රාවය

විධායක අගමැති ක‍්‍රමයක් කිසිම රටක නෑ………………… ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපති නීතීඥ

විධායක අගමැති ක‍්‍රමයක් කිසිම රටක නෑ…………………  ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපති නීතීඥ

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යය මේ වන විට තියෙන්නේ කොතැනද?

මෙහෙයුම් කමිටුව විසින් යෝජනා කරලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් පත් කළ අනුකමිටු හයේම වාර්තා ගිය අවුරුද්දේ නොවැම්බර් ඉදිරිපත් කළා. දැන් වෙනකොට ඒවා අවශ්‍ය ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා මේ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් වුණා. අද වන විට ඒ පිළිබඳ විවාදයක් යනවා. දැන් දවස් පහක් විතර ඒ විවාදය ගියා. ඒකෙ අවසන් දිනය නියම කරලා තියෙනවා දෙසැම්බර් එකොළහට. ඒ වගේම ලබන අවුරුද්දේ මුලදී අර අතුරු කමිටු වාර්තා හය ගැනත් විවාදයක් තියෙන්න නියමිතයි. නමුත් ඒකට තවම දින නියම වෙලා නෑ.
අද සමහරු වැරදි අදහස් ප‍්‍රකාශ කරමින් ඉන්නවා මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා ඉවරයි -ඒ විදිහේ කෙටුම්පතක් හැමදාම අපි ළ`ග තිබුණා වගේ. නමුත් මට පැහැදිලිව කියන්න පුළුවන් එහෙම එකක් නෑ. ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ මොනවාද කියලා එකඟත්වයක් නැතිව කෙටුම්පතක් කරන්නෙ කොහොමද. එහෙම කෙටුම්පත් කළත් ඒක දවසින් දවස වෙනස් කරන්ඩ සිද්ධ වෙනවා.

 

කෙටුම්පත් කිරීමේ පිළිබඳ සමස්ත කාරකත්වය ඔබ වැනි උපදේශකයින් සහ කෙටුම්පත්කරුවන් කිහිපදෙනෙක් සතු බව ඇතැම් අය හ`ගවනවා. මේ කාර්යය තුළ ඔබගේ කාර්යනුත් සීමාවනුත් මොනවාද?

පෞද්ගලිකව ගත්තාම මම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක්. අගමැතිතුමාගේ මූලිකත්වයෙන් මෙහෙයුම් කමිටුවේ තව විසිදෙනෙක් ඉන්නවා. ඒ වගේම මම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කළමනාකරණ කමිටුවේ සමසභාපතිවරයෙක්. අනික් සමසභාපති සුමන්තිරන් මහත්තයා. ඒ වගේම කළමනාකරණ කමිටුව මගින් ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන කිසි දෙයක් කරන්නේ නෑ. ඒ මගින් කරන්නේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ කටයුතු කළමනාකරණය කිරීම විතරයි.
මම මීට කලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම්වලට සම්බන්ධ වෙලා හිටියා. දෙදාහේ ව්‍යවස්ථාව මූලික වශයෙන් කෙටුම්පත් කළේ එවකට නීතිපති සරත් එන් සිල්වා මැතිතුමා, නලින් අබේසේකර මැතිතුමා සහ මම. මම ඒ කාලේ අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක. ඒ වගේම දාහත්වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්කරණයටත් මම ඉතාමත් ම සක‍්‍රියව දායක වුණා. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයේදීත් ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට මම සෑහෙන්න දායක වුණා. අලූතින් නිර්මාණය කරන්න හදන ව්‍යවස්ථාව තවම කෙටුම්පත් කරලා නෑ. නමුත් කෙටුම්පත් කරද්දී ඒ සඳහා මගේ දායකත්වය ලැබෙනවා.
නමුත් ඔබ ඇහුවා වගේ, කෙටුම්පත්කරුවන්ගේ සහ උපදේශකයන්ගේ කාර්යභාරය පිළිබඳව සමහරු තුළ තියෙන්නෙ වැරදි මතයක්. එක්දහස් නවසිය හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදපු කාලේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා වෙලා හිටියේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ඒ ව්‍යවස්ථාවේ බුද්ධාගම පිළිබඳ වගන්තිය ගැන එතුමාගේ දායකත්වය පිළිබඳව පස්සෙ කාලෙක එතුමාගෙන් ප‍්‍රශ්න කෙරෙද්දී, එතුමා කිව්වේ, ව්‍යවස්ථාවක් හදද්දී ඒක හදන්නේ ව්‍යවස්ථා කටයුතු ඇමති නෙමෙයි කියලා. ඒ වගේම වාමාංශිකයෙක් හැටියට තමාගේ කැමැත්ත තිබුණේ අනාගමික රාජ්‍යයකට කියලා එතුමා හෙළිදරවු කළා. මේ දෙයින් තේරෙන කාරණේ තමයි හැත්තෑ දෙකේ ව්‍යවස්ථාවේ නිර්මාතෘ කොල්වින් ආර් ද සිල්වා කියලා කිව්වාට ඒක වැරදියි කියන එක. ඔහුට ඇමතිවරයා හැටියට මේ වගේ කාර්යයකදී යම් බලපෑමක් කරන්න පුළුවන් තමයි. නමුත් සමස්ත ව්‍යවස්ථාව හදන්න බෑ.
මට මතකයි ඒ ව්‍යවස්ථාවේ මුලින්ම සම්මත කළ යෝජනාව තුළ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලැබෙනවා කියලා තිබුණේ නෑ. ප‍්‍රමුඛස්ථානය කියන එක වෙනුවට තිබුණේ බුද්ධාගමට නිසි තැන ලැබෙනවා කියලා. නමුත් අවසාන කෙටුම්පතට යනකොට මේක ප‍්‍රමුඛස්ථානය වුණා. මේ ගැන පස්සෙ කාලෙක අපි කීපදෙනෙක් කොල්වින් ආර් ද සිල්වාගෙන් ඇහුවා. එතකොට එතුමා මතක් කරලා දුන්නා මේ කාලයේදී එක පාරටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කීපදෙනෙක් බුදුදහම රාජ්‍ය ආගම කරන්න ඕනෑ කියලා කියූ විත්තිය. ඒ වෙලාවෙ එතුමා කළේ ටීබී ඉලංගරත්න සහ ටීබී සුබසිංහ හමුවුණ එක. මොකද මේ දෙන්නාම වමට බර දෙන්නෙක්. මේ ගැටලූව විසඳා දෙන්නම් කියලා ටීබී ඉලංගරත්න මහත්තයා අර මන්ත‍්‍රීවරුන් කණ්ඩායම කැෙ`දව්වා. ඒ වෙලාවේ තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ, බුද්ධාගම රාජ්‍ය ආගම කළ යුතුයි කියලා කියන්න කියලා අදාල මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දීලා තිබුණේ උග‍්‍ර ක‍්‍රිස්තියානි භක්තිකයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියලා. මොකද ඒ වන විට සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ අපි ඉතාමත් ශක්තිමත්. අන්ත දක්ෂිණාංශිකයෙක් වූ ෆීලික්ස් ඩයස්ට ඕනෑ වුණේ අපි හදන්න ගිය ව්‍යවස්ථාව කොයි විදිහෙන් හරි කඩාකප්පල් කරන්න. ඒ නිසායි අර මන්ත‍්‍රීවරුන්ට අරෙහෙම උපදෙසක් දුන්නේ. ඉතිං පස්සේ ඉලංගරත්න මහත්තයා ඇතුළු කණ්ඩායමේ මැදිහත්වීම මත තමයි ‘නිසි තැන’ දෙනවා කියන එක, ‘රාජ්‍ය ආගම’ කරනවා කියන තැනට ගෙනියන්නේ නැතිව ටිකක් මැදට ගෙනත් ‘ප‍්‍රමුඛස්ථානය’ දෙනවා කියලා ව්‍යවස්ථාවට ඇතුළ් කළේ.
ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවස්ථාවේ මුල් ම කෙටුම්පත තුළ ලංකාව ‘ඒකීය රාජ්‍යයක්’ කියලා තිබුණේ නෑ. ඒ කාලයේ අධිකරණ ලේකම්වරයාව හිටි ආචාර්ය නිහාල් ජයවික‍්‍රම මහත්තයා පසුකාලයේදී හෙළිදරවු කළ විදිහට මේ කෙටුම්පත ගෙනෙන වෙලාවේ ‘මේක ඒකීය රාජ්‍යයක් වුණදෙන්, නමුත් ඒකීය රාජ්‍යයක් කියන වචනය දාලා ලේබල් ගහන්න අවශ්‍ය නෑ’ කියලා කොල්වින් ආර් ද සිල්වා කියලා තිබුණා. නමුත් ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ බලපෑම් මත ‘ඒකීය රාජ්‍යය’ කියන වචනය ඇතුල් කරන්න වුණා කියලා ජයවික‍්‍රම මහත්තයා කියලා තිබුණා. ඒ ප‍්‍රබල ඇමතිවරයා ෆීලික්ස් ඩයස් බව සැකයක් නෑ. ඉතිං මං මේ උදාහරණලින් කියන්න හැදුවේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා වුණ කොල්වින්ටවත් තනියෙන් ව්‍යවස්ථාවක් හදන්න බැරිවුණා කියන එක. ඉතිං අපි වාගේ සාමාන්‍ය උපදේශකවරු කොහොමද ව්‍යවස්ථා හදන්නෙ?

 

ව්‍යවස්ථා කෙටුම්පතක් සම්බන්ධයෙන් කිසිම බලපෑම්සහගතභාවයක් හරි වගකීමක් හරි උපදේශකයන්ටත් කෙටුම්පත්කරුවන්ටත් නෑ කියන එකද ඒකෙන් අදහස් වෙන්න?

කෙටුම්පත්කරුවන්ට කිසිම දෙයක් කරන්න බෑ කියලා මම කියන්නේ නෑ. අපිට යම් යම් අදහස් – යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දහනවවන ව්‍යවස්ථා සංශෝධනය හදන වෙලාවේ තිබුණා කැබිනට් අනුකමිටුවක්. ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ ඒ අනුකමිටුවේ උපදෙස් පිට. මේ සංශෝධනයේ හැම කෙටුම්පතක්ම ඔවුන් අතර බෙදලා දීලා සාකච්ඡුා කරලා තමයි කළේ. ඉතිං අපි හොඳටම දැනගෙන හිටියා අපේ සීමාවන්. නමුත් සමහර දේවල් අපිට යෝජනා කරන්න පුළුවන් වුණා.
උදාහරණයක් විදිහට අපි මැතිවරණයේදී පොරොන්දු වෙලා තිබුණේ තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනෙනවා කියලා විතරයි. නමුත් දහනමවන සංශෝධනයේදී අපිට පුළුවන් වුණා ඒක මූලික අයිතිවාසිකමක් හැටියටත් ඇතුල් කරන්න. ඒක මගේ යෝජනාවක්. කැබිනට් අනුකමිටුව ඒක පිළිගත්තා. ජාතික ප‍්‍රසම්පාදන කොමිසම ව්‍යවස්ථාව මගින් පිහිටුවීම මගේ අදහසක්. ඒ ගැන මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමග කලින් කතා කරලා තිබුණා. එතුමියගේ කාලයේ තිබුණා ජාතික ප‍්‍රසම්පාදන ඒජන්සිය කියලා ආයතනයක්. ඒ වාගේම අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හොඳ තැනක් දෙමු කියලා යෝජනා කළේත් මම. මේ විදිහට යම් යම් යෝජනා කරන්න අපිට පුළුවන්. නමුත් දේශපාලනඥයන් මේ හැම එකක්ම තමන්ගේ උපදේශකයන් ලවා පරීක්ෂා කරනවා. අපිට යෝජනා කරන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම පිළිගැනෙන්නේ නෑ.
මේ ළඟදි ආරංචි වුණා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ රැුස්වීමකදී කවුද කිව්වා කියලා ජයම්පති වික‍්‍රමරත්නට විග්නේශ්වරන් මිලියන හතළිහක් දුන්නා කියලා දෙමළ ජනතාවට ව්‍යවස්ථාවක් හදන්න. හාස්‍යට කාරණය තමයි, ඔය කියන විග්නේශ්වරන් ම උතුරේදී කීප වතාවක් කියලා තිබුණා සුමන්තිරන්, ජයම්පති වික‍්‍රමරත්න එක්ක එකතුවෙලා දෙමළ ජනතාව සිංහල ජනතාවට පාවාදෙනවා කියලා. ඉතිං මේ දෙකම එකවර වෙන්නෙ කොහොමද? මේ දෙගොල්ලම කියන්නේ බොළඳ කතාන්දර. අපි මුදල්වලට වැඩ කරන්නෙත් නෑ. කිසිම ජාතියක් තවත් ජාතියකට පාවාදෙන්නේත් නෑ. මගේ උත්සාහය තියෙන්නේ විවිධ ජාතීන් අතර එකඟත්වයක් ඇති කරගන්නේ කොහොමද කියන එක. අපේ දේශපාලනය වමේ දේශපාලනය.

 

හැත්තෑ අටේ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ එන ‘ඒකීයත්වය’ කියන සංකල්පය නව ව්‍යවස්ථා යෝජනාවලියේ දෙමළ පරිවර්තනය වෙනුවෙන් යොදලා තියෙන වචනය තුළින් නැති කරනවා කියන එක තමයි මීට විරුද්ධව දකුණේ ඇතැම් පිරිස් ප‍්‍රබලව කියන දේ?

පටු දේශපාලනික පරමාර්ථයන් පදනම් කරගෙන, අපි හදන්න යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඇතැම් අය පාවිච්චි කළ පුස්වෙඩිල්ලක් තමයි ඕක. ඇත්තට ම ඒක නිවැරදි කාලයට කලින් පත්තු කළ එකක්. ඒ නිසා ඔය තර්කයට උත්තර දෙන්න ආණ්ඩුවට සෑහෙන කල් ලැබුණා. මේ අය මේ විදිහේ චෝදනාවක් කරන්න පටන්ගත්තේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එන්නත් මාස දෙක තුනකට කලින්.
ඒ නිසාම අපි මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඒ විවේචනයට කෙළින්ම උත්තර දුන්නා. අපි ඒ තුළ ඒකීය රාජ්‍යය කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කළා. ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විතරක් නෙමෙයි, නොබෙදුණු සහ නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා පැහැදිලිව සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි වර්තමාන ව්‍යවස්ථාවෙවත් නැති විදිහට, රටේ පරමාධිපත්‍යය බෙදිය නොහැක කියලා ඇතුල් කළා. යම් පළාත් සභාවක් බෙදුම්වාදී නැඹුරුවක් සහිතව කටයුතු කරනවා නම්, ඒ කෙරේ මැදිහත්වීමට හා අදාළ පළාත් සභාව විසුරුවාහැරීමට පවා කේන්ද්‍රයට බලතල දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බුද්ධාගමට තියෙන ප‍්‍රමුඛත්වය සහ එය සුරක්ෂිත කර වර්ධනය කිරීමට රජයට තියෙන වගකීම ඒ විදිහට ම ඇතුල් කළා.
අතුරු වාර්තාව ගෙනෙන්නත් කලින් මේ ව්‍යාජ මතය ගෙනා විපක්ෂයේ නායකයන් අනතුරු හැෙ`ගව්වේ අතුරු වාර්තාව ඉදිරිපත් කරන දවසේ රටේ ගිනිකෙළි තියෙයි කියලා. නමුත් ගිනිකෙළියක් තියා ගිනිපෙනෙල්ලක්වත් තිබුණේ නෑ. ඒ වගේම අතිවිශාල ජනග`ගක් ගෙනැවිත් එදා පාර්ලිමේන්තුව වටලන්න මේ අය කිව්වා. නමුත් ඒකට සහභාගි වුණේ දෙදාහක වගේ සුළු පිරිසක් විතරයි. මේ දෙයින් පෙනෙන්නේ මේ පරාජය වූ පහුගිය රෙජීමයත් එක්ක වැඩ කරන්න මේ රටේ මාධ්‍ය කිහිපයක් උත්සාහ කළත් මේ අය වෙලාවටත් කලින් ගෙනා මේ බොරු තර්කය ගැන රටේ මිනිස්සුන්ට පැහැදිලි අවබෝධයක් තිබුණ බව. රාජ්‍ය මාධ්‍ය දුර්වල වීමත් ව්‍යවස්ථාව පිළිබඳව රාජ්‍යයේ ප‍්‍රචාරණය දුර්වල වීමත් නොවෙන්න මේ පිරිසවත් ගෙන්නා ගන්න මේ අයට බැරි වෙනවා.
අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේ අපි ව්‍යවස්ථාවක් ගෙනෙන්න කලින් ආණ්ඩුව සුදුනෙළුම, තවලම වගේ විශාල ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් ගෙනගියා. එක්දහස් නවසිය අනූ හය වෙද්දී බලය බෙදාහැරීමට කැමතිවෙලා තිබුණේ මේ රටේ සිංහල ජනතාවගෙන් සීයට විසිතුනක් විතරයි. නමුත් මේ වැඩපිළිවෙළ නිසා එක්දහස් නවසිය අනූඅට වන විට ඒක සීයට හැටඅට දක්වා වැඩි වුණා. අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබ`දව ඇති මේ ගොළුබෙලි පිළිවෙතට හේතුව තමයි ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක අතර සම්පූර්ණ එකඟත්වයක් නැතිකම.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා ගෙනෙන්නට හදන අගමැති ක‍්‍රමය කොයි වගේ එකක් ද කියන එක ගැනත් ඇතැම් අය ප‍්‍රශ්න කරලා තිබුණා?

ඔව්. සමහරු කියනවා මම දැක්කා විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරලා අපි මේ තුළින් විධායක අගමැති කෙනෙක් ගෙනෙන්න හදනවා කියලා. ලෝකයේ කිසිම රටක විධායක අගමැති ක‍්‍රමය කියලා එකක් නෑ. මේ අය ඔය පටලවාගෙන ඉන්නේ ඡුන්දයෙන් ඍජුව පත්කරන අගමැතිවරයෙක් ගැන සංකල්පය. ඒක වුණත් වර්තමානයේ ලෝකයේ භාවිත නොවන තරම් දුර්ලභ එකක්. පහුගිය කාලයේ ඍජුව පත්කළ අගමැතිවරයෙක් හිටියේ ඊශ‍්‍රයාලයේ විතරයි. ඊශ‍්‍රායලයේ තිබුණු කුඩා යුදෙව්වාදී පක්ෂවල අනවශ්‍ය බලපෑම්වලින් ඇතිවන ගැටලූ මගහරින්න විදිහක් විදිහට තමයි ඒ අය අගමැති ඍජුව පත්කරන ක‍්‍රමයකට ගියේ. නමුත් ඒ ක‍්‍රමයට ගියාම වුණේ බලාපොරොත්තු වුණ දෙයට වඩා හාත්පසින් වෙනස් වූ හානියක්. මොකද අගමැති ඍජුව පත්කරද්දී ඡුන්දදායකයෝ පටන්ගත්තා අගමැති ප‍්‍රධාන පක්ෂයකින් පත්කරලා, පාර්ලිමේන්තු ආසන ස`දහා අර කියූ යුදෙව්වාදී කුඩා පක්ෂවලින් නියෝජිතයන් යවන්න. අන්තිමට වුණේ පාර්ලිමේන්තුවේ නිසි බලයක් නැති අගමැතිවරයෙක් බිහිවුණ එක. ඒ නිසා ඒ අය ඒ ක‍්‍රමය වහාම අතහැරියා. අද එහෙම ක‍්‍රමයක් ලෝකේ කොහේවත් නෑ. අගමැති ඍජුව පත්කරන ක‍්‍රමයක් ගැන එක්සත් ජාතික පක්ෂයෙන් මුලදී යෝජනා වෙලා තිබුණ කාරණේ ඇත්ත. නමුත් ඒක කරන්න පුළුවන් සාර්ථක ක‍්‍රමයක් නෙමෙයි. ඒ වගේම ඒ යෝජනාවට අනික් පක්ෂ ඔක්කොම විරුද්ධයි.
අනික් අතට මේ අය කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරලා මේ හදන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලයට ගෙනෙන්න කියලා. නමුත් මේ තුළ මුල ඉ`දන්ම එක`ගත්වයක් තියෙනවා වර්තමාන ජනාධිපතිවරයාගේ මේ ධුර කාලය තුළ කිසිම බලය අඩුවීමක් වෙන්නේ නෑ කියලා. ඒ වගේම අලූත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා දෙදහස් විස්ස වෙනතුරු අගමැතිවරයාගේ බලය වෙනස් වෙන්නේත් නෑ. මේ ව්‍යවස්ථාවෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ බලය වැඩිවෙනවා කියන අය දෙදහස් විස්සෙන් පස්සේත් එතුමාට ම අගමැතිකම දීපු අය. නමුත් ඒ කාලයේ මැතිවරණයක් එනවා. අපි නම් දන්නේ නෑ එතැනදී බලයට එන්නේ කවුද කියලා.

 

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කලින් කියූ දෙදාහ වර්ෂයේ ඉදිරිපත් වුණ ව්‍යවස්ථාවේ බලපෑම කොයි විදිහට තියේවිද?

සමහර තැන්වලදී අපිට දෙදාහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගන්න පුළුවන් වෙයි. උදාහරණයක් විදිහට අධිකරණය පිළිබඳ සමහර වගන්ති ගන්න පුළුවන් වෙයි. නමුත් ඒවා අලූත් තත්ත්වයට අනුව සංශෝධනය කරන්න වෙයි. විශේෂයෙන් මෙහෙයුම් කමිටුව ගන්නා තීරණවලට අනුව ඒවා වෙනස් වෙයි.
ඒ වගේම මහජන අදහස් දැනගැනීමේ කමිටුවේ වාර්තාවල තියෙන දේවල් අනුකමිටු හය මගින් ගැඹුරින් අධ්‍යයනය කරලා එහි යෝජනා ගත්තා. මෙහෙයුම් කමිටුවත් එහි යෝජනා ගත්තා. මහජන අදහස් දැනගැනීමේ කමිටු වාර්තාවේ තියෙන්නේ කෙටුම්පත් ස්වරූපයේ ඒවා නෙමෙයිනේ. ඒවා තියෙන්නේ යෝජනා හැටියට. ඉතිං අපිට ඒවායේ අදහස අරගෙන කෙටුම්පත් කරන්න පුළුවන්.
කොහොම වුණත් ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වුණා නම්, දෙදාහ ව්‍යවස්ථාව වගේ පරණ කෙටුම්පතුත් ඕනෑ තරම් තියෙන නිසා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන එකට අපිට ලොකු කාලයක් යන එකක් නෑ.