රාවය

මිනිස් අච්චාරුවක් වූ සිංගප්පූරුවේ චයිනා ටවුම සොයායමු

මිනිස් අච්චාරුවක් වූ සිංගප්පූරුවේ චයිනා ටවුම සොයායමු

කේ. සංජීව

උෂ්ණ දවසක හවසක මම මගේ නවා තැනින් එළියට බැස්සා. තුරු වදුලු අස්සෙන් අහසට නැග්ග බිල්ඩිම කුරුලු ඇසින් මදෙස බලනවා. හාත්පස උෂ්ණ වුණත් මිනිස් දෑතින් සුරුවමට වැවිච්ච ගස් ඒ දාහය අපෙන් ඈතට අරගෙන ගිහිං. තැනෙක තැනෙක තැනුණු බැංකුවක ඕසෙට කතාබහක මිනිස් පොකුරු. ගස් බලං ඉන්නවා. ආර්ටිෆිෂල් රැහැයියොද කොහේද මගේ කන කොනිති ගහනවා. නිනව් නැති මතක අහසක හිත එතකොට සැරිසරනවා. මිනිස්සු එහෙට මෙහෙට. ගසුයි මමයි තනිවෙලා තනියෙම. චීන, මැලේ, ඉන්දියන් මුහුණු. මමත් ඉන්දියන් වගෙයිනේ. මට සිතෙනවා. මේ ෆ්ලැට් මිනිස් කැදලිවලින් එළියට එන නෙක මිනිස් කුරුලු සමගියෙන් මෙහෙම වසන්නේ කොහොමද? මට හිතෙනවා. ඒ මගේ ලංකා හිත. මරක්කලයෝ දෙමළ අජීර්ණ අපේ පුරුදු කළ සිංහල හිත. ඉතිං මේ වෙනස්කම් අස්සේ ඒ වෙනස්කම් රැකගෙන මිනිස් ගජ්ජෝ මේ විදිහට නිවනට ළඟ තැනක වසන්නේ කොහොමද? ටිකක් හොයන්න හිතුණා.

බිල්ඩින් අස්සෙන්, කෝච්චියෙන් මේ යන්න හදන්නේ ඒ විවිධත්වය අත්විඳින ගමන් ඒ විවිධත්වය වින්දනය කරන්න, ඒක පිළිගන්න මේ මිනිස්සු හුරු කළේ කොහොමද කියලා හිතන්න. ඇත්තෙන්ම සිංගප්පූරුව කියන්නේ මිනිස් අච්චාරුවක්. ලංකාවත් එහෙමනේ. සිංගප්පූරුව කියන්නේ දූපතක්. ප්‍රමාණයෙන් කොළඹ තරම් ඇති. වටෙන් තියෙන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වගේ ලොකු රටවල්. ඒකත් අපි ඉන්දියාවට පහළින් ඉන්නවා වගේ තමයි. අනෙක් පැත්තෙන් මැලේ සම්භවයක් තිබුණාට සංක්‍රමණිකයෝ තමයි සිංගප්පූරුවේ හදවත. ලංකාවත් එහෙමනේ. චීන සංක්‍රමණිකයෝ තමයි අද සිංගප්පූරුවේ බහුතරය. ඒක ප්‍රමාණයක් විදියට ගන්නවා නම් 73.4%ක්. ඊළඟට මැලේ. ඒ ප්‍රමාණය 13.3%ක්. ඉන්දියානු 9.1%ක්. මේ ඉන්දියානු 9.1%න් බහුතරය දකුණු ඉන්දියානු දෙමළ. ලාංකීය දෙමළ අයත් මේ ගොඩට වැටෙනවා. ලාංකීය සිංහල අයත් සෑහෙන්න කාලෙක ඉඳලා, ඒ කියන්නේ යටත්විජිත කාලේ ඉඳලා ඉන්නවා. ඒ ප්‍රමාණය හරිම සීමිතයි.

චයිනා ටවුමට
රෙඞ්හීල් (redhill) තමයි මගේ නවාතැන තියෙන්නේ. රෙඞ්හීල් කිව්වාට බුකිට්මිර්හා (Bukit Merah), මධ්‍යය ප්‍රදේශය කියන එක තමයි හරි. හැමතැනම තියෙන්නේ තට්ටු නිවෙස් පොකුරු. මේ නිවෙස්වලත් ජනතාව විවිධත්වය අනුව විසිරුවලා තමයි තියෙන්නේ. දෙමළ අයට චීන අයට මැලේ අයට කියලා තනිකරම වෙන්කරලා දුන් තැන් නැහැ. මේක සැලඞ් එකක්. ඇත්තටම මේක හැදුව කෝකියා තමයි නූතන සිංගප්පූරුව නිර්මාණය කරපු ලී ක්වාන් යූ අගමැතිවරයා. මුල ඉඳලාම දර්ශනයක් අනුව රට ගොඩනැගීමේ දර්ශකයේ හැම සැතපුමක් ගැනම දැනුවත්ව තමයි ඔහු මේ සංවර්ධනය කළේ.

සිංගප්පූරුව එංගලන්ත කොලනියක් වුණාට පස්සේ, මේ දූපතේ පිහිටීම ගැන හිතලා මේක සංවර්ධනය කරන්න ඕනෑ කොහොමද කියලා නියම උපාය මාර්ග තේරුවේ සුදු ජාතික රැෆල්ස් මහත්තයා (ීStamford Raffles). රැෆල්ස් මහත්තයා සිංගප්පූරුවට එන්නේ 1819 ජනවාරි 28. ඔහු හැදූ සැලසුම් මත තමයි සිංගප්පූරුවේ සේවා ආර්ථිකය පණගහන්නේ. ඒ නිසා සමහර දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයෝ කියනවා රැෆල්ස් තමයි නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා කියලා. අපිට නිදහසින් පස්සේ එහෙම අය නැති නිසා මේ සාකච්ඡා වැඩක් නැහැ. හැබැයි මේ ජනවර්ග සේරම එකට එක පොදියට කැටි කරලා නිදහස් රටක් හදාගන්න ගමන් ඒ සාමූහිකත්වය අස්සේම වැඩකරලා රටේ ආර්ථිකය ලෝකයේ ඉහළටම ගෙනෙන්නේ කොහොමද කියන සැලසුම හැදුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා. එනිසා නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ඔහු හැර වෙන කව්ද? මේ සංක්‍රමණික ජනවර්ග අස්සේ සමගිය සහ එකට ප්‍රශ්නයක් නැතුව ජීවත්වෙන්න අවශ්‍ය වටපිටාව ඔහු නිදහස වෙනුවෙන් කරන සටන අස්සෙම ගොඩනගනවා. ඒකට ඔහු ලියූ සිංගප්පූරු කතාව කියන පොත සාක්ෂි දරනවා. අපිට එහෙම ගත්ත නිදහසක් නැති නිසා එහෙම පොත් ලියවෙන්න විදිහකුත් නැහැ. ජාතිවාදය රට අස්සේ වගාදිගා කරලා රට විනාශයේ මගට විසිකළේ කොහොමද කියලා 56 කතාව කියලා බණ්ඩාරනායක මහත්තයට ඕනෑනම් පොතක් ලියන්න තිබුණා!!
හරි දැන් redhill වලින් ගමන පටන් ගනිමු. රෙඞ්හිල්වලින් කෝච්චිය ගන්න පුළුවන්. ඒ කොළපාට ලයින් එකේ. එහෙම නැත්තම් නැගෙනහිර බටහිර ලයින් එකේ. áTka.a
nyare (tiong bahru) පහුකළාට පස්සේ එන ඔට්රම් පාර්ක් (outram park) තමයි ඊළඟ ලයින් එකට මාරුවෙන ඉන්ටර් චේන්ජ් ඉස්ටේසම. ඊළඟට දම්පාට ලයින් එකට නැතිනම් උතුර නැගෙනහිර ලයින් එකට මාරු වුණාට පස්සේ එක ඉස්ටේසමයි. චයිනා ටවුන්.

ඇයි මම මේ නගරයට එන්න හිතුවේ. චීන සංක්‍රමණික ප්‍රජාවගේ කලර් එක හොඳටම සිංගප්පූරුව අස්සේ සිත්තම් වෙලා තියෙන්නේ මේ කුඩා ප්‍රදේශයේ. චීන සංක්‍රමණිකයෝ ගැන ලී එයාගේ පොතේ එක තැනක මෙහෙම කියනවා.

‘සමස්ත චීන ජනගහනයෙන් සියයට දහයක් පමණ මුල් චීන සංක්‍රමණිකයන්ගෙන් පැවතගෙන එන්නන් වූ අතර ඔවුන් චීන බස අතහැර මැලේ බස වැලඳගෙන තිබුණි. මේ පිරිස බි්‍රතාන්‍යයන්ට පක්ෂ වූ අතර ඔවුහු තම දරුවන් ඉංග්‍රීසි පාසල්වලට යැවූහ. ඒ යටත්විජිත රැකියා අපේක්ෂාවෙනි. එහෙත් බහුතරය සිංගප්පූරුවට මෑතකදී සංක්‍රමණයවූවන් වූ අතර ඔවුහු චීන කතා කරන චීන්නු වූහ. ඔවුන් වැඩියෙන්ම කතා කළේ හොක්කියන්, ටියෝචිව්, කැන්ටෝනීස්, හක්කා, හයිනනිස් යන චීන උපභාෂාය. ඔවුන්ගේ දරුවෝ චීන පාසල්වලට ගිය අතර මැන්ඩරින් චීන ඉගෙනගත්හ. ඔවුන් පක්ෂ වුණේ බි්‍රතාන්‍යයට නොව චිනයටයි.’

මේ යටත්විජිත කාලයේ සිංගප්පූරුවේ තත්ත්වයයි. බහුතරයක් වූ මේ චීන සංක්‍රමණිකයන්ට සුදු පාලනය අස්සේ තිබුණ පුංචි ඉඩ ගැන වගේම ඒ ඉඩ මහත් කරගෙන චීන ජන කොටසට හොඳ කාලයක් උදාකර දෙන්නට ලී මුල් සටන් අවධියේ මහන්සි වුණ ආකාරය ගැන හොඳ විග්‍රහයක් ඔහු මේ පොත අස්සේ කරනවා. නූතන සිංගප්පූරුවේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි. ලී ඒක පැත්තකට විසිකරගන්න නටන්නේ නැහැ. මුලින් ඔහුටත් චීන බැහැ. හැබැයි ඔහු නිදහස් අරගලය ඇතුළේ අමාරුවෙන් චීන ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි බස රට දියුණු කරන්න මාර්ගය කරගන්න ගමන් ඔහු චීන, මැලේ, දෙමළ භාෂාවලට සමතැන දීලා ඒවා ප්‍රවර්ධනය කරනවා. ඒ හින්දා අද චීන, දෙමළ, මැලේ මේ බිමෙන් අතුරුදන්වෙලා නැහැ.

ඉතිං දකුණු චීනයෙන් සංක්‍රමණය වුණු හොක්කියන්, ටියෝචිව්, කැන්ටෝනීස්, හක්කා, හයිනනිස් යන චීන උපභාෂා කතාකරන චීන මිනිස් පොකුරක් මේ චයිනා ටවුන් අස්සේ එක පොදියට දෙමළ මැලේ ලස්සනත් එක්කම මුහුවෙලා ඉන්නවා. රතුපාට චීන ගෘහ නිර්මාණ ශිල්පය පෙන්නන ගොඩනැගිලි, පාරේ උඩින් අතුරපු චීන බකට් පහන්, මකර තොරණ් අස්සෙන් මම චයිනා ටවුම අස්සටම ගියා. පන්සල්වලට වගේම වීදියේ ආහාර සංස්කෘතියත් මේ බිමට මාර ලස්සනක් අරගෙන එනවා.

සිංගප්පූරු ආහාර සංස්කෘතිය
සිංගප්පූරුවේ ජන විවිධත්වයම ආහාරවල විවිධත්වයටත් මග හදලා. චීන, මැලේ, ඉන්දියානු රස කෑම ඕසෙට මෙහේ තියෙනවා. අනික ජපන්, කොරියන්, වියට්නාම් වගේ ආහාර. සමහර අලුත් ආහාර මේ ප්‍රධාන වර්ග තුනේම මිශ්‍රවීමක්. ඒවා වෙනම රසයක්. ඉතිං මේ මිනිස්සු වගේම කෑමත් එකට මුසුවෙමින් ලස්සන ජීවිතයක් ගෙවාදානවා. ලී එයාගේ පොතේ එක තැනක කියනවා තමාගේ අම්මා සාම්ප්‍රදායික චීන ආහාර හොඳටම රසවත්ව හදන්න දැනගෙන හිටියා කියලා. ඇය ඒ ආහාර වට්ටෝරු ගැන පොතකුත් ලිව්වා කියලා. අපේ දේශපාලන නායකයෝ කෑම ගැන හිතුවාට ඒකේ කලාව රසය ගැන කවදාවත් හිතපු බවක් පෙනෙන්නේ නැහැ. මේ මිනිස්සු රට කෑ හැටි දැක්කාම කෑම කන එක ගැන හිතාගන්න අමාරු වෙන්න විදියක් නැහැ. කොහොම හරි චීන බෙහෙත් බඩු කඩයක් අස්සෙන් මම ආහාර විතරක්ම තියෙන කඩ කලාපයකට ආවා. හැමතැනම ස්මෝක් කළ තාරාවෝ වගේම රෝස් කළ තාරාවොත් එල්ලිලා අපේ බඩට පනින්න වැනෙනවා.
දැක්ක ගමන් හායි කොහොමද, කාලාද කියලා අහන්න පුරුද්දක් සිංගප්පූරු ජාතිකයන් අතරේ තියෙනවා කියලා තමයි කියන්නේ. අපි කොහොමත් දන්නවානේ කෑමට රුසියෝ මේ සිංගප්පූරුවේ වැසියෝ කියන එක.

මේ ආහාර සංස්කෘතිය පස් ආකාරෙකට විස්තර කරන්න පුළුවන්. මස්, මුහුදු ආහාර, බත් වර්ග, නූඞ්ල්ස් වර්ග, අතුරුපස වර්ග නැතිනම් ස්නැක්ස් වර්ග කියලා. මේ ස්නැක්ස් කියන්නේ ප්‍රධාන වේල් දෙකකට අතර ගන්න චුට්ටි චුට්ටි කෑමවලට. බත් වර්ග ගත්තොත් චීන ආකෘතියට හදන බත් වර්ග වගේම, මැලේ, ඉන්දියන් ක්‍රමයට, තායි ක්‍රමයට හදන බත් වර්ග තියෙනවා. නූඞ්ල්ස් වර්ග ගත්තත් මේ හැම ක්‍රමයකටම ඒවා හැදෙනවා. මෙහේ මිනිස්සු මස් කනකොට තම්බලා බැදලා රෝස් කරලා වගේම දුම් ගහලාත් කනවා. නාසි ලේමොක් කියයි, ඩක් රයිස් කියයි. නම් හැටහුටහමාරයි. ඒ අස්සේ රොටි, පරාටා, නාන් වගේ කෑමත් සුවඳ සලනවා. එක එක නමින් කියන සෝස් වර්ගවල තැවරිච්ච බෙල්ලෝ සලන් සලන් හඬින් දීසිවලට පනිනකොට මුදලාලි කියන ගාණ අමතක වෙනවා. සමහර වෙළෙන්දෝ කෑම පිළිගන්වනකොට ඒකෙන් ශරීරයට ලැබෙන දේවලුත් කියලා දානවා. විශේෂෙන් ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර. ඒක තමයි හොඳ ආහාර සංස්කෘතියක් තියෙන රටක හැටි. අපේ කොත්තුවක් ගත්තොත් බිත්තර කට්ටේ තිබිලා ඒකට වැටෙන කුකුල් බෙට්ටෙන් තමයි රසය හදන්නේ. අපි කොහොමත් ජරාව එක හුස්මට ගිලලා දාන ජාතියක් නේ.
අන්තිමට මම කොහොම හරි ගෙඹි සුප් විතරක් නෙවෙයි ගෙඹි මස් එක එක සුමියුරු වට්ටෝරුවලට හදපු කඩයක් ළඟ නැවතුණා. කෝකියා කිව්වේ ලයික් චිකන් කියලා. හම්මේ ඉතිං කියලා ටිකක් බැලුවා. රෝස් කළ ගෙඹි කකුල් චිකන් වින්ග්ස් වගේ තමයි. මේ ගෙඹි ආහාර ගැන හොයනකොට තමයි හම්බ වුණේ මේක චීන ආහාර අස්සේ විතරක් නෙවෙයි ප්‍රංශ ආහාර අස්සෙත් තිබෙන ආහාරයක් කියලා. ඉතිං ලෝකේ පුරා ගෙඹි මස් එක එක ක්‍රමයට හැදිලා දීසියට, ඊළඟට බඩට පනිනවා. ප්‍රෝටීන්, ඔමේගා 3 විතරක් නෙවෙයි විටමින් ඒ, පොස්පරස් කියන පෝෂකත් මේ මස්වල සුලබයි කියලායි කියන්නේ. ඉන්දුනීසියාව තමයි ප්‍රධාන ගෙඹි අපනයනකරුවා. කොහොමත් ලෝකය ගෙම්බෝ බිලියන් තුනකට වැඩිය අවුරුද්දකට කනවා. ඉතිං මටත් හිතුණා මේක අපේ ආහාර සංස්කෘතියට එන්නත් කළා නම් මිනිස්සුන්ට අඩු වියදමකින් ප්‍රෝටීන් ගන්න පුළුවන් නේද කියලා.■