රාවය

මෛත‍්‍රී, මහින්ද වෙන වෙනම තරගයට

මෛත‍්‍රී, මහින්ද වෙන වෙනම තරගයට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන පාර්ශ්වය සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා මෙතෙක් සිදුකළ සාකච්ඡුා අසාර්ථකවීම නිසා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුව ලකුණෙන්ද ශ‍්‍රීලනිපය අත ලකුණෙන්ද තරග කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා සහ 28 වැනිදා ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නම් කළ නියෝජිතයන් අතර සාකච්ඡුා පැවති අතර එම සාකච්ඡුා අසාර්ථක වී ඇත. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සාකච්ඡුාවලට සහභාගි වූ නියෝජිතයෙකු පැවසුවේ එක්ව තරග කිරීමට නම් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව සහ තරග කරන පක්ෂයේ නායකත්වය සහ ලේකම් ධුරය මහින්ද රාජපක්ෂ පිළට තිබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයෙන් කොන්දේසි ලෙස ඉදිරිපත් කළ නමුත් ශ‍්‍රීලනිපය පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කළ නිසා සාකච්ඡුා අසාර්ථක වූ බවයි.
ශ‍්‍රීලනිප ඉහළ පෙළේ සාමාජිකයෙකු රාවය සමඟ පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කළ නිසා සාකච්ඡුා අසාර්ථක වූ බවයි.
රාවය කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ වනවිට පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අපේක්ෂක ලැයිස්තු බොහෝ දුරට අවසන් කර ඇති බවයි. ඉදිරි දිනවල අනෙක් ප‍්‍රදේශවල ඇප මුදල් තැන්පත් කරන බවත් මැතිවරණයට පොදුජන පෙරමුණ ඉදිරිපත් වන බවත්ය.
ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු කළ විමසීමකදී පැවසුවේ පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නොනිල වශයෙන් තීරණය කර ඇති බවයි.
ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ නිල වශයෙන් තීරණය කර නැතත් ශ‍්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමට සියලූදෙනාගේ කැමැත්ත ලැබී ඇති බවයි. මේ වනවිට අපේක්ෂක ලැයිස්තු සකස් කරමින් සිටින බවද ඔහු පැවසීය.
ශ‍්‍රීලනිපයේ සාමාජිකත්වය දරන අතර වෙනත් පක්ෂයකට සහාය ලබාදෙන ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ විනය පියවර ගන්නේදැයි අප කළ විමසීමකදී දුමින්ද දිසානායක මහතා පැවසුවේ ඒ පිළිබඳව ඉදිරියේදී බලාගත හැකිවනු ඇති බවයි.

 

තරිඳු උඩුවරගෙදර/රේඛා නිලූක්ෂි