රාවය

අපේ ප‍්‍රශ්න අපි දන්නවා. දකුණ දන්නේ නෑ.

අපේ ප‍්‍රශ්න අපි දන්නවා. දකුණ දන්නේ නෑ.

කේසවරාජන්

ඔබ යුද්ධයේ ඛේදවාචකය ඉතා සමීපව අත්විඳි කලාකරුවෙක්. යුද්ධය නිමාවෙන් පසු පනෛමරක්කාඩු චිත‍්‍රපටය නිර්මාණය වෙන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද?

යුද්ධයෙන් පස්සේ දෙමළ සමාජයේ තිබුණු ප‍්‍රශ්න මම දැක්කා. මට ඒ දේවල් එළියට, සමාජයට කියන්න අවශ්‍ය වුණා. මගේ ක්ෂේත‍්‍රය සිනමාව නේ. යුද්ධයෙන් පස්සේ මිනිස්සු තාමත් මුහුණ දෙන ගැටලූ මගේ සිනමාව හරහා එළියට ගෙන යන්න, ඒ ගැන කතාකරන්න මම පනෛමරක්කාඩු චිත‍්‍රපටය අවස්ථාවක් කරගත්තා. යුද්ධය නිසානේ මේ ඔක්කෝම දේ සිදුවුණේ. සමහර අය කියනවා අපි දිනුවා කියලා, සමහර අය කියනවා අපි පරාද වුණා කියලා. දේශපාලනඥයන් පාර්ලිමේන්තු යනවා, පළාත් සභාවට යනවා, ඒත් ඒ කවුරුත් අහිංසක මිනිස්සුන්ට වුණු දේ ගැන කල්පනා කරන්නේ නෑ. ඒ අය ජීවත් වෙන්නේ කොහොමද, මොනවද තියෙන ගැටලූ වගේ දේවල් ඒ අය කල්පනා කරන්නේ නෑ. ඒවාට විස`දුම් සොයන්නේ නෑ. යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත් වූ ගොඩාක් අය ඉන්නවා. ඒ හුඟක් අය තමන්ගේ ස්වාමිපුරුෂයා මියගිහින්ද, පණපිටින් ඉන්නවාද කියලාවත් දන්නේ නැහැ. ඒ වගේම දෙමව්පියන් අහිමි වූ දරුවන් ඉන්නවා. ඉඩම් ප‍්‍රශ්න තියනවා. මේ දේවල් ගැන දේශපාලනඥයන්ට අදහසක් නෑ. මම කලාකරුවෙක්. මටත් මේ සමාජය ගැන හැගීමක් තියෙනවා. ඉතින් ඒ දේවල් මම මේ චිත‍්‍රපටය හරහා ප‍්‍රකාශ කරනවා. ආණ්ඩුව එක්ක හෝ සිංහල සමාජය එක්ක රණ්ඩු වෙන්න ඕනෑ නෑ, මොකද දේශපාලනයේ හෝ රාජ්‍ය ආයතනවල ඉන්න අපේම සමාජයේ අයටත් අහිංසක මිනිස්සු ගැන හැගීමක් නෑ. එයාලා වැඩ කරන්නේ එයාලාගේ වාසියට විතරයි. මේ දේවල් මම මගේ චිත‍්‍රපටය හරහා ප‍්‍රශ්න කරනවා.

ලංකාවේ යුද්ධය පිළිබදව අද වන විට චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා ඉතා ජනප‍්‍රියත්වයට පත් වුණා. ඒ නිර්මාණ පිළිබද ඔබේ කියවීම මොකක්ද?

යුද්ධය පිළිබද සැබෑ අත්දැකීම් නැතිව යුද්ධය ගැන චිත‍්‍රපට කරන්න අමාරුයි. එහෙම නැත්නම් ඒ ගැන හො`ද ගවේෂණයක් කළ යුතුයි. උදාහරණයක් විධියට ප‍්‍රසන්න විතානගේ මහත්මයා ‘ඇය’ චිත‍්‍රපටය වෙනුවෙන් අවුරුදු ගණනක් කැපවෙලා ලොකු ගවේෂණයක් කරලා තමයි ඒ නිර්මාණය සිදු කළේ. එහෙම ගවේෂණයක් නැතිව නම් යුද්ධය ගැන චිත‍්‍රපට කරන්න බැහැ. ඒ නිසා යුද්ධය ගැන නිර්මාණය කරලා තියෙන ගොඩාක් චිත‍්‍රපටවල තියෙන්නේ ඒ නිර්මාණකරුවන්ගේ හිතේ තියෙන ආශාවන් විතරයි. එයාලාගේ චිත‍්‍රපට හරහා එළියට එන්නේ ඇත්ත තත්ත්වය නෙමෙයි. එහෙම වෙද්දී ලංකාවේ තිබුණු ඇත්ත යුද්ධය ගැන සමාජගත වෙන්නේ බොරු දේවල්. සමහර අය කොළඹ ඉඳලා පිටපත ලියාගෙන ඇවිත් ඒ පිටපතට අනුව මෙහේ ලොකේෂන්ස් හොයනවා. ඒ අයට ඕනෑ තල් ගහක් පෙන්නලා ඒ යාපනේ කියන්නයි. ඒක නෙමෙයි, ඇතුළේ ගොඩාක් විස්තර තියනවා. මිනිස්සුන්ගේ හිත් ඇතුළේ ගොඩාක් දේ තියෙනවා. ඒවා ගැන හොයන්නේ නැතිව වටපිටාව ගැන නිර්මාණ කරලා වැඩක් නැහැ. දැන් ටෙලිනාට්‍ය, වෙළෙ`ද දැන්වීම් පවා යාපනේ ඇවිත් රූගත කිරීමේ රැුල්ලක් ඇතිවෙලා තියනවා. යාපනේ ඇවිත් රූගත කිරීම හො`දයි. හැබැයි යාපනේ මිනිස්සු ගැන, ඒ අයගේ ප‍්‍රශ්න ගැන රූගතකරනවා නම් හො`දයි. කාපට් පාරවල්, තල් ගස්, ගොඩනැගිලිවලින් යාපනය පෙන්වන්න බෑ. යාපනයට වෙනම සංස්කෘතියක් තියෙනවා, වෙනම ජීවිතයක්, සුව`දක් තියනවා. මහපාරෙන් ටිකක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනෑ කොහොමද මිනිස්සු ජීවත්වෙන්නේ කියලා. හැමෝම නෙමෙයි, ඒත් වැඩිපුර කලාකරුවෝ හිතන්නේ යාපනය කියන්නේ නල්ලූර් කෝවිලයි, තල්ගහයි කියලායි.

ඔබ යුද්ධය කාලයේ එල්ටීටීඊ සංවිධානය සමග එක්ව සිනමා නිර්මාණ සිදුකළා. යුද්ධයෙන් පස්සේ ස්වාධීනව නිර්මාණ කිරීම එදාට වඩා පහසු කාර්යයක්ද?

ඒ කාලයේ නිර්මාණවලට පහසුකම් තිබුණා. දැන් නිර්මාණ කරන්න අමාරුයි. එකක් අපිට නිෂ්පාදකවරු නැහැ. එන අයත් අපිව රවට්ටලා ඒ අයගේ නම ප‍්‍රචාරය කරගන්නයි උත්සාහ කරන්නේ. අපිට අවශ්‍ය දැන් හො`ද නිෂ්පාදකවරුයි. අපි ළ`ග කතා ගොඩක් තියනවා. වැඩ කරන්නත් අය ඉන්නවා. ඕනෑ කරන්නේ නිෂ්පාදකවරුයි. පුළුවන් තරම් අඩු වියදමින් අපිට නිර්මාණ කරන්න පුළුවන්. එල්ටීටීඊ එකේ ඉන්න කාලේ අපි චිත‍්‍රපට කළේ අඩු පහසුකම් එක්කයි. විදුලිය, භූමිතෙල්, ඉලෙක්ට්‍රොනික් බඩු තිබුණේ නැතිවත් අපි නිර්මාණ කළා. ඒ දේවලට මුහුණ දෙන්න අත්දැකීම් අපිට තියෙනවා. පනෛමරක්කාඩු නිර්මාණය වෙන්නේත් ඉතා අඩු පහසුකම්වලිනුයි. අපිට ප්‍රොෆෙෂනල් ලයිට් හයර් කරන්න විධියක් තිබුණේ නෑ. චිත‍්‍රපටයේ තියෙන්නේ ප්‍රෙෆෙෂනල් ලයිට් ද නැද්ද කියන එක නෙමෙයිනේ. ඉතින් අපිම ලයිට් හදාගත්තා. දැන් මම චිත‍්‍රපටය හදලා ඉවරයි. ඒක මාකට් කරන්න විධියක් දැන් නැහැ. එහෙම කරන්න පුළුවන් වුණා නම් ණයට ගත්ත සල්ලිත්, මේකේ වැඩ කළ අයටත් මට ගෙවන්න පුළුවන්.

ලංකාවේ දමිළ සිනමාවක් වෙනුවෙන් දැන් අලූත් පරම්පරාවක් එකතු වෙමින් ඉන්න බව පෙනෙනවා. අලූත් නිර්මාණ සිදුවෙනවා. මෙරට දමිළ සිනමාවේ අනාගතය පිළිබද ඔබ සිතන්නේ කොහොමද?

අද තාක්ෂණය අතේ තියෙන නිසා ගොඩක් අය රූගත කිරීම් කරනවා. හැබැයි සිනමාව ගැන හො`දට දැනගෙන කරන්න ඕනෑ කියන අදහසින් වැඩකරන කොල්ලෝ කෙල්ලෝ පිරිසකුත් ඉන්නවා. ඒ අය නිසා අනාගතයේ ලංකාවේ දමිළ සිනමාව ගැන මට විශ්වාසයක් තියෙනවා. හැබැයි සිනමා කර්මාන්තයෙන් ජීවත් වෙන්නත් පුළුවන් කියන විශ්වාසයක් මාපියන්ටත් ඇතිවුණොත් විතරයි ඒ අය තමන්ගේ දරුවන් මේ ක්ෂේත‍්‍රයට යොමුකිරීමට කැමති වෙන්නේ. අනාගතයක් නැතිවෙනවා නම් දෙමාපියන් කැමති වෙන්නේ නෑනේ. සිනමා කර්මාන්තය එහෙම මට්ටමකට අරන් යන්න නම් සිනමාකරුවන් ලෙස අපි ඔක්කෝටම එකතුවෙලා වැඩ කරන්න වෙනවා.

දෙසැම්බර් 5 වැනිදා ඔබ පනෛමරක්කාඩු අරන් දකුණට එනවා. ඒක උතුරින් දකුණට කරන සෘජු ආමන්ත‍්‍රණයක් බවට පත් වේවි නේද?

අපේ ප‍්‍රශ්න අපි දන්නවා. දකුණ දන්නේ නෑ. දේශපාලනයේ ඉන්න අයත් ඒවා අරන් යන්නේ නෑ. ඒ නිසා කලාකරුවන්ටයි මාධ්‍යවේදීන්ටයි විතරයි මේ ඇත්ත තත්ත්වය අරන් යන්න පුළුවන්. ඒ නිසා මේ චිත‍්‍රපටය අරන් අපි දකුණට එන්නේ අපි ගැන අපිම දකුණට කියන්නයි. අපි දෙගොල්ලන් සාකච්ඡුා කළොත් අපිට තිබෙන ප‍්‍රශ්න ඔක්කෝම නැති වෙයි. දැන් මෙහේ තියන ප‍්‍රශ්න නිහ`ඩයි. අපි කවුරුත් කතා කරන්නේ නෑ. අපේ ප‍්‍රශ්න එයාලා දන්නේ නෑ, එයාලාගේ ප‍්‍රශ්න අපි දන්නේ නෑ.

-ඉඳුනිල් උස්ගොඩ ආරච්චි-