රාවය

කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2)

කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2)

නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන් කරන ලද්දේ ‘සටහන් කර ගන්නා ලදි’ යන රාජ්‍ය තාන්ත්‍රික යෙදුමෙනි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ගණනාවක්ම අපරානුමත කරන ලෙස කරන ලද නිර්දේශ ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මෙම ප්‍රඥප්ති අපරානුමත කරනු ලැබුවහොත් අප රට ජනයාට එම අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට පවා අවස්ථාව සැලසෙයි.
කවර හෝ ගිවිසුමක් හෝ ප්‍රඥප්තියක් හෝ අපරානුමත කිරීමට නම් එරට ව්‍යවස්ථාදායකය විසින් එය සම්මත කොට එය ක්‍රියාවට නැගීම සඳහා නීති පැනවිය යුතුය. ඉන්පසු එම ප්‍රඥප්තියට නීතිමය බලයක් ලැබේ. එමෙන්ම අපරානුමත කරන ලද මානව හිමිකම් ප්‍රඥප්තියක් අන්තර්ජාතික බැඳීමක් බවටද පත්වෙයි.

ජනාධිපති සිරිසේන විසින් වධහිංසා පැමිණවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවෙහි සාකච්ඡා කොට සම්මත කිරීම වළක්වන ලද්දේ එම ප්‍රඥප්තිය නීතිමය බලයක් ලබාගැනීම වැලැක්වීම පිණිසය. ඔහු ඊට බියවූයේ ජාතිවාදී පිරිස් විසින් එම පනත යටතේ යුද සමයෙහි මානව හිමිකම් කෙළෙසූ ආරක්ෂක හමුදා පිරිස් අන්තර්ජාතික දඬුවම්වලට යටත්වනු ඇතැයි ගෙනගිය ව්‍යාජ ප්‍රචාරයට සිය අනුමැතිය ලබාදීමක් වශයෙනි. එම පනත තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ බහාතබනු ලැබ ඇත.

අන්තර්ජාතික පනතකට හෝ ප්‍රඥප්තියකට හෝ අත්සන් කිරීම මගින් එය එම රටෙහි බලාත්මක වන්නේ නැත. අත්සන් කිරීම මගින් අදහස් කැරෙන්නේ එකී අත්සන් කරන රට ප්‍රඥප්තියෙහි සඳහන් මානව හිමිකම් නොකෙළෙසනු ඇතැයි යන පිළිගැනීම පමණි. ඇත්ත වශයෙන්ම රටක් සිය ජනයාගේ මානව හිමිකම්වලට නිසි රැකවරණය ලබාදීමට කැපව ඇත්තේ නම් එය විසින් කළයුත්තේ අදාළ ප්‍රඥප්ති අපරානුමත කිරීමය.

ශ්‍රී ලංකාව පිළිබඳ 2017 නොවැම්බර් කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී ලංකාණ්ඩුව වැඩිපුරම ප්‍රතික්ෂේප කළේ මානව හිමිකම් ප්‍රඥප්ති අපරානුමත කරන ලෙස අන්තර් ජාතික ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්ය. මෙමගින් අපට පෙනෙන්නේ ශ්‍රී ලංකාවෙහි බොහෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම නීතිමය වශයෙන් බලාත්මක කිරීමට සහ අන්තර් ජාතික බැඳීමක් බවට පත්කිරීමට ආණ්ඩුවේ ඇති නොකැමැත්තයි.

එවැනි නිර්දේශ වැඩිපුරම කරන ලද්දේ දරුණූ යුරෝපීය සහ ඒකාධිපතිත්වයන් පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්නා ලද ලතින් ඇමෙරිකානු රටවල් විසිනි.
තවත් කැපීපෙනෙන ප්‍රතික්ෂේප කිරීමක් වූයේ සංක්‍රමණීය යාන්ත්‍රණන් පිහිටුවීම පිණිස කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙස වූ නිර්දේශයයි. අඩුම වශයෙන් පුළුල් කාලරාමුවක් ලබාදීමටවත් ලංකාණ්ඩුව මෙම කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී කටයුතු කළේ නැත.
යුද සමයෙහි සිදුකරන ලද බවට කියැවෙන බරපතළ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයනට යුක්තිය ලබාදීම පිණිස නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලද්දේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් (ජර්මනිය, මෙසඩොනියාව, දකුණු කොරියාව, ඩෙන්මාර්කය, ඔස්ටි්‍රයාව, කැනඩාව යනාදි) විසින් පමණක් නොවේ. දේශීය සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානද මෙම සමාලෝචනයට ඉදිරිපත් කළ සිය වාර්තාවන්හි එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

ලංකාණ්ඩුව පිළිනොගත් නිර්දේශයන් අතර අන්තර් ජාතික අධිකරණයට අදාළ රෝම ප්‍රඥප්තිය අපරානුමත කරන ලෙස කරන ලද නිර්දේශය කැපීපෙනේ. මෙම නිර්දේශය ඉදිරිපත් කළ රටවල් අතර දැනටමත් ශ්‍රී ලංකා යුදහමුදා ජෙනරල්වරයකුට එරෙහිව සිවිල් සමාජ කණ්ඩායම් විසින් යුද අපරාධ නඩුවක් පවරා ඇති ලතින් ඇමෙරිකානු රටවල්ද විය.

මරණ දඬුවම අහෝසි කිරීමද ඇතුළුව ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන ප්‍රඥප්තියේ වෛකල්පික ප්‍රොටෝකෝලය අපරානුමත කරන ලෙස ලෙස ස්පාඤ්ඤය, මොන්ටෙනීග්රෝ, පෝලන්තය, නවසීලන්තය සහ තවත් රටවල් විසින් කරන ලද නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.
එමෙන්ම ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වෛකල්පික ප්‍රොටෝකෝලය අපරානුමත කරන ලෙස වූ නිර්දේශයද ප්‍රතික්ෂේප කරන ලදි. ආදිවාසී ජනයාගේ අයිතීන් පිළිබඳ පනත අපරානුමත කිරීමද ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශ අතර වෙයි.

මීට අමතරව සරණාගත අයිතීන් පිළිබද 1951 ප්‍රඥප්තියට අත්සන් කරන ලෙස කරන ලද කෝර් ඩි වා විසින් කරන ලද නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. 1948 මානව හිමිකම් ප්‍රඥප්තියෙහි 14වන වගන්තිය මත පදනම් වන මෙම ප්‍රඥප්තිය විසින් සියරටෙහිදී නීති විරෝධීව දඬුවමට බඳුන් වියහැකි පුද්ගලයන්ට රැකවරණය පැතීමට අවස්ථාව සලසාදෙයි.
තවමත් අප කිසිවකු දැක නැති එනමුත් අන්තර්ජාතික ප්‍රජාව දැක ඇති බව පෙනෙන 2016-2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන ලෙස වූ නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.

ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශ අතර පහත සඳහන් ඒවාද වේ.
ව්‍යවස්ථා සංශෝධනය විසින් කිසිදු වෙනසකින් තොරව සියලු පුද්ගලයන්ට සමාන ආරක්ෂාව, අයිතීන් සහ සැලකීම් ලබාදීම;
සිය කැමැත්ත මත සමරිසි ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් ලෙස නොසැලකීම; ඒ සඳහා අපරාධ නීති සංග්‍රහයෙහි 365 සහ 365 ඒ වගන්ති අහෝසි කිරීම; (ඕස්ටේ්‍රලියාව, නෙදර්ලන්තය, බ්‍රසීලය, කැනඩාව, ස්වීඩනය, උරුගුවේ, හොන්දුරාස්)
වෛරය සහ ප්‍රචණ්ඩත්වය උසිගන්වන වරදකරුවන් සම්බන්ධයෙන් පවත්නා දුර්විපාක නොලැබීම අහෝසි කොට අන්තර් ජාතික නීතියට අනුකූලව නීතිය ඉදිරියට පැමිණවීම;
අත්අඩංගුවට ගැනෙන සියල්ලන්ගේම මූලික අයිතීන් මුල සිටම සුරැකෙන බවට නීතියෙන් සහ භාවිතයෙන් සහතික කිරීම;
ලංකාණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙරට ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් විසින් දැනගත යුතු නිර්දේශයක්ද විය. එනම් ඔස්ටි්‍රයාව විසින් ඉදිරිපත් කරන ලද ‘බියවැද්දවීම් සහ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණදීම පිණිස සහ එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් සක්‍රිය පරීක්ෂණයන් සහ නඩු පැවැරීම් සහතික කරනු පිණිස, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ රැකවරණය පිණිස ජාතික පිළිවෙතක් සම්මත කරගන්න’ යන නිර්දේශයයි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාත්මක වන කේන්ද්‍රීය රට ඔස්ටි්‍රයාවයි. එබැවින් එරට ජිනීවා දූත පිරිස මාධ්‍ය නිදහස පිළිබඳ විශේෂඥ දැනුමකින් ක්‍රියාකරයි. ලංකාණ්ඩුව මෙම නිර්දේශය ප්‍රතික්ෂේප කළා පමණක් නොව සිය ස්වේච්ඡක පොරොන්දුවලදී හෝ මේ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.
ස්ත්‍රී අයිතිවාසිකම් පුළුල්කිරීමේ අදහසින් ඉදිරිපත්වූ නිර්දේශ ගණනාවක්ද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.

ඉහතකී බොහෝ ප්‍රතික්ෂේප කිරීම් සමනය කිරීමට සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දුහිදී යම් දුරකට පියවර ගෙන තිබුණි.
නිදසුන් කිහිපයක් මෙසේය:
සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේද ඇතුළුව සියලු පුද්ගලයන්ගේ මූලික අයිතීන් ශක්තිමත් කිරීම සහ ගරුකිරීම;
මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන යෝජනාවෙහි අඩංගු පොරොන්දු සම්පූර්ණ කිරීම; අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රිය කිරීම, සත්‍යය සෙවීමේ කොමිසමක්, හානිපූර්ණ කාර්යාලයක් සහ විශේෂ අභියෝජකයකු ඇතිව අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම;
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්තවාද විරෝධී පනතක් ගෙනඒම;
ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ පනතෙහි අඩංගු වගන්ති දේශීය නීතියට ඇතුළත් කිරීම;
දැන් අප හමුවේ ඇති අභියෝගය ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ 2017 නොවැම්බර් කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී දෙන ලද මෙම පොරොන්දු සමාජගත කරන්නේ සහ ඒවා බලගන්වන්නේ කෙසේද යන්නයි. අඩුම වශයෙන් මෙම සමාලෝචනයට එවන ලද සිවිල් සමාජ වාර්තාවන්ට දායකවූ රාජ්‍ය නොවන සංවිධාන සිය සාමාජික සහ අනුග්‍රාහක පිරිස් සමඟවත් තමන් ලියා එවූයේ මොනවාද කියා හෝ ඊට ලද ප්‍රතිවාර මොනවාද කියා හෝ සාකච්ඡා කරන්නේ නැත. තිත්ත වුවත් කිවයුතු ඇත්ත නම් මෙම බොහෝ සංවිධානවලට මෙකී සමාලෝචන සැසිවාරයක් හුදෙක් තවත් ව්‍යාපෘතියක් පමණක් බවයි. මෙම සමාලෝචනයට පැමිණි දුසිමකට වැඩි ක්‍රියාධරයන්ගේ එක් ගුවන් ටිකට්පතක මිලෙන් ඊට අදාළ වාර්තා සිංහලට පෙරළන්නට හැකිය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ව්‍යාපාරයේ එක් දුබලතාවක් එය ඉංග්‍රිසි කතාකරන කුඩා ප්‍රජාවක බුද්ධිමය අභ්‍යාසයකින් එහාට නොයෑම නම් දෙවන දුබලතාව වන්නේ එය ව්‍යාපෘති මානසිකත්වයෙන් පිටතට ගෙන යාහැකි බිම් මට්ටමේ ප්‍රවේශයක් හෝ ව්‍යාපාරයක් නැතිකමයි.
මෙම ලිපියෙහි සහ පසුගිය ලිපියෙහි සඳහන් කරුණූ මගින් යම්දුරකට හෝ 2017 ශ්‍රී ලංකාව පිළිබඳ කාලාන්තරීය විශ්ව සමාලෝචනය පිළිබඳ අවබෝධයක් ලබාදීමට උත්සාහ කළේ එම අඩුව බිඳකින් හෝ සපුරා උනන්දුමත් පිරිස් අතර කතාබහකට මුල පිරෙනු පිණිසය.■