රාවය

. සන්ධාන කතා බිඳවැටීමෙන් පසු

. සන්ධාන කතා බිඳවැටීමෙන් පසු

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ඒකාබද්ධ විපක්‍ෂයත් අතර හැදෙන්නට ගිය සන්ධානය කඩාකප්පල් වීම බොහෝ දෙනා ප‍්‍රාර්ථනා කළ අතර, එය කඩාකප්පල් වීම ගැන ඒ බොහෝ දෙනා සිය ප‍්‍රීතියද පළකළහ.
ඒ බොහෝ දෙනා යන්නෙන්, ජනවාරි 8 රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමට ඡුන්දය දුන් ජනතාව, එජාපය, ශ‍්‍රීලනිපය තුළ සිටින ඇත්ත වශයෙන්ම රාජපක්‍ෂවරුන්ගේ අධිකාරවාදී පවුල් පාලනය ප‍්‍රතික්‍ෂෙප කරන දේශපාලනඥයන්, ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින සමහර දේශපාලනඥයන් යන අය අදහස් වෙයි. මේ ගොඬේ ඇතැම් විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද සිටින්නට ඇත. හේතුව, ජනාධිපති සිරිසේන තවමත් රාජපක්‍ෂවරුන්ට කෙරෙහි දක්වන දැඩි විරෝධයයි. එය දේශපාලන කරුණු මත දක්වන විරෝධයක් පමණක් නොව, පෞද්ගලික කරුණු රාශියක් මතද දක්වන විරෝධයක් නිසා, ලෙහෙසියෙන් සමනය වෙන දෙයක් නොවේ.
එහෙම වුණත්, තමන් සභාපති වන, ඇත්ත වශයෙන්ම දෙකට කැඞී තිබෙන පක්‍ෂය එකතු කරන්නට කවුරුන් හෝ කතාකරන විට එයට විරුද්ධ වන්නට තමාට ඇති නොහැකියාව නිසා, එවැනි උත්සාහයන්ට බාධා කරන්නට ජනාධිපතිවරයා අකමැති වුණා වන්නට පුළුවන. ඒකාබද්ධ විපක්‍ෂය නැවතත් ශ‍්‍රීලනිපය තුළට ගෙන ශ‍්‍රීලනිපයේ රාමුව තුළ කිසියම් ආකාරයකට හික්මවා ගැනීමටද ජනාධිපතිවරයා කල්පනා කළා වන්නට පුළුවන.
සන්ධානය නොහැදීම ගැන ඒකාබද්ධයේ සිටින සෑහෙන පිරිසක්ද සතුටු වන්නට ඇත්තේ, තමන්ට තනියෙන් කඩාගන්නට තිබුණු ගෙඩි අනුන් සමග හවුල්වී කඩාගන්නට සිදුවීමේ අවුල එයින් මගහැරෙන නිසාය.
කොහොමටත් ඒකාබද්ධ විපක්‍ෂයේ අධිතක්සේරුවක් තිබේ. ශ‍්‍රීලනිපය වෙනම ඡුන්දයට ගියහොත්, තමන්ට අනිවාර්යයෙන්ම ශ‍්‍රීලනිපය අබිබවා යන්නට පුළුවන් බව ඒකාබද්ධ විපක්‍ෂය දනියි. ඒ අතරේ පළාත් පාලන ආයතන එකක හෝ කිහිපයක තනි බලයක් පිහිටුවන්නට පුළුවන් වුණොත්, නැතිනම් ශ‍්‍රීලනිපය හා එජාපය අබිබවා වැඩිම ඡුන්දය ලබාගන්නා දේශපාලන පක්‍ෂය තමන් වුණොත්, එයින් බලවත් සංඥාවක් රටට දිය හැකි බවද ඒකාබද්ධ විපක්‍ෂය දනියි.
එක පැත්තකින් එවැනි සංඥාවකින්, ගමනේ කෙළවරක් තවමත් නොදැක දුර්වල වී සිටින තමන්ගේ පාක්‍ෂිකයන් දිරිමත් කළ හැකිය. අනෙක් අතට, රාජ්‍ය නිලධාරින් ඇතුළු රාජ්‍ය යන්ත‍්‍රණයේ පිරිස් දුර්වල කරවා පවතින රාජ්‍ය යන්ත‍්‍රණය තවදුරටත් අඩාළ කළ හැකිය. අනෙක් අතට තමන් නුදුරේදීම යළිත් බලයට එන්නේය කියන බිය ඇතිකොට තමන්ට එරෙහිව පවත්වාගෙන යන වංචා ¥ෂණ විමර්ශනවල වේගය අඩාළ කළ හැකිය. නැතිනම් ඒවා සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. ඒ වාගේම එම නඩු විමසන අධිකරණයේ මානසිකත්වයටද යම් ආකාරයකින් බලපෑම් කළ හැකිය.
ශ‍්‍රීලනිප-ඒකාබද්ධ විපක්‍ෂ සන්ධානය කඩාකප්පල් වීම ගැන කනගාටුවට පත්වන පිරිස ඉන්නේද ශ‍්‍රීලනිපය තුළමය. ආණ්ඩුවේ ඇමතිකම් ලබාගෙන සිටින නමුත්, මහින්ද රාජපක්‍ෂ තමන්ගේ අනුත්තර නායකයා හැටියට තවමත් කල්පනා කරන, ඔහුගේ සෙවණේ ගෙවන එක්තරා ආකාරයක වහල් නමුත් යසඉසුරු සහිත ජීවිතය ගැන ආදරයක් දක්වන ශ‍්‍රීලනිප ඇමති පිරිස එක් අතකින්ද, මහින්ද රාජපක්‍ෂ සමග එක් නොවුණහොත් යළිත් මැතිවරණ ජයග‍්‍රහණය කිරීම අපහසුයැයි සිතන ශ‍්‍රීලනිපයේ ඡුන්දදායකයෝ තවත් අතකින්ද ඒ පිරිස අතර සිටිති. එක අතකින් ශ‍්‍රීලනිපය තුළ සිටින වඩා ප‍්‍රගතිශීලී දේශපාලනඥයන්ට හිසරදයක්ද වී ඇති මේ ඇමතිවරුන්, කොයි මොහොතක හෝ නැවතත් මහින්ද රාජපක්‍ෂ වෙත යෑම නියතයකි. ඒ දවස එළඹෙන තුරු ශ‍්‍රීලනිපය තුළ කල් මරමින් සිටින මේ පිරිස, එක පැත්තකින් පිරිසිදු ශ‍්‍රීලනිපයක් ගොඩනැගීමටද බාධාවකි. ශී‍්‍රලනිප-ඒකාබද්ධ සන්ධානය මේ අවස්ථාවේදී අතහැරුණද රාජපක්‍ෂ සමග එකතුවීමේ තමන්ගේ ක‍්‍රියාන්විතයේ දිගටම ඔවුන් යෙදී සිටිනු ඇත. දෙසැම්බරයේ අවසාන වනවායැ’යි කියන එජාප-ශ‍්‍රීලනිප අවබෝධතාව ඔවුන්ට අනාගතයේදී මහින්ද සරණ යෑමට ලැබෙන එවැනි එක් අවස්ථාවකි.
ශ‍්‍රීලනිප-ඒකාබද්ධ විපක්‍ෂ සන්ධානය දැන් අතීතයට අයිති නමුත්, එය සිදුවුණා නම් දේශපාලන තලයේ ඇතිවන්නට ඉඩතිබුණු අවුල් ප‍්‍රමාණය නොතකා හැරිය නොහැකිය.
එක පැත්තකින් එය ජනවාරි 8 දේශපාලන වෙනසේ නිලයටම පහර වැදෙන එකකි. ජනවාරි 8 පරාජය කෙරුණු රාජපක්‍ෂ පාලනය පස්සා දොරෙන් නැවත කැන්දා ගැනීමක් එයින් සිදුවෙයි. එපමණක් නොවේ, එය සමාන වන්නේ 2015 අගෝස්තු මහමැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ශ‍්‍රීලනිපයේ නාමයෝජනා ලබාදීමෙන් කළ පාවාදීමටය.
එවැනි සන්ධානයක්, අනිවාර්යයෙන්ම දැන් පවතින සම්මුතිවාදී ආණ්ඩුවේ හිසටම පහර දෙන්නක් වෙයි. ඒ කියන්නේ, එවැනි සන්ධානයක් ඇති වුණි නම්, එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව අවසන් වෙනවා නියතය. ඒ බව එජාපය පැත්තෙන් ජනාධිපතිවරයාට විවිධ ආකාරයෙන් දැනුම් දී තිබුණු බවද දැනගන්නට ලැබෙයි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයට දිවයිනෙන් පිටත්ව යන්නට පෙර හමුවුණු ඇමති මංගල සමරවීර, එවැනි සන්ධානයක් ඇතිවුණොත් ආණ්ඩුවට විය හැකි අවුල පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.
එජාපයේ ගණන් බැලිම වී තිබුණේ, සිරිසේන ජනාධිපතිවරයා එවැනි සන්ධානයකට ගියහොත්, සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වී එජාපය ප‍්‍රමුඛ ආණ්ඩුවක් හැදීමයි. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය එකතු කර ගැනීමේ වෑයමක්ද ක‍්‍රියාත්මක වී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණද ඒ ඒ අවස්ථාව අනුව ආණ්ඩුවට සහයෝගය දෙනු ඇතැ’යි එජාපයේ කල්පනාව වී තිබුණි.
ඒ ආකාරයෙන් ආසන 130ක පමණ බලයකින් යුක්ත ආණ්ඩුවක් තමන්ට නිර්මාණය කරගත හැකියැයි එජාපයේ තක්සේරුව විය. එවැනි ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන ආණ්ඩුවක් වන නමුත්, විශේෂ බහුතරයක් හෙවත් තුනෙන් දෙකක් බලය ඇති ආණ්ඩුවක් නොවේ. එවැනි ආණ්ඩුවකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැනි දේවල් බලාපොරොත්තු විය නොහැකිය. ඒ කියන්නේ මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වන වැදගත්ම කාරණයක් අතහැර දැමීමට සිදුවීමයි.
ආණ්ඩුවක් හැදීමට එජාපයේ ගණන් බැලීම කොහොම වුණත්, සිරිසේන ජනාධිපතිවරයා විරසක කරගෙන එජාප ආණ්ඩුවක් පවත්වාගෙන යෑම ලේසි පහසු නොවන බව පැහැදිලිය. එය නැවත වාරයක් චන්ද්‍රිකා-රනිල් ආණ්ඩුවේ තත්ත්වයටම යෑමකි. කොහොම වුණත් තවමත් සිටින්නේ, විධායක බලතල කොටසක් පමණක් ඉවත්කරන ලද විධායක ජනාධිපතිවරයකු බව සිතන කල්හි එවැනි ආණ්ඩුවක් පවත්වාගෙන යෑම හිතන තරම් පහසු නොවන බවත් එයින් දේශපාලන ප‍්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීම ඊටත් වඩා අමාරු බවත් කිවයුතු නැත.
ශ‍්‍රීලනිප-ඒකාබද්ධ සන්ධානය නොහැදුණත්, එයින් වඩාත්ම දුර්වල වුණේ ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශ්වයයි. තමන්ට තනියෙන් තරග කර අසරණ වන්නට බැරි නිසා සන්ධානයකට ශ‍්‍රීලනිපය ගිය බව ජනතාවගේ සාමාන්‍ය දැනුමයි. පළාත් පාලන ඡුන්ද සීමා නිර්ණය ගැසට් පත‍්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් ගියේ ශ‍්‍රීලනිපයේ වුවමනාවෙනි. ඒ පෙත්සම්කරුවන් බොහෝ දෙනකු ශ‍්‍රීලනිපයේ සාමාජිකයන්ය. ඡුන්දය කල් දැමෙන කාලය තුළ ශ‍්‍රීලනිප-ඒකාබද්ධ විපක්‍ෂ සන්ධානයකට සාකච්ඡුා කිරිම ශ‍්‍රීලනිපයේ අපේක්‍ෂාව වන්නට ඇත. අන්තිමට, ඒ පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව පාර්ලිමේන්තුවට කියන්නට සිදුවුණේද පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆාටය. මුස්තාෆා අවසානයේ පත්වුණේ කරේ අළු ගෑවුණු පුහුල් හොරාගේ තත්ත්වයටමය.
දැන් ශ‍්‍රීලනිපය දුන් අත ඒකාබද්ධය විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබේ. විතරක් නෙවෙයි, සමහර විට හපා කා ද තිබේ. සන්ධාන කතා බිඳවැටීමෙන් පසු ඒකාබද්ධයේ අය කියන වහසි බස් හා අවලාද ශ‍්‍රීලනිපය තව තවත් දුර්වල වුණු බවට හොඳ දර්ශකයකි. දැන් ශ‍්‍රීලනිපය තිබෙන්නේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතිවී ගිය අසරණ තත්ත්වයකය. තනියෙන් පළාත් පාලන ඡුන්දයට යනවා විනා වෙනත් තෝරාගැනීමක් ඔවුන්ට නැත. මේ සන්ධාන සාකච්ඡුාව විසින් ශී‍්‍රලනිපය හිටියාටත් වඩා පහළ තැනකට ඇද දමා තිබේ.
යම් හෙයකින් සන්ධානයකට ගියා නම්, ශ‍්‍රීලනිපයට අත්වන්නට තිබුණේ 2015 මහ මැතිවරණයේදී මෛත‍්‍රී පාර්ශ්වයේ අපේක්‍ෂකයන්ට අත්වුණු ඉරණමමය. ඒ කියන්නේ, ඒකාබද්ධය විසින්, තමන් සමග එකම ලැයිස්තුවේ ඉල්ලන මෛත‍්‍රී කණ්ඩායමේ අපේක්‍ෂකයන් පරාජය කරන්නට දැනුවත් ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයනවා නියතය. අවසානයේ සිදුවන්නට තිබුණේ, ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් සියල්ලන්ම වාගේ පරාජය කර ඒකාබද්ධ විපක්‍ෂය පමණක් ශ‍්‍රීලනිපය තුළ බලය තහවුරු කර ගැනීමයි. ඒ විදියට බැලූවොත්, පළාත් පාලන ඡුන්දයෙන් පසු ඒකාබද්ධ විපක්‍ෂය ශ‍්‍රීලනිපය තුළ වඩාත් බලවත්වී, ‘තමන්ට වුවමනා විදියට ඒකාබද්ධය හසුරුවාගත හැකියැ’යි සිතූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු නම් සිඳ දමනු ඇත.
ජනවාරි 8 ජයග‍්‍රහණයෙන් පසු ශ‍්‍රීලනිප සභාපතිකම සිරිසේන මහතා භාරගැනීම විවේචනයට බඳුන් වුණා වුණත්, 2015දී සභාපතිකම භාරගත් පසු පිරිසිදු පක්‍ෂයක් හැටියට බිම් මට්ටමේ සිට එය ගොඩනැගීමටත්, විනයානුකූල පක්‍ෂයක් බවට පත්කිරීමටත් සිරිසේන ජනාධිපතිවරයාට තිබුණු සෑම වැදගත් අවස්ථාවක්ම කනගාටුදායක ලෙස අත්හරින ලද බව කිවයුතුය. කුමන හෝ හේතුවක් නිසා, පක්‍ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඍජු තීන්දු තීරණ ජනාධිපතිවරයා ගත්තේ නැත. පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමට ඔහු කළේ ඒකාබද්ධයට නොගොස් හෝ යන්නට බැරිව සිටි ඉතුරු බිතුරු පක්‍ෂයට එකතු කර ගැනීමය. හම්බන්තොටදී එජාප මන්ත‍්‍රීවරුන්ට පිස්තෝලයක් එල්ල කළ පුද්ගලයා, කුඹුක්ගැටේදී අලූත් පරපුරට පහර දුන් පුද්ගලයා මෙන්ම නවගත්තේගමදී පාසල් ගුරුවරියක බිම දනගැස්වු පුද්ගලයාටද සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ ආසන සංවිධායකකම් ලැබුණි. මේ සමහර අපකීර්තිමත් පුද්ගලයන් සංවිධායකයන් හැටියට පත්කෙරෙන බව ශ‍්‍රීලනිපයේ මුල් පෙළේ දේශපාලනඥයන් පවා නොදැන සිටි බව දැනගන්නට තිබේ.
අවසානයේ පක්‍ෂයටත් ජනාධිපතිවරයාටත් අපකීර්තියක් ඈඳුණා මිස, සංවිධායකයන් හැටියටවත් මේ අයගෙන් පක්‍ෂයට යමක් සිදුවී නැති බව ඒ ඒ ප‍්‍රදේශවලින් අසන්නට ලැබේ. ඊට අමතරව පක්‍ෂයේ සංවිධායකයන් හැටියට පත්කළ බොහෝ පුද්ගලයන් සංවිධාන ශක්තියක් නැති දුර්වලයන්ය.
ඒකාබද්ධ විපක්‍ෂය දැන දැනම සැලසුම් සහගතව සිරිසේන මහතාටත්, ශී‍්‍රලනිපයටත් එරෙහිව යද්දී, කිසිම බලවත් තීන්දුවක් ඔවුන්ට එරෙහිව ගැනුණේ නැත. මේ විදියට දිගින් දිගටම ඒකාබද්ධ විපක්‍ෂය ශක්තිමත් වීමේ වගකීමෙන් සෑහෙන කොටසක් ගත යුත්තේ එක පැත්තකින් පක්‍ෂයේ සභාපතිවරයාමය.
සන්ධාන කතා අසාර්ථක වීමෙන් පසු වැටුණු ශ‍්‍රීලනිපයට හයියක් එජාපය පැත්තෙන්වත් දිය හැකිදැයි බොහෝ දෙනා විමසිලිමත් වුහ. එනම්, නැවතත් එජාප-ශ‍්‍රීලනිප සන්ධානයකට හෙවත් හංස සන්ධානයකට යෑමයි. එහෙත්, ප‍්‍රායෝගිකව එය කළ නොහැකි අන්දමට දැන් දේවල් දුරදිග ගොස් තිබේ. එජාපය සම්පූර්ණයෙන්ම අපේක්‍ෂක ලැයිස්තු හදා නාමයෝජනා දීමට සුදානම් වී සිටියි. තමන්ට දිනන්නට තිබෙන අවස්ථාවක් දුර්වල ශ‍්‍රීලනිපය සමග බෙදාහදාගන්නට මේ මොහොතේ එජාපය, විශේෂයෙන්ම එහි බිම් මට්ටමේ දේශපාලනඥයන් හා ඡුන්දදායකයන් සූදානම් නැත.
අන්තිමට ශ‍්‍රීලනිපයට තමන්ටම තුවාල සිදුකරගනිමින් සන්ධානගත වීමේ තරගයෙන් ඉවත්වී පිටියේ ගිමන් හරින්නට සිදුවිය. දැන්වත් එය පක්‍ෂයක් හැටියට යථාර්ථයට මුහුණ දිය යුතුය. ඒකාබද්ධ විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය අතර පැහැදිලි බෙදුම් රේඛාව සලකුණු කළ යුතුය. ඉන් එහා පැත්තේ සිටනවුන් ගැන නිසි පියවර ගත යුතුය. පක්‍ෂයට අලූත් මුහුණු, අලූත් අදහස් හා පිරිසිදු නව ජවයක් එකතු කළ යුතුය