්ට රජය සමඟ ව්‍යාපාරවල යෙදීමේ අයිතියක් නොතිබුණි. එසේ කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමයක් ක්‍රියාත්මක විය. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ ඉඩම් මිලදී ගත නොහැකිය. ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කළ නොහැකිය. ආදායම් උපයාගත හැකි බලපත්‍රලාභීන් විය නොහැකිය. ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දී තිබුණු මෙම අවලස්සන ක්‍රමය ආපසු හැරවිය යුතුව තිබුණු මුත් ඒ වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ කළේ එම අවලස්සන කෑදර ක්‍රමය තවදුරටත් ශක්තිමත් කොට වර්ධනය කිරීමය. ඔහු එම වැරදි ක්‍රමය තහනම් නොකළා පමණක් නොව මන්ත්‍රීවරුන්ට වැඩි වැඩයෙන් කප්පම් ලබාගත හැකිවන ලෙස ඒ ක්‍රමය පුළුල් කර දුන්නේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කළේද තේරී පත්වන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණ කිරීමට හේතුවන ආකාරයටය. මොනතරම් වැරදි අඩුපාඩුකම් තිබුණද විරුද්ධවාදීන් පවා රනිල් වික්‍රමසිංහ හඳුන්වන ලද්දේ මිස්ටර් ක්ලීන් වශයෙනි. ඔහු විසින් විශේෂයෙන් තෝරා පත් කරන ලද මහ බැංකු අධිපතිගේ කාලයේ එහි ඇතිවූ බැඳුම්කර වංචාව රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය නැවත පිළිසකර කරගත නොහැකි ආකාරයට නැතිභංග කළේය. දුම්රිය නොසලකා අතුරු මාර්ග සංවර්ධනය නොසලකා පස් කඳු ගොඩ ගසා හදන අධිවේග මාර්ගවලට ලබාදී තිබෙන ප්‍රමුඛත්වය සංවර්ධන විෂයේදී පවා අගමැතිවරයාට තිබෙන දැක්ම ප්‍රායෝගික හා ප්‍රශස්ත එකක් නොවන බව පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් අධිවේග හදන්නේ උඩිනි. ලංකාවේ අධිවේග හදන්නේ පස් කඳු මතය. එසේ පස් කඳු මත හදන අධිවේග මාර්ග භූමිය කෙරෙහි විනාශකාරී ලෙස බලපායි. දැන් ලංකාව නවීන මාර්ග ඇති රටකි. අතුරු මාර්ග සංවර්ධනය කිරීමෙන් හා දුම්රිය මාර්ග නවීන කිරීමෙන් මාර්ග තදබදය ජයගත හැකිය. කරක් බරට ණයවී තිබෙන රටක් පොලියට මුදල් ගෙන බිලියන දහස් ගණනක් යොදා අධිවේග මාර්ග හැදීමෙන් රටට ළඟාකර ගත හැකි ප්‍රගතියක් තිබේද? අධිවේග මාර්ග ආදායම් උපදවන්නේ නැත. උපදවන ආදායම ප්‍රමාණවත් වන්නේ ඒවා නඩත්තු කිරීම සඳහා පමණය. ලබාගන්නා ණය ආපසු ගෙවීමට ආදායම් උපදවන්නේ නැති ව්‍යාපෘතියක් රටේ යහපතට හේතුවන්නේ කෙසේද?

දැන් ලංකාව තිබෙන්නේ යහපත් තැනක නොව අරාජිකත්වයකට යන තැනකය. ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අශීලාචාරත්වයට මූලික හේතුව නිදහස ලබාගැනීමේදී ජාතික රාජ්‍යයේ පැවැත්මට නැතිවම බැරි නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසාය. අපට ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය නම් හුඟාක් ප්‍රමාද වී හෝ නූතන ජාතිය ගොඩ ගන්නා තැනකට යා යුතුය. ඒ සඳහා වර්ග භේදයට, කුලභේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කළ යුතුය. භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන තැනකට යායුතුය. ඒ මගින් ගොඩනගා ගන්නා නවීන ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ජරපත් තත්ත්වයක තිබෙන රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරගන්නා තැනට යායුතුය.

යහපාලන ආණ්ඩුව දක්වාම මෙතෙක් පහළ වූ සියලු ආණ්ඩු එම මූලික අවශ්‍යතාව හඳුනාගෙන එම ඓතිහාසික අවශ්‍යතාව පරිපූර්ණ කරන තැනට යාමට අසමත් විය. රට අරාජික තත්ත්වයකට තල්ලුවෙමින් තිබෙන්නේද එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි කිව හැකිය. රටට හොඳ නුවණ පහළ වන්නට යන්නේ කවදාටද?■