රාවය

හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිරකරලා

හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිරකරලා

ලියාගන්න දේවල් නැති වුණාම ලියන මිනිස්සු පිස්සු වැටෙනවා. එක වෙලාවකට ලියන එකම පිස්සුවක්. ඇත්තටම පිස්සුවක්.
ලියලා බැලූවාම පිස්සුව බරපතළ වෙන්නේ ලියාගන්න දේවල් නැති නිසා නෙමෙයි ලියන්න දේවල් කප්පරක් තියෙද්දී ලියාගන්න බැරි නිසයි.

‘කියා ගන්න බැරි තරමට
ලියා ගන්න බැරි තරමට
අන්ත අසරණයි මා සිත
ඔබට බැඳි පෙමින්….
ඔබට බැඳි පෙමින්…..’

සේනානායක වේරළියද්ද එහෙම ගයන කොට, ඒ ගයන එක මතක් වෙනකොට, ලියන හැමට ඇති එකම දේ බැඳි පෙම විතරක් නෙමෙයි කියලා දැනෙනකොට, ඔලූවට පොල්ලකින් ගහගෙන හරි මතකය අමතක කරන්න හිතෙන තරම්. ඒත් එහෙම කරගෙන කොහොමද?
මේ මානවා වුණත් වෙලාවට ලියන එක මාරයි වගේම හැම වෙලාවේම නොලියා ඉන්න ඇත්නම් කියලා හිතෙන එකත් මාරම මාරයි. ඒ තරමට කැම්මැලිකම ඇඟ පුරා ලියාපදිංචිවෙලා. ඒත් පොලීකාරයා වගේ, ෆිනෑන්ස්කාරයා වගේ ලියන්නම බලකරලා බලාගෙන ඉන්න පිටු තියෙනවා. කර්තෘ අපිටම වපුරාගෙන කන්න කියලා සින්නක්කර ලියලා දුන්න පිටු තියෙනවා. සින්නක්කර කුඹුරෙත් දැන් අපි අඳ ගොවියෝ බවට පත්වෙලා. ඇයි, ඒවායේ අඳේට වැඩ කරන අයත් වැඩ නෑ. හැමෝටම තියෙන්නේ එකම ලෙඬේ. කම්මැලියාව. කසාද බැන්දාම ගෑනි තරම් වදයක් නෑ වගේ. ලියන රස්සාව කරන හැමටම ලියන එක තරම් වදයක් නෑ. කොහොම වුණත් අපි වදයටත් කැමතිවුන්. වද විඳින්නට කැමතිවුන්.

* * *

ලියන්න පටන් ගන්න ලියන්න ඕනෑ නැති දේවල් ගොඩක් ලිව්වා. හරියට නොදන්න තැනකට පළවෙනි දවසේ යනකොට කොච්චර පාරවල යනවාද, කී දෙනෙක්ගෙන් අහගන්නවාද, අන්තිමට කොච්චර තැන් දන්නවාද, වගේ.

මේ හිතට වැදුණ ලොකු මිනිසෙක් ගැන පුංචි සටහනක් ලොකුවට ලියන්න හිතුවේ ලොකු කාලයක ඉ`දලා. ඒත් පුංචියටවත් ලියවුණේ නැහැ. කොහොම වුණත් ලොකුවට හිතලා වැඩ කරන්න ගියාම වෙන්නේ නෑ. ලොකුකම ගන්නම නරකයි.

* * *

ඔහු මගේ හදවතේ රැඳුණු ලොකු හඬක්. ගැඹුරු හඬක්. මහා පෞරුෂයක්. බෝතල් හිස්වන තැනක. අඩ අඳුර, මඳ අඳුර මත් අඳුර බවට පෙරළන වෙලාවක. මේසය තට්ටුවෙන් තට්ටුවෙනකොට ඩෝප් මරගාතේ විසිරෙන ගීතවල තාලයක් නැති වුණත් ආලයක් තියෙනවා. එහෙම ගීත හැම එකාගේම පපු කෙ`ද් කරක් ගහලා කලතලා කළඹලා එළිබහින වැළපිලි. කොහොම වුණත් ජෝති තවමත් ජීවත් වෙන්නේ ඒකයි. ඒත් මේ කියන්නේ ජෝති ගැන නෙමෙයි. හැබැයි ජෝති වගේම පිරිමි හඬක්. මහා පිරිමි හඬක්. නාරද දිසාසේකර.
මෙරට ගීත කලාවේ ගීත සාහිත්‍යයේ ආදරණීය හඬ මාධුර්යයක් ඒ හඬට තිබුණා. වචනවලට අත පොවන්න බැරි තරමට ගැඹුරු විරහනීය බවක් නාරදගේ හෙ`ඞ් කැටි වෙලා මුසු වෙලා තිබුණා. ඒ හඬ මගේ කනට රිංගූ හැම පාරම මට හිතෙන්නේ එහෙම.

හැටේ දශකයේ සිට පුරා දශක ගණනාවක්ම ඔහුගේ භාවාත්මක හඬ මාධුර්යය ලක්‍ෂ සංඛ්‍යාත ශ‍්‍රාවක කන් මත නින්නාද වනුයේද ඒ නිසාම විය යුතුයි. නාරදගේ හැම ගීතයකටම වගේ මම ආසයි. ඒත් ආසාවට එහා ගිය බැඳීමක් ඒ හඬ තුළ තියෙනවා.

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මං තලේ…..
ගැටෙන සැපදුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ….
වැටෙන මල්පෙති පාවුණාවේ
සුළං රැළි ඔහේ යන අතේ
යළිත් ගහකොළ පාලූ නෑ…. මේ රිකිලි නංවා ලියලැවේ.

එකිනෙකාගේ හඬවල් විවිධාකාරයි. ඒ තුළ නාරදගේ හඬ තවත් විවිධයි. එහි ගැඹුර මනින පතුල මට හොයා ගන්න වෙලාවක් නෑ. ඕනෑකමක් නෑ. මට ඕනෑ ඒ පතුලේ රැඳෙන්න විතරයි.
නාරද දිසාසේකර 1933 දී කළුතර දිස්ති‍්‍රක්කයේ වැලිපැන්න ගමේ උපන් අයෙක්. පාසල් කාලයේ කලාව වෙනුවට නාරදගේ විෂය වුණේ කී‍්‍රඩාවේ කියලායි පැහැදිලි. කළුතර මහා විද්‍යාලයේ කි‍්‍රකට් කණ්ඩායමේ නාරද සාමාජිකයෙක්.
පාසල් අධ්‍යාපනය හමාර කිරීම් එක්ක නාරද ගුවන් විදුලියට බැඳෙන්නේ ශබ්ද පරිපාලකයෙක් විදිහට. ඒ ගුවන් විදුලියේ ඉංජිනේරු අංශයට. නාරද ගායකයෙක් බවට පත්වන්නේ මෙහි නියැලීම නිසා කියලා හිතීමත් නිවැරදියි. ඒ නිසාම ඔහුට ඒ කාලේ වැඩකරුවන් හඳුනාගන්නට ලැබෙන්නේ ඉබේටම. 1955 විතර ඩබ්ලිව්.ඞී. අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, මහගම සේකර, ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රරත්න මානවසිංහ ඒ අතර හිටි අය. ඉහත අයගේ ගීත පටිගත කිරීමේදී ශබ්ද පරිපාලකයකු ලෙස නාරද කොතරම් කුසලතාවක් පෙන්නුවේද යත් ඉහත සැම ‘නාරද රොකෝඩින් එකේද’ කියා අසා ඔහු සිටින වෙලාවම බලා එන තරමට වැඬේ දුර දිග ගොස් තිබුණාලූ.
අමරසිරි පීරිස් නම් අපූරු ගායකයාට ‘ළඳුනේ’ ගීතය දී කේමදාස මාස්ටර් මතු කර ගන්නා සේ නාරදගේ හඬ කවුරු වටහා ගත්තාද යන්න සොයා ගැනීම ලේසි නැහැ. එහෙත් ඔහු මුලින් ජනතාව අතර ප‍්‍රසිද්ධ වන්නේ චිත‍්‍රපට ගීත හරහා. ඒ පසුබිම් ගායනයෙන් එක්වීම හරහායි. ඒ ‘සිහින හතක්’ චිත‍්‍රපටය වෙනුවෙන් ‘පුෂ්ප මකරන්දය’ ගීතයත්, ‘සිකුරු තරුව’ චිත‍්‍රපටයේ ‘ගමන නොනිමෙයි’ ගීතයත්, ‘රන්මුතු දූව’ චිත‍්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතයත් හරහා. ඊට අමතරව ‘ගැටවරයෝ’ චිත‍්‍රපටයේ ‘හාරිච්චි බෝරිංචි’ සහ ‘පිපී පිපී රේණු නටන’ ගීතත් ඔහු රසික හිත් තුළ තැන්පත් කළා කිව්වොත් හරි. ඔහු ගීතයක් වෙනුවෙන් පළමු සරසවි සම්මානයට පාත‍්‍ර වූ ගායකයා ද වෙනවා. ඒ රන්මුතු දූව චිත‍්‍රපටයේ ‘ගලන ගඟකි’ ගීතයට.
නාරද – සුජාතා හඬ කොතරම් අපූරු ගැළපුමක් වූවේද යන්නට කදිම නිදසුන ‘පුෂ්ප මකරන්දය’ ගීතයයි. මේ හැම ගීතයකින්ම නාරදගේ හඬ ගැන කුමක්දෝ ආලවන්තකමක් ශෝකී රසයක් අදටත් ඇති කරනවා.

නාරද:
පුෂ්ප මකරන්දය මාගේ
භෘංග මදිරා ස`ද ඕසේ
බොන්න තව මන්ද ප‍්‍රමාදේ
වෑහේ රසේ…….
සුජාතා:
භෘංග හිමි හංස විමානේ
පුෂ්ප රන් නේත‍්‍ර ගුහාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ….

නාරද ගැන ලියැවුණු පුංචි මතක හැම එකකම තිබුණේ ඔහු ටිකක් විතර ආඩම්බරකාරයෙක් බවයි. මම ආසත් ඒ ආඩම්බරකමට. මම අද කසුන් කල්හාරට කැමතිත් ඔහු තුළ තියෙන ඒ ආඩම්බර උඩඟුකමට. කොහොම වුණත් නාරද තුළ තියෙන ගැඹුරු හඬ තරම් ගැඹුරක් වෙන හඬකින් නොනැගෙන තරම්. නාරද වැඩිම වුණොත් සිංදු සියයක් විතර ගයලා ඇති. ඒත් ඒ සුළු ප‍්‍රමාණය හරිම විශාලයි. නාරදගේ ජීවිතයේ කටුක දුක්ඛිත බව ගැන ඔහුගේ සමකාලීනයන් තැන තැන කියූ කතා මම කියවා තිබෙනවා. ඒ අතර ගීතනාත් කුඩලිගම කියූ කතාවක මතකයක් මේ. තමාගේ ළඟ මිත‍්‍රයකු වූ නාරද කාලයක් තම සමාගමෙන් ගිලිහී යන අතර ඔහුව නැවත දකින්නේ අහම්බයකින් බවයි කුඩලිගම කියන්නේ. ඒ වෙඩින් එකකදී. කුඩලිගම යන මගුල් ගෙදර කෑම බෙදන්නට ඉන්නේ නාරද. මෙයින් මහත් දුකට පත් වූ ගීතනාත් නාරද තම නිවසට රැගෙන විත් වසර පහක් බලා කියා ගත් බව ඔහු කියා තිබුණා.
දැන් මේ සියල්ලට සෙසු සැම නඟන චෝදනාව අධික ලෙස මත්පැනට ලොල්වීම. එහෙත් ඒ චරිතය දෙස බලද්දී මට හැඟුණේ ඔහු ඒ ගත කළ කාලය නොබොනු හැර කුමක් කරන්නද යන්නයි. බීමට අධිකවම ලොල් නොවීමට නම් තව ලොල් වීමට කරුණු ඕනෑ. එවන් කරුණු නොමැති තැන බීමටම ලොල් වීම වරදක්ද?
එය කොතරම් ලොල්කමක් වුව හදවත ආදරයෙන් පිරෙන විට ඒ මත්බවින්ම පසුව දිවි ගෙවන්නට නාරදට හැකි වූයේ කෙසේද? නාරද පසුකාලීනව, එනම් අවසාන කාලය දිවි ගෙවනුයේ ඔහුගේ රසිකාවක වූ නීලා ගුණරත්න සමග. මා ඇයට ද බෙහෙවින්ම කැමතියි. සාලිය අශෝකමාලා පේ‍්‍රමයත් අබිබවා යන පෙමක් ඇයට තිබුණා. ඒ නාරද. නාරද ඇය හඳුනාගන්නී ඇගේ පියාගෙන්. පියාගේ මිතුරකු වන නාරද සිය නිවසට එන විට ඇය පුංචි කෙල්ලක්. ඒ ආ ගිය කාලයේ යටි හිතේ උපදින සෙනෙහස නැවත ආදරයක්ව දලූ ලන්නේ වසර ගණනාවකට පසු දෙදෙනාගේම කල් ඉකුත් වූ පසුවයි. නාරද උපරිම වයසක මිනිසෙක්. වඩා වැදගත්, එකල නාරද උන් හිටි තැන් අහිමි අයෙක්. එහෙත් නාරද තම ළඟට ගෙන විවාහ ගිවිස ඔහුට අවසාන කාලයේ ඉහළ සැප සම්පත් දුන්නේ ඇයයි. ඒ නම් අපූරුතම පේ‍්‍රමයක්. පරිත්‍යාගශිලීම පේ‍්‍රමයක්. ඒ හඬේ තිබූ ගැඹුරු පේ‍්‍රමනීය ශෝකය හඳුනාගත් හදවත ඇයයි. ඇය තරම් රසිකාවක ලද ගායකයා මොනතරම් වාසනාවන්තද යන්න නාරදගෙන්ම උගත යුතුයි.
නාරදගේ ගීත වැඩිමනක් ලියා ඇත්තේ එඞ්මන් ජයසූරිය. පරිපාලන සේවයේ ඉහළ නිලයක් ඔහු දරා තිබෙනවා. ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීය ඔහුගේ. ඒ හැරුණු කොට කරුණාරත්න අබේසේකර, මහගම සේකර, චන්ද්‍රරත්න මානවසිංහ නාරදට සිංදු ලියුවා.

නාරද ගැන ලියන්න හිතුවේ නාරදගේ ගීත බොහෝ හිත් තුළ පැළපදියම්ව වීදුරුවක් දෙකක් නොව බෝතල් අඩි හිස් වන විට කෑ ගසාගෙන එළියට පනින නිසා. ඒ ගීත තුළ ඇල්කොහොල් රස ඇති. මත් ගතිය ඇති. ඒ සැමට වඩා අරටුවෙහිම තැන්පත් වන ගැඹුරු රසයක්ද ඇති. ඇතැම් ගීතවල එක පද පේලියක් භයානක ලෙස හද බැඳගන්නේ අරුත සේම එවැනි වදන් ලිවීමේ සූරකම නිසා. එමෙන්ම නාරද ඒවාට පණ දී අරුත් ගන්වන නිසා. ඕනෑම පද පේලියක පණ නම් හඬයි. එවැනි පදවලට පණ පෙවූ කළ ඒවා ජීවත් වන්නේ ඉබේටමයි.
නාරදගේ ‘ආදර නිල් දෑසේ’ එවන් ගීතයක්. මිල්ටන් පෙරේරා ‘ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා’ කියන කොට ඒ පද පේළියම ගීතයක්. ලොකු කතාවක්. ආයේ මොන වචන කිව්වත් අර තරම් දැනෙන්නේ නෑ. දනවන්න බෑ. හරියට නිල් පාට ඇස් දෙකක් වගේ. ආයේ වෙන මොනවා තිබුණත් වැඩක් නෑ. නිල් පාට ඇස් දෙකක් තිබුණාට පස්සේ ඊට එහා වෙන දෙයක් බැලෙන්නේ නෑ. ඒවා නිල් පාට ලෙන්ස් දාලා ගත්තාට වැඩක් නෑ. නාරදගේ ‘ආදර නිල් දෑසත්’ පරදන ඒ ගීතයේ කෙළවරයි මාරාන්තික.

හද ලෙන්දොර
වසනු මැනවි
මා එහි සිරකරලා….

නාරදගේ සොහොන් කොතේ තියෙන්නේ ‘ගමන නොනිමෙයි’ ගීත කණ්ඩයක්. ඒත් කියන්න තිබුණේ මගේ තේරීමයි. ඒත් ඒක ඇයි නිලට නොදැනුණේ. දැනෙන්න ඇති. ඒත් ඒක සොහොන් පාලකට කොටන්න හිතුණේ නැතිව ඇති.
නාරද කියන්නේ තව කාලයක් රස විඳිය හැකි රස විඳ අහවර කළ නොහැකි රසයක්. ශෝකී රසයක්.