රාවය

ජනාධිපතිතුමා දවස පටන්ගන්න ඕනෑ මගේ ඡායාරූපයට වැඳලායි

ජනාධිපතිතුමා දවස පටන්ගන්න ඕනෑ මගේ ඡායාරූපයට වැඳලායි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල

අවුරුදු තුනකට විතර කලින් ජාතික හෙළ උරුමයෙන් වෙන්වුණු ඔබ වත්මන් ආණ්ඩුව අවුරුදු තුනකට පස්සෙ දකින්නෙ කොහොමද?

පහුගිය ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ බෙදීමට තුඩු දුන්නේ න්‍යායික අර්බුදයක්. ජාතික දේශපාලනයෙ අපට ඉහළින් ඉන්න චම්පික රණවක ඇමතිවරයාමයි අපට පෙන්වලා දුන්නේ ලංකාව බටහිරට පාවාදුන් රාජ්‍ය නායකයා ලෙස හඳුන්වන දොන් ජුවන් ධර්මපාලගේ පුනරුත්පත්තිය කියලා. කොටි සංවිධානය බරපතළ ලෙස ශක්තිමත් වීමත් ආර්ථිකය බටහිරට නතු කිරීමත් වුණා. වික‍්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික හා දේශපාලන දර්ශනය අපට සතුරු තැනක තිබුණා. පහුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිරිකොතට ගිහින් කීවේ මම ජනාධිපති වී දින සීයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට බාරදෙනවා කියලා. යළිත් රනිල් වික‍්‍රමසිංහ යුගයක් උදාවීම භයානකයි කියලා තේරුම්ගත්ත නිසා ජාතික හෙළ උරුමයෙන් බිඳිලා ඇවිත් මම සටන්කළා. අපි එදා අනාවැකි පළකළා. අද ඒ අනාවැකි ඇත්ත වෙනවා.

හැබැයි එදා එහෙම කිව්ව ජනාධිපතිවරයා අද අගමැතිවරයාත් එක්ක සීතල යුද්ධයකට අවතීර්ණ වෙලා නේද? දැන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අගමැතිවරයාගේ ‘නව ලිබරල් සහ බටහිර ගැති’ කියා චෝදනා ලබන ක‍්‍රියාමාර්ගවලට ජාතිකවාදී ප‍්‍රවේශයෙන් විරුද්ධ වෙනවා නේද?

මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හැමදාම මගේ ඡුායාරූපයට වැඳලායි දවස පටන්ගන්න ඕනෑ. මොකද එතුමාගේ බලය ඉතිරිවෙලා තියෙන්නේ මා නිසා. දහනවවැනි සංශෝධනය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නයි ගෙනාවෙ. ඒකට අවශ්‍ය වෙන වගන්ති වෙනස් කරන්නට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ. ඒත් මම දහනවවැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා, ජනාධිපතිවරයාගේ ධුර කාලය අහෝසි වෙන්න කලින් බලය අහෝසි කරනවා නම් ජනමතය යළි විමසිය යුතුයි කියලා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ඒ නිසා තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි නොවුණේ, සිරිසේන මැතිතුමාට විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා අගමැතිතුමාගේ වැඩවලට ඔය තරමින් හෝ බ්‍රේක් ගහන්න පුළුවන් වුණේ.

මෙහෙම සීතල යුද්ධයක් එක්ක යන ආණ්ඩුවේ වත්මන් තත්ත්වය ගැන අදහස මොකක්ද?

මේ ආණ්ඩුවට න්‍යායික දැක්මක් නෑ. සාමූහික දැක්මක් නෑ. ආණ්ඩුව මේ වෙද්දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ හයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ තරම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් අපට පණිවුඩයක් දීලා තියෙනවා ඔවුන්ට ප‍්‍රතිපත්තියක් නැහැ කියලා. ආණ්ඩුවේ ප‍්‍රධානම සටන්පාඨය වුණේ යහපාලනය. මෙගා ඞීල් අල්ලනවා කියලා. දැන් මොනවාද මේ යහපාලනය දීලා තියෙන්නේ. හොරකම් අල්ලන්න ආ ආණ්ඩුව බලයට ඇවිත් 49 වැනි දවසෙදී ලංකාවෙ ලොකුම හොරකම කළා. තමන්ගෙ මඩිය තරකිරීමත්, විරුද්ධවාදීන් දඩයම් කිරීමත් හැරුණුකොට මේ ආණ්ඩුව කළ දෙයක් නෑ. එදා තිබුණු සංවර්ධනයවත් එදා තිබුණු සංහිඳියාවවත් අද නැහැ. එදා උතුරේ හිටපු සිංහල ළමයින්ටත් දකුණේ ඉන්න දෙමළ ළමයින්ටත් බයක් සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුණා. යුද්ධය කාලයේ නම් බය තිබුණා. හැබැයි 2009න් පස්සෙ දකුණෙ කිසිම දෙමළ පුද්ගලයෙක්ට කරදරයක් වුණා කියලා වාර්තාවුණේ නැහැ. හැබැයි අද බුදුපිළිම කුඩු කරනවා. සිංහල ගම්මානවලට ඇවිත් ඉවත්වෙන්න නියෝග කරනවා. තුන්වතාවක් යාපනය විශ්වවිද්‍යාලයෙ විවිධ මණ්ඩප වහලා ළමයින්ට ගෙදර එන්න වුණා. දැන් උතුරේත් දකුණේත් පාතාල කල්ලි නැඟිටලා.

හැබැයි ආණ්ඩුව 19 වැනි සංශෝධනයෙන් ආයතන ස්වාධීනත්වය ඇතිකළා. පනත් සම්මත කළා නේද?

ආණ්ඩුව කියනවා ස්වාධින කොමිෂන් සභා පත්කළා කියලා. එහෙනම් නීතිය නවන නීතිපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් ඉන්නෙ කොහොමද. අධිකරණයේ ස්වාධිනත්වයටත් බලපෑම්. කන්නන් රාමනාදන් කියන විනිසුරුවරයා මහේස්ත‍්‍රාත් විභාගය අසමත් වුණ කෙනෙක්. ඒ විභාගය සමත්වුණ අසූගාණක් ඉඳිද්දී ඔවුන්ට ඉහළින් ඔහු මහාධිකරණ විනිසුරුවරයෙක් වෙනවා. අධිකරණ නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳ අගවිනිසුරුගෙන් ප‍්‍රශ්න කරනවා. එතකොට කියනවා ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුවයි මේ පත්කිරීම කළේ කියලා. ස්වාධින කොමිෂන් සභා කියලා එකක් පත්කරලා, ඒකට කෝල් කරලා කියනවා අහවල් දේ කරන්න කියලා. පොලිස්පතිවරයා මේ වෙනතුරුම පත්කළේ පක්ෂග‍්‍රාහීත්වය බලලා. ජ්‍යෙෂ්ඨයන්ව නොසලකා හිතවතුන්ව පත්කළා. අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා නීතිපති, පොලිස්පති පත් කරන්න නිල වශයෙන් තියෙන නිර්ණායක මොනවද කියලා. කිසිම නිර්ණායකයක් නෑ. පන්දම තමයි නොනිල නිර්ණායකය. ජ්‍යෙෂ්ඨයන්ට මේ තනතුරු නොලැබුණු නිසා ඔවුන් අවංකව හිතනවා ඇති අපි ආණ්ඩු හිතවාදී නැති නිසයි අපට ලැබුණේ නැත්තේ කියලා. කනිෂ්ඨයන් හිතනවා ඇති කවදාහරි මේ තනතුරුවලට යන්න නම් පන්දම් අල්ලන්න ඕනෑ කියලා.

හැබැයි මේ ආණ්ඩුව නිසා සාපේක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිවුණා කියන එක ඔබට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ නේද? ඔබ එය ප‍්‍රතික්ෂේප කරනවාද?

අපි උදාහරණයක් ගනිමු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන්. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් කියලා ඇතැමුන් හංවඩු ගැහුවා. ඒකාධිපතියන්ගේ පළවැනි ලක්ෂණය තමයි මැතිවරණ නොපැවැත්වීම. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ, ඒ කාලෙ වගේ මැරයො ඇවිත් ඡුන්ද පොලවල් බියගන්වලා තොග පිටින් ඡුන්ද දැමූ බව ආරංචි වුණේ නැහැනේ. 1989 පාර්ලිමේන්තු මැතිවරණය, 1982 ජනමත විචාරණයේදී ඡුන්ද පත‍්‍රිකා හතඅටක් එකට නවලා එකට දාලා තිබුණා. හැබැයි රාජපක්ෂ මැතිතුමා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළා. මැර බලය පාවිච්චිකරලා ඡුන්ද දින්නේ නෑ, ඊට කලින් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා යුගය එක්ක බලද්දී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංස්කෘතිය තිබුණත් ඒක දැවැන්ත ලෙස අඩුවුණා. නිසිකලට ජනතා මතය විමසුවා. මේ ආණ්ඩුව බලයට ඇවිත් වසර තුනක මැතිවරණ ඉඩෝරයක් ආවා. උසාවි ගාණේ ගියා. කෑගැහුවා. දැන් මැතිවරණයක් ඇවිත් තිබුණත් මැතිවරණය ගන්න අපි වින්ද දුක දන්නේ අපි විතරයි.

රාජපක්ෂ යුගයේ මාධ්‍යවලට එල්ලවුණු තර්ජන තියෙනවා. ඝාතන, පැහැරගැනීම් වුණා. ඒවා ප‍්‍රතික්ෂේප කරන්න බැහැ නේද?

ඒවා වුණේ යුද්ධය තිබුණු යුගයක. යුද්ධයක් තියෙන යුගයක එවන් සිදුවීම් ලංකාවේ රාජපක්ෂ රජයට කලිනුත්, වෙනත් රටවලත් සිද්ධවෙලා තියෙනවා. යුද්ධයක පළමු වින්දිතයා වන්නේ සත්‍යයයි කියලා ඉංග‍්‍රීසි කියමනකුත් තියෙනවානේ. මාධ්‍ය නිදහස යුද්ධයකින් යටපත් වෙනවා තමයි. හැබැයි මම පාර්ලිමේන්තුවේදී ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගෙන් ඇහුවා 2009 මැයි 19න් පසුව 2015 ජනවාරි 08 දක්වා මාධ්‍යවේදීන් පැහැරගැනීමක් හෝ අඩන්තේට්ටම් කිරීමක් සිදුවී ඇතිද කියලා. ඒකේ පිළිතුර හැන්සාඞ් එකේ තියෙනවා. නැත. කිසිම සිදුවීමක් නැත. හැබැයි දැන් මොනවාද වෙන්නේ. දෙරණ සහ හිරු නාලිකා දෙකටම ලියුමක් යවලා තියෙනවා ඔබේ මාධ්‍ය බලපත‍්‍රය අහෝසි නොකිරීමට කරුණු දක්වන්න කියලා. මේ දෙගොල්ල කරුණු දැක්වුවත් අද වෙනතුරු ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කරලා නෑ. දෙරණ සහ හිරු නාලිකාවට බලපත‍්‍රය අහෝසි වේවිද නැද්ද යන බියෙන් ඉන්න වෙලා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් මාධ්‍යවේදීන්ව නම් කරලා පහරදෙනවා.

ඔබ මේ ආණ්ඩුවට දුෂණ වංචා චෝදනා එල්ලකළත් චෝදනා විදියට ගත්තාම රාජපක්ෂ ආණ්ඩුවට එල්ලවුණු චෝදනා අමතක කළ නොහැකියි. විශේෂයෙන් ඒවා සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පවා සිද්ධවෙනවා නේද?

ඒ කාලයෙ චම්පික රණවක ඇමතිවරයා අපේ මධ්‍යම කාරක සභාවට ඇවිත් මෙගාඞීල් ගැන අපට කියද්දී අවංකවම මම විශ්වාස කළා රාජපක්ෂලා හොරකම් කළා කියලා. එදා මම හිතුවෙ උනුත් හොරු, මුනුත් හොරු. ඉතින් සාපේක්ෂව හොඳ හොරුන්ගේ පැත්තේ ඉන්නවා කියලා. හොරු නොවන විකල්පයක් එනතුරු එහෙම ඉන්නයි මම හිතුවෙ. හැබැයි අද වෙද්දී අපට මොනවද පෙනෙන්නේ. කෝ මේ මෙගාඞීල්. මෙගාඞීල් තියා සිඟිතිඞීල් එකක්වත් ඔප්පු කරලා තියෙනවාද? තියෙන චෝදනා මොනවද. පරිපාලනය පිළිබඳ චක‍්‍රලේඛ කඩකිරීම් ගැනයි නඩු තියෙන්නේ. හැබැයි එහෙම සිදුවීම්වලට පියවර ගන්නට ආයතන සංග‍්‍රහය තියෙනවා. ඝාතන, පැහැරගැනීම් ගැන වුණත් කතා මිසක් නඩු නැහැ. එදා ලසන්ත වික‍්‍රමතුංගව මැරුවෙ සරත් ෆොන්සේකා කියලා පාර්ලිමේන්තුවේදී කිව්වෙ අගමැතිවරයා. එක්නැලිගොඩව අතුරුදන් කළේ චම්පික රණවක කියලා කිව්වේ එජාපය. අද ඒ දෙන්නාම ආණ්ඩුවේ නිසා ලසන්තගේ ප‍්‍රශ්නයවත්, එක්නැලිගොඩගේ ප‍්‍රශ්නයවත් විසඳන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ. ඉතින් සිද්ධිය වුණ දවස්වල ඒක කළේ වෙන අයලූ. ඒ අය ආණ්ඩුවට ආවාම ඒ සිදුවීම් ගෝඨාට බැර කරනවා. එහෙම වෙද්දී මිනිස්සු ඒක විශ්වාස කරන්නේ නෑ.

ඔබේ කණ්ඩායම ව්‍යවස්ථා යෝජනාවලට විරුද්ධ බව කියනවා. හැබැයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සහ අනුකමිටුවල ඔබේ කණ්ඩායම ඉන්නවා. එළියේ සිංහපැටව් වගේ කෑගහලා ඇතුළේ පූස්පැටව් වගේ ඉන්න බව සමහරු කියනවා. ව්‍යවස්ථාව ගැන අදහස පැහැදිළි කළ හැකිද?

අගෝස්තු 17 වෙද්දී ආණ්ඩුව දෙමළ ඊළම ගෙනෙන්න ව්‍යවස්ථාවක් ගෙනාවත් ඒක අනුමත කරගන්න හැකියාවක් තිබුණා. දෙමළ ජනතාව තමන්ට ඡුන්දය දෙන බැවින් ආණ්ඩුවට වුවමනා වෙලා තිබුණේ සිංහල සමාජයෙන් තුනෙන් එකක ඡුන්ද පමණයි. අපට ඕනෑ වුණේ මේක හැකි තරම් කල් දමන්න. ඒ නිසායි අපි මේක ඇතුළට ගියේ. අපි දන්නවා ලංකාවෙන් සීයට දශම දෙකක්වත් ව්‍යවස්ථාව කියවන්නෑ. නීතීඥවරුන්ගෙනුත් සීයට පහක්වත් සම්පූර්ණයෙන් ව්‍යවස්ථාව කියවන්නේ නෑ. ව්‍යවස්ථාවට ජනතාව අනුමැතිය හෝ විරෝධය දක්වන්නේ ව්‍යවස්ථාවේ ලක්ෂණ පිළිබඳ සලකලා නෙවෙයි. ජනමත විචාරණයක් ආවොත් ඒක ව්‍යවස්ථාවක් පිළිබඳ ජනමත විචාරණයකට වඩා ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය පිළිබඳ ජනමත විචාරණයක් වෙන්න තිබුණා. ඒ නිසා හැකි තරම් මේක ප‍්‍රමාද කරන්නයි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා. 2016 ජනවාරි මාසෙ 09 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙනා ව්‍යවස්ථාව ගැන යෝජනාව අපි මාර්තු වෙනකන් ඇද්දා. එක දවසින් කරන්න තිබුණු දේ මාස දෙකක් ඇද්දා. අපි ඇතුළේ ප‍්‍රශ්නය ඇද්දා. කාලය ගත්තා. දැන් එදා තිබුණු අවදානම නෑ. ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය නෑ. අනෙක් පැත්තෙන් එදා අපි මේ කමිටු ඇතුළේ හිටියේ නැත්නම් ජනතාව ඉදිරියේ දැනුවත්කිරීම් කරන්න අවශ්‍ය සුජාතභාවය අපට නෑ. අපි ඇතුළේ හිටපු නිසායි කිව්වෙ ඒකීය රාජ්‍යය, බුදුදහමේ ප‍්‍රමුඛස්ථානය ගැන තත්ත්වය. අපි ඇතුළේ හිටපු නිසායි ජනතාව විශ්වාස කළේ අපි කියන්නෙ ඇත්ත කියලා. ඉතින් ඒක උපක‍්‍රමයක්.

ඒකීය යනුවෙන් සිංහල ජාතිකවාදීන් බලාපොරොත්තු වෙන්නේ එක රටක් කියන එකයි. ඒ නිසා ඒකීය කියන වචනය ඇතිව යම් බලය බෙදීමක් එක්ක ව්‍යවස්ථාව හදමු කියලායි යෝජනා වුණේ. ඒ වගේම කිසිදා රට බෙදී නොයන්නට වගන්ති ඇතුළත් කරන්න යෝජනා වුණා. එහෙම පසුබිමක මේක රට බෙදන ව්‍යවස්ථාවක්යැයි කියන්නේ කොහොමද?

අවාසනාවට ව්‍යවස්ථාවට පක්ෂ අයත් විරුද්ධ අයත් සාතිශය බහුතරය ඒකීය කියන්නේ මොකක්ද ෆෙඩරල් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. ඒකීය රාජ්‍යය පිළිබඳ ලෝකයම පිළිගත් නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන්නේ මහාචාර්ය ශ‍්‍රීමත් කේ.සී. වියරේ. ඔහු කියනවා ඒකීය රාජ්‍යයක් යනු රටේ සෑම ප‍්‍රදේශයකටම, සෑම විෂය ක්ෂේත‍්‍රයකටම නීති සම්පාදනය කළ හැකි එක් ආයතනයක් තියෙන රටක් කියලා. කෙනෙක්ට කියන්න පුළුවන් දැනටමත් නීති සම්පාදනය කරන්නට ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා තියෙනවා නේද කියලා. හැබැයි පාර්ලිමේන්තුව තමයි තමන්ගේ බලය පළාත් සභාවලට පනතක් විදියට සම්මත කරලා දීලා තියෙන්නේ. මේ බලය ඕනෑම වෙලාවක ආපහු ගන්න පුළුවන්. හැබැයි ෆෙඩරල් රටක් කියන්නේ නීති සම්පාදනය පිළිබඳ ස්වාධීන බලයක් ඇති මධ්‍යම ආණ්ඩුවක් සහ ප‍්‍රාන්ත ආණ්ඩු තියෙන ක‍්‍රමයක්. එතකොට මධ්‍යම ආණ්ඩුවේ බලයට පළාත් සභාව සහ පළාත් සභාවල බලයට මධ්‍යම ආණ්ඩුවට ඇඟිලි ගහන්න බෑ. දැන් ලංකාවේ තියෙන්නෙත් පූර්ණ ඒකීය ක‍්‍රමයක් නෙවෙයි. දහතුන්වැනි සංශෝධනයේ අර්ධ ෆෙඩරල් විධිවිධානයක් තියෙනවා. ඒ අනුව පළාත් සභා අහෝසි කරන්න හෝ බලතල සංශෝධනය කරන්න තුනෙන් දෙකක බහුතරයක් ඕනෑ. එංගලන්තය ලංකාවට වඩා බලයට බෙදු රටක්. හැබැයි අපි ඒකීය රටක් කියන්න හේතු තියෙනවා. වේල්සය සහ ස්කොට්ලන්තයට වෙනම පාර්ලිමේන්තුවක් දීලා තියෙනවා. අයර්ලන්තයට වෙනම මන්ත‍්‍රණ සභාවක් තියෙනවා. හැබැයි එංගලන්තයේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ඒක අහෝසි කරන්න පුළුවන්. යුද්ධ කාලවල එහෙම කරලාත් තියෙනවා. හැබැයි එංගලන්තයේ සාමාන්‍ය බහුතරයෙන් කරන වැඬේ අපේ තුනෙන් දෙකක් ඕනෑ. දැනටමත් අර්ධ ෆෙඩරල් රටක්. අපි කියනවා මේ ගෙනෙන්න යන ව්‍යවස්ථා යෝජනාව හරහා ෆෙඩරල් ක‍්‍රමයක් ගෙනෙනවා කියලා. එතකොට ආණ්ඩුව කියනවා උදය ගම්මන්පිල වැනි අන්තවාදීන් බොරු කියනවා කියලා. කවුද බොරු කියන්නේ කියලා අපි කේ.සී. වියරේගේ නිර්වචනය එක්ක බලමු. මෙතැන තියෙන යෝජනාවෙ ෆෙඩරල් ලක්ෂණ ගණනක් තිබුණත් ඒ අතරින් මම කියන කාරණය වැදගත්. දෙවැනි මන්ත‍්‍රණ සභාවක් යෝජනා කරලා තියෙනවා. ව්‍යවස්ථාවේ පළාත් සභාවලට දුන් බලය සංශෝධනය කරන්නට පාර්ලිමේන්තුවට අමතරව දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකකුත් ඕනෑ කියලා තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය බව කියද්දී අර්ධ ෆෙඩරල් කියලා පෙන්වුවා. දැන් මෙතැන පාර්ලිමේන්තුවට අමතරව දෙවැනි මන්ත‍්‍රණ සභාවේ තුනෙන් දෙකකුත් ඉල්ලනවා. දෙවැනි මන්ත‍්‍රණ සභාවේ ඉන්න මන්ත‍්‍රීවරු පළාත් සභාවෙන් අතිබහුතරය පළාත් සභාවල නියෝජිතයන්. එතැන තමයි ෆෙඩරල් ලක්ෂණය තියෙන්නේ. අනෙක මධ්‍යය තුළ පරිධිය නියෝජනය කරන්නට දෙවැනි මන්ත‍්‍රණ සභාවක් එනවා. හැබැයි පරිධිය තුළ මධ්‍යය නියෝජනය කරන්නට තියෙන ආණ්ඩුකාර ධූරයේ බලතල සීමා කරනවා. ආණ්ඩුකාරවරයාව මධ්‍යම ආණ්ඩුව වෙනුවට මහඇමතිවරයාගේ නිර්දේශය මත පත්කරන්නැයි කියනවා. සමගාමී ලැයිස්තුව මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය තැන්හිදී පළාත් පරිපාලනයට මැදිහත්වෙන්න හොඳ අවස්ථාවක්. මහාචාර්ය කේ.සී. වියරේගේ සූත‍්‍රය මෙතැනට යෙදුවාම එන්නේ ෆෙඩරල් කියලා පැහැදිලියි. මම මේ කියන්නේ බොරු නම් මා එක්ක විවාදයකට ඇවිත් මාව විනාශ කරන්න. ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් අය මෙතැන ලජ්ජාසහගත වැඩක් කරනවා.

ඒ මොකක්ද?

ආණ්ඩුව සහ ආණ්ඩුව සමඟ සිටින බුද්ධිමතුන් කරන්නේ ජනතාවට කොළය වැසීම. ඔවුන් ඇත්තටම ෆෙඩරල්වාදීයි. හැබැයි ඔවුන්ගේ මතය ජනතාවට ඒත්තු ගන්වා ක‍්‍රියාත්මක කිරීම වෙනුවට ජනතාව රවටා ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම ලජ්ජාසහගතයි. මේ අතින් චන්ද්‍රිකා මැතිනිය අවංකයි. එතුමිය කෙලින්ම කිව්වා අපි ඒකීය ක‍්‍රමයක් තියාගෙන ඉන්නෙ නෑ කියලා. එදා ෆෙඩරල්වාදීන් විදියට අවංකව ආණ්ඩුව පෙනීහිටියා. මේ රටේ බහුතරය හිතනවා නම් මේ රට ෆෙඩරල් රටක් විය යුතුයි කියලා, මම ඒකට විරුද්ධ වුණත් මම එකඟවෙනවා ඒ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්න. මොකද මම අකැමති වුණත් බහුතර මතයට ඉඩ දිය යුතුයි. හැබැයි මේ ආණ්ඩුව ඒකීයයැයි කියමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙනවා. මේක වංක වැඩක්. මේ අය ඇත්තටම ඒකීය ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒකීයයි කිව්වත් ජනතාව විශ්වාස කරන්නේ නෑ. මොකද ආණ්ඩුව මීට කලිනුත් එකක් කියලා වෙන දෙයක් කළා. මෙතැන වෙන්නේත් එදා වගේම එකක් කියලා තවත් දෙයක් කිරීම. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. ඔවුන් කෙතරම් අ¥රදර්ශී වුණත් ජනතා කැමැත්ත ක‍්‍රියාත්මක කළයුතුයි. ජනතාව මෝඩයෝ, අපි හිතන එකයි හරි කියලා හිතන්න බෑ. ජනතාව සහ පාලකයා අතර විශ්වාසය ගොඩනැගෙන්නේ, කියන එක කළොත්. කරන එක කිව්වොත්. 2000 දී වගේ රටේ බහුතරය හිටියේ දෙමළ ජනතාවට අසාධාරණයක් වුණ නිසා රට ෆෙඩරල් කරන්න ඕනෑ කියන මතයේ. එහෙමයි කියලා අපි ආයුධ අතට ගත්තේ නෑ. අපේ මතය අරන් ගිහිල්ලා, වාදවිවාද ගිහිල්ලා තමයි සිංහල ආධිපත්‍යය හදාගත්තේ. අපට එන්ජී ඕ සල්ලි දුන්නේ නෑ. හැබැයි දැන් ඇමෙරිකාව, බටහිර රටවල් මේ මතය එක්ක ඉන්නවා. රාජ්‍ය නොවන සංවිධාන ඉන්නවා. දෙමළ විදෙස්ගත ජනතාව ඉන්නවා. ඒත් මේ මතය ගෙනියන්න බෑ. වෙන මොකක්වත් නෙවෙයි නොහැකියාව. එක්කෝ ඒ මතය එක්ක ඉන්න අය ඒ මතය විශ්වාස කරන්නේ නෑ. නැත්නම් ඔවුන් විශ්වාස කරන්නෙ වැරදි මතයක්. කොහොමවුණත් ඔවුන් ඒ මතය විශ්වාස කරනවා නම් ඔවුන් කරන්න ඕනෑ ඒ මතය වෙනුවෙන් පෙනීඉන්න එක. ඉදිරි දිනයක තමන්ගේ මතය ජනතාව පිළිගනීවි කියන බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑ.

ජායාරූප – රේඛා නිලුක්ෂි