ගෝඨාභය, අධිකරණය හා යුක්තිය ඉටුකිරීම

‘ලොකු හෝ පොඩි හෝ ඕනෑම නඩු කියන්නකුගේ හදිසි නඩු අධිකරණය විසින් විභාගයට ගත යුත්තේ එකම වේගයකින්. සාමාන්‍ය නඩු කියන්නන්ගේ හදිසි නඩු ඉක්මනට ලැයිස්තු ගත නොකිරීමත්, දින ගණන් කල්යෑමත්, ලොකු නඩු කියන්නන්ගේ නඩු කඩිමුඩියේ විභාගයට ගැනීමත් ගැන අප පැහැදිලි කරන්නේ කොහොමද?’
මේ සටහන සිය ෆේස්බුක් පිටුවේ තබා තිබුණේ ලංකාවේ ඉහළ අධිකරණවල කටයුතු කරන කීර්තිමත් නීතිඥවරයකු විසිනි. ඒ සටහනට නිමිත්ත වී තිබුණේ, අභියාචනාධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්‍ෂ ගොනුකළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයකි. එෆ්සීඅයිඞීය විසින් තමා අත්අඩංගුවට ගැනීමෙන් හා අදාළ චෝදනා ගැන වැඩිදුර කටයුතු කිරීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ මේ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, දෙසැම්බර් 6 වැනිදා දක්වා එලෙස ඔහු අත්අඩංගුවට ගැනීම හා වැඩිදුර කටයුතු සිදුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කළේය. දෙසැම්බර් 6 වැනිදා පෙත්සම යළිත් කැඳවූ අවස්ථාවේදී එම නියෝගය දෙසැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෙත්සම අභියචනාධිකරණය ඉදිරියේ ගොනුවුණු, විමසීමට ගත් හා වාරණ නියෝගය දුන් දින තුන හතරක කාල පරාසය සලකා බැලූ විට, අපේ අධිකරණ ඉතාමත් වේගයෙන් කටයුතු කරන ප‍්‍රශංසා කටයුතු තත්ත්වයකට පැමිණ තිබීම ගැන සතුටු විය හැකිය. එහෙත්, ප‍්‍රශ්නය නම්, ඒ ශීඝ‍්‍රගාමී කාර්යක්‍ෂම ප‍්‍රතිපත්තිය තෝරු-මෝරුන්ට පමණක් සේවය සලසන්නක් ලෙස පෙනීයෑමයි. හාල්මැස්සන්ට එයින් සේවයක් නොවන බව පෙනීමයි. ඉහත කීර්තිමත් නීතිඥවරයා සිය කනස්සල්ල පළකරන්නේද ඒ කාරණය සම්බන්ධයෙනි. රටේ ඉහළ අධිකරණත් තෝරු-මෝරුන්ට විශේෂයෙන් සලකන තැනක් හැටියට නීති වෘත්තිකයන්ට මෙන්ම මහජනයාටද පෙනීයයි නම්, එවැනි අධිකරණ ගැන මහජන විශ්වාසයක් ඇතිවන්නේ කෙසේද?
ගෝඨාභය රාජපක්‍ෂ මහතා, සිය රිට් පෙත්සම ගොනු කළේ පසුගිය නොවැම්බර් 24 වැනිදාය. එදා සිකුරාදා දවසකි. එම පෙත්සමෙන් කියවුණේ, මැදමුලන රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 900ක මහජන මුදල් යොදාගත්තේය කියන කාරණය මත එෆ්සීඅයිඞීය පොදු දේපළ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවත්, ඒ විමර්ශනය අනුව තමා අත්අඩංගුවට ගන්නට සූදානම්වන බවට ආරංචි බවත්, කෞතුකාගාරය ඉදිකිරීම පෞද්ගලික ගිවිසුමක් අනුව සිදුවුණු සිවිල් වාණිජ ගනුදෙනුවක් බවත්, එය පොදු දේපළ පනත යටතට දමා විමර්ශනය කොට තමා අත්අඩංගුවට ගත්තොත් තමාට හානියක් සිදුවන බවත්ය. එලෙස අත්අඩංගුවට ගැනීමෙනුත්, පොදු දේපළ පනත යටතේ තවදුරටත් විමර්ශනය කිරීමෙනුත් එෆ්සීඅයිඞීය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය.
ගෝඨාභය රාජපක්‍ෂ සිකුරාදා ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය වුණු නීතිපති දෙපාර්තමේන්තුවට නිසි ආකාරයෙන් නොතීසි ලැබී තිබුණේ නැත. නඩුවට අදාළ ගොනුවක් ලැබී තිබුණු නමුත්, එහි නඩු අංකයවත් නොතිබුණු බව දැනගන්නට තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී, ඉතාම ඉක්මනින්, පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවුණු අතර, බදාදා තෙක් (29 වැනිදා* කල් තබන ලදි. බදාදා සභාපති එල්ටීබී දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු පෙත්සම විමසීමට ගත්හ. එදින ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් පමණක් ඒකපාර්ශ්වික කරුණු දැක්වීමක් අධිකරණය ඉදිරියේ සිදුකරන ලද්දේය.
කෙසේ වෙතත් එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණය වෙත ඉදිරිපත්වී සිය පාර්ශ්වයේ කරුණු දැක්වීමට අධිකරණය කන් නොදුන්නොත් අගතියක් සිදුවන බව කියා කරුණු කියාපෑමට අවසර ඉල්ලා සිටියාය. ‘මම මෙහි ආවේ අධිකරණය අද නියෝගයක් නිකුත්කරන්නට හදනවායැයි පුවත්පත් මගින් දැනගැනීමෙන් පසුයි. අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නට පෙර වගඋත්තරකාර පාර්ශ්වයට නිසි පරිදි නොතීසි නිකුත් කළ යුතුයි. කරුණු ඉදිරිපත් කරන්නට දිය යුතුයි. මේ නියෝගය නිකුත් කරන්නට පෙර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වන්නට මට අවස්ථාව ලැබිය යුතුයි. වගඋත්තරතකරුවන්ට නොතීසි නිකුත්කිරීමකින් තොරව අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නට නීතියෙන් අවසරයක් නැතැ’යි වික‍්‍රමසිංහ මහත්මිය එහිදී කිවාය.
දැනටමත් නියෝගය නිකුත්කරන්නට අධිකරණය සූදානම්ව සිටින බැවින්, එය එදින නිකුත්කරන බව අධිකරණය කිවේය. කී ලෙසටම නියෝගය නිකුත් කරන ලද අතර, දෙසැම්බර් 6වැනිදා වනතුරු ගෝඨාභය අත්අඩංගුවට ගැනීම හෝ විමර්ශන ඉදිරියට ගෙනයෑම හෝ නැවැත්විය යුතු බවට අධිකණය නියම කළේය.
නීතිඥවරුන් නඩු කියන්නන් ඇතුළු බොහෝ දෙනකු විමතියට පත්වුණු කාරණය නම්, ළඟ ළඟ දින කිහිපයක් තුළ මේ පෙත්සම මූලිකව විමසා, ඉතාමත් වේගයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ නියෝගයක්ද නිකුත් කිරීමය.
නඩු කියන්නන්ගේ හදිසි නඩු අපේ අධිකරණ විසින් ඉක්මනින් විමසීම නොකරන්නේ නොවේ. එහෙත්, එවැනි අවස්ථාවක වුණත්, මේ තරම් ඉක්මනින් නඩු විමසන අවස්ථා දුර්ලභය. අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන විට, එය විමසීම සඳහා සුදුසු දින පෙත්සම්කරු විසින් ඉල්ලිය යුතු අතර, එම දින නඩුව ගොනුකිරීමෙන් සතියකට පසු දින විය යුතුය. දින තුනක් ඉල්ලිය හැකි නමුත්, ඒ දින එක ළඟ නොවන දින විය යුතුය. මේ විදියට සාමාන්‍ය නඩු කියන්නකුට මේ තරම් ඉක්මනින් තමන් කෙරෙහි යුක්තිය ඉටුකරවා ගැනීම අපහසු බව පැහැදිලිව පෙනෙයි. එහෙත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඒ සාමාන්‍ය පිළිවෙත කඩා විශේෂ යුක්තියක් ඉටුවූ බවද පෙනෙයි. ඒ ගෝඨාභය රාජපක්‍ෂගේ රැුස්වළල්ල අධිකරණයට ඉහළින් පතිතවී ඇති නිසාද? පිටත සිටින අයට පෙනෙන්නේ, විශේෂ පුද්ගලයන්ට සාමාන්‍ය පිළිවෙත ඉක්මවා අධිකරණය පවා සලකන බවද?
ඉතාමත් වැදගත් ප‍්‍රශ්නය එය නොවේ. තමන්ට එරෙහිව පැවැත්වෙන අපරාධ විමර්ශනයක් නවත්වා ගැනීමට අධිකරණය ඉදිරියට යෑමේ ප‍්‍රවණතාවක් රටේ අලූතෙන් ඇතිවී තිබීමයි. විශේෂයෙන්ම එය ඇතිවුණේ ජනවාරි 8 වෙනසෙන් පසු විවිධ අපරාධ විමර්ශනවලට හේතුවුණු පරණ ආණ්ඩුවේ ¥ෂිතයන් අධිකරණය ඉදිරියට ගොස් මූලික අයිතිවාසිකම් නඩු හා රිට් පෙත්සම් ඉදිරිපත් කිරීම හරහාය. ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ටිරාන් අලස් වැනි විවිධ ¥ෂණයන්ට හා අපරාධවලට චෝදනා ලැබූවන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියට ගිය විට අධිකරණය ඒ ඉල්ලීම් ලබාදුන් අවස්ථා පසුගිය කාලය පුරා දක්නට ලැබිණි. ඇත්ත. තමන්ට අගතියක් වන අවස්ථාවලදී මිනිසුන්ට යෑමට ඇත්තේ අධිකරණයටය. එය ගෝඨාභයට, බැසිල්ට මෙන්ම ටිරාන්ටද සාධාරණ අයිතියකි. එහෙත්, එම ක‍්‍රියාවලිය තුළ රටේ මහා පරිමාණ අපරාධ හා මහජන දේපළ මංකොල්ලකෑම් පිළිබඳ විමර්ශන නවත්වන්නට සිදුවන ප‍්‍රවණතාවක් රටේ ඇතිවිය. ඒ කියන්නේ, තමන්ට එරෙහි අපරාධ විමර්ශනයක් පැවැත්වෙන විට ඉහළ අධිකරණය ඉදිරියට ගොස් වාරණ නියෝගයක් ලබාගැනීමෙන් එම විමර්ශනයව නවත්වාගත හැකියැයි කියන අදහසක් රටේ ඇතිවිය. මේ ප‍්‍රවණතාව ඇතිවීමට රටේ අධිකරණද වගකිව යුතුයැ’යි සමාජ මතයක් ඇතිවී තිබේ නම් එය අසාධාරණ නැත.
යම් අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පැවැත්වෙන විට, එයට එරෙහිව ඉහළ අධිකරණයට ගොස් රිට් පෙත්සමක් ගොනුකිරීම හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම කළ විට, වාරණ නියෝගයක් පැනවුවහොත්, එම අපරාධ විමර්ශනය අතරමග නවතා දැමීමට සිදුවෙයි. එවිට, යුක්තිය අහිමිවන අතිවිශාල පිරිසක් සිටිය හැකිය. උදාහරණයක් හැටියට, පසුගිය ආණ්ඩුවේ අපරාධකාරයන් හා ¥ෂිතයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන විට ඔවුන් අධිකරණයට ගොස් ඒවාට එරෙහි නියෝග ගැනීම නිසා හා අධිකරණ එවැනි නියෝග වහාම නිකුත්කිරීම නිසා, අගතියට පත්වන වැදගත්ම පාර්ශ්වය වන්නේ රටේ මහජනතාවයි. මේ දුෂිතයන් විසින් කොල්ලකා ඇත්තේ රටේ මහජනතාවගේ මුදල්ය. ඔවුන් අපරාධ කර ඇත්තේ රටේ මහජනතාවට එරෙහිවය. අප කියන්නේ, තමන් ඉදිරියට සහනයක් ඉල්ලා එන පුද්ගලයන්ට අධිකරණ සහන නොදිය යුතු බව නොවේ. ඒවායේදී යම් ආකාරයකට තුලනාත්මක ලෙස බැලිය යුතු බවයි. එසේ නොවුණහොත්, රටේ අධිකරණ පද්ධතිය, අපරාධකරුවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින්නේය යන අදහස සමාජය තුළ මුල් බැසගනු ඇත්තේය.
විශේෂයෙන් අපරාධ විමර්ශන සම්බන්ධයෙන් තමන් ඉදිරියට පෙත්සම් පැමිණි විට, නීතිපතිවරයාගේ මතය විමසීමෙන් තොරව අතුරු තහනම් නියෝග දීමෙන් වැළකී සිටීමේ ප‍්‍රතිපත්තියක් අධිකරණ විසින් පවත්වාගෙන යනු ලැබේ. එහෙත්, ඒ සාමාන්‍ය මිනිසුන්ගේ නඩුවලදීය. සාමාන්‍ය මිනිසුන්ගේ නඩුවලදී ඒ ආකාරයෙන් ක‍්‍රියාකරන්නේ නම්, මහජන දේපළ මහා පරිමාණයෙන් මංකොල්ලකෑම් සම්බන්ධ නඩුවලදී නීතිපතිවරයාගේ මතය විමසීම ඊටත් වඩා සිය ගුණයකින් අත්‍යවශ්‍ය වෙයි. අපරාධ විමර්ශනයක තොරතුරු දන්නේ නීතිපතිවරයාය. නීතිපතිවරයා නොමැති විටෙක පෙත්සම්කරුට ඒකපාර්ශ්විකව, පරීක්‍ෂාවට භාජනයව නොවී, අධිකරණයට තමන්ගේ කරුණු ඉදිරිපත් කළ හැකිය. සමහර විට සමහර කරුණු සඟවන්නටද, කතාවේ ඇත්ත හරියට අධිකරණයට නොකියන්නටද එහිදී හොඳටම ඉඩ තිබේ. අවාසනාවකට, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෙත්සම පිළිබඳ නියෝග දීමේදීද අපේ අධිකරණය නීතිපතිවරයාට කන්දුන් බවක් පෙනෙන්නේ නැත. දෙසැම්බර් 6 වැනිදා පෙත්සම කැඳවූ විට, පෙත්සම්කාර ගෝඨාභය රාජපක්‍ෂ වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත්කර ඇති බව නීතිපතිවරයා අධිකරණයට පැහැදිලි කර දුන්නේය.
අධිකරණය වෙතින් යුක්තිය ඉටුවිය යුතුය. යුක්තිය යනු අහසේ පාවෙන නිරපේක්‍ෂ දෙයක් නොවේ. එය සාපේක්‍ෂය. එනිසා, යුක්තිය ඉටුකිරීමේ ක‍්‍රියාවලිය තමන්ට රිසි සේ, තමන්ගේ ආරක්‍ෂාව සඳහා අපයෝජනය කරන්නට මහජන මුදල් මංකොල්ලකෑවුන් උත්සාහ කරන විට ඒ සම්බන්ධයෙන්ද දැනුවත්ව කටයුතු කිරීමේ වගකීමක් අධිකරණයට තිබේ.