රාවය

ටෝල්ස්ටෝයිට බුදුන් හමුවුණා………. ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමි ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි

ටෝල්ස්ටෝයිට බුදුන් හමුවුණා……….  ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමි          ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි

 

රුසියානු භාෂාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ඇති සම්බන්ධතාව කෙබඳුද?

1974දී සෝවියට් දේශයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ජනතා මිත‍්‍රත්ව විශ්වවිද්‍යාලයේ භාෂා පීඨයට මම ඇතුළත් වුණා. එහි වසර පහක් අධ්‍යයන කටයුතු කරලා එම්ඒ උපාධිය ගත්තා. රුසියන් භාෂාව තමයි මගේ ප‍්‍රධාන අධ්‍යයන ක්ෂේත‍්‍රය වුණේ. ලංකාවට ඇවිල්ලා ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල රුසියානු භාෂා ආචාර්යවරයෙක් විදියට වැඩ කළා. ඉන් අනතුරුව 1984 නැවත රුසියාවට ගිහින් 1987 ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. ඒ අනුව 1974 ඉඳන් අද දක්වාම රුසියානු භාෂාව හා එම සාහිත්‍යය සමඟ මම දැඩි ලෙස බැඳී සිටිනවා. එය මම ජීවිතයේ ලබපු මහත් භාග්‍යයක්.
රුසියානු සාහිත්‍යය කියන්නේ ලෝකෙ තියෙන අතිවිශිෂ්ටම සාහිත්‍ය සම්ප‍්‍රදායක්. ඒ සම්බන්ධයෙන් ලංකාවේ පාඨකයන් පවා ලොකු දැනීමකින් කටයුතු කරනවා. අද පවා රුසියන් සාහිත්‍යය අපි අතර ජනප‍්‍රියයි. හැබැයි අද ඔබලා කියවන්නේ රුසියන් භාෂාවෙන් ඉංග‍්‍රීසියට පරිවර්තනය වෙලා එම ඉංග‍්‍රීසි පරිවර්තනවලින් සිංහලට පෙරළන ලද සාහිත්‍ය කෘතීන්. ඒ අතර කෙළින්ම රුසියන් භාෂාවෙන් සිංහලට පරිවර්තනය වුණු කෘති කිහිපයක්ද තියෙනවා. ඒ්ත් මට පුළුවන් වුණා සම්භාව්‍ය රුසියන් සාහිත්‍යය පමණක් නෙමෙයි නවීන රුසියානු සාහිත්‍යයද රුසියන් භාෂාවෙන්ම කියවන්න. කිසියම් සාහිත්‍ය කෘතියක් මුල් භාෂාවෙන් කියවන කොට අපට දැනෙන රසය, දැනෙන ප‍්‍රමාණය වැඩියි. ඒත් අපේ පරිවර්තන කාර්යයේ යෙදුණු බොහොම දෙනෙක් රුසියානු සාහිත්‍යය ඉතා ඉහළින් පරිවර්තනය කරලා තියෙනවා. ඒ ගැන සතුටුයි. රුසියානු සාහිත්‍යය අපට සමීපයි. අපි බෞද්ධ, හින්දු, ජෛන ආභාසය ලැබූ ජනතාවක්. ඒ නිසා ඒ ආධ්‍යාත්මික නැඹුරුතාව අපේ සිංහල සාහිත්‍යයේ ගැබ්වෙලා තියෙනවා. යුරෝපීය ජනතාව මොනවා කිව්වත් මනස පිළිබඳ ඔවුන් බොහෝ දේ උකහාගත්තේ පෙරදිගින්. මනෝ විශ්ලේෂකයන් ඔය බටහිර දැනුම සංකල්පයක් විදියට ගොඩනගලා තියෙන්නේ පෙරදිගින් ලත් ආභාසය මතයි. ආධ්‍යාත්මික තත්ත්වයන් විග‍්‍රහ කිරීමෙහිලා රුසියානු සාහිත්‍යය ඉදිරියෙන්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදු දහමින් රුසියන් සාහිත්‍යයට ලැබුණු බලපෑමද ඉතා විශාලයි.

ඒ කොහොමද?

රුසියාවට 1600 ගණන් වෙනකොට මොංගෝලියානු සංචාරකයෝ ආවා. ඇවිත් කැස්පියන් මුහුදට උඩහින් පදිංචි වුණා. ඒ අතර හාමුදුරුවරුත් හිටියා. හාමුදුරුවරුන්ට අවශ්‍ය පිරිවෙනුත් බිහිවෙලා තිබුණා. බෞද්ධ පොත්පත් තිබුණා. බුද්ධාගම ගැන පර්යේෂණ කරමින් පැවතුණා. ඒ අනුව බුද්ධාගම පිළිබඳ ප‍්‍රචාරයත් රුසියාව පුරාම පැතිරුණා. ඔය අතරේ 1714 වගේ කාලේදී මහා පීටර් රජ්ජුරුවෝ බුද්ධ ධර්මය පිළිබඳ ආරංචි වෙලා තවත් පිරිසක් චීනෙට යැව්වා. ඒ අනුව ඔවුන් චීනෙනුත් ඉගෙනගෙන ආවා. ඊට පස්සේ පීටර්ස්බර්ග් නගරේ පෙරදිග අධ්‍යාපන ආයතනය ආරම්භ කළා. ඒ පෙරදිග අධ්‍යාපන ආයතනය තුළ තමයි බෞද්ධ අධ්‍යයනය සිදුවුණේ. එම අධ්‍යයනයේ ප‍්‍රතිඵලයක් ලෙස 1837 කසාන් විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය වැසිලෙස්කි අතින් ඊමාායසිඑ ක්‍මබඑදපදකදටහ කියන වටිනා කෘතිය බිහිවෙනවා. මේ පොත්පත් තමයි එවක රුසියාවේ හිටිය මහා ලේඛකයෝ කියෙව්වේ. ඒ පොත්පත් හරහා ඔවුන් එකතු කරගත් දේ ඉතා විශාලයි. මුල්කාලීන රුසියානු මහා සාහිත්‍යධරයන් තමන්ගේ කෘතිවල එන පාත‍්‍ර වර්ගයාගේ මානසික තත්ත්වයන් මෙන්ම එම සාහිත්‍ය කෘති හරහා ගොඩනගා ඇති ආධ්‍යාත්මික තත්ත්වයන්ට මූලික පදනම සකසා ගන්නේ පෙරදිග ආභාසයෙන් බව පැහැදිලියි. ටෝල්ස්ටෝයිට පවා ඒ ආභාසය දැඩිව ලැබුණා. ටෝල්ස්ටෝයිගේ සෑම කෘතියකම පාහේ යටි තලය හරහා ගලායන්නේ බෞද්ධ සාරධර්මයි. ටෝල්ස්ටෝයිගේ අවිහිංසාවාදයේ පදනම වුණේ බෞද්ධ ආභාසයයි. ඒ නිසා තමයි ටෝල්ස්ටෝයි බුදුහාමුදුරුවෝ ගැන පොතක් පවා ලිව්වේ.

එහෙම කෘතියක් පිළිබඳ අප දැනුවත් නැහැ.

බොහොම දෙනෙක් දන්නේ නැහැ. 1830 ගණන්වල ටෝල්ස්ටෝයි ඉගෙනගන්න ගියා කසාන් කියන නගරෙට. එහිදී ඔහුට අසනීපවෙලා ගියා කසාන් රෝහලට. එහිදී ඔහු දැක්කා අමුතු ඇඳුමක් ඇඳ ගත්තු කෙනෙක් තමන්ගේ ඇඳට එහා ඇඳේ ඉන්නවා. ඔහු ඇහුවා ඇයි ඔබ රෝහල්ගත වුණේ කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා මට හොරු වගයක් ගැහුවා කියලා. එතකොට ටෝල්ස්ටෝයි කිව්වා ඉතින් ඔබටත් තිබුණේ ගහන්නනේ කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා, මගේ ශාස්තෘවරයා මට උගන්වලා තියෙන්නේ අවිහිංසාව මිසක් හිංසාව නොවේ, ඒ අනුව මට පහර දුන් පුද්ගලයාටත් මම මෛත‍්‍රී කරනවා කියලා. ටෝල්ස්ටෝයි අහනවා ඔබේ ශාස්තෘවරයා කවුද කියලා. ඒ හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ කියලා. එතැන් පටන් ටෝල්ස්ටෝයි බුදුහාමුදුරුවෝ ගැන හොයන්න පටන්ගන්නවා. ඇත්තටම ටොල්ස්ටෝයිගේ මානව හිතවාදයට මූලික අඩිතාලම වැටුණේ ඉන්පසුවයි.

ඒ හාමුදුරුවෝ මුණගැසීම ටෝල්ස්ටෝයිගේ ජීවිතේ එක් කඩඉමක්. එතැන් පටන් ඔහු බුද්ධ ධර්මය පිළිබඳ හොයන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධව කියවන්න පටන් ගන්නවා. බුද්ධ ධර්මය සම්බන්ධ ටොල්ස්ටෝයිගේ සොයාබැලීම් හා පර්යේෂණ මත ඔහු අතින් 1906 වසරේදී බුදුහාමුදුරුවෝ පිළිබඳ ඉහත සඳහන් කරන ලද කෘතිය බිහිවෙනවා. එය පොත් පිංචක් වුණාට වටිනා ග‍්‍රන්ථයක්.

එවැනි ග‍්‍රන්ථයක් එළිදැක්වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික වටාපිටාව එවක රුසියාව තුළ තිබුණාද?

ඇයි නැත්තේ? 1800 ගණන් වනවිට බෞද්ධ දර්ශනය පිළිබඳ ඉතා වටිනා පර්යේෂණ රාශියක් සිදුකෙරුණා. ඒ අනුව බෞද්ධ පර්යේෂණ කෘති රාශියක් බිහිවුණා. ඉන්දියානු පොත්පත් පරිවර්තනය වුණා. කසාන් විශ්වවිද්‍යාලය තුළ බෞද්ධ පර්යේෂණ සඳහා දැඩි උනන්දුවක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසා ටෝල්ස්ටෝයි ඇතුළු අනිකුත් සියලූම සාහිත්‍යධරයන්ට අවශ්‍ය දැනුම ඒ හරහා ළඟා කරන්න පුළුවන් වුණා. බෞද්ධාගම සම්බන්ධයෙන් බිහිවුණු ආචාර්යවරු, මහාචාර්යවරු රාශියක් ඒ කාලේ බිහිවුණා. නම් වශයෙන් කිව්වොත් විශාල ලේඛනයක් දැක්විය හැකියි. ටෝල්ස්ටෝයි මේ කෘති පරිශීලනය කරලා තියෙන බවට සාක්ෂි තියෙනවා. හැබැයි බොහෝවිට එම තොරතුරු තියෙන්නේ රුසියන් බසින්. සිංහලට එවැනි දේ පරිවර්තනය වෙලා නැහැ. එයට තවත් උදාහරණයක් දැක්විය හැකියි. 1890දී රුසියානු රජතුමා ලංකාවට පැමිණිලා තියෙනවා. නුවර, නුවරඑළිය වගේ ප‍්‍රදේශවල සංචාරය කරලා තියෙනවා. ඒත් අපේ රටේ එවැනි වටිනා තොරතුරු සොයාගන්න නැහැ. එහෙත් රුසියාවේ ඒ සම්බන්ධ පැහැදිලි තොරතුරු තියෙනවා. ඒ වගේ තමයි රුසියානු සාහිත්‍යධරයනට බුදු දහමින් වුණු බලපෑම. රුසියාවේ සාකච්ඡුා වුණත් ලංකාවේ එවැනි අදහස් සාකච්ඡුාවට ගැනෙන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට රුසියානු නවකතා පරිවර්තනයට යොමුවුණත් වෙනත් ඓතිහාසික සම්බන්ධතා ගැන සාකච්ඡුා කරන්නේ නැහැ. ඒවා හරි විදියට හොයා බලනවා නම් අපිට තේරෙනවා. ඒ තොරතුරු කොච්චර වටිනවාද කියලා. රුසියාවෙහි බුද්ධාගම ගැන පර්යේෂණ ග‍්‍රන්ථයක් වුණත් කළ හැකියි.

ඒ කියන්නේ මහායාන බුදුදහම?

නැහැ බුදුදහම. ථේරවාද, හීනයාන, මහායන කියන නම් අපි දාගත්ත නම් නේ. බුදුදහම කිව්වාම එකයි. ඔය විවිධ නම් දාගෙන බුදුදහම අර්ථකථනය කරන්න යන එක එතරම් ගැළපෙන ක‍්‍රියාවක් නෙමෙයි. ශාස්තෘවරයා ප‍්‍රකාශ කළ දෙයෙහි අර්ථය තමයි අපි ගන්න ඕනෑ. වැදගත්කම තියෙන්නේ එතැන. ට්‍රොට්ස්කිවාදය කියනවා, මාවෝවාදය කියනවා, ලෙනින්වාදය කියනවා.. ඇයි අපි එහෙම කියන්නේ. එක එක්කෙනා තේරුම් ගත්ත විදියට එකම න්‍යාය විවිධ කොටස්වලට කඩනවා. ඒ වගේ තමයි ථේරවාද, මහායන කියන එක. මහායාන කියන්නෙත් එක ඉගැන්වීමක්. ඒක අපි පහත දාන්නේ ඇයි? අපි බුද්ධාගම ලබාගෙන තියෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන්. ඊට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇවිත් ලිව්වා. ඒවා පරිවර්තනය කළා. ඒ ගලාගෙන ආ දේ තමයි අපි පිළිගන්නේ. අනිත් පැතිවලට යනකොට ඒවා ඒ විදියට සකස් වෙනවා. එතකොට අපි කියන්නේ කොහොමද ඒවා වැඩක් නැහැ කියලා. ඒගොල්ලන්ටත් කියන්න පුළුවන්නේ අපි කරන්නේ බොරු කියලා. එහෙම වුණොත් ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා නේ. බුදුදහම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ‘ඒවං මේ සුතං’ කියන කාරණය මත නේ. ඒ කියන්නේ ඇහුණ දේවල් මත තමයි එය රඳා පවතින්නේ. ඒ නිසා රුසියාවේ තියෙන්නේ මහායානයද, ථේරවාදයද කියන එක අපිට ගැටලූවක් නෙමෙයි. ඒ වගේම ටෝල්ස්ටෝයිට බලපෑමක් වුණේ මහායානයද ථේරවාදයද කියන එක හෙවීම කිසිම පලක් නැහැ. හැබැයි බුදුදහමේ බලපෑම ලැබිලා තියෙන බව පැහැදිලියි. එහෙම නැත්නම් ඔහු අතින් බුදුහාමුදුරුවෝ ගැන ලියවෙන්නේ නැහැනේ.

ඒ කෘතියේ අඩංගුවන්නේ මොන වගේ කරුණුද?

මූලික සංකල්ප රාශියක් එහි අඩංගු වෙනවා. මිනිස් ජීවිතයට අවශ්‍ය බොහෝ කරුණු බුදුදහම ඇසුරින් ටෝල්ස්ටෝයි පෙන්වා දෙනවා. ඔහු පංච සීලයට ප‍්‍රධාන තැනක් දෙනවා. හොරකම් කරන්න එපා කියනවා විතරක් නෙමෙයි අනුන්ගේ දේ ආරක්ෂා කරන්න කියලා තියෙනවා. බොරු කියන්නේ එහෙම නැතිනම් මුසාවාදයෙන් වළකින්න කියන අතරෙම සත්‍යය ආරක්ෂා කරන්න කියනවා. ආරෝග්‍ය පරමාලාභා යන්න පිළිබඳ සාකච්ඡුා කරනවා. ඒ කරුණු පදනම් කරගෙන අවිහිංසාවාදය පිළිබඳ ගැඹුරින් සාකච්ඡුා කරලා තියෙනවා. ‘යුද්ධය හා සාමය’ කෘතිය අරගෙන බලන්න. එහි පළමුව යුද්ධයේ බිහිසුණුකම පිළිබඳ පෙන්වා දෙනවා. ඉන්පසු සාමයේ ඇති වටිනාකම පෙන්වා දෙනවා. ටෝල්ස්ටෝයිගේ හැම නවකතාවක්ම බෞද්ධ දෘෂ්ටිකෝණයකින් විග‍්‍රහ කළ හැකියි. දොස්තොයෙවුස්කි, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ් මේ කාටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ක‍්‍රිස්තියානි ආගමේ බලපෑමද රුසියානු සාහිත්‍යයේ දක්නට ලැබෙන ලක්ෂණයක්.

පසුකාලීන ලේඛකයන්ට බුදුදහමේ ආභාසය කොතරම් දුරට ලැබුණාද?

පසුකාලීන සාහිත්‍යයට නම් ලැබුුණේ නැහැ. 1590 ගණන්වල ඉඳන් 1917 දක්වා බුදුදහම පිළිබඳ විවිධ සොයාබැලීම් පර්යේෂණ මට්ටමින් සිදුවුණත් ඉන්පසු එවැනි දේ පිළිබඳ අවධානයක් යොමුවුණේ නැහැ. සමාජවාදී රාජ්‍යයක් තුළ මුල් තැන ලැබුණේ භෞතිකවාදී පදනම් වෙනුවෙන් මිසක් ආගමික පදනම් වෙත නෙමෙයි. එහෙත් පසුකාලීන රුසියානු සාහිත්‍යය තුළ පවා ආධ්‍යාත්මික තත්ත්වයන්ගේ ඇති බලපෑම සම්පූර්ණයෙන්ම ඉවත් වුණේ නැහැ. හැබැයි ඒ සාහිත්‍යය සම්භාව්‍ය රුසියන් සාහිත්‍යයේ මුල්කෘති තරම් ජගත් ප‍්‍රජාව වැලඳ ගත්තේ නැහැ. අපේ සාහිත්‍යය වුණත් එහෙමනේ. මුල්කාලීන ලේඛකයන්ගේ කෘති තරම් නූතන ප‍්‍රබන්ධ ජනතාව වැලඳ ගන්නේ නැහැනේ. තාම වුණත් අපි වැඩිය කතා කරන්නේ ඒ පොත්පත් ගැනනේ. රුසියානු සාහිත්‍යයත් ඒ වගේ තමයි.
නූතන රුසියානු ලේඛක පරම්පරාව විවිධ මානයන් ස්පර්ශ කරන බව පෙනීයනවා. සමහරු ඒ රටේ ඉඳලා ලියනවා. සමහරු රටෙන් බැහැරව ඉඳලා ලියනවා. කොහොම වුණත් රුසියානු ජනතාව තරම් කියවීමට ඇබ්බැහි වුණු පිරිසක් මම දැකලා නැහැ. ඔවුන් කෝච්චියේදී පවා කියවනවා. ඒ වගේම තවමත් ඔවුන්ට ඉතා පොහොසත් සංස්කෘතික ජීවිතයක් තියෙනවා. මීට අවුරුදු ගණනාවකට පෙර ඔවුන් නැරඹූ ඔපෙරාවක් අද වුණත් ඔවුනට බලන්න හැකියාව තියෙනවා. හැම නාට්‍ය ශාලාවක්ම හැමදාම පිරිලා. සෝවියට් දේශය බිඳවැටුණා කියලා ඔවුන්ගේ සංස්කෘතික ජීවිතේට එය බලපෑමක් වෙලා නැහැ. හැම ගෙදරකම පුස්තකාලයක් තියෙනවා. එතැනින්ම පෙනෙනවා ඔවුන්ගේ සංස්කෘතික ජීවිතේ කොතරම් පොහොසත්ද කියලා.

සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුව වුණත් සම්භාව්‍ය රුසියන් සාහිත්‍යය වැළලී ගියේ නැහැ..

නැහැ. එය එන්න එන්නම ජනප‍්‍රිය වුණා. ටෝල්ස්ටෝයිවත් දොස්තොයෙවුස්කිවත් අනිකුත් සම්භාව්‍ය රුසියානු සාහිත්‍යකරුවෝවත් ඍජු වශයෙන් විප්ලවයට සහයෝගය දුන් අය නෙමෙයි. ඔවුන් කම්කරු විප්ලවය වෙනුවෙන් සාහිත්‍ය පොතපත ලිව්වේ නැහැ. ඇත්තටම ඔවුන් හිටියේ එයට ප‍්‍රතිපක්ෂ මතයක. මාක්ස්ලා ලෙනින්ලා කම්කරු සටන් පිළිබඳ පෙනීසිටින කොට ටෝල්ස්ටෝයි පෙනීසිටියේ අවිහිංසාවාදය වෙනුවෙන්. දොස්තොයෙවුස්කි පෙනීසිටියේ මිනිසුන්ගේ අභ්‍යන්තරය වෙනුවෙන්. චෙකොෆ් උපහාසයෙන්ද සිදුකළේ ඒ දෙයමයි. පුෂ්කින්ගේ කවිය ගත්තත් එහෙමයි. එහෙත් ටෝල්ස්ටෝයි විප්ලවයේ කැඩපත කියලා ලෙනින් ප‍්‍රකාශ කළා. ඒ වගේ ඔවුන්ගේ සාහිත්‍යය සර්වකාලීනයි. සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුවත් ඒ සාහිත්‍යය කෘතිවල වටිනාකම අඩුවුණේ නැහැ. අදත් ඒ නිර්මාණ පූජනීයයි. හැබැයි සෝවියට් දේශය බිඳවැටීමෙන් පස්සේ ලේඛනයට පිවිසි ලේඛකයන් සමාජවාදී අදහස් හා නූතනවාදී අදහස් එකට ගළපන්න උත්සාහ කරන බව පෙනී යනවා. එය එහෙම විය යුතුයි. සාහිත්‍ය නිර්මාණ කියන්නේ එක තැන පල්වෙන දෙයක් නෙමෙයි නේ. එහෙත් නූතන රුසියානු ලේඛකයන්ට අවශ්‍ය නිර්මාණාත්මක පසුබිම මුල්කාලීන ලේඛකයන් විසින් ගොඩනගා තියෙනවා. ඒ නිසා ඒ සාහිත්‍යය කවදාවත් අවලංගු වෙන්නේ නැහැ.

රුසියානු සාහිත්‍යය අපේ රටේ ඉතා ජනප‍්‍රියයි. සිංහල නවකතාව රුසියාවේ ජනප‍්‍රියද?

එහෙම කියන්න තරම් දෙයක් නැහැ. එහෙත් මාර්ටින් වික‍්‍රමසිංහ, කේ. ජයතිලක, ගුණසේන විතාන, ඒ වගේම මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ‘හෙයියම්මාරුව’ වැනි නවකතා කිහිපයක් තියෙනවා. අපේ නවකතාව අද තියෙන තැන ගැන මට එච්චර පැහැදීමක් නැහැ. ඒවායේ තාම තියෙන්නේ ආදර කතා. එවැනි කතා රුසියානු බසට පරිවර්තනය වීම අවශ්‍ය නැහැ. මොකද එහේ ඊට වඩා හොඳ කතන්දර ලියවෙනවා. රුසියානු සාහිත්‍යය තුළ තවමත් සාහිත්‍ය කෘතියකින් පාඨකයන්ට ජීවිතාවබෝධය ලබාදෙන්න උත්සාහ කරනවා. එවැනි තත්ත්වයක් අපේ නවකතාවේ නැහැ. ගීතයක් අරගෙන බැලූවත් ඒ ලක්ෂණය පෙනෙන්න තියෙනවා. ඒවා බොහෝ විට අඳෝනා. මෙවැනි නිර්මාණ හරහා ජනතාව ප‍්‍රබුද්ධත්වයට පත් කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැති දෙයක්. හොඳ දෙයක් කියවන්නේ නැති, හොඳ දෙයක් අහන්නේ නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ටෝල්ස්ටෝයිට බුදුන් හමුවුණාට පස්සේ ඔහුගේ චින්තනය වෙනස් වුණාට අපේ සාහිත්‍යධරයන්ට තාම බුදුන් හමුවෙලා නැහැ.

සුලෝචන වික‍්‍රමසිංහ-