රාවය

චීන වෙළෙඳ ආධිපත්‍යය හෙවත් නව සේද මාවත

චීන වෙළෙඳ ආධිපත්‍යය හෙවත් නව සේද මාවත

සේද මාවත’ ලෙස හැඳින්වෙන්නේ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ නැගෙනහිර හා බටහිර රටවල් සංස්කෘතික සහ වෙළෙඳ සබඳතා මගින් යා කරනු ලැබූ වෙළෙඳ මාර්ග ජාලයයි. ගොඩබිම් මෙන්ම සාගර ඔස්සේද විහිදුණු මෙය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 207දී චීනය පාලනය කළ හැන් රජ පෙළපත විසිනි. මෙකී වෙළෙඳ මාර්ග ජාලය හරහා සිය අශ්වයන් සහ සේද රෙදිපිළි කොරියාව, ජපානය, ඉන්දියාව, පර්සියාව, යුරෝපය, අප්‍රිකාව හා අරාබි රටවල් වෙත විකුණා ඉහළ ප්‍රතිලාභ ලැබීමට චීනය සමත් විය. 15 වැනි සියවසේදී අභාවයට ගිය ‘සේද මාවත’ හෙමි හෙමින් නැවත ස්ථාපිත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය වත්මන් චීන පාලකයන් විසින් ආරම්භ කර තිබේ. 2017 ජනවාරි මස, ස්විට්සර්ලන්තයේ ඩවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුව අමතමින් චීන ජනපති සී ජින්ග් පින්ග් අවධාරණය කර සිටියේ, තම රට ගෝලීයකරණයේ සහ නිදහස් වෙළෙඳාමේ ව්‍යාප්තිය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවයි.

නව ඇරඹුම
ග්‍රීක ඉතිහාසඥයකු වූ හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) චීන-කසකස්තාන දේශසීමාවේ පිහිටි යුරේසියා ධ්‍රැවය එකල හැඳින්වූයේ, උතුරු සැඩ සුළඟේ කේන්ද්‍රස්ථානය හෙවත් ලොව දුරබැහැරම ස්ථානය ලෙසය. සිංහයන්ගේ කඳ ද උකුස්සන්ගේ හිස සහ දැවැන්ත පියාපත්ද සහිත සතුන් විශේෂයක් මෙම අද්භූත කාන්තාර භූමියේ වෙසෙන වග හෙරඩෝටස් කීවේය. ඉතින් අතීතයේ පවා කිසිවෙකු පා තබන්නට බියවූ මෙම භූමියෙහි අතිවිශාල කාර්මික නගරයක් 2013 වර්ෂයේදී ගොඩනගා එය ‘කෝගෝස්’ ලෙස නම් කිරීමට චීන පාලකයෝ කටයුතු යෙදූහ. කෝගෝස්හි ස්ථාපිත කොට තිබෙන ආර්ථික සංවර්ධන කලාපය වෙත දෛනිකව පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවයි. මෙතැන කර්මාන්තයක් අරඹන ව්‍යවසායකයෙකු වෙත (චීන රජය විසින්) සියලු පහසුකම් සහිත පරිශ්‍රයක්, වසර 2ක් යනතුරු කිසිදු කුලියක් නොගෙවා පාවිච්චි කිරීමේ අවකාශය පිරිනමා ඇත. කෝගෝස්හි රේගුව අසල කෘෂි උපකරණ පටවා ගත් ට්‍රක්රථ පෝලිමක් හැමවිටම තිබීමෙන් පෙනීයන්නේ අතීත සේද මාවතේ දුරබැහැරම තැන වූ කසකස්තාන් දේශසීමාවේ වෙළෙඳාම දැන් ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි. චීන සමූහාණ්ඩුවේ 7 වැනි ජනපතිවරයා ලෙස 2013 මාර්තුවේදී දිවුරුම් දුන් විගස සී ජින්ග්පින්ග් කීවේ තමා ඉපැරණි සේද මාවත ස්ථිර වශයෙන්ම යළි ගොඩනගන බවයි. මෙය සැබෑ නොවන සිහිනයක් වග සමහර බටහිර දේශපාලන විචාරකයෝ අවඥාවෙන් පැවසූහ. එහෙත් තමන් කටින් බතල හිටවන අයෙකු නොවන වග පෙන්වමින් මේ වනවිට සී ජින්ග් පින්ග්, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ පොළොව යටින් දිවෙන පයිප්ප ජාලයන් ඔස්සේ ආසියාව, මැදපෙරදිග කලාපය හරහා යුරෝපය හා අප්‍රිකාව සමඟ යා කොට තිබේ. මෙකී ගොඩබිම් සබඳතාවන්ට අමතරව චීනයේ ප්‍රධාන නගර සියල්ලෙහිම පාහේ ඉදිකරනු ලැබූ වරාය පද්ධතීන් මගින් මධ්‍යධරණී මුහුදේ අප්‍රිකාව දක්වා වන වරාය එකිනෙක යා කෙරෙන මුහුදු මාර්ගයක්ද නිර්මාණය කිරීමට චීනය සමත් විය. චීන සංවර්ධන බැංකුවේ දත්තවලට අනුව නව සේද මාවත ස්ථාපිත කිරීම හා අදාළව වත්මනෙහි ක්‍රියාත්මක වෙමින් පවතින චීන සංවර්ධන ව්‍යාපෘතීන් සංඛ්‍යාව 900ක් වන අතර ඒ සඳහා චීනය දරන පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන 900 ඉක්මවයි.

සාමය සහ සහජීවනය
කෙන්යාවේ ලාමු නගරයේ ගැඹුරු මුහුදෙහි චීනය විසින් (ඩොලර් මිලියන 480ක් වැය කොට) ඉදිකරන ලද වරාය, මහාමාර්ග, දුම්රිය මාර්ග හා පයිප්ප පද්ධතීන් ඔස්සේ ගොඩබිමින් පමණක් ආවරණය වූ රටවල් වන දකුණු සුඩානයට හා ඉතියෝපියාවට මේ වනවිටත් සම්බන්ධ කොට අවසන්ය. ඊට අමතරව ලාමු වරාය හා කැමරුන්හි පිහිටි ඩෝලා වරාය අතර සිදුවන නාවික ගමනාගමනය වත්මනෙහි ඇදහිය නොහැකි ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. කිලෝමීටර් 3916ක දිගින් යුත්, ටර්ක්මෙනිස්තානයේ සිට චීනය දක්වා දිවෙන පයිප්ප මාර්ගය සඳහා චීන රජය ඇමරිකාන් ඩොලර් බිලියන 7.3ක් වැය කළද එමගින් චීනය වෙත වාර්ෂිකව ගලා එන ගෑස් ප්‍රමාණය කියුබික් මීටර් බිලියන 15කි. 2017 මැයි මාසයේදී බීජිංහි වෙළෙඳ සමුළුවක් අමතමින් චීන ජනපති සී ජින්ග් පින්ග් මෙසේ පැවසීය. “13 වැනි සියවසේදී සේද මාවත සිය දේශපාලන ආධිපත්‍යයට යටත් කරගැනීම සඳහා ගෙන්ගිස් කාන් නමැති මොන්ගෝලියානු අධිරාජයා, මධ්‍යම ආසියාවේ හා චීනයේ සාමාන්‍ය වැසියන් තම ආක්‍රමණ හරහා තොග ගණනින් මරාදැම්මා. අවසානයේ ඔහු සිය යටත්විජිතයන්හි ඉතිරි කර ගියේ විනාශයේ අළු දුහුවිලි සහ හිරු කිරණින් වියළී ගිය මිනිස් ඇටකටු පමණයි. අද අපි අපේ නිදහස් වෙළෙඳාම මගින් ඊට සම්බන්ධ වන දේශයන් වෙත අධිවේගී මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් තොටුපොළ සහ දැවැන්ත වරාය සංකීර්ණ නොමසුරුව තිළිණ කරනවා. මෙම අන්තර් වෙළෙඳ සබඳතා ඔස්සේ ගැටුම් වෙනුවට අන්‍යොන්‍ය අවබෝධය ඇතිවෙනවා. යුද ගිනි වෙනුවට ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හටගෙන රැකියා හා ධන ජනනය ඉහළ යනවා. එක් ජාතියක මහන්තත්ත්වය පරදවා සියලු ජාතීන් අතර සමානාත්මතාවක් ගොඩනැගීමට නිදහස් හා නිර්බාධ වෙළෙඳාමට අපූරු හැකියාවක් තිබේ යැයි මා දැඩිව විශ්වාස කරනවා. දේශසීමාවලින් ඔබ්බට ගොස් ලොව සියලු තැන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන සමූහාණ්ඩුව අත දිගහැර වියදම් කරන්නේ ලෝක සාමය හා සහජීවනය සමඟ අත්වැල් බැඳගත් ආර්ථික වර්ධනයක් සියලු ලෝවාසීන්ට උදාකිරීමේ අරමුණ පෙරදැරි කොටගෙනයි.”

ගෝලීය ව්‍යාප්තිය
ලොව ශක්තිමත්ම ආර්ථිකය සතු ඇමරිකාව, ජෝර්ජ් බුෂ්ගේ සහ බැරැක් ඔබාමාගේ පාලන කාලයේදී ඇමරිකානු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මැද පෙරදිග කලාපය තුළ පිහිටුවන්නට ගොස්, සිරියාවේ හා යේමනයේ බිහිසුණු සිවිල් යුද ගිනි අවුලවාලීය. අයි.එස්. ත්‍රස්තයන්ගේ සම්භවය, ඊජිප්තුව තුළ ඒකාධිපති රෙජීමයක් ස්ථාපිත වීම, ලිබියාවේ මධ්‍යම රජය පූර්ණ වශයෙන් අකර්මණ්‍ය වීම සහ මෙකී වියවුල්වලින් පීඩිත වූ සරණාගත ජනයා අනෙක් රටවලට පැනයාම යනාදී සියල්ල සිදුවූයේ මැදපෙරදිග කලාය වෙත ඇමරිකාව සිදුකළ අත පෙවීම හේතුවෙනි. ඉන්පසු බලයට පැමිණි ඩොනල්ඞ් ට්‍රම්ප්, තමා ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බවත්, අවශ්‍ය වුවහොත් උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කරන බවත් පුන පුනා පැවසීය. ලොව බලවතා ලෙස සැලකෙන ඇමරිකාව මෙසේ කෑකෝ ගසමින් සිය ගෝලීය වගකීම් පැහැර හරින, මොහොතේ, චීනය නිශ්ශබ්දව තම වෙළෙඳ ආධිපත්‍යය ඉතා සාමකාමී ලෙස ලොව පුරා පතුරමින් සිටී. නව සේද මාවත ඔස්සේ ලෝකයේ රටවල් 65ක් හෙවත් ගෝලීය ජනගහනයෙන් 70%ක්ද, ලොව බලශක්ති සම්පත්වලින් 3/4ක්ද, ගෝලීය භාණ්ඩ හා සේවා නිපැයුම්වලින් ඩොලර් ටි්‍රලියන 21ක්ද තමන් වෙත ඇදගැනීම චීනයේ අභිලාෂයයි.

චීනයේ අනාගත දැක්ම ඉතා පැහැදිලිය. ස්වාභාවික සම්පත්වලින් පිරී ඉතිරී ගිය විශාල රටවල් චීනය අවට තිබුණත් ඒවා උකහාගැනීමට මෙන්ම වෙළෙඳපොළට යැවීම සඳහා ඔප මට්ටම් කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රාග්ධනය සහ යටිතල පහසුකම් මේ දේශයන් සතුව නොමැත. නව සේද මාවතේ පුනර්ජීවනය මගින් මෙකී ස්වාභාවික සම්පත් ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීම චීනයේ අභිලාෂයයි. 2017 මාර්තු මාසය වන විට නව සේද මාවත හා අදාළ ව්‍යාපෘතීන් ඔස්සේ රැකියා අවස්ථා 180,000කුත් ඒ හා සම්බන්ධ වෙළෙඳාම් මගින් ඇමරිකන් ඩොලර් බිලියන 1.1ක බදු ආදායමකුත් තමා චීනය වෙත ජනනය කොට දුන් වග එරට වෙළෙඳ ඇමති ෂොන් ෂෑන් පවසා සිටියේය. හැම චීන පවුල් කුටුම්බයක්ම ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රගුණ කොට ඇති හෙයින් එරට ජාතික ඉතුරුම් අනුපාතය 2010-2014 කාලවකවානුව තුළදී 50.35%ක් පමණ විය. යුරෝපයේ පාපන්දු සමාජ, හොලිවුඞ්හි චිත්‍රාගාර සහ නිව්යෝර්ක් නගරයේ ඉපැරණි හෝටලයක් වන වොල්ඩෝෆ් ඇස්ටෝරියා යනාදිය චීන සමාගම්වල අයිතිය යටතේ පවතින්නේ චීනය සතු අතිරික්ත ඉතුරුම්වල ප්‍රතිඵලයක් ලෙසය. ලොව පවතින බහුතරයක් සූර්ය බලශක්ති පැනල, සුළං බලාගාර සහ අධිවේගී දුම්රිය මාර්ගයන්හි සාඩම්බර හිමිකරුවා වන්නේ චීනයයි.

දූරදර්ශීභාවය
ඇමරිකාව තුළ තිබෙන අබලන් මහාමාර්ග, පාලම් මෙන්ම පණ අදින ජාතික විදුලිබල පද්ධතිය නවීකරණය කිරීම සඳහා අවැසි ඩොලර් ටි්‍රලියනය අනුමත කරගැනීමට නොහැකිව ළතැවෙන එරට වත්මන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් තල්ලුවක් අපේක්ෂා කිරීම සැබැවින්ම විහිළුවකි. ලොව ඈත කෙළවරක පිහිටි කෝගෝස් හරහා දිවෙන සැතපුම් 7000ක් දිග දුම්රිය මාර්ගය මගින් චීනය සිය නිපැයුම් මර්මස්ථාන 27ක් යුරෝපයේ ප්‍රධාන වෙළෙඳ නගර 11ක් සම්බන්ධ කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනෙක් සාමාජිකයන් 04 දෙනාම එහි සාම සාධක හමුදාවට යොදවා ඇති භටයින් සංඛ්‍යාව ඉක්මවන සොල්දාදුවන් ගණනක් චීනය විසින් ඊට සපයා දී ඇත්තේ නව සේද මාවත හොඳින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසිනි. 2017 ජූලි 29 දින ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම, මෙරට හම්බන්තොට වරාය හා අදාළ ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වටිනා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කරනු ලැබුවේ නව සේද මාවතේ පෙර-අපරදිග නෞකා මාර්ග පුළුල් කිරීමේ අරමුණ ඇතිවය. 2017 ජනවාරියේදී මත්තල ගුවන් තොටුපොළ ආසන්නයේ ආරම්භ කරන ලද චීන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වාර්ෂිකව රැකියා අවස්ථා ලක්ෂයක් පිරිනැමිය හැකි බවද, ඉදිරි වර්ෂ 03 ඇතුළත මෙරට වෘත්තීය පුහුණුව වෙනුවෙන් චීනය ඇමරිකන් ඩොලර් බිලියන 05ක් ආයෝජනය කරන බවද ශ්‍රී ලංකාවේ වත්මන් චීන තානාපති යී සියැන්ලියැන්ග් 2017 අගෝස්තු 10 දින අවධාරණය කර සිටියේය. 2016දී දළ දේශීය නිපැයුම ඇමරිකන් ඩොලර් බිලියන 932.3ක් වූ ඉන්දුනීසියාවටද සිය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයේ අතහිත නොකඩවා ලබාගනිමින් සිටින විට, දළ දේශීය නිපැයුම ඇමරිකන් ඩොලර් බිලියන 81.32 (2016) මට්ටමේ පවතින ශ්‍රී ලංකාව, ‘චයිනා සරණං ගච්ඡාමි’ කීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැත. කොමියුනිස්ට් රෙජීමයක් යටතේ පැවතුණද චීනය ගෝලීය වෙළෙඳාමේ පෙරගමන්කරු බවට පත්ව තිබෙන්නේ ධනවාදී නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කරන නිසා වග මෙහි සටහන් කිරීම වටී.■