රාවය

මාළු සමග ජීවිතය

මාළු සමග ජීවිතය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

හැඳ සිටි නිල් පැහැ කමිස යේ කෙළ වරෙහි යමක් පුරවාගෙන එය කුඩා දෑතින් අල්ලාගෙන ඔහු හෙමි හෙමින් ගමන් කළේය. අප ළං වද්දී ඔහු යාන්තමින් සිනාසී, නැවතත් කොහේදෝ යන්නට හැරුණේය. කමිස කෙළවර එතී තිබුණේ ඊට මොහොතකට පෙර ගොඩ ආ මාළුන් කීප දෙනෙකි. පුංචි දෑත් පුරාත්, කමිසයේත් මාළු කොරපොතු, මුහුදු වැලි යහමින් දැවටී තිබුණේය. ඔහු ළහිරුය. වයස දොළහක් බව කීවේය. ඒ වෙරළට නුපුරුදු අප හා කතාබහ කරන්නට මුලදී ඔහු මඳක් ලැජ්ජාශීලීව පැකිලුණේය.
“හැමදාම වැල්ලට එනවා. ඇවිත් අහුලාගන්න මාළු ටිකක් අරන් යනවා. තව යාළුවෝත් එනවා. සමහර යාළුවෝ ඉස්කෝලේ ගිහින්, ඒ අය හවස ඒවි. මේ ටික රුපියල් සීයකට කාට හරි දෙනවා.”
ඔහු කමිසයේ දැවටුණු මාළු දෙස බැලුවේය. පියා වෙළෙඳාමේ ගිය බව ඔහු කීවේය. මාළු විකුණා ලැබෙන මුදල අම්මාට දෙන බව ද කීවේය. එදින පාසල් දිනක් වුවත් පාසල් නොයෑම ගැන ඔහු හරියාකාර පිළිතුරක් දීම මගහැරියේය. එහෙත් පාසලට වඩා මේ වෙරළ ඔහුට වඩාත් ප්‍රියජනක බවත් කුඩා වියේම දැනෙන නැති බැරිකමත් ගැන ඔහුගේ නිහඬ මුව අපට පවසා සිටියේය.
මේ අඟුලාන මුහුදු තීරයයි. වේලාව යාන්තමින් උදෑසන හත පසුවුණා පමණි. එහෙත් වෙරළට රාජකාරි බහුලව තිබුණේ ඊට බොහෝ වේලාවකටම පෙර සිටය. ඒ වන විටත් එහි සුපුරුදු ගාලගෝට්ටිය ආරම්භ වී තිබුණි. මුළු වෙරළ තීරයේම වාගේ මිනිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. දරුවන් ඇකයේ රඳවාගත් මව්වරු ද වැඩක් පලක් කරගත නොහැකි තරමටම වයස්ගතවූවෝ ද ළමයි ද ඒ අතර සිටියෝය. ශක්තිමත් මිනිස්සු මාළු පුරවාගත් පෙට්ටි කර මත තබා ගෙන වේගයෙන් දිව ගියෝය. කුඩා දරුවෝ මාළු පෙට්ටි වටා කැරකෙමින් ද වැඩිහිටියන්ගෙන් බැනුම් අසමින් ද එහේ මෙහේ දිව ගියෝය. තවත් පිරිසක් මුහුදට පැන කිමිදුණෝය, කරණම් ගැසුවෝය. උදයේ ගොඩට පැමිණි බෝට්ටු වටා තවත් පිරිසක් රොක් වී කාර්ය බහුලව සිටියහ. වෙළෙන්දෝ ද තැන තැන කේවල් කරමින් සිටියහ.
“කතාකරන්න එපා හයදාහයි” ධීවරයෙක් වෙළෙන්දෙකුට දැඩි හඬින් කිහිප විටක් කීවේය.
මුහුදේ හඬ මෙන්ම ඒ සියල්ලෝ ද නොනවත්වාම මෙන් කෑකොස්සං ගසමින් සිටියහ. ඊට ටික වේලාවකට පෙර හිස් කරන ලද මාදැල කිහිප දෙනෙක් වෙරළේ එලුවෝය. ඉතා මහලු කාන්තාවක් හෙමි හෙමින් ඒ වෙත පැමිණ එහි තැන තැන පැටලී තිබුණු හාල්මැස්සන් ගලවා ගන්නට වූවාය.
මාළු පුරවාගත් අත් කරත්තයක් තල්ලු කරමින් කඩිසර ගමනින් ගොඩ දෙසට ඇදෙන කාන්තාවකි. ඇය නිලන්තිය. ඇය වෙත ආ දරුවෙක් ඇයට පුංචි තරාදියක් දී නැවතත් වෙරළ දෙසට දිව ගියේය. ඒ ඇගේ බාල පුතු බව ඇය කීවාය. සැමියාත් වැඩිමල් පුතුත් බෝට්ටුවෙන් මාළු අල්ලාගෙන ආ පසු ඇය ද කරත්තයට මාළු පටවාගෙන ඒ අවට මාවත් දිගේ ගෙන ගොස් විකුණන්නට පටන් ගෙන දැන් වසර කීපයකි.
“මගෙන් දැන් මාළු ගන්න පුරුදුවෙලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒ අය හැමදාම මම මාළු ගේනකම් බලන් ඉන්නවා. උදේ හත පහු වෙද්දීම මම මාළු ටිකත් අරගෙන යනවා. ගොඩක් අය සල්ලි දෙන්නේ හවසට. දවසේ පඩියට වැඩ කරන අයනේ හුගක් ඉන්නේ. මම මාළු දීලා සමහර වෙලාවට ඒ අයට මාළු උයන්න තුනපහ ජාති ගන්නත් සල්ලි දීලා තමයි එන්නේ. හවසට ඒ අය ඒ සල්ලි මට ආපහු දෙනවා.“ ඇය කියාගෙන යන්නීය.
නිලන්ති උදෑසනම අවදි වී උයාපිහා වෙරළට දිව යන්නීය. සැමියා සහ පුතා බෝට්ටුවෙන් පැමිණි වහාම වෙළෙන්දන්ට ඒ මාළු විකිණීමට ඔවුන්ට සහාය වන්නීය. ඉන්පසු සැණෙකින් තම කරත්තය ද පුරවා මාළු පටවාගෙන රේල් පාරෙන් එගොඩ වී “මාළු මාළු” යැයි හඬ නඟා කෑ ගසමින් අවට මාවත් දිගේ යන්නීය.
“මට ඉස්සෙල්ලා කරත්තයක් තිබුණේ නෑ. ඒ නිසා මම ඉස්සර බේසමක මාළු දාගෙන ගෙනිහින් විකුණ්ණා. පස්සේ මේ කරත්තේ හදවාගත්තා. මහත්තයායි පුතායි විතරක් වැඩ කළාට ඒ මුදල හැමදේම කරන්න මදි. ඒ නිසා මමත් මොනවා හරි කරන්න ඕනෑ කියලා හිතුවා. ඒ නිසා තමයි මෙහෙම කරත්තෙන් වෙළෙඳාමේ යන්න පටන් ගත්තේ.”
ඇය මාළු විකුණා දවල් වී පැමිණ නිවසේ කටයුතු නිම කර නැවත වෙරළට යන්නීය. ඒ මුහුදු ගොස් පැමිණ දවල් දවසේ නිදාගන්නා සැමියාත් පුතාත් අවදි වීමට පෙර බෝට්ටුව සූදානම් කර තැබීමටය. ඇය බෝට්ටුවට අවශ්‍ය තෙල්, ඉන්ධන පුරවා, අයිස් ගබඩා කර තබා සියල්ල සූදානම් කර තබන්නීය.
වෙරළේ ඈතින් දෙපැත්තක මිනිස්සු දෙපිරිසක් තවත් මාදැලක් අදිමින් සිටියහ. අපි ඒ වෙත පියවර තැබුවෙමු. “හෙලේ ජාලි, ජාලියෝ” ඔවුහු තාලයට එක් හඬින් ගැයූහ. ඒ හඬ වෙරළේ බොහෝ දුරට පැතිරුණේ ඔවුන්ගේ සවි ශක්තියත් වෙරළේ අයිතියත් තහවුරු කරන්නට මෙනි. දෙපා වැලි අතර එරී යද්දී, දෑත්වල දිය බිබිලි නැගෙද්දී ඔවුහු දහඩිය වගුරමින් මුහුදේ සැරිසැරූ මාළු රංචුව ගොඩට අදින්නට ඉතා වෙහෙසකර සටනක යෙදුණෝය. අඟුලාන වෙරළේ මාදැල් හයක් තිබුණි. එක් දැලක් ගොඩට ගෙන පැය භාගයකට පසු අනෙක් දැල එලනු ලබයි. ඒ අයුරින් කාල වේලාවන් බෙදී ගොස් තිබුණි. ඇතැම් දැල් අදින්නෝ දැල් දෙකක පමණ වැඩ කළෝය. ඔවුහු දවස පුරා ඉතා වෙහෙසට පත්ව සිටියහ.
“අපි පොඩි කාලේ මට මතකයි දැලේ එක පැත්තක් අදින්න විතරක් පනහක් හැටක් විතර කට්ටිය හිටියා. දැන් පහළොවක්වත් හොයාගන්න අමාරුයි. මේක වෙහෙසකර රස්සාවක්, මහන්සියි තමයි. පුරුදු අය විතරයි මේක කරන්නේ. දැන් ලොකු ලොකු යාත්‍රා, බෝට්ටු ආවාට මේක තමයි පරණම ක්‍රමය. වැඩිම මාළු ප්‍රමාණයක් අල්ලන්න පුළුවන් ක්‍රමේත් මේක නේ. කොහොම වුණත් මේ පාරම්පරික රස්සාව තව වැඩි කාලයක් තියෙන එකක් නෑ. අලුත් අය වැල්ලකරෙන් ගොඩට යනවා. ඉස්සර මේ දිගට ගොඩාක් ලෑලි ගෙවල්, පොල් අතු ගෙවල් තිබුණා. පස්සේ ගොඩක් අය ගොඩට ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනායි.” මඳකට කඹයෙන් මෑත් වූ තිලකසිරි පැවසුවේය.
ඔහු වසර විස්සක පමණ සිට එම දැලේ හිමිකරුවාය. ඊට පෙර ඔහු වෙනත් අයගේ දැල්වල වැඩට ගොස් තිබුණි. මාදැල් හිමිකරුවෝ ද සගයන් සමඟ එක සේ උරෙනුර ගැටෙමින් මාදැල් ඇද්දෝය. ලැබෙන ලාභයෙන් හතරෙන් එකක් තබා ගෙන ඉතිරිය සගයන් අතර බෙදාදීම සිදුවන බව තිලකසිරි පැහැදිලි කළේය.
“මේකේ ආදායම හොඳයි. ඒ වගේම මේවාට ලොකු වියදමකුත් යනවා. මාදැල් දාන්නේ මාස හයක් විතරයිනේ. දහවෙනි මාසේ ඉඳලා අවුරුදු මාසේ වෙනකම් විතරයි. අනෙක් කාලෙට සමහරු බෝට්ටුවල යනවා, සමහරු කුලී වැඩ කරනවා.”
නැවතත් තම සගයන්ට එක්ව ගී ගයමින් මාදැල ඇදීමට තිලකසිරි හැරුණේය. එහෙත් ඔහු අමතක වූ යමක් කියන්නට මෙන් නැවතත් අප වෙත පියවර තැබුවේය.
“අපිට උගත්කමක් නැහැ. ඒත් මම මගේ දරුවෝ වැල්ලට එක්ක ආවේ නැහැ. ඒ අය එන්නේත් නැහැ. මගේ බාල පුතාලා දෙන්නා තාම ඉස්කෝලේ යනවා. අනෙක් දෙන්නාගෙන් එක්කෙනෙක් ඩ්‍රයිවින් රස්සාවක් කරනවා, අනෙක් එක්කෙනා තාම රස්සාවක් කරන්නේ නෑ. කොටින්ම ළමයි මේවා කරනවාට මම කැමති නෑ.”
තමන් මේ අව් කාෂ්ඨකයේ මුහුද සමඟ පොරබදමින් ජීවත්වීම වෙනුවෙන් කරන අරගලයට තම දරුවන් නොපැමිණිය යුතු බව ඔහු පසක් කරගෙන සිටියේය. ඒ අතර ඇතැම් කුඩා දරුවෝ පාසල අමතක කර වෙරළට පැමිණ තම පියවරුන් අදිමින් සිටින මාදැලේම තැන තැන එල්ලී ගත්හ.
ටිකෙන් ටික මාදැල දෑත්වල වෙරවීරියේ බල මහිමයෙන් වෙරළට ළං වෙද්දී කොහේදෝ සිට පැමිණි කුරුලු රෑන් ඊට ඉහළින් එක් රොක් වෙමින්, පහත් වෙමින් ගොදුරු සොයන්නට වූහ. දැන් වෙහෙස මහන්සියේ අස්වැන්න වෙරළට ආසන්නය. ධීවරයන්ගේ ගීත හඬ තව තවත් වේගවත්ය, උස්ය. හතර වටින් ළමයි රංචුද, කාන්තාවෝ ද ඒ වන විටත් ඒ වටා රැස් කන්නට වූහ.
මාළුවලින් බර වූ දැල වෙරළට ඇදගත් පසු මොහොතකට පමණක් දැල් ඇද්දෝ විසිරුණහ. කොහේදෝ සිට පොලිතින් බෑග් අතැතිව පැමිණි දරුවෝ දැල වටා දුවමින් එහි පිටතින් පැටලී සිටින හාල්මැස්සන්, කුඩා මාළුවන් එකතු කරමින් බෑග් පුරවා ගන්නට තරගයක යෙදුණහ. දැල තුළ වූ මාළුවන් හාල්මැස්සන් ඒ වන විටත් දඟලමින් උඩ පනිමින් ප්‍රාණය සොයමින් සිටියහ. වැඩි වේලා නොගොස් වෙළෙන්දෝ ඒ වටා රැස්වන්නට වූහ. දැල ඇද්දෝ ද දැලෙහි හිමිකරු ද එක්ව දැල ලිහා කූඩයකින් ගෙන මාළු පෙට්ටිවලට පුරවති. වෙළෙන්දෝ හෙට්ටු කරමින් මාලු පෙට්ටි මිල දී ගනිති. ඒ ගාලගෝට්ටිය මධ්‍යයේම කුඩා දරුවෝ ද වැඩිහිටියන්ගේ දෙපා අස්සෙන් ද රිංගා යමින් ඉවතට වැටෙන මාළු, හාල්මැස්සන් එකතු කරමින් තම බෑග් පුරවා ගන්නට තරගයේ යෙදුණෝය. ඇතැම් දරුවෝ හාල්මැස්සන් වැල්ලේ ඔබමින් වැලි තවරමින්ම බෑග් තුළට දැමූහ. මේ පුංචි වෙළෙන්දන් හාල්මැස්සන් බර වැඩි කරන්නට ද ක්‍රම සොයාගෙන තිබුණි.
“මුන් ඉස්කෝලේ යවන්න නම් ඉස්කෝලෙට ගෙනිහින් ගැටගහලා තියලා එන්න ඕනෑ” එක් ධීවර තරුණයෙන් සිනාසෙමින් මේ දරුවන්ට සරදම් කළේය. එහෙත් මේ වෙරළබඩ දරුවන්ගේ ජීවන රටාව එලෙස ගොඩනැගී තිබුණි. වෙරළ ආසන්නයේම තිබුණු පාසලේ පන්ති පැවැත්වූයේ පහ වසර දක්වා පමණි. පහ වසර දක්වාවත් ඇතැම් දරුවන් නොකඩවා පාසල් යන බවක් පෙනෙන්නට නොතිබුණි. බොහෝ මව්පියවරුන්ට ඒ ගැන එතරම් තැකීමක් වූ බවක් පෙනෙන්නටද නොතිබුණි. ඔවුන් බොහෝ දෙනාගේ ජීවිත වෙරළටත් මුහුදටත් අයිති වූවා සේය. පහ වසරෙන් පසු සොයිසාපුර තිබෙන පාසලට හෝ දරුවන් ගෙනගොස්, අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ ඒ වෙනුවෙන් යෙදවීමට හෝ බොහෝ දෙනාට ඉස්පාසුවක්, කාලවේලාවක් හෝ හැකියාවක් තිබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ බොහෝ දරුවෝ ද උදෑසන පිබිදුණු විගස වෙරළටම දිවඑන්නට පුරුදුව සිටියහ. ඒ අතර කෙසේ හෝ පාසල් ගොස් වෙහෙස මහන්සි වී විශ්වවිද්‍යාල වෙත ගිය අඟුලාන වැල්ලකරයේම දරුවන් ගැන ද ඒ වෙරළේ දීම අපට අසන්නට ලැබුණි.
සීටිං වෙරළේ හෙමි හෙමින් ඇවිද යමින් අප හා දොඩමළු වූයේය. ඔහු දැන් ඉතා වයෝවෘද්ධය. එහෙත් අනෙක් ධීවරයන් “අම්බාව” කියමින් මාදැල අදිද්දී සීටින් ද ඒ සියලු දෙනාට ඉදිරියෙන් පුරුද්දට මෙන් කඹය අල්ලාගෙන සිටිනු අපි දුටුවෙමු.
“මට දැන් හුඟක් වයසයිනේ. ඒ නිසා දැල අදින්න අමාරුයි. මගේ හාමිනේයි, දරුවෝ දෙන්නෙකුයි ගෙදර ඉන්නවා. ඒ දෙන්නාට මානසික ආබාධයක් තියෙනවා. ඒ අයට කන්න බොන්න හොයලා දෙන්න වෙනවා. ඒ නිසා මම පුළුවන් හැටියට තාමත් මාදැල් අදින්න එනවා. මාළු අහුවුණු දවසට හවසට කීයක් හරි ලැබෙනවා. මාළු නැති දවසට ඉතින් මුකුත් නැහැ.“ ඔහුගේ ශෝකාකූල මුහුණ මේ වෙරළේ ඔවුන් විඳිනා දුක් පීඩාවන් විදහා දක්වන කැඩපතක් ලෙස දිස් විය. මේ වෙරළ දවසේ කිසි විටක නොනිදනවා මෙනි. දවස පුරා එකම කලබලයක එය ඇලලී තිබුණි. ඒ කලබලය අතරින් අපි හෙමි හෙමින් ගොඩට ඇදුණෙමු. අබලන් වී ගිය මාළු දැල් වියමින් ලෑලි නිවසක් අසල සිටි තවත් ධීවරයෝ දෙදෙනෙක් අප හා සුහද සිනාපෑවෝය.
“බෝට්ටු වලට හුරුල්ලෝ අහුවෙන කාලේට එන්න. ඒ කාලෙට ගෙවල්වල ළමයි, ගෑනු ඔක්කෝම රෑට වැල්ලට ඇවිත් මාළු උයාගෙන පාන් එක්ක කාලා, කෝපි බීලා බෝට්ටු එනකම් ඉන්නවා. සැණකෙළියක් වගේ තමයි.“ ඔවුහු අපට ආරාධනා කළෝය. ■