රාවය

ආණ්ඩුවෙන් ඉවත්වන්න ශ‍්‍රීලනිප බලපෑම්

ආණ්ඩුවෙන් ඉවත්වන්න ශ‍්‍රීලනිප බලපෑම්

එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඒකාබද්ධ ආණ්ඩුවක් සඳහා වන අවබෝධතා ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝ නොකර ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් බහුතරයකගේ මතය වී ඇතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය වෙනම මැතිවරණයට ඉදිරිපත් වෙන පසුබිමක ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ සිටිමින් මැතිවරණයට ඉදිරිපත්වීමෙන් අන්ත පරාජයක් අත්වීමට ඉඩ ඇති නිසා ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් විය යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ කිහිපදෙනෙක් අප සමඟ පැවසූහ.
ශ‍්‍රීලනිපය සහ එජාපය අතර අරමුණු 10කින් යුත් අවබෝධතා ගිවිසුම 2015 අගෝස්තු 21 වැනිදා අත්සන් කර තිබුණු අතර වසර දෙකක කාලයක් සඳහා වන එම ගිවිසුම දෙපාර්ශ්වයේ එකඟතාව මත දීර්ඝ කළ හැකි බව ගිවිසුමෙහි සඳහන්ය.
ගිවිසුමේ සඳහන් වන ආකාරයට 2017 අගෝස්තු 21 ගිවිසුමෙහි වසර දෙකක කාලය අවසන් වුවත් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක පැවසුවේ ගිවිසුම 2017 දෙසැම්බර් 31 තෙක් වලංගු වන බවයි. ඉන්පසුව තවත් වසර දෙකක් සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යනවාද යන්න පක්ෂ දෙකේ නියෝජිතයන් සාකච්ඡුා කළ යුතුය.
ඉදිරි වසර දෙක සඳහා ආණ්ඩුවේ ගිවිසුම දීර්ඝ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අගමැතිවරයාට පැවසූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයන් සමඟ පවසා ඇත. එසේ වුවත් ගිවිසුම දීර්ඝ නොකරන ලෙස ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතර දැඩි ඉල්ලීමක් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඉදිරියේදී රැුස්වීමට නියමිත අතර ඒ සඳහා තවමත් දිනයක් නියම වී නොමැත.
මීට අමතරව ශ‍්‍රීලනිපය හෝ එජනිසය නොවන වෙනත් පක්ෂවලට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සහාය දක්වන පක්ෂයේ මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් විනය පියවර නොගත යුතු බවද ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් බහුතරයකගේ මතය වී තිබේ. ඉදිරි මධ්‍යම කාරක සභා රැුස්වීමේදී විනය පියවර පිළිබඳ තීරණයක් ගත යුතු බවට අදහස් මතුව ඇතත්, ඉදිරි මැතිවරණයකදී යළිත් දෙපාර්ශ්වය එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් විනය පියවර නොගත යුතු බව බහුතර මතය වී ඇත. x