රාවය

සමාගමකට සලකන්න ගොස් ඇනගත් මිලියන 3543ක පොහොර ටෙන්ඩරය

සමාගමකට සලකන්න ගොස් ඇනගත් මිලියන 3543ක පොහොර ටෙන්ඩරය

ජැට් හෝල්ඩින්ග්ස් (Jat Holdings) කිව් සැණින් ඔබේ මතකයට එන්නේ කුමක්ද? ඉදිකිරීම් ක්ෂේත‍්‍රය හා සම්බන්ධ අයෙකුට නම් අනිවාර්යයෙන්ම තීන්ත හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන සිහියට නංවාගනු නොඅනුමානය. ජැට් හෝල්ඩින්ග්ස් වෙබ් අඩවියට පිවිසි කලද අපට දක්නට ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අදාළ තීන්ත හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදනවල ඔවුන් නියැළෙන බවය.
එහෙත් අප මේ කියන්නට යන්නේ ඔවුන් අතගැසූ අලූත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයක් පිළිබඳවය. කිසියම් පුද්ගලයෙකුට හෝ සමාගමකට තමන් නියැලෙන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයෙන් බැහැරව අලූත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයකට පිවිසිය නොහැකි බව මින් අදහස් නොවන අතර අප මේ සූදානම් වන්නේ එසේ අලූතෙන් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට ඇතුළු වන්නට අරමුණු කරමින් සිදුකරන ලදැයි අනිවාර්යයෙන්ම සැක කළ හැකි පොහොර ගනුදෙනුවක් ගැන සාකච්ඡුා කිරීමටය.
මෙය ආරම්භ වන්නේ රජයේ පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමට හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට එම සමාගම් අයත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොහොර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ටෙන්ඩරයක් මගින්ය. 2017/2018 මහ කන්නයට අදාළව දේශීය ගොවිතැනට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා පොහොර ලබාගැනීමේ මෙම ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් මිල ගණන් කැඳවා පුවත්පත් දැන්වීම් පළවන්නේ 2017.11.09 දිනය. ඒ ටෙන්ඩරය ලබාගන්නන් විසින් 2017 දෙසැම්බර් 20 දිනට හෝ ඊට පෙර අදාළ පොහොර සැපයිය යුතුය යන කොන්දේසිය පිටය.

මෙහිදී යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 72,000ක්ද,  TSP පොහොර මෙටි‍්‍රක් ටොන් 30000ක් ද, ඵධඡු පොහොර මෙටි‍්‍රක් ටොන් 30,000ක්ද වශයෙන් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. මිල ගණන් ඉදිරිපත් කරන්නන් යූරියා පොහොර සඳහා ඇමරිකානු ඩොලර් 240,000ක ලංසු ඇපකරයක්ද, අනෙක් පොහොර වර්ග දෙක සඳහා එක් වර්ගයකට ඇමරිකානු ඩොලර් 100000 බැගින් වූ ලංසු ඇපකරයක්ද තැබිය යුතු බවද සඳහන්ය. එහෙත් එම ටෙන්ඩරයේ ඇති සුවිශේෂී විශේෂත්වය වන්නේ සැපයුම්කරුවන්ට මුදල් ගෙවන ආකාරය සම්බන්ධයෙන් වූ කොන්දේසියය. එය ටෙන්ඩර් දැන්වීමේ සඳහන් කර ඇත්තේa Documents Against Acceptance හෙවත් DA වශයෙන්ය. මෙම DA ක‍්‍රමවේදය නූතනයේ ජාත්‍යන්තර වෙළෙඳාමේදී කිසිසේත්ම භාවිත නොකරන හා ඒ සඳහා කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් නොවන වෙළෙඳාම් ආකාරයක් බව වෙළෙඳපොළ ක‍්‍රියාකාරීන්ගේ මතයය. මන්ද සැපයුම්කරුවාට ඔහුගේ සැපයුම වෙනුවෙන් ගැනුම්කරුගෙන් මුදල් ලැබේද යන නෛතික විශ්වාසයක් මෙම ක‍්‍රමය යටතේ නොමැති වීමය. සාමාන්‍යයෙන් වෙළෙඳපොළ ක‍්‍රියාකරන්නන් පවසන්නේ මෙම DA ක‍්‍රමවේදය යනු තාත්තා පුතා සම්බන්ධයටත් වඩා විශ්වාසයක් සැපයුම්කරු හා ගැනුම්කරු අතර පැවතිය යුතු ඉතා අවදානම් වෙළෙඳාමක් බවය. මන්ද මෙම ක‍්‍රමයේදී මුදල් ගෙවනු ලබන්නේ ගැනුම්කරු විසින් ඔහු සන්තකයට භාණ්ඩ ලබාගැනීමෙන් පසුව වීමය. එහිදී භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා හිඳීමේ හැකියාවද ගැනුම්කරු සතු වන්නේය.
සාමාන්‍ය හා දැනට පිළිගත් ක‍්‍රමවේදය වන්නේ LC (Letter of Credit) හෙවත් ණයවර ලිපි ක‍්‍රමය යටතේ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමය. එහිදී බැංකුව හෝ අදාළ මූල්‍ය ආයතනය ගැනුම්කරු හා සැපයුම්කරු යන දෙපාර්ශ්වයටම භාණ්ඩ ලැබීම හා මුදල් ගෙවීම යන සියලූ කාරණාවලට වගකීමෙන් බැඳෙන බැවින්ය. පොහොර ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජය මෙතෙක් අනුගමනය කර ඇත්තේද එම LC (Letter of Credit) ක‍්‍රමවේදයය. එය වෙනස් කළේ ඇයිද යන්න මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ගත් කල පැන නගින එක ප‍්‍රශ්නයකි.
අනෙක් ප‍්‍රශ්නය වන්නේ පොහොර මිලදී ගැනීම සඳහා රජය හෙවත් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් ක‍්‍රියාත්මක කළ ක‍්‍රමවේදය මේ ටෙන්ඩරයේදී වෙනස් කළේ ඇයිද යන්නය. පොහොර මිලදී ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබුණේ වාර්ෂිකව පෙර සුදුසුකම් ලබන සැපයුම්කරුවන් (free Qualified) ලියාපදිංචි කර පොහොර අවශ්‍යතාවක් ඇතිවූ විට ඔවුන්ගෙන් මිල ගණන් කැඳවීමය. මේ පෙර සුදුසුකම් ලැබූ සැපයුම්කරුවන් වර්ෂයටම අදාළ ඇපකරයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදී ලියාපදිංචි වූ සමාගම් හෝ පුද්ගලයන්ය. එසේ එම සමාගම් හෝ පුද්ගලයන් සුදුසුකම් ලැබීම නිකම්ම සිදුනොවන අතර පොහොර සැපයුම සම්බන්ධයෙන් ඔවුන්ගේ හැකියාව, පළපුරුද්ද, විශ්වාසය ආදිය සලකා බලා තෝරා ගන්නා පිරිසක්ය.
එහෙත් මෙවර සිදුවී ඇත්තේ එසේ පෙර සුදුසුකම් ලැබූ පිරිසෙන් මිල ගණන් කැඳවීම වෙනුවට එය ඕනෑම කෙනෙකුට ඉල්ලිය හැකි විවෘත ටෙන්ඩරයක් බවට පත්කිරීමය. බැලූ බැල්මට පොහොර වෙළෙඳපොළ ගැන කරුණු නොදන්නා කෙනෙකුට කිවහැක්කේ එය ඉතා හොඳ හෝ වඩාත් තරගකාරී ක‍්‍රියාවක් බවය. එහෙත් එම විවෘත ක‍්‍රමවේදය අත්හිටුවා පෙර සුදුසුකම් ලත් සැපයුම්කරුවන් තෝරාගෙන ශ‍්‍රී ලංකා රජය පසුගිය කාලය පුරා පොහොර ලබාගැනීම සිදුකර ඇත්තේ පොහොර සැපයීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වය පිළිබඳව ඇතිවූ ප‍්‍රශ්න රාශියක් හේතුවෙන්ය. පොහොර සැපයීම සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැති සමාගම් සැපයිය නොහැකි ඉතා අඩු මිල ගණන් ටෙන්ඩර්වලට ඉදිරිපත් කර ලංසුව දිනාගෙන පොහොර ලබා නොදීමේ අත්දැකීම්ය. මේ ආකාරයේ සැබෑ සැපයුම්කරුවන් නොවන සමාගම් ඔවුන්ගේ ටෙන්ඩර් ලංසු ඇපකරය අහිමිවීම ගැන එතරම් ගණන් නොගන්නා බව පැවසේ. ඒ අදාළ ටෙන්ඩරය ලැබුණු බවට ශ‍්‍රී ලංකා රජයෙන් ලැබෙන සහතිකය උපයෝගී කරගෙන ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය ආයතනවලින් ශ‍්‍රී ලංකාවට පොහොර සැපයීමට යැයි කියා ණය මුදල් ලබාගෙන නීති විරෝධී වෙනත් ව්‍යාපාර සඳහා එම මුදල් යෙදවීම වැනි කාරණා නිසාය.
මෙම ටෙන්ඩරයේදීත් සිදුවී ඇත්තේ පොහොර සැපයීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පෙර සුදුසුකම් නොලැබූ හා පොහොර වෙළෙඳාම සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැති Jat හෝල්ඩින්ග්ස් සමාගම මිල ගණන් ඉදිරිපත් කිරීමය. එහිදීත් විශේෂත්වය වී ඇත්තේ එම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු වූ ආකාරයටම අවදානම් DA ක‍්‍රමවේදය යටතේ පොහොර සැපයීමට මිල ගණන් ඉදිරිපත් කිරීමය. මිල ගණන් ඉදිරිපත් කළ අනෙක් සමාගම් සියල්ලම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ LC ක‍්‍රමය යටතේය.
ඒ අනුව මෙටි‍්‍රක් ටොන් 72,000ක් වූ යූරියා පොහොර සැපයීම සඳහා සමාගම් 5ක් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර ඉන් 4ක්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පෙර සුදුසුකම් ලැබූ සමාගම්ය. පෙර සුදුසුකම් නොලැබූ සමාගමකට මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම පමණය. ජැට් හෝල්ඩින්ග්ස් සමාගම DA ක‍්‍රමයට එකඟවෙමින් යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා ඉදිරිපත් කර ඇති මිල ඇමරිකානු ඩොලර් 328.10කි. අනෙක් සමාගම් 4 අතුරින් Amropa Asia Pvt Ltd  ඉදිරිපත් කර ඇති මිල ඇමරිකානු ඩොලර් 322.20කි. Valency International ඉදිරිපත් කර ඇති මිල ඇමරිකානු ඩොලර් 333කි. Dragon Fertilizer ඉදිරිපත් කර ඇති මිල ඇමරිකානු ඩොලර් 322.90කි. Liven Agrichem ඉදිරිපත් කර ඇති මිල ඇමරිකානු ඩොලර් 329.80කි.
ඒ අනුව ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට පිරිනමා ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 23623200ක් හෙවත් රුපියල් මිලියන 3543 (රු. 3543480000* ටෙන්ඩරයකි.
ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට ටෙන්ඩරය පිරිනමා ඇත්තේ අඩුම මිල නොවුණත් DA ක‍්‍රමය යටතේ ඔවුන් පමණක් මිල ගණන් ඉදිරිපත් කළ නිසාය. එහෙත් මෙටි‍්‍රක් ටොන් 30000 බැගින් වූ TSP හා MOP යන පොහොර වර්ග දෙක සඳහා මිල ගණන් ඉදිරිපත් කළ කිසිවකුට ටෙන්ඩරය පිරිනමා නැත. ඒ ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කළ කිසිවකුත් DA ක‍්‍රමය යටතේ මිල ගණන් ඉදිරිපත් නොකළ නිසාය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙර සුදුසුකම් ලැබූ සමාගම් වන Valency International, Golden Barleyඊ්රකැහ හා Liven Agrichem LC ක‍්‍රමය යටතේ එම ටෙන්ඩරයට ඉදිරිපත් වී ඇති අතර MOP පොහොර සඳහා ඉදිරිපත් වී ඇත්තේ Liven Agrichem පමණය.
රජයේ පොහොර සමාගම් දෙකට පොහොර ලබාගැනීමේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ සභාපතිත්වය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි විසින් හොබවා ඇති අතර එහි සෙසු සාමාජිකයන් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක හා භාණ්ඩාගාරයේ මූල්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ඞී.ජී.ඒ.කේ. සංඝරත්න කටයුතු කර ඇත.
මේ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත මෙටි‍්‍රක් ටොන් 72,000ක යූරියා පොහොර ගෙන්වීමේ ටෙන්ඩරය ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදීමට නොවැම්බර් 21 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකය.
ජැට් හෝල්ඩින්ග්ස් සමාගම අරමුණු කරගෙන මෙම ටෙන්ඩරය සකස් කර ඇති බව හා ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර ඇති බව ඉහත විස්තර කරන ලද කරුණු අනුව පැහැදිලිවම පෙනේ. ඒ එක් කාරණයකි. අනෙක් කාරණය මෙම ටෙන්ඩරය පිරිනමා ඇති මිල ගණනය. මෙම මිලට පොහොර මිලදී ගෙන කිලෝග‍්‍රෑම් 50 පොහොර බෑගයක් රුපියල් 2500ක් වූ නියමිත මිලට විකුණුවහොත් ඒ මගින් අනිවාර්යයෙන් රජයට පාඩු සිදුවේ. ඒ පොහොර මිලදී ගන්නා මිල, එය ඇසුරුම් කිරීම බෙදාහැරීම හා වරායෙන් මුදාගැනීම ආදි මිල එකතු වූ විට පොහොර මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා වූ උපරිම මිල වන රුපියල් 50,000 ඉක්මවා යන බැවිනි.
ලෝක වෙළෙඳපොළේ පොහොර මිල උච්චාවචනය අනුව ශ‍්‍රී ලංකාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවිය යුතු කාල පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත්භාවයක් පොහොර සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසට තිබෙන අතර ඔවුන් ඉතා පරක්කු වී මෙම ටෙන්ඩරය කැඳවූයේ ඇයිද යන ප‍්‍රශ්නයද පැන නගී. මන්ද ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ පොහොර සමාගම් ඔවුන්ගේ විකිණීම් සඳහා යූරියා පොහොර නොවැම්බර් මාසයේදී මීට බොහෝ අඩු මුදලකට මිලදී ගෙන ඇති බැවිනි. මෙහිදී රජය මිලදී ගන්නා ප‍්‍රමාණය හා සැසඳීමේදී එම පෞද්ගලික සමාගම් මිලදී ගන්නා ප‍්‍රමාණය සොච්චමක් ලෙස සැලකිය හැකි අතර විශාල ප‍්‍රමාණයක් මිලදී ගැනීමේදී ඊටත් වඩා අඩු මිලට රජයට මිලදී ගැනීමට තිබූ හැකියාව කුමක් හෝ හේතුවකට මේ මගින් අහිමි කරගෙන ඇත.
කෙසේ වෙතත් දැනගන්නට ඇත්තේ රජයේ ටෙන්ඩරය ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට හිමි වුවද DA ක‍්‍රමය යටතේ ඔවුන්ට පොහොර සැපයීමට ජාත්‍යන්තර පොහොර නිෂ්පාදකයන් කිසිවකුත් කැමති වී නැති බැවින් (සැපයුම්කරුවා අතරමැදියෙකු පමණය. ඔහු මුදල් දී නිෂ්පාදකයාගෙන් මිලදී ගන්නේ නැත. මිලදී ගැනීම සිදුකරන්නේ ඔහුට රජයෙන් ලැබුණු ටෙන්ඩරය පෙන්වා මුදල් ගෙවිය හැකි බවට සහතික කිරීමෙන් පසුය. එහෙත් LC නොවන DA ක‍්‍රමයේදී එවැනි විශ්වාසයක් නිෂ්පාදකයාට තබාගත නොහැකිය.* පොහොර සැපයීමේ හැකියාවක් එම සමාගමට නැති බවය.
මෙම තත්ත්වය යටතේ කලබලයට පත්වී ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය නොවැම්බර් 28 දින පොහොර සැපයුම්කරුවන්ගේ යැයි කියා සාකච්ඡුාවක් කැඳවා ඇති අතර ඊට වැරදීමකින් කැඳවා ඇත්තේ දේශීය වෙළෙඳපොළට පොහොර නිකුත් කරන පෞද්ගලික සමාගම්ය. අවසානයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඔවුන්ගෙන් විමසා ඇත්තේ ඔවුන් සතුව ඇති පොහොර තොග පිළිබඳවය. එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ පෞද්ගලික අංශයේ සියලූ සමාගම් සතුව මෙටි‍්‍රක් ටොන් 20,000ක පමණ පොහොර තොගයක් ඇති බවය. මේ අනුව අරමුණු කරගත් සමාගමක් වෙනුවෙන් කැඳවූ ටෙන්ඩරයෙන් අහිමි වන පොහොර හේතුවෙන් ඉදිරියේදී පොහොර හිඟයක් ඇතිවීමේ අනතුරක් මතුවී ඇත.
කෙසේ වෙතත් ටෙන්ඩරය ලබාගෙන නියමිත පරිදි පොහොර සපයන්නට නොහැකිවීමේ හේතුවෙන් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට අහිමිවීමට යන ටෙන්ඩර් ලංසු ඇපකරය වූ ඇමරිකානු ඩොලර් 240000ක හෙවත් රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක මුදල බේරාදීම සඳහා තවත් උප්පරවැට්ටියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පාර්ශ්වයෙන් ගෙන ඇති බව අපට වාර්තා වේ.
ඒ ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ මෙම ටෙන්ඩරය, අවලංගු කළ බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලංකා පොහොර සමාගමේ හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරුන්ට නොවැම්බර් 24 දින සහිතව යවන ලිපියක් මගින්ය. එහිදී පෙන්වා දී ඇති කාරණය වන්නේ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම අදාළ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා ඔවුන් සපයන පොහොර සම්බන්ධයෙන් ලබාදී ඇති විශ්ලේෂණ වාර්තාව ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇති බවය. දකුණු අප‍්‍රිකාවේ රසායනාගාරයකින් එම විශ්ලේෂණ වාර්තාව ලබාදී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය කළ සොයාබැලීමකදී එවැනි රසායනාගාරයක් නොමැති බවට තහවුරු වූ බවත් එම අවලංගු කිරීම සම්බන්ධයෙන් හේතු වශයෙන් දක්වා ඇත.
එහිදී පැනනගින ප‍්‍රශ්නය වන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද ටෙන්ඩරයක් ඊට දින තුනකට පසු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් අනුමැතිය නොමැතිව අවලංගු කළ හැකිද යන්න හා එම නීත්‍යනුකූල නොවන අවලංගු කිරීම මගින් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට ඔවුන්ට අහිමිවීමට යන ලංසු ඇපකරය ලබාගැනීමේ නෛතික පදනමක් හිමිවීමය.

අරමුදල් ප‍්‍රශ්නයක් තිබුණා
ඒකයි DA දැම්මේ
බී. විජේරත්න
ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය

පෙර සුදුසුකම් ලැබූ සමාගම්වලින් මිල ගණන් කැඳවීම වෙනුවට විවෘත ටෙන්ඩරයක් කැඳවූවේ ඇයි හා එහිදී DA ක‍්‍රමවේදය හඳුන්වා දුන්නේ ඇයි?
LC හා DA විතරක් නෙමේ මේ ආකාරයේ වෙළෙඳාම් කරන තවත් ක‍්‍රම තියෙනවා. අපිට අරමුදල් ප‍්‍රශ්නයක් තිබුණා. ඒක නිසායි අපි බඩු අරගෙන විකුණලා සල්ලි දෙන DA ක‍්‍රමවේදයට ගියේ.
මීට පෙරත් DA ක‍්‍රමය යටතේ මිල ගණන් කැඳවලා තියෙනවාද?
මෙතෙක් කළේ LC යටතේ පමණයි.
DA ලෙස මිල ඉදිරිපත් කළ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම යූරියා පොහොර සඳහා තෝරාගෙන තියෙනවා. ඉතිරි පොහොර වර්ග දෙකට DA යටතේ ඉදිරිපත් නොවුණු නිසා කාවවත් තෝරාගෙන නැහැ.
අපි යූරියා ටෙන්ඩරයත් අවලංගු කළා.
දකුණු අප‍්‍රිකානු බොරු රසායනාගාර වාර්තාව නිසාද?
ඔව්.