රාවය

අහසින් හා දිය යටින් ගමන් කරන මොරටු සරසවියේ ඩ්‍රෝන්

අහසින් හා දිය යටින් ගමන් කරන මොරටු සරසවියේ ඩ්‍රෝන්

ඩ්‍රෝන් තාක්‍ෂණය ගැන මීට පෙර 2016 සැප්තැම්බර් 25දා ලිපියෙන් අප කතා කළා.
අප මෙහිදී drone යනුවෙන් අදහස් කරන්නේ නියමුවන් රහිත, ස්වයංක්‍රිය කුඩා ගුවන්යානාවලට (UAV = unmanned aerial vehicles)’. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන් යැයි ම කියමු.
ඩ්‍රෝන් කියන්නේ පියාසර කළ හැකි සූක්ෂ්ම රොබෝ සැලසුම්වලටයි. (රොබෝ වචනය කී විට මනසට නැගෙන්නේ මානව දේහ හැඩරුවට සමාන ආකාරයේ යාන්ත්‍රිකයකුයි. එහෙත් රොබෝවකට ඕනෑම හැඩරුවක් තිබිය හැකියි. රොබෝ කියන්නේ යම් තාක් දුරට ස්වයංක්‍රියව ක්‍රියා කළ හැකි, ගමන් කිරීමේ හැකියාව සතු, දුරස්ථව පාලනය කළ හැකි යන්ත්‍රයකට).
ඩ්‍රෝන් මුලින්ම නිපදවා යොදා ගනු ලැබුවේ මිලිටරි වැඩවලට. එහෙත් අද වන විට සාමකාමී භාවිතයන් රැසකට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා. බඩු ප්‍රවාහනයට, ආපදා හදිසි තක්සේරුවලට, ඡායාරූපකරණයට හා මාධ්‍යකරණයට ආදි වශයෙන්.
එහිදී මෙරට විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රායෝගික අවශ්‍යතා සඳහා භාවිත කරන ඩ්‍රෝන් ගැන මීට පෙර අපි විස්තර කළත් ඒ හැම එකක්ම පිටරටින් ගෙන්වන ස්වයංක්‍රිය පියාසර යන්ත්‍රයි.
අපේ රටේ ඩ්‍රෝන් තාක්‍ෂණය දියුණු කොට මෙරටට අවශ්‍ය ඩ්‍රෝන් මෙරටදීම තනාගැනීමට උත්සුක වන පර්යේෂක පිරිසක් මෑතදී මට මුණ ගැසුණා.
ඒ මොරටුව සරසවියේ ස්වයංක්‍රිය පියාසර යන්ත්‍ර පිළිබඳ පර්යේෂණාගාරයේදීයි (UAV Laboratory). එහි ප්‍රධානියා වන මහාචාර්ය රොහාන් මුණසිංහ මෙරට සිටින ප්‍රමුඛතම ඩ්‍රෝන් පර්යේෂකයා හා රොබෝ විශේෂඥයා ලෙස හැඳින්විය හැකියි.
රොබෝ තාක්‍ෂණය පිළිබඳව ජපානයේ උගත්, එම විෂයෙන් ආචාර්ය උපාධියක් ලත් ඔහු ඩ්‍රෝන් මෙරට නිපදවීමෙන් රටේ විවිධ සංවර්ධන හා ආර්ථික අවශ්‍යතා සපුරා ගන්නවාට අමතරව අනාගතයේ යම් දිනෙක විදෙස් වෙළඳපොළටද මෙම නිපැයුම් අලෙවි කළ හැකි බව විශ්වාස කරනවා. ඔහු වෙළෙඳපොළ ගැන සංවේදී නව නිපැයුම්කරුවෙක්.
මොරටුව සරසවිය රොබෝ තාක්‍ෂණය විෂයයක් ලෙස හඳුන්වා දුන්නේ 2007දී. මුලදී දුෂ්කරතා තිබුණත් වසර කිහිපයකින් අවශ්‍ය උපකරණවලින් සැදුම්ලත් පර්යේෂණාගාර බිහි වුණා.
අද වන විට එම සරසවියේ ඉංජිනේරු සිසුන්ට රොබෝ තාක්‍ෂණය හැදෑරිය හැකියි. එසේම මෙරට සියලු උපාධි අපේක්‍ෂකයන්ට සහභාගි විය හැකි රොබෝ සැලසුම් තරගද මොරටුව සරසවිය විටින් විට සංවිධානය කරනවා.
පියාසර රොබෝ හෙවත් ඩ්‍රෝන් සැලසුම් කිරීමට මොරටුවේ පර්යේෂකයන් පිවිසුණේ 2010දී.
ඩ්‍රෝන් නිර්මාණයේදී හා අත්හදා බැලීමේදී යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය ගැන මෙන්ම මහජන ආරක්‍ෂාව ගැනත් ඔවුන් එක සමාන අවධානයක් යොමු කරනවා. මන්ද ඩ්‍රෝන් ගමන් කරන්නේ පොළොවට සමීප උසකින් නිවාස, මහාමාර්ග ආදියට උඩින් නිසා,
පර්යේෂණාගාරයේ නිපදවන ඩ්‍රෝන් අත්හදා බලන්න කටුකුරුන්දේ ස්ථානයක් ඔවුන් යොදා ගත්තා. රොහාන් මුණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිස ක්‍රමානුකූලව ඉවසිලිමත්ව වසර ගණනාවක් තිස්සේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණ තිබෙනවා.
2012දී ඔවුන් මුල් වතාවට මොරටුව සරසවියට ඉහළින් තමන් නිපදවූ කිලෝ 1.2ක් බරැති ඩ්‍රෝනයක් විනාඩි දෙකක කාලයකට ගුවන්ගත කළා. මෙරට තැනූ ඩ්‍රෝනයක් ගුවනට නැගි ප්‍රථම අවස්ථාවයි.
2013දී වැඩි දියුණු කළ ඩ්‍රෝනයක් ඇසට නොපෙනෙන මානයට යවා, ආරම්භ කළ තැනට ස්වයංක්‍රියව ආපසු එන පරිදි තාක්‍ෂණය දියුණු කළා.
මේ අත්හදා බැලීම් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුවත් කිරීමටත්, නිසි ආරක්‍ෂක පියවර ගැනීමටත් පර්යේෂකයෝ වග බලා ගත්තා.
2014 වැදගත් සංධිස්ථානයක් වුණා. කිලෝ අටක් බරැති, පැයට කිලෝමීටර් 80-100 ක වේගයෙන්, මීටර් 200ක් ඉහළින් පියාසර කළ හැකි රාවන්(RAVAN = Robotic Aerial Vehicle with Automatic Navigation) නම් වඩාත් සංකීර්ණ ඩ්‍රෝනය ඔවුන් නිපද වූයේ එම වසරේයි.
ඩ්‍රෝනයක් ගුවන්ගත වූ විට ස්ථාවර බව පවත්වා ගැනීම, සැම විටම බිම සිටින මානව පාලකයා සමඟ රේඩියෝ සබඳතා තිබීම ආදි සාධක සපුරා ගන්නට මාස ගණනක් ඔවුන් අත්හදා බැලීම් කළා.
“ඒ දිනවල අපේ අත්හදා බැලීම් අගය කළ අය මෙන්ම අපට සිනාසුණු අයත් සිටියා. විවෘත වෙළෙඳපොළේ ලෙහෙසියෙන් මිලට ගත හැකි විදෙස් ඩ්‍රෝන් තිබියදී මේ තරම් දඟලන්නේ කුමකටදැයි සමහරුන් අපෙන් විමසුවා. අපි ඔවුන්ට පිළිතුරු දෙන්න ගියේ නැහැ. අපට ඕනෑ වුණේ මේ දැනුම, තාක්‍ෂණ හැකියාව හා ආත්ම විශ්වාසය අපේ ශිෂ්‍යයන් හා පර්යේෂකයන් අතර ලබා ගන්නටයි.” රොහාන් මුණසිංහ සිහිපත් කරනවා.
රාවන්ට පසු, එයින් උගත් අත්දැකීම් රැසක්ද යොදා ගනිමින් මොරටුව පර්යේෂක පිරිස ඊළඟට නිපදවූයේ CeyHawk නම් ඩ්‍රෝනයයි. (Ceylon Hawk යන්න කෙටි කිරීමෙන් සැදුණු නමක්)
CeyHawk රාවන්ට වඩා සූක්‍ෂ්ම වූත්, දැකුම්කළු වූත්, වායු ගති විiාත්මකව (aerodynamics) දියුණු වූත් ඩ්‍රෝනයක්.
රාවන්ට මෙන්ම CeyHawk ඩ්‍රෝනයට ද සජීව ලෙසින්, විස්තරාත්මක වීඩියෝ ආවරණයක් පොළොවට එවිය හැකියි. ඒ අනුව එම මොහොතේ යම් ස්ථානයක සිදුවීම් පිළිබඳව ගුවනින් පුළුල් චිත්‍රයක් ලද හැකි වනවා.
එසේම එම එවන වීඩියෝ සංඥා ගුගල් සිතියම් සමඟ සමපාත කැරෙනවා. ඒ අනුව යම් රූපයක භූගෝලීය පිහිටීම නිවැරදිව ස්ථානගත කළ හැකියි.
“නාගරික ප්‍රදේශවල වාහන තදබදය නිරීක්‍ෂණය කරන්න, ආපදාවක් සිදුවූ පසු ලෙහෙසියෙන් බිමින් ළඟා විය නොහැකි ස්ථානවලට ඉක්මනින් තත්ත්ව තක්සේරුවක් කරන්න, ගොවිතැනේදී වගාබිම්වල තත්ත්වය නිරීක්‍ෂණය කරන්න ආදි වශයෙන් බොහෝ ප්‍රායෝගික භාවිතයන්ට අපේ ඩ්‍රෝන් යොදා ගත හැකියි.” රොහාන් කියනවා.
ගුවනේ පමණක් නොව දිය යටින් ගමන් කළ හැකි ඩ්‍රෝන් නිපදවීමටත් මෙරටුව සරසවි පර්යේෂකයෝ අත්හදා බැලුවා.
2015 ඔවුන් නිපදවූ ඩ්‍රෝනයක්, අභ්‍යන්තර ජල මාර්ග හා ජලාශවල දිය යටින් කිමිදීමේ හැකියාව ලබා ගත්තා. නොගැඹුරු ජලයේ දිය යටින් සැරිසරමින්, වීඩියෝ දර්ශන ලබා දෙන අතර, ජලයේ ආම්ලික/භාෂ්මික බව මනින pH අගය ඇතුළු වෙනත් මිනුම් ද කළ හැකියි.
මුලින් පිළියන්දල මඩපාත හෝටලයක පිහිනුම් තටාකයේත්, ඉන් පසුව (පොලිස් නාවික ඒකකයේ උපකාර ඇතිව) බොල්ගොඩ වැවේ, කොස්පැලෑන පාලම අසලදීත් මේ දිය යට ඩ්‍රෝනය අත්හදා බලනු ලැබුවා.
දිය යට බොහෝ විට පෙනීම සීමිත නිසා තමන්ටම ආවේණික ආලෝක ප්‍රභවයක්ද (Flashlight) මේ ඩ්‍රෝනයට තිබෙනවා.
දියයට ගමන් කරන ස්වයංක්‍රිය යානයකට ඩ්‍රෝන් යයි කිව හැකිද යන ප්‍රශ්නයත් මතු වනවා. එහෙත් මේ කිමිදෙන රොබෝගේ ප්‍රායෝගික භාවිතයන් රැසක් තිබෙනවා.
ගංගා, ඇල වේලි හා ජලාශවල දිය යට තත්ත්වයන් නිරීක්‍ෂණයට දැනට යොදා ගන්නේ කිමිදුම්කරුවන්. සමහර අවස්ථා කිමිදුම්කරුවන්ට අවදානම් සහගතයි. නැතහොත් අතිදුෂ්කරයි. වැඩි දියුණු කරන ලද මොරටුවේ කිමිදෙන රොබෝවලට අනාගතයේ මේ දුෂ්කර කාර්යයන් භාර ගැනීමට හැකි වේවි.
CeyHawk ඩ්‍රෝනය ක්‍රියා කරන්නේ පෙට්‍රල් දහනයෙන්. මේ නිසා විදුලි බැටරියකින් ශක්තිය ලබා ගන්නා ඩ්‍රෝනවලට වඩා වැඩි කාලයක් ගුවනේ රැඳී සිටින්නත්, වැඩි දුරක් ගමන් කරන්නත් හැකියි.
ලීටර් තුනක ඉන්ධන යොදා ගෙන CeyHawk ඩ්‍රෝනයකට පැය දෙක හමාරක් හා තුනක් අතර කාලයක් ගුවනේ ගමන් කළ හැකි බව ඔහු කියනවා. මේ නිසා දුරස්ථ පාලකයාගේ ඇසට පෙනෙන මානය ඉක්මවා සෑහෙන දුරක් ඒවා යැවිය හැකියි.
“ඩ්‍රෝන් කියන්නේ පවතින භාවිතයන් පෙරළිකාර ලෙස වෙනස් කළ හැකි තාක්‍ෂණයක් (disruptive technology)’. මිනින්දෝරු ක්ෂේත්‍රය සලකා බලන්න. බොහෝ වෙහෙස මහන්සි වී, කල්ගත කරමින් බිම් මට්ටමින් කරන මිනුම් හා සිතියම්ගත කිරීම් ඩ්‍රෝනයකට ඉක්මනින්, විස්තරාත්මකව හා කාර්යක්‍ෂමව කළ හැකියි. ගුවන්යානාවල සවි කළ කැමරාවලින් බිම් ඡායාරූප ගත කොට සිතියම් සකස් කිරීම වියදම් අධික කාරියක් වූවත්, මේ වැඬේට ඩ්‍රෝන් යොදා ගැනීමේදී වැය වන්නේ අඩු මුදලක්” ඔහු කියනවා.
මේ වන විටත් පිටරටින් ගෙන් වූ ඩ්‍රෝන් යොදා ගෙන වාණිජ ගොවිතැන් කටයුතුවලට සූක්‍ෂ්ම කෘෂිකර්මාන්තය (precision agriculture) සංකල්පය හඳුන්වා දී තිබෙනවා. ඒ CIC සමාගම විසින් 2016දී.
අනාගතයේදී පිටරටින් ගෙන්වන ඩ්‍රෝන් වෙනුවට, ඊට වඩා අඩු වියදමකට එම ප්‍රමිතියේම ඩ්‍රෝන මෙරටම නිපදවීමට හැකි වෙතැයි මෙරටුව පර්යේෂකයෝ විශ්වාස කරනවා. මේ සඳහා මොරටුව සරසවියේ කර්මාන්ත සබඳතා අංශය හරහා තාක්‍ෂණය වෙළෙඳපොළට ගෙන යාමේ සමාගමක්ද අරඹා තිබෙනවා.
ඔවුන්ගේ ඉලක්කය මෙරට අවශ්‍යතා සඳහා විවිධාකාරයේ ඩ්‍රෝන් නිපදවන අතර යම් ප්‍රමාණයක් පිටරට වෙළෙඳපොළට ද අලෙවි කිරීමයි.
“අප නිපදවා තිබෙන ඩ්‍රෝන් තවදුරටත් පර්යේෂණ මට්ටමේ යයි කිව නොහැකියි. බොහෝ අත්හදා බැලීම් හා දියුණු කිරීම්වලින් පසුව භාවිතයට සුදුසු මට්ටමට ඒවා පත්කොට තිබෙනවා. වෙළෙඳපොළට යාමට අපි සූදානම්!” රොහාන් කියනවා.
ඔබේ ඩ්‍රෝන්වල ආරක්‍ෂාව පිළිබඳව සහතික විය හැකිදැයි මා විමසුවා.
ඔහුගේ පිළිතුර: “යමක් පියාසර කරන විට යම් අවදානමක් තිබෙනවා. අපේ ඉලක්කය එම අවදානම හැකි තාක් අවම කිරීමයි. අපේ මුල්ම ඩ්‍රෝනය රාවන් සලකා බැලුවහොත් මේ වන විට (එනම් 2017 සැප්තැම්බර්) එය 82 වතාවක් පියාසර කොට තිබෙනවා. එම 82 වතාවේම කිසිදු ආපදාවකින් හෝ අනතුරකින් තොරව එය ගමන් අරඹන තැනට ආපසු ගෙන්වා ගන්නට අපට හැකි වුණා. කුඩා පරිමාණයේ දුෂ්කරතා කිහිපයකට අප මුහුණ දුන්නත් කිසිවකුට හෝ කිසිවකට හානියක් සිදු වී නැහැ. මේ නිසා අවදානම සියයට 1ටත් වඩා අඩු යයි මා ගණනය කරනවා. මේ තරම් අඩු අවදානමක් යටතේ භාවිතයන්ට යොමු කිරීම විiාත්මකව පිළිගත හැකියි.”
ඩ්‍රෝන් කියන්නේ විවිධාකාර භාවිතයන්ට අදාළ කරගත හැකි බහුනිපුණ (versatile) තාක්‍ෂණයක්. මේ භාවිතයන් රඳා පවතින්නේ අපේ පරිකල්පනය හා අවශ්‍යතා මතයි.
දැනටමත් ඩෙංගු මදුරුවන් බෝ කරන තැන් බලා ගන්නට දිවයිනේ සමහර ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඩ්‍රෝන් යොදා ගන්නවා. වන රක්‍ෂිත හා ජාතික වනෝiානවල විශාල ප්‍රදේශයක් ලෙහෙසියෙන් නිරික්සීමට සමහර ආසියානු රටවල් ඩ්‍රෝන් නිරතුරු භාවිත කරනවා.
මහජන උද්ඝෝෂණ, පෙළපාළි හා රැලි නිරීක්‍ෂණයට අපේ පොලීසියද දැන් දැන් ඩ්‍රෝන් යොදා ගන්නට පටන් අරන්. ඩ්‍රෝන් ආරක්‍ෂිතවත්, ආචාර ධර්මීයවත් යොදා ගැනීම ඉතා වැදගත්. මේ පිළිබඳව සිවිල් ගුවන්සේවා අධිකාරිය මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
රොබෝ තාක්‍ෂණය ගැන උගෙන පර්යේෂණ කරන්නට ඔබ යොමු වූයේ කෙසේද යයි මා රොහාන් මුණසිංහගෙන් ඇසුවා. ඔහු කියන්නේ ප්‍රබෝධක ආවේගය (inspiration) ලැබුණේ මොරටුව සරසවියේ වසර 23ක් (1979 -2002) කුලපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගෙන් බවයි.
“නව තාක්‍ෂණයන්ට බය නොවී, එහෙත් ඒවාට ගැති නොවී අපට සරිලන ආකාරයට තාක්‍ෂණයන් හැඩගස්වා ගත හැකි සැටි ක්ලාක් මහතාගේ ලිපිවලින් හා දේශනවලින් මා හොඳ හැටි තේරුම් ගත්තා. මා ඉංජිනේරුවකු හැටියටත්, නව නිපැයුම්කරුවකු ලෙසටත් සැම විටම තැත් කරන්නේ එම ආතර් සී. ක්ලාක් දැක්ම ඉදිරියට ගෙන යාමටයි. පෙරළිකාර තාක්‍ෂණයන් මෙල්ල කර ගෙන අපේ එදිනෙදා ප්‍රශ්න විසඳන්නටයි. මා කරන කියන හැම දෙයක්ම පිටුපස ඔහුගේ දැවැන්ත සෙවණැල්ල වැටී තිබෙනවා.”■