ලලිත් හා කූගන් අතුරුදන්කර අවුරුදු හයයි උඹලා පණපිටින් ඉන්නවාද? කාටවත් වුවමනාවක් නැහැ

‘ලලිත් හා කූගන් කෝ?’  අද මෙය තාප්පවලට සීමා වූ සටන්පාඨයක් පමණකි. ලලිත් හා කූගන් අතුරුදන් වී වසර 6කි. 2011 දෙසැම්බර් 09 වැනිදා ඔවුන් යාපනයේදී සුදු වෑන්රියකින් අතුරුදන් කර තිබුණි. ඔවුන් අතුරුදන් කිරීම ගැන කිසිවෙකු කතා නැත. ලලිත්ගේ මිතුරන්ද ලලිත් අමතක කර ඇති සෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් අවංකව මේ වෙනුවෙන් මැදිහත්වන පුබුදු ජයගොඩ, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් හැරුණුකොට බහුතර පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ටද ලලිත්ලා කරමින් සිටි දේශපාලනය පවා අමතකය. ලලිත්ද අමතකය. නැතිනම් මතක් කිරීමට වුවමනාවක් නැත.

මේ සියල්ල නිසා එක්නැළිගොඩ, ලසන්ත, තාජුඞීන් මෙන් වරින්වර ලලිත්ලාගේ කතාව මාධ්‍යවලවත් මතු නොවෙයි. එය යටපත්වී යා යුතුමය. වත්මන් ආණ්ඩුව පවා ලලිත්ලා ගැන කතා නොකරයි. ඔවුහු වත්මන් ආණ්ඩුවට වුව අභියෝගයක් වන දේශපාලනයක් කරමින් සිටි දෙදෙනෙකි. ඔවුන් අධිනිශ්චය කිරීම ඔවුන් කරමින් සිටි දේශපාලනය අධිනිශ්චය වීමකි. ඒ නිසා කාලයේ වැලිතලාවෙන් ඔවුන් යට වී යා යුතුමය. ඒ නිසාම විය යුතුය, ලලිත් කූගන් නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් හරිහැටි නීතිඥයෙකුවත් යොදවා නැත්තේ. සීඅයිඞීය හෝ වෙනත් පරීක්ෂණ ආයතන වෙනුවට අච්චුවේලි පොලීසියට ලලිත් හා කූගන් අතුරුදන්කිරීම පිළිබඳ පරීක්ෂණ බාර වී ඇත්තේ. පැහැදිලිව ප‍්‍රශ්න කළ හැකි තැන් තිබියදී මේ නඩුව අලූත් කිසිවක් නැතිව ඇදි ඇදී යන, නීතිඥ බෝපගේ ඇතුළු පිරිසක් වරින් වර යාපනය මහේස්ත‍්‍රාත් උසාවියට රස්තියාදු කොට නඩුව කල්දැමීම පමණක් සිදුවන කෙළවරක් නැති දෙයක් පමණක් වී ඇත.

ලලිත් හා කූගන්

යාපනයේ මාධ්‍ය සමාජයේ සභාපති තර්මබාලා විනෝජිත් සමඟ ලියුම්කරු කතාබහ කරමින් සිටි මොහොතකි. ලියුම්කරු විමසමින් සිටියේ දකුණේ විවිධ දේශපාලන සංවිධාන ගැන විනෝජිත්ගේ මතයයි. ඒවා උතුරේ ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එජාපය, ශී‍්‍රලනිපය ඇතුළු දේශපාලන පක්ෂ ගැන විමසද්දී ඔහු කෙටියෙන් කීවේ ඒවා කිසිවක් නොකරන තරම් බවයි. විශේෂයෙන් මුලින් කී වාමාංශික පක්ෂ දෙකේ උතුරේ ක‍්‍රියාකාරීන් කවුද කියාවත් ඔහු හරිහැටි නොදන්නා බව කීවේය. ඉන්පසු ලියුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලලිත් කුමාර් වීරරාජ් හඳුනනවාදැයි ඇසීය. විනෝජිත්ගේ දෑස් දීප්තිමත් විය. ‘‘සරියාන ආල’’ ඔහු කීවේය. ලලිත් ගැන මහත් ප‍්‍රශංසා මුඛයෙන් කතාකළ විනෝජිත් ලලිත්ට විශාල වශයෙන් ගරු කරන බව කීවේය.

මේ ජනතා විමුක්ති පෙරමුණෙන් 2011 දී වෙන්වුණු රැුඩිකල් කණ්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල ව්‍යාපාරය ලෙස ක‍්‍රියාත්මක වෙමින් සිටි සමයයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු අවධියයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙට කරන්නට නොහැකි වූ යමක් කරනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළ, එසේ කරන්නට වුවමනාවක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වමින් සිටි කාලයකි. මහපොළොවේ සටන් සමඟ ජන අරගල ව්‍යාපාරය එක්වෙමින් සිටියේය. පෙරමුණේ සටන් කරමින් සිටියේය. රාජපක්ෂ මර්දන යන්ත‍්‍රයට දරුණු අභියෝග එල්ල කරමින් සිටියේය. ලලිත් හා සහ කූගන් උතුරේ ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ තරුණයන් දෙදෙනෙකි.
ලලිත් කුමාර් වීරරාජ් එවකට ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායකවරයාය. ඔහු තමන්ගේ රැුකියාවත් අත්හැර පූර්ණකාලීනව දේශපාලනය කරනු පිණිස යාපනයට ආවේ 2009 දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමිනි. එතැන් පටන් යුද්ධය අවසාන වූ විගස උතුරේ තිබුණු දැඩි මර්දනකාරී යන්ත‍්‍රයට මුහුණදෙමින් කිහිපවතාවක්ම අත්අඩංගුවට පත්වෙමින් ලලිත් දේශපාලනය කළේය. එවන් අත්අඩංගුවට පත්වූ මොහොතක ඔහුට කූගන් මුරුගානන්දන් හමුවූ අතර කූගන් ජන අරගල ව්‍යාපාරය සමඟ එක්විය.
දෙදෙනාටම දේශපාලනය නවත්වන ලෙස තර්ජන එල්ලවී තිබුණේ කලෙක පටන්ය. එක් වරක් පැහැරගෙන පැරණි අයිස්ක‍්‍රීම් කර්මාන්ත ශාලාවකට ගෙනගොස් දේශපාලනය නවත්වන ලෙස ඔහුට ඍජුවම තර්ජනය කළ බව ප‍්‍රකට කතාවකි.

ලලිත් හා කූගන් මහපොළොවේ කරමින් සිටියේ ලංකාව බෙදා පාලනය කරන්නට හුරුව සිටින සියලූ දේශපාලන බලවේගවලට ඉහළම අභියෝගයක් එල්ලවෙන දේශපාලනයකි. ජාතිය මුල් කරගත් දේශපාලනය වෙනුවට පන්තිය මුල් කරගත් දේශපාලනයකි. ආර්ථික, සමාජීය අයිතිවාසිකම් පිළිබඳ දේශපාලනයකි. ඔවුන් සැබෑම තර්ජනයකි. ඒ තර්ජනය අතුරුදන් කළේ උතුරේ දේශපාලනය කරන සහ කරන්නට බලාපොරොත්තුවන සියලූ බලවේගවලට කණේ පහරක් එල්ලකරමිනි. ඒ පහරේ අදත් තදින්ම දැනෙයි.
මෑත දිනයක දකුණේ දේශපාලන කටයුත්තකට උතුරේ සිට තරුණයන් කණ්ඩායමක් පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙත් යළිත් මහවිරු සැමරුම් ගැන කතා මාධ්‍යවල පළවෙන්නට පටන්ගනිද්දී උතුරේ බුද්ධි අංශ දැඩිව හිස ඔසවන්නට පටන්ගෙන තිබුණු අතර උතුරේ සිට පැමිණෙන්නට නියමිතව සිටි තරුණ කණ්ඩායම දකුණට පැමිණීමට නොහැකි බව දැන්වීය.
‘අපි දිහා බුද්ධි අංශ ඇහැගහගෙන ඉන්නවා. අපි දකුණට ආවොත් ආවා කල්ලිය හරි, වෙන චෝදනාවක් හරි දාලා අපව අත්අඩංගුවට ගනීවි. මොකද දෙමළ සිංහල අය එකතුවෙලා දේශපාලනය කරනවා නම් ඒකට තමයි මුලින්ම අත තියන්නේ.’
එසේ පැමිණීමට සිටි තරුණයන්ගේ අදහස එය විය. ජනවර්ග එක්ව දේශපාලනය කිරීම අනතුරු කැන්දාගැනීමක් බව තවම උතුර අමතක කර නැත.

අතුරුදන් කිරීම

දෙසැම්බර් 10 වැනිදා යාපනයේ යුද්ධයේදී අතුරුදන්වූවන් වෙනුවෙන් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර ඒ සංවිධාන කටයුතු අතරතුරදී ලලිත් හා කූගන් අතුරුදන් කෙරුණි. ඒ සුදු වෑන් රථයකිනි.
මේ සිදුවීමෙන් පසුව එවකට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා දෙසැම්බර් 15 කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවසා තිබුණේ ලලිත් හා කූගන් අතුරුදන් වී නැති බවත් ඔවුන් අත්අඩංගුවේ සිටින බවත්ය. ඒ ප‍්‍රකාශය ඔහු නිල වශයෙන් කැබිනට් මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් වන අතර ආණ්ඩුව විසින් ලලිත් හා කූගන් අතුරුදන් කර ඇති බව ඒ ප‍්‍රකාශයෙන්ම පැහැදිලි වෙයි. සුදුවෑන් කතාවට හොඳම සාක්ෂියකි මේ සිදුවීම.
මේ සිදුවීමෙන් පසුව 2016 මැයි 13 වැනිදා යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා තිබුණේ ඔහු එවන් ප‍්‍රකාශයක් කරන්නේ ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමෙන් පසුව ඔවුන්ගේ උපදෙස් මත නිසා මේ ප‍්‍රකාශයද එවන් ප‍්‍රකාශයක් බවයි. ඒ ප‍්‍රකාශයෙන් පසුව ලලිත් හා කූගන්ට කුමක් සිදුවීදැයි තමන් නොදන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබුණි. ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සේනාධිනායක මහින්ද රාජපක්ෂ, හමුදාපතිවරුන් ඇතුළු පිරිසකි. ඒ අනුව ඊළඟට ප‍්‍රශ්න කළ යුත්තේ ඒ පිරිසයි.

මේ තරුණයන් දෙදෙනා 2012 අපේ‍්‍රල් මාසයේ 12 වැනිදා කොටුව පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ රඳවා සිටින බවත් පසුව අපරාධ කොට්ඨාසයේ දෙමටගොඩ මූලස්ථානයට ගෙන ගොස් අපේ‍්‍රල් 19 වැනිදා එතැනින්ද පිටතට ගෙන ගොස් ඇති බවට වාර්තා පළවිය. ඒ වනවිට මේ දෙදෙනාම දරුණු වධහිංසාවලට ලක්ව සිට ඇති බව කියැවේ. ඒ ලලිත් සහ කූගන් ජීවත්ව සිටින බවට ලැබුණු අවසන් සාක්ෂියයි. ඉන්පසුව මෙතෙක් ලලිත් හා කූගන් ජීවත්ව සිටින බවට සාක්ෂියක් ලැබී නොමැත.

පරීක්ෂණ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2015 ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලලිත් හා කූගන් සිදුවීම ගැන පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් යොමුකර තිබුණි. එහෙත් ඒ ගැන කිසිවක් සිදුව නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එවන් කිසිම ආයතනයකින් ලලිත් හා කූගන් ගැන පරීක්ෂණ කරන්නේ නැත. පරීක්ෂණ කරන්නේ අච්චුවේලි පොලීසිය විසිනි. අච්චුවේලි පොලීසියෙන් කර ඇත්තේ අතුරුදන්වීම කෙරුණු ස්ථානය අසල සිටි හා සිදුවීමට සම්බන්ධ කිහිපදෙනෙකුගේ කටඋත්තර සටහන් කරගැනීම පමණි.
මේ සිදුවීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ හබයාස් කෝපුස් පෙත්සමට අනුව අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත‍්‍රාත් උසාවියට නියෝග කර ඇත්තේ රජය විසින් ලලිත් හා කූගන් රඳවාගෙන සිටිනවාදැයි සොයා බැලීමට මහේස්ත‍්‍රාත් නඩු විභාගයක් සිදුකරන ලෙසයි. වසර ගණන් ඇදි ඇදී යන්නේ ඒ නඩු විභාගයයි. මේ මහේස්ත‍්‍රාත් නඩුව කල්යෑමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට අදාළව නීතිඥවරයෙකුවත් හරිහැටි පත් කර නොතිබීමයි. නිතරම අලූතෙන් පත්වන නීතීඥවරුන් නඩුව අධ්‍යනය කරන්නට ගොස් නඩුව කල්යෑම සිදුවෙයි.
එපමණක් නොව පරිවර්තන ගැටලූද නඩුව කල්යෑමට හේතුවී ඇත. වසර හතරකට පසුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පළමුවරට නඩු විභාගයට පැමිණි අවස්ථාවේ සාක්ෂි දීමට නොහැකි වුණේ පරිවර්තකයන් සූදානම් කර නොතිබුණු නිසාය. විමර්ශනය මෙහෙයවූ පොලිස් නිලධාරියා නොපැමිණීම නිසා නඩුව කල් ගිය අවස්ථාද තිබුණි. නඩුව විසඳුමක් කරා යෑම ගැන ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි. ලලිත් හා කූගන් පණපිටින් සිටිනවාද, මරා දැමුවාද මරා දැමුවා නම් ඒ කවදාද, කෙසේද, වගකිව යුත්තේ කවුද යන්න දැනගත හැකිවේයැයි සිතීම මිරිඟුවක් පසුපස යෑමක් වැනිය. එහෙත් ඔවුන් වෙනුවෙන් කතාකළ යුතුය. අසීරුතා මැද්දේ ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ වැන්නන්ට ගරු කළයුත්තේ ඒ නිසාය.
මෙසේ කුඩම්මාගේ සැලකිලි ලැබූ නඩුව දෙසැම්බර් 08 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබුණි. නඩුවේ මේ දිනවල සිදුවෙමින් පවතින්නේ විමර්ශන මෙහෙයවූ අච්චුවේලි පොලීසියේ පොලිස් නිලධාරියා සාක්ෂි ලබාදීමයි. එහෙත් මේ වනවිට නඩු විභාගයේදී මතුවී ඇති වැදගත් කරුණක් වන්නේ ආරක්ෂක මණ්ඩලය විසින් ලලිත් හා කූගන් අත්අඩංගුවේ සිටින බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට පවසා ඇති බවයි. ඒ අනුව ප‍්‍රශ්න කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගෙනි. එවක පැවති රාජ්‍ය අපරාධකාරීත්වය ගැන පළමු චෝදනාව එල්ලවෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි.
ලලිත් සහ කූගන්ට ආදරය කරන මිතුරෙකු කී කතාවකින් මේ සටහන අවසන් කළයුතුය. එය මෙබඳුය.

‘‘ලලිත් – කූගන් උඹලා පණපිටින් ඉන්නවාදැයි අපි දන්නෙ නැහැ. උඹලා පණපිටින් ඉන්නවාද නැද්ද කියා හොයාගන්නවත් කිසිවෙකුට වුවමනාවක් නැහැ. ඒත් උඹලාව කිසිදා අමතක නොකරන මිනිසුන් පිරිසක් මේ මහපොළොවෙ ඉන්නවා. ඔවුන් උඹලා ගැන සටහනක් තියාවි. ඔවුන් තමන්ගේ දරුවන්ට උඹලා ගැන කියාදේවි. මේ මහපොළොවෙ යුක්තිය විහිළුවක්. යුක්තිය දෙනවායැයි වෙළෙඳ දැන්වීම් පළකරමින් ආ ආණ්ඩුව මිරිඟුවක්. ඔවුන්ටත් උඹලා හිසරදයක්. ඔවුන්ට ඕනෑ උඹලාව අමතක කරවන්නට. ඒත් උඹලාව අපි කිසිදා අමතක කරන්නෙ නැහැ. උඹලා කළ සියල්ලටම ස්තූතියි.’’